“කොවිඩ් වසංගතය වැළැක්වීමට කම්කරු දෙපාර්තමේන්තුව හා අමාත්‍යංශය ඍජුව මැදිහත් විය යුතුයි“ - චන්ද්‍රා දේවනාරායන

“කොවිඩ් වසංගතය වැළැක්වීමට කම්කරු දෙපාර්තමේන්තුව හා අමාත්‍යංශය ඍජුව මැදිහත් විය යුතුයි“ - චන්ද්‍රා දේවනාරායන

කොවිඩ් වසංගත තත්ත්වයත් සමග කර්මාන්ත ශාලා සේවකයින් සීග්‍ර ලෙස වසංගත තත්ත්වයට ගොදුරු වෙමින් කිහිපදෙනකු මිය ගොස් තිබෙනවා. එසේ මියගිය අය වෙනුවෙන් කල යුත්තේ කුමක්ද

සත්‍ය වශයෙන්ම මේ කොවිඩ් වසංගත අවස්ථාවේ දහස් ගණනින් සේවකයන් වසංගතය ගොදුරු බවට පත්වෙමින් කිසිවෙකුගේ වගවීමක් නොමැති ව අන්ත අසරණ තත්ත්වයෙන් නේවාසිකාගාර වලට සිරවී සිටින්නේ ආසාදිතයින් ලෙස. කැස්ස හෙම්බිරිස්සාව වැනි රෝග තත්ත්වයන් මධ්‍යයේ වුවද ඔවුන්ට රැකියාවට යාමට සිදුව තිබෙනවා. සමහර ආයතන සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් සේවකයින්ගෙන් වැඩ ගන්නා බවද ආසාදිතයින් හමු වුණොත් ඔහු හෝ ඇය නේවාසිකාගාරයට ගෙනගොස් ඇරලවීම සිදුකරන නමුත් එම සේවිකාව හෝ සේවකයා පිළිබඳව බහුතරයක් ආයතනය ඉන්පසු කිසිදු සොයා බැලීමක් කරන්නේ නෑ.

This image has an empty alt attribute; its file name is 4-1.jpgරිදීමාලියද්ද කොග්ගල පානදුර සහ කටුනායකින් මරණ හතරක් වාර්තා වී ඇතත් ඔවුන් පිළිබඳව අදාළ අංශ විසින් සත්‍ය තොරතුරු වසන් කරන තත්ත්වයක් ද ඇති හෙයින් මරණයට පත්වන්නන් පිළිබඳව පෞද්ගලික තොරතුරු සමාජයට ගෙන යෑමක් සිදු වන්නේ නෑ.

එමෙන්ම මහා පරිමාණ කර්මාන්ත ශාලාවල ද මේ වනවිට PCR පරීක්ෂණ නිසියාකාරව සිදු නොකරන්නෙ ආසාදිතයින් හමු වුවහොත් එය නිෂ්පාදනයට බාධාවක් වන බැවින් බව කටුනායක සහ බියගම ආයතන ගණනාවක සේවකයින් අප හට වාර්තා කර තිබෙනවා.

දැනට කම්කරු ඇමතිවරයා විසින් තීරණය කරන ලද වැටුප් ක්‍රමවේදයද පසෙකලා සමහර හාම්පුතුන් නිරෝධායන කාලයට වැටුප ගෙවන්නට වත් සූදානම් නොවන අවස්ථාවක ඔවුන් වසංගතයෙන් මියගිය සේවකයාගේ පවුල් සඳහා කුමන සාධාරණයක් ඉටු කරයිද යන්න පවා සැක සහිතයි.

මියගිය අයගේ පවුල් වල තොරතුරු තිබෙනවාද ? ඔවුන් රැකගැනීමට වැඩපිළිවෙලක් තිබෙනවාද?

එවැනි වැඩපිළිවෙළක් නැත. සේවකයෙක් මිය ගිය ද ඒ පිළිබඳව තොරතුරක් වත් සමාජයට නිරාවරණය වීමට ඉඩ නොදෙන වැඩපිළිවෙළක් ආයතන මගින් සහ ඒ පිළිබඳව කටයුතු කරන අදාළ අංශ විසින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීම අසීරු කටයුත්තක් වී තිබෙනවා

මිය යන අය වෙනුවෙන් කම්හල් හිමියන් හෝ රජයේ මැදිහත්වීමක් තිබෙනවාද?

මේ මොහොත වනතුරුත් ඒ පිළිබදව පැහැදිලි තොරතුරක් නොමැති අතර රජය සහ කම්හල් හිමියන් මියගිය තම සේවකයාගේ යැපෙන්නන් සදහා කිසියම් වන්දියක් ගෙවිය යුතු බව අපගේ අදහසයි. එසේම එලෙස මියයන කම්කරුවන් සඳහා වන්දියක් රජය සහ හාම්පුතුන් එක්වී ආරම්භ කල යුතු බවද අප කියා සිටිනවා.

ILO C190 සම්මුතිය සම්මත කරගැනීම සමබන්ධ කතිකාව මේ මොහොතේ අතපසු වෙමින් තිබෙනවා. එම සාකච්ඡාව නැවත ගොඩනැංගවීම සඳහා කළ යුත්තේ කුමක්ද ?

This image has an empty alt attribute; its file name is chandra-dewanarayan-RED-1.jpg

C190 සම්මුතිය සම්මත කර ගැනීම සදහා පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනය දා කම්කරු අමාත්‍යවරයා විසින් එය සම්මත කරන බවට දුන් පොරොන්දුව ඉටු කරවා ගැනීම සඳහා අපි කාන්තා සංවිධාන,වෘත්තීය සමිති ලෙස ඒකරාශිවී කම්කරුවන් සහ සෙසු සමාජය දැනුවත් කිරීමේ පුළුල් ව්‍යාපාරයක් සහ කතිකාවක් ඒ ඒ ක්ෂේත්‍ර වල සහ රට තුළ ඇති කළ යුතුයි.

කම්කරුවන් වඩාත් බරපතළ ලෙස ආයතන තුළ හිංසනයට සහ බලහත්කාරයට ලක්කරමින් සේවය ලබා ගන්නා මෙවන් අවධියක c190 සම්මුතිය සම්මත කර ගැනීමේ වගකීම සදහා අප උත්සහ දරන්නෙ නම් එය ඉතාම කාලෝචිත බවද මා කියා සිටිනවා.

 

 

 

ඔබ මෙම වසංගත තත්ත්වය යටතේ සේවය කරන අය වෙනුවෙන් රජයට හා කම්හල් හිමියන්ට යෝජනා කරන්නේ මොනවාද ?

1. පුද්ගලික අංශයේ ආයතන වලට ද වැටුප් සහිත නිවාඩු ලබා දෙන ලෙස
2. පුද්ගලික අංශයේ ගැබිණි මව්වරුන් ද වැටුප් සහිතව සේවයට නො කැඳවන ලෙස
3. ආයතන මට්ටමෙන් සෞඛ්‍යය කමිටු පිහිටුවීම හැකි ඉක්මනින් කරන ලෙසත් ඒවා නියාමනය සඳහා අදාළ අංශවල නිලධාරීන් හා පුද්ගලයින් පත් කරන ලෙස
4. වැඩ කරන කම්කරුවන් සඳහා එන්නත වහා ලබා දෙන ලෙස
5. නිරෝධායනය සඳහා සුදුසු ස්ථාන කාන්තාවන් හා පිරිමි කම්කරුවන්ට වෙන් වෙන්ව ලබා දෙන දෙස
6. ආසාදනය වීමේ ප්‍රවණතාවය වැඩි බැවින් PCR පරීක්ෂණ ඉක්මනින් සිදු කිරීමේ ක්‍රමවේද කඩිනම් හා කාර්යක්ෂම කිරීම

මෙවැනි තත්ත්වයක් තුළ වෘත්තීය සමිති තුළ ඒකාබද්ධ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවාද ?

පවතින බරපතල තත්වය හමුවේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මේ වන විටත් දියත් කෙරෙමින් පවතිනවා . ඔවුන් පවසන්නේ සේවක සේවිකාවන් දහස් ගණනක් නිරෝධායනය ලක්කර ඇති බවත්, සමහර ආයතන සම්පූර්ණයෙන් සහ කොටස් වශයෙන් ද වසා දමා ඇති බවයි.

තවත් සමහර ආයතන කොවිඩ් නීතිරීති නොතකමින් සේවකයන්ගෙන් බලහත්කාරයෙන් වැඩ ගන්නා බවයි.

වසංගතය පැතිර වලක්වාලීමට පියවර නොගෙන මේවාට සෘජුව වගකිව යුතු කම්කරු අමාත්‍යංශය කම්කරු දෙපාර්තමේන්තුව නිදිවදින මොහොතක ත්‍රෛපාර්ශවීය කාර්ය සාධන බලකාය ජාතික කම්කරු උපදේශක සභාව මේ සඳහා සාකච්ඡාවකට ඉක්මනින් නොකැඳවන්නේ නම් ස්වාධීන තීන්දු ගෙන කටයුතු කරන බවයි.

(මානව විමුක්තිය උදෙසා සංවර්නය සංවිධානය (RED) , අධ්‍යක්ෂිකා, චන්ද්‍ර දේවනාරායන මහත්මිය සමග කළ සාකච්ඡාවකි)