ස්ත්‍රී අත්දැකීම්වල වීර ආඛ්‍යානය - ඩොරස් ලෙසිංග්

ස්ත්‍රී අත්දැකීම්වල වීර ආඛ්‍යානය - ඩොරස් ලෙසිංග්

ඇය උපන්නේ 1919 වසරේදී පර්ෂියාවේ ය. හැදී වැඩුණේ රොඩේෂියාවේ ය. අද වන විට මේ නම් දෙකම ලෝක සිතියමෙන් මැකී ගොස් හමාර ය. අප්‍රිකානු වතු යායක පිහිටි නිවසක ආලින්දයට වී දුක්බර දෑසින් බලා හිඳිනා දැරිවියකි. ඒ 1926 වසරයි. පර්ෂියාවේ සිට ධනය සොයාගෙන රොඩේෂියාවට පැමිණෙන ඇයගේ පවුලට, හිතූ තරම් ධනය ලබාගන්නට නොහැකි විය. පළවන ලෝක යුද්ධයෙන් කකුලක් අහිමි වූ ඇගේ පියා සහ කටුක අප්‍රිකානු පරිසරයට හුරුවන ඇගේ මව අතර ගැටුම් බහුල විය. දහතුන් හැවිරිදි වියේදී පාසැල් ගමන නවත්වන ඇය පහළොස්වන වියේදී එංගලන්තය බලා පැමිණෙයි. වයස 19දී සිය පළමු විවාහයට එළඹෙයි.

ඇය නම්, 2007 වසරේදී නොබෙල් සාහිත්‍ය සම්මානය ඇතුළුව, යුරෝපයේ සියලු සාහිත්‍ය සම්මාන පාහේ දිනා ඇති ඩොරස් ලෙසිංග් නම් නාමකයෙන් නිරූපණය වන, තම ස්වකීය ඥාණයෙන් බුද්ධිමතෙකු බවට පත් වූ විශිෂ්ඨ ලේඛිකාවයි. 2007 වසරේදී ඇය නොබෙල් සාහිත්‍ය සම්මානයට හිමිකම් කියන්නේ විශිෂ්ඨ ඇමරිකානු ලේඛක පිලිප් රොත් අභිබවමිනි. ඒ වන විට ඇගේ වයස අවුරුදු 89කි. නොබෙල් සාහිත්‍ය සම්මානය ලබාගත් වයස්ගතම පුද්ගලයා ලෙස ඇගේ වාර්ථාව අදට ද නොබිඳී පවතී.
නොබෙල් සම්මානය ලැබුණු පසු මාධ්‍යවේදීහු ලන්ඩනයේ ඇය වාසය කළ කුඩා නිවාසය ආක්‍රමණය කළහ. මඳ වේලාවකින් ඇය කුලී රථයකින් පැමිණියේ නිවසට අවශ්‍ය කළමනා ද අතැතිව ය. නොබෙල් ත්‍යාගය දිනූ බව ඇය එවිටත් නොදැන සිටි අතර මාධ්‍යවේදීන් ඇයට එය දැනුම් දුන් පසු ඇය පැවසුවේ "Oh Christ" කියා පමණය.
"මම යුරෝපෙ හැම සම්මානයක්ම දිනලා තියෙනවා, හැම එකක්ම. ඒ හැමෙකක්ම දිනාගැනීම මට සතුටක්. ඒක රාජකීය දීප්තියක්" ඇය පසුව එයට එකතු කළාය.

ඇය වරක් සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ පවසා තිබිණි:

"විශාල සමාජ ප්‍රවාහයන්ගෙන් අපිව හසුරවනවා කියලයි මම හිතන්නේ. හුඟ වෙලාවට අපි ඒ ගැන දන්නෙ නැහැ. මගේ ජීවිතේ අනිවාර්යයෙන්ම එහෙම එකක්. මුලින්ම, පටන් ගැන්මෙ ඉඳලම ඒකෙ ආධිපත්‍ය දැරුවෙ යුද්ධය. මම කවදාවත් ඒ දේවල්වලින් මිදිලා නැහැ. කසාද බැඳලා ළමයි හදන්න මට සිද්ධ වුණේ දෙවෙනි ලෝක යුද්ධෙ නිසා - අපි හැමෝම කෑ ගහලා 'මේ දුෂ්ඨ ලෝකෙට අපි කවමදාකවත් ළමයෙක් ගේන්නෙ නැහැ' කියලා කිව්වට, අපිට දුසිම් ගණන් ළමයි හිටියා, කසාද බැන්දා. ඉතිං අපිව හැඩගස්වලා තියෙන්නේ ඔහොමයි. "

ඇයගේ පළමු විවාහය සිදුවන විට දෙවන ලෝක යුද්ධය පැතිරී යමින් තිබූ සමයයි. පහළොස් වියැති දැරියක ලෙස තම දෙමාපියන්ගේ මධ්‍යම පාන්තික පැවැත්මෙන් මිදී සරණාගතව එංගලන්තය බලා පැමිණි ඇයට, වයස 19 දී විවාහ වන්නට සිදුවන්නේ දෙවන ලෝක යුද්ධයේ බලපෑම නිසාවෙනි. එම නොගැලපෙන විවාහය නිමාවෙන අතර ඇය නැවතත් විවාහ දිවියට එළඹෙන්නීය. වයස අවුරුදු 13න් පසුව පාසැල් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කල ඇය ස්වයං-බුද්ධිමතෙකු ලෙස සැලකෙයි.

සිය දෙවන විවාහයේ සැමියා ගේ කොමියුනිස්ට් දේශපාලනය කෙරෙහි නැඹුරු වූ ඇය වඩ වඩාත් කොමියුනිස්ට් දේශපාලනයට සමීප වූවාය. විසිවන සියවසේ බිහිවූ සංකීර්ණ නවකතා අතරට ඇයගේ The Golden Notebook කෘතිය ද එක්වෙයි. එය ඇය විසින් ලියා පළ කරන්නේ 1962 වසරේදී ය. එයට ඇගේ ජීවන අත්දැකීම් ඉවහල් වී ඇති බව කියැවෙයි. මෙම නවකතාව ස්ත්‍රීවාදී එකක් බව බොහෝ විචාරකයන් අදහස් පළ කළද ඩොරිස් පවසන්නේ මෙවන් අදහසකි.

"ඔහ්, ඒක මෝඩ කතාවක්. මම නිතරම ඕක දැකලා තියෙනවා. මම කියන්නේ Golden Notebook වල ස්ත්‍රීවාදී කියලා මුකුත්ම නැහැ. පොතේ දෙවෙනි පේළිය : මට පෙනෙන හැටියට සියල්ල ඉරිතලමින් තිබේ. Golden Notebook කියන්නේ ඒ ගැනයි!"

දරුවෙකු සමඟ තනිව ජීවත්වන මෙම Golden Notebook නවකතාවේ ප්‍රධාන චරිතය වන ඇනා වුල්ෆ් සිය දේශපාලනික, සමාජීය, ලිංගික සහ චිත්තවේගයන් සඳහා වෙන වෙනම වර්ණ වලින් යුත් සටහන් පොත් තබාගනී. මේ සියල්ල ඒකාබද්ධ වනුයේ මෙම රන්වන් පාට සටහන් පොත තුළය.

ඇය සිය සාහිත්‍ය දිවියේ දී නිර්මාණ 55ක් එළි දක්වා ඇත. ඒ අතරට නවකතා, කෙටිකතා, නාට්‍ය, ඔපෙරා, සහ කාව්‍ය සංග්‍රහ ඇතුළත් වෙයි. ඇගේ නවකතා අතර The grass is singing, The Golden Notebook, The Summer Before the Dark , Memoirs of a Survivor ඉහළින් කතාබහට ලක්වන අතර ඇගේ දිගු ජීවන කාලය තුළ ඇය විසින් නවකතා 20කට ආසන්න සංඛ්‍යාවක් ලියා පළකර ඇත. ඇය සැලකෙන්නේ ඉතාම වෙනස් චරිතයක් ලෙසිනි. සිය කෘති ගැන ලියවෙන කිසිදු විචාරයක් ඇය නොකියවයි. ඒවා තමන් වෙත නොඑවන ලෙස ඇය ප්‍රකාශන සමාගමට ද දන්වා තිබූ බව ප්‍රසිද්ධ කරුණකි.

වරක් එලිසබත් රැජිණ විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ ආර්යාව යන ගෞරව නාමය ඇය වෙත ප්‍රධානය කළ ද ඇය එය ප්‍රතික්ෂේප කළේ 'බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය' තමන් නොපිළිගන්නා බව පවසමිනි. ඇයගේ සාහිත්‍යයේ විශිෂ්ඨත්වය ලෙස විචාරකයන් දකින්නේ ඇය තුළ නිරීක්ෂණය සඳහා පැවති පැහැදිලි දෑසයි.

නොබෙල් කමිටුව:

"සැකය, ගින්න සහ දුරදිග දකින බලයෙන් යුත් ස්ත්‍රී අත්දැකීම්වල වීර ආඛයානිකයෙකු වෙමින්, බෙදුණු ශිෂ්ඨාචාරය සියුම් ව පරික්ෂා කිරීම විෂය බවට පත්කර ගැනීම වෙනුවෙන්" ඇයට නොබෙල් සාහිත්‍ය සම්මානය පිරිනැමූ බව සඳහන් කරයි.

තමා කිසිවිටෙක ස්ත්‍රි වාදිනියක් නොවන බව ඇය ප්‍රකාශ කරන්නේ කාන්තාවන් පමණක් ඉන්නා ලෝකයක ජීවත් වීමට තමන්ට අවශ්‍ය නැති බව පවසමිනි. ස්ත්‍රීවාදිනයක් ලෙස මරණයෙන් පසුව තමාව හඳුන්වනවාට ඇය හුදෙක්ම අකමැති විය. ඇගේ The Golden Note book සමස්ථ පරම්පරාවක අත්පොත ලෙස හැඳින්වෙයි. එමෙන්ම Alfred And Emily යන නවකතාවේ ලෝක ඉතිහාසය, ඇගේ දෙමාපියන්ගේ ඉතිහාසය සමඟ සම්බන්ධවන අයුරු සහ මහා සිදුවීම්වල බලපෑම තනි තනි පුද්ගලයන්ට බලපාන අයුරු මැනවින් දක්වා ඇත. පොදු ඉතිහාසය සහ පුද්ගල ඉතිහාසය අතර ඇති ස්වචාර සම්බන්ධය විදහා දක්වයි.

ඉතිහාසයේ සාක්ෂිකාරියක වූ, ස්ත්‍රීවාදී, කොමියුනිස්ට්, වැනි ලේබල් වලින් පිරී ගියා වූ වසර 94ක කාලයක් නිර්මාණ 55කින් සාහිත්‍ය පෝෂණය කළ, ඒ වෙනුවෙන් සම්මාන රාශියකින් පිදුම් ලද, ඩොරිස් ලෙසිංග් 2013 නොවැම්බර් 17 වැනිදා සිය ජීවිතයෙන් සමුගත්තා ය. මා දන්නා තරමින් මේ විශිෂ්ඨ ලේඛිකාවගේ එකදු කෘතියක් හෝ සිංහලට පරිවර්තනය වී නොමැත.

රෂ්මික මණ්ඩාවල