දිග්ගැස්සෙමින් කල් ඇදෙන ‘ගුරු’ අරගලය

teachers

දැනට මාස දෙකකටත් වැඩි කාලයක් තිස්සේ වැටුප් සංශෝධන අරගලයක් ලෙසින් වර්ධනය වෙමින් පවතින විදුහල්පති සහ ගුරු ප්‍රශ්නය රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරමින් දිග්ගැස්සෙමින් පවතී. රජය මෙම කාරණය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර සහ එම පියවර සම්බන්ධයෙන් දැනට වෘත්තීය අරගලයක යෙදී සිටින සමිති සංවිධාන සමග පැහැදිලි පදනමක් මත සාකච්ඡාවක් නොපැවතීම​ හේතුවෙන් මෙම අරගලය තවදුරටත් ව්‍යාකූලත්වයට​ පත් වෙමින් තිබෙන බව මේ කාරණාව දෙස බාහිර  වශයෙන් බලන පාර්ශවයකට පෙනී යන කරුණක් බව සඳහන් කළ යුතුව ඇත. ඒ හේතුව නිසාම ප්‍රශ්නය විසඳුම්කින් තොරව අනවශ්‍ය ලෙස දිග්ගැස්සෙමින් පවතින බවක්ද පෙනී යයි. මෙය ජාතික වශයෙන් ඉක්මනින් විසඳා ගත යුතුව පවතින වැදගත් ප්‍රශ්නයක් බව සියලු රට වැසියන් ද දෙමව්පියන්ද සිසු දරුවන් සහ ගුරු භවතුන් ද එකසේ වැදගත්කම්කින් සලකන බවට කිසිම විවාදයක් තිබිය යුතු නැත.

මෙතෙක් මෙම කාරණයට සම්බන්ධ සිදුවීම්  මාලාව නැවත සලකා බැලීමේ දී පැහැදිලිවන කරුණු රාශියක් ඇත. තරමක් දුරට දිග්ගැස්සුණු ක්‍රියාමාර්ගවලින් පසුව වුවද රජය මෙම කාරණය සම්බන්ධයෙන් පැහැදිලි නම්‍යතාවයකින් කටයුතු කර තිබෙන බව මෙතෙක් දුරට ගෙන ඇති ඇතැම් තීරණ වලින් පැහැදිලි වේ. මුළු රටම මුහුණ දෙමින් සිටින බරපතළ ආර්ථික අර්බුදයක් හමුවේ වුවද දිගු කලක් තිස්සේ නොවිසඳී පැවතුණු ගුරු සහ විදුහල් විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය පැහැදිලි ප්‍ර‍තිපත්තිමය එකඟතාවයන්ට පැමිණ ඇති බව දැනට ප්‍රකාශ වී ඇත. එමෙන්ම එම ප්‍රතිපත්තිමය තීරණ කවරේද යන වග ගුරු සංගම් වල විමසීම් වලින් අනතුරුව ඔවුනට නිවේදනය කර ඇති බවත් වාර්තා වේ.

එම් ප්‍රදානයන් නිල වශයෙන් ලබා ගැනීම සඳහා ගුරු සංගම් උත්සුක නොවී සිටීම පිළිබඳව ද මෙහිදී සඳහන් කළ යුතු වන්නේය. මක්නිසාද ඔවුන් ජනමාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ සහ අදහස් පළ කිරීම්ට පටන් ගත් නමුත් නිල වශයෙන් රජය විසින් ගෙන ඇති තීර්ණ මොනවාද යන්න දැනගැනීම සඳහා නිසි පියවරක් ගෙන තිබුණු බවක් නොපෙනෙන බැවිනි.

දැනට වාර්තා වන තොරතුරු වලට අනුව ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණ පිළිබඳව විමසීමක් ලිඛිතව ලබාගැනීමට පළමුවරට ගුරු සංගම් විසින් ඉදිරිපත් වී ඇත්තේ 2021 සැප්තැම්බර් මස 13 වැනි දින දී පමණකි. ගුරු සංගම් විසින් අධ්‍ය්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා අමතා යවන ලද විමසුම් ලිපියකට සැප්තැම්බර් මස 14 වෙනි දින යටතේ ලේකම් ලේකම්වරයා විසින් පිළිතුරු සපයමින් 2021 -08-31 වැනි දින පැවති කැබිනට් මණ්ඩලයේ දී ගනු ලැබූ ක්‍රියාමාර්ගය පිළිබඳව වාර්තාවක් ඔවුනට ලබා දී ඇත. තවද එම වාර්තාවේ මෙසේ සඳහන් වී ඇති බවත් දැනගන්නට තිබේ;

(1) අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කිරීම;

(2) ගුරු සේවය, ගුරු උපදේශක සේවය විදුහල් විදුහල්පති යන සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් 2021 -11-20 වෙනි දිනට පෙර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කිරීම;

(3) ගුරු–විදුහල්පති වැටුප් විෂමතාවන් ඉවත් කිරීම සඳහා නිර්දේශිත වැටුප් සංශෝධනයන්, 2022  අයවැය යෝජනාවක් මගින් අදියර ගතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම;

(4) 2021 වසරේ සැප්තැම්බර් හා ඔක්තෝබර් මාස දෙක සඳහා, සිය රාජ රාජකාරි කටයුතුවල නිරත වන ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සඳහා රුපියල් 5000/= බැගින් වන විශේෂ දීමනාවක් ගෙවීම;

(5) අනුකාරක සභාවේ සෙසු යෝජනා පළාත් සභා හා අනෙකුත් අදාළ බලධාරීන් සමග එක්ව අධ්‍යාපන අමාත්‍යංශය විසින් මාස හයක් තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම;

මෙම කරුණු අඩංගු ලිපිය අධ්‍ය්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් වෘත්තීය සමිති වෙත ඊට පසුදිනම යවා ඇති බවද වාර්තා වේ.

බැලූ බැල්මට මෙම ලිපිය දැනට පවතින ගුරු–විදුහල්පති ප්‍රශ්න වලට පිළිතුරක් හැටියට පෙනී ගියද එම ලිපියෙන් දන්වා ඇති එකද කාරණයක් සම්බන්ධයෙන් වත් අවසාන තීරණාත්මක නිගමනයක් ප්‍රකාශ වී නැති බව ගුරු සංගම් වල මතය වී තිබේ. මෙය සාධාරණ කාරණයක් හැටියට මෙම ලිපියේ අඩංගු කරුණු පිළිබඳව ඔවුන් පෙන්වා දෙන හේතු දැක්වීම් වලට අනුව පිළිගැනීම්ට සිදුවේ.

එහි සඳහන් වන පළමුවන කාරණය වන්නේ කැබිනට් මණ්ඩලය අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කළ බවයි.

එය සාධනීය ප්‍රතිචාරයක් වශයෙන් බාරගත​ හැකි විය යුතු වුවද නිශ්චිතව වශයෙන් අනුකාරක සභාවේ තීරණ පිළිබඳව නිල වශයෙන් දැනුම්දීමක් සිදු වන තුරු එය සාර්ථක පිළිතුරක් වශයෙන් බාරගැනීම සම්බන්ධයෙන් ගුරු සංගම් දක්වන අවිනිශ්චිත ස්වභාවය සාධාරණ බව විශ්වාස කළ යුතු වන්නේය. මෙතෙක් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් නිර්දේශ කරන ලද කරුණු මොනවා ද යන වග නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නැත.

ලිපියේ දැක්වෙන දෙවන කාරණය යටතේ ගැසට් නිවේදනයක් නොවැම්බර් මස 20 වැනි දිනට ප්‍රථම නිකුත් කෙරෙන බව සඳහන්ව ඇති නමුත් ප්‍රශ්නයට අදාළව එය  ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නොයෙකුත් ගැටලු සහගත තැන් ගුරු සංගම් වලට විමසා දැන්ගැනීමට ඉතිරිව තිබෙන බව ගුරු සංගම් විසින් ප්‍රකාශ කර ඇත. එනිසා ඒතාක් දුරට එම කාරණය ද අවිනිශ්චිත තත්ත්වයකින් පවතින්නක් බව පිළිගත යුතු වේ.

අංක තුන යටතේ දැක්වෙන ‍ප්‍රශ්නයට තුඩු දී ඇති ප්‍රධාන කාරණය වශයෙන් සැලකෙන ගුරු සහ විදුහල්පති වරුන්ගේ වැටුප් සංශෝධන පිළිබඳ ප්‍රශ්නය ගැනද එහි සඳහන්ව ඇත්තේ නිර්දේශ කරන ලද වැටුප් සංශෝධනයන් අදියර කීපයකින් ක්‍රියාත්මක කිරීමට​ කටයුතු කරන බවයි. මෙහිදී කරුණු දෙකක් ඉස්මතු වේ. ඉන් පළමුවැන්න නම් නිර්දේශ කරන ලද වැටුප් සංශෝධන කවරේද යන්න නිශ්චිතව වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු නොවී තිබීම සහ දෙවැන්න නම් එම වැටුප් සංශෝධන වුවද ‍ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පැහැදිලිව සඳහන්ව නොතිබීමයි. අදියර කීපයකින් යනුවෙන් බරපතළ අවිනිශ්චිත තත්ත්වයක් ගුරු සංගම් තුළ හටගෙන ඇත්තේ එය වසර කීපයක් දක්වා දිවෙන අවසාන වශයෙන් ක්‍රියාවට නගන අවධියකදී ඒවා යල්පැනගිය විසඳුම් වශයෙන් පමණක් සැලකිය හැකි ඒවා බවට පත් වීමට ඉඩ තිබෙන පදනමට අනුවය. එම නිසා එම අදියර කවරේද, ඒවා අදියරෙන් අදියර ක්‍රි‍යාත්මක වන්නේ කුමන ආකාරයකටද යනාදී වශයෙන් සවිස්තරව දැනගැනීමට ගුරු සංගම් දක්වන උනන්දුව ගැන උනන්දුව සහ අභිලාෂය ගැන කිසිවෙකුටත් අමනාප විය නොහැක.

4 වන කාරණය වශයෙන් සඳහන් වන සැප්තැම්බර් ඔක්තෝබර් සඳහා රාජකාරිවල​ නිරත වන ගුරුවරුන් හට රුපියල් 5000/= බැගින් වූ විශේෂ දීමනානාවක් ගෙවීම පිළිබඳ තත්ත්වය​ ගැන ගුරු සංගම් වල ප්‍රතිචාරය වී ඇත්තේ එවැන්නක් බලාපොරොත්තු නොවූ බවත් රජයට අවශ්‍ය නම් එම මුදලද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ම වැය කිරීමට​ තීරණය කළහොත් එය ගුරු සංගම් අගය කරන තීරණයක් වන බවයි. එහෙත් එය මතභේදය​කට තුඩු දෙන ආකාරයේ ප්‍රශ්නයක් නොවන බව ගුරු සංගම් විසින් පැහැදිලිවම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

අවසානයට අංක 5 යටතේ ලේකම්වරයා විසින් දැනුම්දී ඇති ලිපියේ වාර්තාවන කාරණය වන්නේ අනුකාරක සභාව විසින් නිර්දේශ කරන ලද අනෙකුත් යෝජනා සම්බන්ධයෙන් අධ්‍ය්‍යාපන අමාත්‍යංශ බලධාරීන් විසින් මාස 6 ක කාලයක් තුළදී සාකච්ඡාකොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. මෙහිදීද ගුරු සංගම් වල මතය වී ඇත්තේ එම කාරණා පිළිබඳව සැලකර සිටිය යුතු ප්‍රශ්න රාශියක් තිබෙන බවත් එම ප්‍රශ්න නිසි අයුරින් අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව විසින් ආමන්ත්‍රණය කර තිබේද යන වග ඔවුන් පැහැදිලිව නොදන්නා බවයි. මෙයද සාධාරණ අවිනිශ්චිතභාවයක් නිසා එයට අවස්ථාවක් සලසා දීම දිගු කලක් තිස්සේ පවතින ගැටලු නිරාකරණය කර ගැනීමේ ගැලපෙන ක්‍රියාමාර්ගයක් වනු ඇත.

ගුරු සංගම් විසින් දක්වා ඇති මෙම අදහස් වලට අනුව රජය එක්ක්තරා ප්‍රමාණයක තවදුරටත් නම්‍යතාවය දැක්වීම තුළින් මුල් කැබිනට් මණ්ඩල තීරණයට පටහැනි නොවන ආකාරයේ පොදු විසඳුම් මාර්ගයකට එළඹීමට හොඳටම ඉඩකඩ පවතින බව දැනට උද්ගතවී ඇති තත්ත්වයන් තුළ පැහැදිලි වේ.

බරපතළ ලෙස දිග්ගැස්සෙමින් පවතින COVID-19 වසංගත තත්ත්වය සහ සෞඛ්‍ය ගැටළුවට අදාළව උද්ගත වී පවතින ආර්ථික අපහසුතාවයන් පිළිබඳවද ගුරු සංගම් වැනි ප්‍රබුද්ධ සාමාජිකත්වය කින් සමන්විත සංවිධානයකට පැහැදිලි එකඟතාවයකට සහ අවබෝධයකට පත් වීමට අපහසුතාවක් තිබිය යුතු නැත. එබඳු  තත්ත්වයක් තුල රජය විසින් ප්‍රතිපත්තිමය​ වශයෙන් එකඟ වී ඇති සාධනීය විසඳුම් මාර්ගය සර්ව සම්පූර්ණ විසඳුම් මාර්ගයක් නොවූවද අවස්ථානුකූලව පිළිගෙන තවදුරටත් ඒවා  සම්බන්ධයෙන් සාකච්ඡාමය ස්වරූපයෙන් ඉදිරියේදී විසඳාගත යුතු තත්ත්වයකට ඒවා පත්කර ගැනීමට ගුරු සංගම් වලට අපහසුතාවක් තිබිය යුතු නැත. එසේ නම් මේසයක් හරහා පාර්ශව දෙකක් මුහුණට මුහුණ ලා කෙරෙන සාකච්ඡාවක දී මෙම තත්ත්වයන් ඉතා පැහැදිලි ලෙස සැලකිල්ලට භාජනය කරමින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟතාවයන්ට පැමිණෙමින් රටේ සිසු පරම්පරාවටත් අධ්‍යාපනයටත් බලපැවැත්වෙන ඉතාමත්ම අහිතකර තත්ත්වයන් මිදී සියලු දෙනාට පිළිගත හැකි විසඳුම් මාර්ගයකට ළඟාවීමට හොඳටම ඉඩකඩක් පවතින බව බාහිරව මෙම ප්‍රශ්නය දෙස බලන ඕනෑම කෙනෙකුට පෙනී යන කාරණයකි.

කිසිම වෘත්තීය​ අරගලයකදී සර්ව සම්පූර්ණ ලෙසින් 100% ක් තමන් ඉල්ලා සිටින අවසාන විසඳුම් මාර්ග ලබා ගැනීමට ඉඩ ලැබෙන අවස්ථාවන් ඉතාමත් විරලබව ඉතිහාසය ඔප්පු කර ඇත. අපහසුතාවයන් මධ්‍යයේ යා හැකි දුරට ඒවා විසඳා ගැනීමට ලැබෙන ඉඩකඩ තුළ ඉදිරියට යමින් තවදුරටත් පහසුකම් සලස්වා ගැනීමේ ඉඩකඩ තබාගනිමින් සමාජයට රටට මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයට හානියක් නොවන ආකාරයට මෙම ප්‍රශ්නය තේරුම් බේරුම් කර ගැනීමට රජය මෙන්ම ගුරු සංගම් නියෝජිතයින් ද ඉදිරිපත් වී සාධනීය ආකාරයට කටයුතු කිරීම රටේ සියලු දෙනාම අපේක්ෂා කරන කාරණය වී ඇත.

පවතින සම්ප්‍රදායට අනුව බොහෝ අවස්ථාවලදී රජය විසින් දරන ස්ථාවරය වී ඇත්තේ ක්‍රියාමාර්ගයක් පවතින අතරතුර කදී සාකච්ඡා පැවැත්වීමේ සම්ප්‍රදායයක් නොපවතින බවයි. ඉතිහාසය තුළ දී ද අවස්ථා කිහිපයකදීම එය සනාථ වී ඇත. ඒ අනුව ගුරු සංගම් වලට කළ හැක්කේ නැවත පාසල් ආරම්භ කිරීම (එනම් වසංගත තත්ත්වය නිසා වසා දමන ලද පාසල් නැවත විවෘත) කරන අවස්ථාවේදී සාමාන්‍ය ආකාරයට සිය රාජකාරි කටයුතු ආරම්භ කරන අතරතුරදීම කැබිනට් අනුකාරක සභාව සහ කැබිනට් මණ්ඩලයේ තීරණවලට හා නිර්දේශවලට අනුකූලව ඉදිරියට වර්ධනය කරග ගත යුතු පියවර සාකච්ඡා කරමින් එම කරුණු ඉදිරියට ගෙන යෑමයි.

මෙය රටේ සියලු පුරවැසියන් විසින් අගය කරනු ලබන එමෙන්ම දෙමව්පියන්ගේ පුරවැසියන්ගේ සහ සියලුම අනිකුත් වෘත්තීය සමිති වල සහෝදර සාමාජිකයින්ගේ ඇගයීමට ලක්වන පියවරක් වනු බව නොඅනුමානය.

එමෙන්ම ගුරු සංගම් හැටියට අනාගතයේදී ද කිසියම් ආකාරයක අනපේක්ෂිත අසාධාරණයක් ඔවුනට සිදු වුවහොත් එසේ නැත්හොත් එවැන්නකට මුහුණ පෑමට අවස්ථාවක් උද්ගත වුවහොත් නැවතත් වරක් සංවිධානයක් වශයෙන් ශක්තිමත්ව එයට එරෙහිව ඉදිරි ඉදිරිපත් වීමට ඔවුනට මේ හේතුවෙන් ශක්තියක් ලැබෙනු ඇත. එනිසා එක පාර්ශවයෙන් ගුරු සංගම් ද අනිත් පාර්ශවයෙන් රජයද එක්තරා දුරකට සාමාන්‍ය සම්ප්‍රදායෙන් බැහැර වෙමින් සාකච්ඡාමය විසඳුම් මාර්ගයකට එළැඹීමේ වටාපිටාවක් මෙම තීරණාත්මක අවස්ථාවේ ගොඩනඟා ගැනීම සියලු දෙනාගේම යහපතට හේතුවක් වනු ඇතැයි විශ්වාස කරමු.

මෛත්‍රීපාල තෙන්නකෝන් (කලම්බු ටෙලිග්‍රාෆ්)