තවත් ජාත්‍යන්තර දිනයක් උදාවීමට ඇත්තේ දින කිහිපයකි. ඒ, ජාත්‍යන්තර කාන්තා දිනයයි. මෙවර කාන්තාව ඇගයීමට ලක්වන්නේ ලෝකයම වසංගත රෝගයකින් වෙලාගෙන සිටින අවස්ථාවකදී ය.
මෙම වසංගතයට ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව සැබවි. නමුත් එමගින් කාන්තාවට සිදුවන පීඩාවේ තරම සුළු පටු නොවන බව නොරහසකි.
මෙවැනි වාතාවරණයක් යටතේ සැමරීමට සූදානම් වන කාන්තා දිනයේ ඇති වැදගත්කම සහ ස්ත්‍රිය සැබෑ ලෝකයේ දී මුහුණදෙන ජීවිතය පිළිබඳව, අහඹු ලෙස තෝරාගත් කාන්තාවන් කීප දෙනෙකුගෙන් විමසා බැලුවෙමි.
"ඊට පස්සේ ඔක්කොම අමතකයි. අන්තිමට ඉතුරු වෙන්නේ කරපු කතා ටික විතරයි"
"කාන්තා දිනයට විතරයිනේ මේ ඔක්කොම කතා. ඊට පස්සේ ඔක්කොම අමතකයි. අන්තිමට ඉතුරු වෙන්නේ කරපු කතා ටික විතරයි. ක්‍රියාවන් කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ."
නිකදළුපොත, මාලගමුව ග්‍රාමයේ පදිංචි නිශාන්ති අබේසුන්දර කතාව ආරම්භ කළේ නෝක්කාඩු ස්වරයෙනි. ඇය 46 හැවිරිදි එක් දරු මවකි.
"ගෑනියෙකුට ගහන්න තියෙන හොඳම ආයුධය"
"නගරේ කාන්තාවට නම් අඩු සැලකීමක්, පීඩාවක් වෙනකොට කොහේ හරි පිළිසරණක් ඇති. ගමේ ගැහැණියට ඉතින් සියල්ල දරාගෙන ඉන්නවා ඇරෙන්නේ යන්න තැනක් නැහැ. මම දන්නා ගොඩක් කාන්තාවෝ ඉන්නවා මේ පළාතේ, තමන්ට තියෙන පීඩාවක් ගැන කියන්න පොලිසියකටවත් තනියෙන් යන්න බය."
කාන්තාවට "සම තැන කෙසේ වෙතත් නිසි තැනවත් ලැබේනම්" සැහීමකට පත්විය හැකි බව නිශාන්තිගේ අදහසයි.
"රස්සාව කරන තැන වුනත් ගෑනියෙක් කියන දෙයකට හිස නමන්න අකමැති පිරිමි කොච්චර ඉන්නවද? ගෑනුන්ට පුලුවන්ද අපිව පාලනය කරන්න කියල හිතන මහත්තුරු කන්තෝරුවල කොච්චර ඉන්නවද? ගෑනු ඉන්නේ ගෙදර වැඩ කරන්නයි ළමයි බලාගන්නයි විතරක් කියල හිතන පිරිමි කොච්චර ඉන්නවද? ඒ ඔක්කොම එකතුවෙලා අවුරුද්දකට සැරයක් කාන්තා දිනය සමරනවා. විහිළුවක්නේ..."
"වැඩිහිටියන්ගේ ආකල්ප හදන්න දැන් බැහැ. පරක්කු වැඩියි.
නිශාන්ති රැකියාවක් කරන අතරතුර ස්වයං රැකියාවක ද යෙදෙන්නීය. තම දියණියට ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනයක් ලබා දීම ඇයගේ ඉලක්කයයි.
ප්‍රාථමික අධ්‍යාපනයේ පටන් ම කාන්තාවන්ට ගරු කළ යුතු ආකාරය දරුවන්ට කියා දිය යුතු බව ඇය අවධාරණය කරන්නීය.
"වැඩිහිටියන්ගේ ආකල්ප හදන්න දැන් බැහැ. පරක්කු වැඩියි. දරුවෝ ටිකවත් හදාගෙන ඉස්සරහට ගියොත් ඊළඟ පරම්පරාවවත් මීට වඩා හොඳ වෙයි."
"මේ පළාතේ නගරවල විදේශ රැකියා ඒජන්සි ගොඩක් තියෙනවා. ඒ මිනිස්සු හම්බ කරගන්නේ කාන්තාවන් මැදපෙරදිග යවල. ඒත් ඒ මිනිස්සුවත් දන්නේ නැහැ කාන්තාවකගේ ගරුත්වය රැකෙන විදියට කතා කරන්න. සමහරු ඉන්නවා ගැහැනුන්ට කටකතා හදල විනෝදයක් ලබන. ගෑනියෙකුට ගහන්න තියෙන හොඳම ආයුධය ඒකනේ." නිශාන්ති අබේසුන්දර පැවසුවාය.
අමුතු සත්ව කොට්ඨාසයක්?
නිදහස් ලේඛිකාවක වන ඉන්දු මධුභාලා පවසන්නේ එක් දිනක් වෙනුවට වසර පුරාම කාන්තාවන් වෙනුවෙන් හඬක් නගන්නේනම් තමන් සතුටුවන බවය.
"මොකද එක දවසක් ඇය වෙනුවෙන් හඬක් නඟලා අනිත් දවස්වල ඇයට අකටයුතුකම් අසාධාරණකම් වෙනවානම් ඒ දිනයෙන් තියන තේරුම මොකක්ද? කාන්තාවන්ට සතුටු වියහැකි පසුබිමක් අද සමස්ත ප්‍රජාව තුළම ගොඩ නැගිලා තියෙනවද කියන එක ප්‍රශ්නයක්."
ඈත අතීතයේ පටන් ම පුරුෂාධිපත්‍යයට ගැතිවුන අසාධාරණ සමාජ රටාවක් පවතින බව ඇයගේ අදහසයි.
"අද සමාජයේ විවිධ අවස්ථාවන්වල, විවිධාකාරයෙන් කාන්තාවට අනිසි බලපෑම් බලහත්කාරකම් කායිකව පමණක් නෙවෙයි, මානසිකවත් දැඩිව පීඩනයට ලක්වෙනවා. එවැනි පීඩනයන්ට ලක්වුන මගේ යෙහෙළියන් බොහොමයක් ඉන්නවා."
"කාන්තාවන් කියන්නෙ අමුතු සත්ව කොට්ඨාසයක් නෙවෙයි"
පිරිමින්ට මෙන්ම "කාන්තාවන්ටත් කොන්ද කෙළින් තියන් තනිවම වුනත්" සමාජයට ධෛර්යයයෙන් මුහුණ දිය හැකි සමාජ පසුබිමක් ගොඩනැගිය යුතු බව ඉන්දු අවධාරණය කළාය.
"වත්මන් සමාජයේ කාන්තාවකට තනිවම ඉන්නත් අපහසු තත්ත්වයක් තියෙනවා. දික්කසාද වුන කාන්තාවන්ටත් එහෙමයි. කාන්තාවන් කියන්නෙ අමුතු සත්ත්ව කොට්ඨාසයක් නෙවෙයි. සෑම කාන්තා දිනයකම මේ දේවල් වචන වලට පමණක් සීමාකරලා වැඩක් නැහැ, ක්‍රියාවෙනුත් යමක් කළ යුතුයි." ඇය පැවසුවාය.
කාන්තාවන්ට සිදුවන අකටයුතුකම් හෝ වෙනස්කොට සැලකීම් අවම වූ සමාජයක් දැකීම කඩිනම් කර ගැනීමට නම් සෑම ස්ත්‍රීයක්ම උසස් අධ්‍යාපන මට්ටමකට ළඟා වී, ඉහළ තනතුරු දැරීමට උත්සාහ කළ යුතු බව ඉන්දු මධුභාලා පවසන්නීය.
"සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින්..."
හසිතා දර්ශනී කොඩිතුවක්කු, පොලොන්නරුව විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියකි. කිවිඳියක වන ඇය සාකච්ඡාවට අවතීර්ණ වූයේ තමන්ගේ ම පද වැලකින් ඌනපූරණයක් තබමිනි.
ලොව ඇති දුක් දරන්නී ඈ නම් වේය ජනනී...
"කිසිවකුට අවතක්සේරු කළ නොහැකි ගැහැනිය සතු දරාගැනීමේ හැකියාව ඇත්ටම අසමසමයි. කම්හලේ, වැඩපළේ හෝ කාර්යාලයේ පැය අටක් මෙහෙකරන මිනිසුන් වැඩ ඇරී නිවෙස් බලා යන්නේ විඩාව සංසිඳුවාගන්න. විවේකයක් අත්විඳින්න. ඒත් ගැහැනුන් කාර්යාලයේ සිට නිවෙසට යන්නේ වැඩ පටන් ගැනීමට. ඒ, ඊළඟ වැඩමුරය සඳහා. මේ වැඩමුරය ඇය අරඹන්නේ නිවෙසේදී. ඇයට තම නිවස තුළ වුවද ඇය වෙනුවෙන් වෙන්වූ මානසික නිදහසක් ශාරිරික නිදහසක් තිබෙනවාද යන්න අද ගැටලුවක් කියලා මට හිතෙනවා."
ස්ත්‍රියගේ "කඳුලට සිසලසක් සමාජයෙන් මෙතෙක් ලැබී ඇත්දැයි යන්න" විමසිය යුතුම කාරණයක් බව හසිතා අවධාරණය කරන්නීය.
"සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින් කතා කරන අපි මෙරට වැඩිම අය මාර්ගය රැගෙන එන ඇයගේ කතාවට සවන් දුන්නාද?"
"අද රටට විදේශ විනිමය සපයන, කොටින්ම කීවොත් අපේ රට පොහොසත් කරන මූලික අය මාර්ගය තමයි විදෙස්ගත ගෘහ සේවය. වර්තමානයේ වසංගත තත්ත්වය නිසා ඔවුන්ට රැකියා අහිමි වෙලා ඉතා අසරණභාවයට පත්වෙලා ඉන්න වෙලාවක රටක් විදියට ඇයට අපි යහපත් සාධාරණයක් ඉටු කළාද? වගකිවයුතු අය නිහඬව සිටිම කෙතරම් යුක්ති සහගතද?" ඇය ප්‍රශ්න කළාය.
"ඇය ගැන කතා කරන කාන්තා දිනයේදීවත් ඇය පිළිබඳව සහකම්පනය ඇති නොවන්නේ මන්ද යන්න මට මහා දුකක් එක්කම කළකිරීමක් තමයි දැනෙන්නෙ. රටක් විදියට අප ඉදිරියට යන්නෙ කොහොමද මෙහෙම කඩතොලු තිබියදී. සදාචාරය සංස්කෘතිය ගැන මහා ඉහළින් කතා කරන අපි මෙරට වැඩිම අය මාර්ගය රැගෙන එන ඇයගේ කතාවට සවන් දුන්නාද?"
"වචනවලට සීමා නොවී ඇයට නිසි වටිනාකම ගෞරවය ලබා දෙන්න කියන යෝජනාව මම මේ වෙලාවෙදී සියලුම පුරවැසියන්ට මතක් කරනවා." හසිතා දර්ශනී කොඩිතුවක්කු මගේ සාකච්ඡාවට සමුදුන්නේ සමාජයෙන් ඉල්ලීමක් ද කරමිනි.
"මගේ ඇස් දෙකෙන් දැක්කා..."
කොරෝනා වසංගතය නිසා කාන්තාවන් විශාල පිරිසක් මැදපෙරදිග අසරණ වී සිටියදී කාන්තා දිනයක් සැමරිය හැකිදැයි කුවේට් රාජ්‍යයේ සල්වා නගරයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක් වන තුෂාරි අන්සයිඩ් ප්‍රශ්න කරන්නීය. ඇය කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිලධාරිනියකි.
"කොරෝනාවෙන් බේරෙන්න ආපහු ලංකාවට එන්න බැරුව තාමත් කාන්තාවෝ ලතවෙනවා. මම මගේ ඇස් දෙකෙන් දැක්කා කාන්තාවන් සිය ගණන් එම්බසි ඉස්සරහ දවස් ගණන් මහපාරේ ඉන්නවා. ඒ ගොල්ලෝ හම්බ කරලා ලංකාවට එවන සල්ලි වලින් තමයි රටම දුවන්නේ. අමාරුවේ වැටුනම පිහිට වෙන්න කවුරුත් නැහැ. ඒ වුනාට කාන්තා දිනය නම් ඉහළින් සමරනවා. එදාට කාන්තාව ගැන හරි ඉහළින් අගය කරනවා." ඇය ප්‍රකාශ කළාය.
"එම්බසිය ඉස්සරහ පාරේ වැටිල හිටිය කාන්තාවන්ට කෑම පැකට් එකක් දෙන්න කෙනෙක් ආවේ නැහැ. සමහර මිනිස්සු පෞද්ගලිකව තම තමන්ට පුළුවන් විදියට කන්න දෙයක් ගෙනත් දුන්නා."
"හරිනම් අමාරුවේ වැටුනම මුලින්ම උදව් කරන්න ඕන රටට සල්ලි ගේන මිනිස්සුන්ට"
"රස්සාවල් නැති වෙච්ච අය ලංකාවට එන්න සල්ලි නැතුව තාම ලත වෙනවා. මේ කාන්තාවන් අවුරුදු ගානක් හම්බ කරපුව එව්වේ ලංකාවට. රටේ මිනිස්සුන්ට පොදු පහසුකම් සපයන්නේ මේ විදේශ විනිමයෙන්. ඒත් ලංකාවේ ඇතැම් සාමාන්‍ය මිනිස්සුත්, පිටරටවල ඉන්න අපි දිහා බැලුවේ නරක විදියට. හරිනම් අමාරුවේ වැටුනම මුලින්ම උදව් කරන්න ඕන රටට සල්ලි ගේන මිනිස්සුන්ට."
රටට ලැබෙන විදේශ විනිමයෙන් වැඩි කොටසක් ලබා දෙන මෙම කාන්තාවන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී බොහෝ හිරිහැර සහ නොසැලකීම්වලට ලක්වන ආකාරය තමන් සියසින් දැක ඇති බව තුෂාරි පැවසුවාය.
"පාර්ලිමේන්තුවේ පටන් රජයේ සේවකයා දක්වා නඩත්තු කරන්න මේ අසරණ ගෘහ සේවිකාවන් එවන සල්ලි පාවිච්චි වෙනවා. සරලවම කියනවනම් මේක කාන්තාව හම්බ කරන සල්ලි වලින් දුවන රටක්. ඒ වුනාට ලංකාවට යනකොට ප්ලේන් එකේදිත්, එයාපෝර්ට් එකේදිත් හැමෝගෙම ලොකුකම් බලන්නෙත් මේ අසරණයෝ. හැබැයි මේ විදේශ විනිමයෙන් තමයි පාඩු ලබන ගුවන් සේවයට සල්ලි පොම්ප කරන්නෙත්. තේ, පොල්, රබර් වලින් හම්බවෙන්නේ කීයද?" තුෂාරි අන්සයිඩ් ප්‍රශ්න කළාය.