මුස්ලිම් සමාජයේ පුරුෂාධිපත්‍යය: 'අයිතීන් දිනාගැනීමට නම් කාන්තාවත් වෙනස්විය යුතුයි'

මුස්ලිම් සමාජයේ පුරුෂාධිපත්‍යය: 'අයිතීන් දිනාගැනීමට නම් කාන්තාවත් වෙනස්විය යුතුයි'

ලිංගිකත්වය මත පදනම්ව, ආගමික සංස්ථා තුළ තමන්ට "දෙවෙනි පෙළ පුරවැසියන්," ලෙසින් සලකන බව පවසමින් ලොව පුරා දහස් සංඛ්‍යාත කාන්තාවෝ එයට එරෙහිව සටන් වැදී සිටිති.

භික්ෂු නායකත්වයෙන් කෙරෙන නොසලකා හැරීම්වලට එරෙහිව ශ්‍රී ලංකාවේ බොහෝ භික්ෂුණීහු ද එසේ අරගලයක නිරතව සිටිති.

කතෝලික සභාවේ පුරුෂාධිපත්‍යයට එරෙහිව සටන් කරන පූජකවරියක ගැනත් බීබීසී සිංහල සේවය මීට ඉහතදී හෙළි කළේය.

මේ, මුස්ලිම් සමාජයේ පුරුෂාධිපතිවාදී ආකල්පවලට එරෙහිව අරගලයක නිරතව සිටින මුස්ලිම් කාන්තාවක ගැන කතාවකි.

'මුස්ලිම් කාන්තාවෝ කොන් කරලා'

මුස්ලිම් සහ බෞද්ධ දෙමාපිය යුවලකට දාව ශ්‍රී ලංකාවේ උපත ලැබූ නීතිවේදිනී සොරායා මරික්කාර් ඩීන්, සම්මානලාභී ජාත්‍යන්තර ක්‍රියාකාරිනියක සහ ප්‍රජා සංවිධායකවරියකි.

ක්‍රිස්තියානි හා මුස්ලිම් ප්‍රජාවන් අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් නඩීන් පාර් (Nadyne Parr) නම් ක්‍රිස්තියානි මිතුරිය සමඟ එක්ව පිහිටුවන ලද Peacemoms සංවිධානයේ සහ Muslim Women Speakers සංවිධානයේ සම නිර්මාතෘවරිය වන ඇය, කොරෝනාවෛරස වසංගතය සමයේ Wisdom Women නමින් කාන්තාව දිරිමත් කිරීමේ වැඩසටහනක් ද දියත්කොට තිබේ.

Soraya with her son and daughter

මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ වාසය කරන සොරායා ඩීන්, සිය ප්‍රජාවට එරෙහිව එල්ලවන පීඩනය ගැන මෙන්ම මුස්ලිම් ප්‍රජාව තුළින්ම කාන්තාව නොසලකා හැරීමට එරෙහිව ද හඬ නගන ක්‍රියාධාරිනියකි.

වරෙක ඇය "ඇමෙරිකාව තුළ මුස්ලිම්වරයෙකු වීම" මැයෙන් දහසක පිරිසකට දේශනයක් පැවැත්වීම පිණිස සැතපුම් දහසක් රිය පදවමින් ඔරෙගන් ප්‍රදේශය බලා ගියාය.

"ඒ කාලේ වගේ තමයි මට වැටහෙන්න පටන් ගත්තේ මුස්ලිම්වරු හැටියට අපිටත් තව ගොඩක් දේ කරන්න තියෙනව කියල," ඇය බීබීසී සිංහල සේවය සම අදහස් දක්වමින් කියා සිටියාය.

"අපේ කාන්තාවෝ එහෙම පිටින්ම කොන්කරලා. මුස්ලිම් සමාජය තුළ දරුණු විදියට පුරුෂාධිපත්‍යය මුල් බැහැගෙන. ඒ නිසා දෙවියන් එක්ක තමන්ට සම්පූර්ණ අධිපතිවාදී ගනුදෙනුවක් තියනවයි කියල පුරුෂයන් කියන මේ පුරුෂාධිපත්‍යය කඩා විසුරුවන්න බොහෝ දේ කළ යුතුව තියෙනවා."

'කුරානයේ එහෙම කියල නෑ'

සොරායා ඩීන් මතුකරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුනීර් මුලාෆර් මවුලවිවරයා පවසන්නේ, අදින් දශක දෙකකට පමණ ඉහත දක්වා පැවතුනේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අධ්‍යාපනය වෙත යොමු නොකෙරෙන හෝ අධ්‍යාපනය නොලැබෙන වාතාවරණයක් බවය.

"අපේ අම්මලාගේ පරම්පරාවේ තිබුණේ එහෙම තත්ත්වයක්, හැබැයි අද තියෙන්නේ ඒකෙ අනිත් පැත්ත. අද අධ්‍යාපනයට වැඩියෙන්ම යොමුවෙලා තියෙන්නේ මුස්ලිම් පුරුෂයන් නෙමෙයි, කාන්තාව," යනුවෙන් මවුලවිවරයා බීබීසී සිංහල සේවය සමග පැවසීය.

ඔහු පවසන්නේ, 'සුලු අඩුපාඩු' තිබිය හැකි වුවත්, මේ තත්ත්වය යටතේ මීට ඉහතදී මුස්ලිම් කාන්තාවන්ට තිබුණ බාධාවන් දැන් ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින බවය.

"කාන්තාව පුරුෂයා යටතේ ඉන්න ඕනේ කියල ආගමේ කිසිම තැනක නෑ. ගෘහය තුළ, පවුලේ මූලිකයෙක් ඉන්න ඕන නිසා ශුද්ධ වූ කුරානයේ ඒක පැහැදිලි කරලා තියෙනව," මුනීර් මුලාෆර් මවුලවිවරයා පැවසීය.

"තවමත් ගෝත්‍රික මානසිකත්වය තියෙන ඉතා සුළු පිරිසක් ඉන්න පුළුවන් නමුත් බහුතරය දැන් වෙනස් වෙලා."

කෙසේ වුවත් සොරායා පවසන්නේ, ලොව බොහෝ මුස්ලිම් සමාජයේ ඇතැම් පුරුෂයන් තවමත් හත්වෙනි ශතවර්ෂයේ ක්‍රමවේදයන්හි එල්බ සිටින බවය.

"දවසක් පුරුෂයන් සහ කාන්තාවන් දෙගොල්ලම හිටපු කාන්තා මුස්ලිම් පල්ලියක යාඥාව මෙහෙයවන්න කියල මට ආරාධනා කළාම කාන්තාවක් යාඥාවක් මෙහෙයවන එක 'හරාම්' කියල ඉස්සෙල්ලම කියන්න ගත්තේ පුරුෂයෝ නෙවෙයි, සමහර කාන්තාවෝ," සොරායා සිහිපත් කරන්නීය.

මුස්ලිම් සමාජය තුළ පවතින පුරුෂාධිපත්‍යයට අභියෝග කිරීමට නම් මුලින්ම කාන්තාවන්ගේ ආකල්ප වෙනස්විය යුතු බව දැඩිව විශ්වාස කරන සොරායා, කොරෝනා වසංගතය ලෝකය වෙලාගැනීමට ප්‍රථම නායකත්ව වැඩමුළු මෙහෙයවීම පිණිස ලොව පුරා සංචාරය කළාය.

ඇය පවසන්නේ, "පුරුෂයන්ට වඩා තමන් පහත්ය කියන මානසිකත්වය සමාජයේ බොහෝ කාන්තාවන් තුළ දැඩිව මුල් බැසගෙන තිබෙන," අයුරු නයිජීරියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල තමන් කළ සංචාරවලදී පෙනී ගිය බවය.

Women's Islamic conference in Indonesia

| ඉන්දුනීසියාවේ මුස්ලිම් කාන්තාවෝ 2007 දී ළමා විවාහවලට එරෙහිව 'ෆට්වා' නියෝගයක් නිකුත් කළහ

"පුරුෂ ආධිපත්‍යය, සමාජය සහ දෙවියන් වහන්සේ අසතුටු වේවි කියන බය නිසා බොහෝ කාන්තාවෝ නිහඬව ඉන්නවා. මේ තත්ත්වය නිසා අපේ ආගම සහ සම්ප්‍රදාය අලුත් විදියකට අනුගමනය කරන්නේ කොහොමද කියල අලුත් අදහසක් ඉදිරිපත් කරලා බෙදා හදාගන්න හරිම අසීරුයි," සොරායා ඩීන් පවසන්නීය.

"උදාහරණයක් විදියට අන්තර් ආගමික සහයෝගිතා කණ්ඩායම් ගොඩනගන්නේ කොහොමද කියල එක සැරයක් අපි නයිජීරියාවේ පුහුණු වැඩසටහනක් කළා. වැඩසටහන ඉවර වුනාම සමහර කාන්තාවෝ මට තෑගි ගෙනත් දුන්න. මොනවාද දන්නවද ඒ තෑගිවල ලස්සනට ඔතල තිබුණේ? හිජාබ්, නැත්නම් ඔලුව වහන්න ලස්සන රෙදි කඩක්. ඉතින් පණිවුඩය බොහොම පැහැදිලියි. ඒ කාන්තාවන්ට ඕනේ වෙලා තිබුණේ මට හිජාබ් එකක් අන්දන්න."

හිස් පළඳනාව අනිවාර්යද?

මුස්ලිම් හිස් පළඳනාව යනු පූර්ව-ඉස්ලාම් යුගයට අයත් ඇඳුමක් බව පවසන සොරායා අවධාරණය කරන්නේ එය කිසිසේත්ම ඉස්ලාම් ධර්මය හා සම්බන්ධ වූවක් නොවන බවය.

එබැවින් ඇය ආගමේ නාමයෙන් මුහුණු ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරන්නීය.

"ඒක ගැන කුරානයේ කිසිම තැනක කිසිම සඳහනක් නෑ. කුරානයේ තියෙන්නේ විනීත විදියට ඇඳුම් අඳින්න කියල විතරයි."

මුනීර් මුලාෆර් මවුලවිවරයා පවසන පරිදි කාන්තාවන් සහ පුරුෂයන් සැරසිය යුතු ඇඳුම් පිළිබඳව ඉස්ලාම් නීතිය තුළ සටහන් වී තිබේ. ඔහු පවසන්නේ, විශේෂයෙන්ම කාන්තාවගේ මුහුණ සහ අත් හැරුණු විට ශරීරයේ අනෙක් ප්‍රදේශ ආවරණය විය යුතු යයි එහි සඳහන් වන බවය.

"ඒත් මම ඉන්නේ ඊට වඩා ලිහිල් ප්‍රතිපත්තියක. කාන්තාවට යෝජනා කරන්න පුළුවන් ඇඳුම මේ විදියට විය යුතුයි කියල, ඒත් ඒක කාන්තාව සතු අයිතියක්," මුනීර මුලාෆර් මවුලවිවරයා පැවසීය.

"කොහොම වුණත් ඇඳුමෙන් කෙනෙකුගේ දැහැමි බව මනින්න පුළුවන් කියල මම පිළිගන්නේ නෑ."

දේපොළ හිමිකම්

මුස්ලිම් කාන්තා අයිතීන් පිළිබඳ තවත් අංශයක් ද සොරාය ඩීන් පෙන්වාදෙයි. ඇය පවසන්නේ, කාන්තා අයිතීන් උදෙසා කෙරෙන සටන සමානාත්මතාව පිළිබඳ කරුණක් පමණක් නොව දේපොළ හිමිකම් පිළිබඳ අරගලයක් ද බවය. "මුස්ලිම් කාන්තාවන්ට තියන පොහොසත්ම තැන තමා සුසාන භූමිය. මුස්ලිම් කාන්තාවෝ සුසාන භූමියේ භූමදානය කරන්නේ ජීවත් වෙලා ඉන්න කාලේ එයාල එක්ක බෙදාගත්තේ නැති තෑගි, කනකර විතරක් නෙමෙයි එයාලගේ දක්ෂතා වගේම හැකියාවනුත් එක්ක."

ශ්‍රී ලංකාව

සොරායා ඩීන්, ආගම මත පදනම්ව කෙරෙන පීඩාවන්, අධිපතිවාදයන් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන OMNIA Institute for Contextual Leadership ආයතනයේ ක්‍රියාකාරී සාමාජිකාවකි.

නිදහස, කාන්තාව බල ගැන්වීම සහ දැනුම මානව සංවර්ධනය උදෙසා තීරණාත්මක සාධක බව ඇය ගේ අදහසය.

bbc muslim

"මුස්ලිම් කාන්තාව දැනුවත් කිරීම සහ බල ගැන්වීම සඳහා අපි ආගමික කෝණයෙන් ඔබ්බට විමසා බැලිය යුතුයි. ඉස්ලාම් කියල එක දෙයක් නෑ. සම්ප්‍රදාය, සංස්කෘතිය, මානව අර්ථ ගැන්වීම මේ සේරම මූලාශ්‍ර. නමුත් වර්තමානයේ මුස්ලිම්වරු අපේ මූලිකම සහ වැදගත්ම මූලාශ්‍රය වන කුරානය අමතක කරලා."

එබැවින් සාමාන්‍ය ජනතාවගේ සමාජයීය, ආර්ථික සහ දේශපාලන අවශ්‍යතා හඳුනාගත් ඉදිරි දැක්මක් සහිත අනාගමික නායකත්වයක් ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍යව තිබෙන බව ද සොරායා ඩීන් පවසන්නීය.

Soraya with representatives of some other faiths

| සොරායා වෙනත් ආගම්වල නියෝජිතයන් පිරිසක් සමග

බහු භාර්යා සේවනය

"බහු භාර්යා සේවනයට හිමිකම් ලබන මුස්ලිම් පුරුෂයෝ දේපොළ භුක්තිය, දික්කසාදය සහ ළමා හිමිකම් සම්බන්ධ නීතිවලිනුත් බොහෝ වරප්‍රසාද ලබන," බව පවසන ඇය, "පුරුෂයන් නිතරම කියන්නේ ඒක දෙවියන්ගේ නියමය කියල ඒත් මේ බොහොමයක් දේට මූලික වෙලා තියෙන්නෙ මහම්මත් තුමාගේ අභාවයෙන් අවුරුදු 300 කට විතර පස්සේ ප්‍රකාශයට පත්වුණු යල් පැනගිය වදන්," බව ද කියා සිටියාය.

එයට ප්‍රතිචාර දක්වන මුනීර් මුලාෆර් මවුලවිවරයා, ඉස්ලාම් ධර්මය විසින් බහු භාර්යා සේවනය අනුමත කර තිබෙන්නේ මන්දැයි දීර්ඝ විස්තරයක් කළේය.

"ධර්මය ඒක ඉදිරිපත් කරලා තියෙන්නේ හැම කෙනෙක්ම කළ යුතුයි කියන තර්කයෙන් නෙවෙයි, සමාජයේ තිබුණ ගැටලුවකට විසඳුමක් විදියට," ඔහු පැවසීය.

විශේෂයෙන්ම යුද ගැටුම් වැනි කරුණු හේතුවෙන් සමාජය තුළ පුරුෂයන්ට වඩා කාන්තාවන් වැඩිවීම හමුවේ එවැනි නීතියක් හඳුන්වා දෙනු ලැබුවේ කාන්තාවන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින් බව මවුලවිවරයා පෙන්වා දෙයි.

"ඒ වගේ වෙලාවක කාන්තාව නීති විරෝධී දේකට පෙළඹෙන එකෙන් වලක්වලා, හැකියාවක් තියෙන පුරුෂයෙකුට කාන්තාවන් කිහිප දෙනෙක් විවාහ කරගන්න තමයි ඒක අඳුන්වල දීල තියෙන්නේ," ඔහු පැවසීය.

කෙසේ වුවත්, කිසිසේත්ම එය අනිවාර්ය දෙයක් නොවන බව පෙන්වාදෙන මුනීර් මුලාෆර් මවුලවිවරයා, "අද ඒකට වුවමනාවක් නැත්නම් ඒක වෙනස් කළාට ගැටලුවක් නෑ. හැබැයි, තනිවුණ කාන්තාවකගේ ගෞරවය රැකෙන විදිහෙ විසඳුම කුමක්ද කියලත් කතිකාවතක් ඇතිවෙන්න ඕන," යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.

කෙසේ වුවත්, වර්තමානයේ මුස්ලිම් සමාජයේ බලපවත්වන බොහෝ නීති සහ සම්ප්‍රදායයන් "මානව හිමිකම් සහ ජාත්‍යන්තර මූලික හිමිකම්වලට සහමුලින්ම විරුද්ධයි," යන්න සොරායා ඩීන් ගේ ස්ථාවරය වී තිබේ.

"පුරුෂාධිපත්‍යය කියන්නේ ලෝකේ පුරාම පැතිරුණු වසංගතයක්," සොරායා ඩීන් පවසන්නීය. "නමුත් මුස්ලිම් රටවල ඒකට පූර්ණ අනුග්‍රහය ලැබෙනවා."

සරෝජ් පතිරණ / BBC සිංහල