වැටුප් විෂමතාවය විසඳාගැනීම සඳහා ගුරු-විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම සාධාරණද ?

teachers-protest
  • මෙම වැටුප් විෂමතා ගැටලූව විසඳිය හැකිද ?
  • දරුවන්, දෙමාපියන් හා මහජනතාව ලෙස ඒ සම්බන්ධයෙන් අප කළයුත්තේ කුමක්ද ?

අධ්‍යාපනයෙන් තොරව මිනිස් සමාජයක් පැවතිය නොහැකිය. නිෂ්පාදනය හා සේවාවන්, තාක්ෂණික ප‍්‍රගමනය, කලාව හා සාහිත්‍ය, නිර්මාණකරණය ආදී සමාජයක දැකිය හැකි සෑම අංගයක්ම පවත්වා ගැනීම වෙනුවෙන් උවමනා කරන මිනිස් බලය උත්පාදනය වන්නේ අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළිනි. එම අධ්‍යාපන ක‍්‍රියාවලිය තුළ ගුරුවරයාගේ භූමිකාව ප‍්‍රධාන මෙන්ම තීරණාත්මකද වේ.

දැයේ දූ දරුවන් දැනුමෙන් හා කුසලතාවන්ගෙන් සන්නද්ධ කරමින් ඉදිරි කාලයේදී ඔවුන් රටේ විවිධ තරාතිරම්වල වගකීම් ඉසිලිය හැකි තත්ත්වයකට පත් කිරීමේ ප‍්‍රධානම වගකීම පැවරී ඇත්තේ ගුරුවරුන්ටය.

එහෙත් බොහෝ කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ ගුරුවරුන්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් පවතින්නේ දැයේ දූ දරුවන් වෙනුවෙන් එනම් මතු පරපුර වෙනුවෙන් ඔවුන් සමාජය තුළ ඉටුකරන බරපතල වගකීමට කිසිසේත්ම නොගැලපෙන අයුරිනි. ඔවුන්ගේ වැටුප් බෙහෙවින් පහළ මට්ටමක පවතින අතර ඒ හේතුව නිසාම අනෙක් වෘත්තීන්ට සාපේක්ෂව ගුරු වෘත්තියට ඇති සමාජමය පිළිගැනීමද පහළ මට්ටමක පවතී. එසේම වෙනත් රැකියාවක් සොයාගත නොහැකි නම් පමණක් ගුරු වෘත්තිය වෙත යොමුවීමේ තත්වයට ගුරු වෘත්තිය පත්වී ඇත.

මෙය පසුගිය කාලය තුළ ලංකාවේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහල වැටීමටද ප‍්‍රබල හේතුවක් වී ඇත. එබැවින් උගත් බුද්ධිමත් මතු පරපුරක් වෙනුවෙන් මෙම තත්වය වහා වෙනස් කළයුතු කාලය දැන් එළඹ ඇත.

අද නිදහස් අධ්‍යාපන ක‍්‍රමය තුළින්ම උසස් අධ්‍යාපනය අවසන් කරන තරුණ පිරිස් ගුරු වෘත්තිය ප‍්‍රතික්ෂේප කරමින් ඉහළ වැටුප් සහ සේවා පහසුකම් ලැබෙන වෙනත් රැකියාවලට යොමු වෙමින් ඇත. පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකබව කඩා වැටී ඇත. නිදහස් අධ්‍යාපනයේ මළගම කැඳවමින් මහා පරිමාණව පෞද්ගලික පාසැල් සහ විශ්ව විද්‍යාල බිහි වෙමින් පවතී. ඒ තුළින් අධ්‍යාපනය වත් පොහොසත්කම් ඇති සුළුතරයට පමණක් ලබාගැනීමට හැකි තත්ත්වයකට ඇද දමා ඇත. පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් අධ්‍යාපනය, වත් පොහොසත්කම් ඇති අයට පමණක් ලබාගත හැකි වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කරනු ලැබ ඇත. එහෙත් අධ්‍යාපනය යනු වෙළෙඳ භාණ්ඩයක් නොව මානව අයිතිවාසිකමකි.

මෙම තත්වය වෙනස් කරමින් නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ පියවරක් ලෙස ගුණාත්මක පාසැල් අධ්‍යාපනයක් ඇති කිරීමට නම්, ගුරුවරුන්ට සාධාරණ වැටුප් හා සේවා තත්වයන් ලබාදෙමින් ගුරුවරයාගේ සමාජ තත්ත්වය ඉහළ නැංවීම කළ යුතුම දෙයක් ලෙස පවතී. එහෙත් පසුගිය වසර 24ක පමණ කාලයක් පුරා කලින් කල පැවැති ආණ්ඩු විසින් ගුරු වෘත්තිය දැඩි වැටුප් විෂමතා අර්බුදයකට ඇද දමනු ලැබ ඇත. ජාතික අධ්‍යාපනය වෙනුවෙන් දළ දේශීය නිෂ්පාදනයෙන් 6%ක් අවම වශයෙන් වෙන්කළ යුතු වුවද දැනට වෙන්කරනු ලබන්නේ 1.7%ක් පමණ සුළු ප‍්‍රමාණයකි.

2019 ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුවේ පාර්ශවයන් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් ජනතාවට කියා සිටියේ තමන් බලයට පැමිණි වහාම ගුරු වැටුප් විෂමතා ගැටලූව විසඳන බවය. එහෙත් පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම නිසා ගුරු වෘත්තීය සමිති විසින් 2021 ජනවාරියේදී වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කරන ලද අතර, අනතුරුව රජය විසින් ගුරු වැටුප් විෂමතාවයට විසඳුම් ලබාදීම සඳහා සුභෝධනී වැටුප් කමිටුව පිහිටුවන ලදී. එහි වාර්තාව 2021 පෙබරවාරියේදී නිකුත් විය. ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා තමන් විසින්ම පිහිටුවන ලද එම කමිටුව ලබාදුන් විසඳුම් යෝජනා ක‍්‍රියාත්මක කිරීම මෙම රජය මග හරිමින් සිටී. පසුගිය ජුලි මස සිට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් උද්ඝෝෂණ මාලාවක් දියත් කරන ලද්දේ මේ අනුවය.

ආණ්ඩුව එයට ප‍්‍රතිචාර ලෙසින් සිදුකළේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කොට ගුරුවරුන් නොමඟ යැවීමට උත්සාහ කිරීමයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුව, සුබෝධනී වාර්තාව මගින් පෙන්වා දී ඇති ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවයෙන් 1/9 ක කොටසක් පමණක් 2022 වර්ෂයේදී ලබාදෙන බවටද තවත් 2/9ක කොටසක් 2023 වසරේ දී ලබාදෙන බවටද පොරොන්දු ලබාදීමක් සිදුකොට ගුරුවරුන් නැවත නැවතත් රැවටීමට උත්සාහ දරා ඇත. මෙම වැටුප් වැඩිකිරීම අනුව බහුතර ගුරුවරුන්ට 2022 වසරේදී වැටුප් වැඩි වෙන්නේ දිනකට රුපියල් 36 කින් හෝ ඊටත් වඩා අඩු ගණනකිනි.

මතු පරපුරේ යහපත වෙනුවෙන් අධ්‍යාපනය සඳහා රජය විසින් කළ යුතු අනිවාර්ය ආයෝජනයක් වන මෙම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පිළිගත හැකි කිසිවක් හෝ නොකරන වත්මන් ආණ්ඩුව එළඹෙන පළාත් සභා මැතිවරණයේදී ටකරං කොළ, වැසිකිලි කටවල්, සිල් රෙදි බෙදමින් ජනයා රවටා තම ජය තහවුරු කරගැනීම වෙනුවෙන් රුපියල් කෝටි දස දහස් ගණනින් වැය කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටී. අනෙක් අතට මෙම ආණ්ඩුව යටතේ සිදුවූ සීනි බදු වංචාව රු. බිලියන 15කි. පැන්ඩෝරා පත‍්‍රිකා මගින් හෙළිකොට ඇති නිරූපමා රාජපක්ෂ පවුලේ ධනය පමණක් රු. බිලියන 32කි. කෝවිඞ් වසංගතය ගසා කමින් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවලින් ගජ මිතුරන් සොරා ගත් ධනය, සතොස සුදුළූණු වංචාවෙන් ව්‍යාපාරිකයින්ට අයුතු ලෙස සොරා ගැනීමට දුන් ධනය ආදී මෙම රජය යටතේ සිදුවන වංචා, දූෂණ හා අනවශ්‍ය වියදම් නැවැත්වීම මගින් පමණක් වුවද රජයට සුබෝධිනී කමිටුව මගින් නිර්දේශිත ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මුදල් සොයාගත හැකිය.

එසේ වත්මන් ආණ්ඩුවට මෙම ගැටලූව විසඳීමට සියළු හැකියාව තිබියදීත් එසේ නොකොට ගුරුවරුන් සහ දෙමව්පියන් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමටත්, ප‍්‍රාදේශීය දේශපාලනඥයින් යොදා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට බලපෑම් කිරීමටත් අපහාස කිරීමටත් උත්සාහ දරමින් සිටීම පිළිකුල් කටයුතුය. සමස්ත ගුරු ප‍්‍රජාවේ එක්සත් වීම දැක එයින් බියට පත්ව ඇති ආණ්ඩුව වෘත්තීය සමිති ලෙසින් පෙනී සිටින, නිලධාරී වාදයෙන් හිස් උදුම්මවා ගත් ආණ්ඩුවේ වන්දි භට්ටයින්, වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දරදිය ඇදි ඇතැම් භික්ෂූන් සහ රජයේ අතකොළු බවට පත්ව ඇති අතලොස්සක් ගුරු වෘත්තිය සමිති භාවිතා කරමින්, නිර්දේශිත විසඳුම අවුල් කිරීමටත් ගැටුම් මතුකිරීමටත් උත්සාහ දරමින් සිටී. පොලීසිය බාර ඇමතිවරයා සිවිල් සමාජයක පුරවැසියන්ට ඇති අයිතිය ගැන කිසිදු අවබෝධයකින් තොරව, ගුරුවරුන්ට වෘත්තිය සමිති ආඥා පනතින් ලබාදී ඇති අයිතියටද අභියෝග කරමින් කටමැත දොඩවමින් සිටී. සිවිල් අයිතිවාසිකම් උදුරා ගැනීමට දරන මෙම නින්දිත උත්සාහයන්ට එරෙහිව සමස්ත වැඩ කරන පංතියම සියලූ භේද පසෙකලා විරෝධය දැක්වීම වෙනුවෙන් පෙරට ආ යුතුය.

දෙමව්පියන් ලෙස අප විරෝධය දැක්විය යුත්තේ ගුරුවරුන්ට නොව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් පසුගිය වසංගත සමය පුරාවටම කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකොට දරුවන් අනාත කළ, අද කිඹුල් කඳුළු හෙළන ආණ්ඩුවටය. අද මොවුන් පාසල් විවෘත කිරීමට කැස කවන්නේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන අල්පමාත‍්‍ර හෝ තැකීමක් ඇති නිසා නොව දෙමාපියන් හා ගුරු ප‍්‍රජාව අතර ගැටුමක් ඇති කිරීමේ නින්දිත අරමුණ සිත් තුළ තබා ගනිමිනි. දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය විසින් මේ දක්වාමත් කිසියම්ම හෝ වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට තිබේද? නැත. ලංකාව තුළ මේ දක්වාමත් කෝවිඩ් වසංගතය ඉතා දරුණු තත්ත්වයක පවතී. මෙය ලියන මොහොත වන විටත් දිනකට සාමාන්‍ය වශයෙන් කොවිඩ් රෝගීන් 600කට වැඩියෙන් වාර්තා වේ. මෙවන් තත්ත්වයක් තුළ දරුවන්ගේ අධ්‍යාපනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට ඇති විසඳුම හෝ වැඩපිළිවෙල කුමක්ද යන්න දෙමාපියන් හැටියට අප ප‍්‍රශ්න කළ යුතුව ඇත.

මෙම තත්ත්වය පැහැදිලිව අවබෝධ කරගනිමින් දරුවන්ගේ අනාගතය තහවුරු කිරීමේ එකම මග ලෙසින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීම වෙනුවෙන් අතිශය සාධාරණවූත්, විසඳිය හැකිවූත් ගුරු-විදුහල්පති වැටුප් විෂමතා අරගලයට ඔබගේ පූර්ණ සහයෝගය ලබා දීමටත්, බෙලහීනබව හා අසමත්බව පමණක් පෙන්වා ඇති ආණ්ඩුව, ගුරු-විදුහල්පති ගැටලූවලට විසඳුම් ලබාදීම දිගින් දිගටම මගහරිමින්, දෙමාපියන් හා ගුරු ප‍්‍රජාව අතර ගැටුමක් ඇති කිරීමට කටයුතු කිරීම ඉතා පිළිකුල් සහගතව හෙලා දැකීමටත් හැකි සෑම පියවරක්ම ගන්නා මෙන් සියලූම දෙමව්පියන්ගෙන් සහ පොදු ජනතාවගෙන් ඉතා  ඕනෑකමින් ඉල්ලා සිටිමු.

  • ගුරු-විදුහල්පතිවරුන්ට සුබෝධිනී කමිටුවෙන් යෝජිත වැටුප් ලබා දෙනු !
  • ගුරුවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරනු !
  • දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකබව ඉහළ දමනු !
  • අධ්‍යාපනය පුද්ගලීකරණයට දරන උත්සාහයන් නවතනු !
  • අධ්‍යාපනය සඳහා වාර්ෂිකව අයවැයෙන් 6%ක් වෙන් කරනු !

වසර 25 කට වැඩි ගුරු අරගලයේ ඉතිහාසය කෙටියෙන්....

ගුරු වෘත්තීය සමිති විසින් දීර්ඝ කාලයක් තිස්සේ ගෙන යන වෘත්තීය අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස 1994.10.31 දිනැති අංක 834/4 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් 1994.10.06 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි ශී‍්‍ර ලංකා ගුරු සේවය කි‍්‍රයාත්මක කරන ලදී. ඒ අනුව ශ්‍රේණි 5 කින් සමන්විත ගුරු සේවයක් නිර්මාණය කරන ලද අතර, ගුරු සේවයේ 1 ශ්‍රේණිය, 2-1 හා 2-11 ශ්‍රේණිවලට දීප ව්‍යාප්ත සේවා වැටුප් තල ලබාදෙන ලදී. 1995 දී ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට ද දීප ව්‍යාප්ත සේවා වැටුප් තල ලබාදුන් අතර ඒ අනුව ගුරු විදුහල්පති සේවාවලට දීප ව්‍යාප්ත සේවා වැටුප් තල අනුව වැටුප් ලැබුණි. ඒ අනුව ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවය, ශී‍්‍ර ලංකා ගුරු සේවයේ 1, 2-1 සහ 2-11 ශ්‍රේ්ණි සඳහා 30/94 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය අනුව සමාන්තර වැටුප් හිමි විය. ගුරු සේවය ගුණාත්මක භාවයෙන් ඉහළ සේවාවක් බවට පත් කිරීම මෙහි අරමුණ විය.

1997 දී බී.සී. පෙරේරා වැටුප් කොමිසම මගින් කරන ලද නිර්දේශ අනුව 2/97 චක‍්‍රලේඛය මගින් ගුරු - විදුහල්පති සේවාවල වැටුප් වැඩි නොකර රාජ්‍ය සේවයේ අනෙකුත් සේවාවල වැටුප් වැඩි කරන ලද අතර, ගුරු - විදුහල්පති සේවාවල වැටුප් වැඩිකිරීම පිළිබඳව පසුව සලකා බලන බව සඳහන් කෙරුණි. මේ අනුව ගුරු - විදුහල්පතිවරු 1994 සිට ලැබූ දීප ව්‍යාප්ත සේවා වැටුප අහිමි වූ අතර, ගුරු විදුහල්පති සේවාවල වැටුප් විෂමතාවයක් නිර්මාණය විය.

අනතුරුව නිකුත් වූ 15/2003, 9/2004, 1/2006 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ මගින් ද ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් නොකරන ලද අතර, 6/2006 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය මගින් එය තවදුරටත් තීව්‍ර කරන ලදී. වසර 20 ක සේවා කාලයකින් ගුරු සේවයේ 1 ශ්‍රේණියට පිවිසෙන ගුරුවරයාගේ වැටුප 6/2006 චක‍්‍රලේඛය මගින් අධ්‍යාපන පරිපාලන සේවයේ 3 ශ්‍රේණියට පහළින් තැබීම මගින් ගුරු සේවයේ ගුණාත්මක භාවයට බරපතල හානියක් සිදු කරන ලදී. විදුහල්පති සේවයේ 1 පන්තියේ වැටුප ද ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 3 පන්තියට පහළින් තබන ලදී.

මේ තත්වය තුළ 2008 වසරේදී ගුරුවරු උසස්පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් වර්ජනය කළ අතර විසඳුම් ලබාදෙනවා වෙනුවට ශිෂ්‍යයෙකු ලවා SCFR  282/2008 අංකයෙන් යුතුව ගුරු වෘත්තීය සමිතිවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ගුරු වෘත්තීය අරගලය මර්දනය කරන ලදී. පෙත්සම් විභාගයේ දී ගුරු සේවයේ වැටුප් විෂමතාවයක් පවතින බව අධිකරණය පිළිගත් අතර අනෙකුත් සේවාවලින් වෙනම ගෙන ගුරු සේවයේ වැටුප් සැකසිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරන ලදී. එසේම ගුරු සේවයේ 2-11 ශ්‍රේණියෙන් ඉහළ නිලධාරීන්ට වැටුප් වර්ධක 2 ක් ලබාදෙන ලෙසට ද නියෝග කරන ලදී. එහෙත් එම අධිකරණ තීරණ මේ දක්වා කි‍්‍රයාත්මක කොට නැත.

2018 වසරේ දී අධ්‍යාපන අමාත්‍යාංශය එවකට පැවති රනුක්ගේ වැටුප් කොමිසමට ගුරු-විදුහල්පති සේවාවල වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කළ අතර, සමස්ත වැටුප් විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබාදීමට එහිදී යෝජනා කරන ලදී. එම යෝජනාව ද කි‍්‍රයාත්මක නොවූ අතර, 2019 වසරේ දී ගුරු-විදුහල්පතිවරු ගෙන ගිය අරගලය හමුවේ එවකට පැවති රජය විසින් පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් මගින් ගුරු-විදුහල්පති සේවාවන් සංවෘත සේවා බවට පත්කර වැටුප් ගැටලූව විසඳිය යුතු බවට කැබිනට් පති‍්‍රකාවක් අනුමත කළ අතර, වැටුප් කොමිසමේ නිර්දේශ මත 2018 අතුරු වැටුප් යෝජනාව කි‍්‍රයාත්මක කිරීම ද අනුමත කරන ලදී. එහෙත් වැටුප් කොමිසම අදාළ නිර්දේශ ලබා නොදීම හේතුවෙන් එය කි‍්‍රයාත්මක නොවීය.

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් රජයේ පාර්ශවයෙන් තම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ද ජනතාවට කියා සිටියේ තමන් බලයට පැමිණි වහාම ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය විසඳන බවයි. එහෙත් පොරොන්දු වූ විසඳුම් ලබා නොදීම නිසා ගුරු වෘත්තීය සමිති වෘත්තීය කි‍්‍රයාමාර්ග ගැනීමට තීරණය කළ අතර, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් යෝජනා කිරීමට ‘සුභෝධනී’ කමිටුව පත් කරන ලදී. එම කමිටුව මගින් ඉදිරිපත් කරන ලද සමස්ත වැටුප් විෂමතා ඉවත් කිරීමේ යෝජනාව පිළිගත් වෘත්තීය සමිති එම යෝජනා කි‍්‍රයාත්මක කිරීමට බලකරමින් අඛණ්ඩව අරගලයේ යෙදී සිටින අතර රජය එය මගහරිමින් සිටී. මේ තත්වය තුළ 2021 ජුලි 12 සිට ගුරු-විදුහල්පතිවරු අඛණ්ඩ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවල නිරතවී සිටිති.

පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය

ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළඳ, කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා වතු සේවා සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තොරතුරු හා විදුලි සංදේශ සියලූ සේවක සංගමය, ස්වාධීන තටාක සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය, එක්සත් පොදු සේවක සංගමය, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය,  දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ආහාර, බීම සහ දුම්කොළ කර්මාන්ත සේවක සමිතිය, කාන්තා කම්කරු සහයෝගිතා සංගමය, වාණිජ හා කාර්මික සේවක සංගමය, රක්‍ෂණ සේවක සංගමය, සමස්ත ලංකා විදුලි සංදේශ සේවක සංගමය, ටෙලිකොම් ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය, ප්‍රොටෙක්ට් සංගමය

(පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනයකි)