"සමහර කොවිඩ් ළමා මරණවලට මරණ වරෙන්තුව ලියා ඇත්තේ දෙමව්පියෝ"

"සමහර කොවිඩ් ළමා මරණවලට මරණ වරෙන්තුව ලියා ඇත්තේ දෙමව්පියෝ"

වයස අවුරුදු 11ක පාසල් දැරියක් කොවිඩ් ආසාදිතව, කොවිඩ් නියුමෝනියා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේය.

ඔහු තවදුරත් පැවසුවේ මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහලට දෛනිකව කොවිඩ් රෝගය වැලඳුණු දරුවන් 25 දෙනෙකු පමණ ඇතුළත් වන බව යි.

"අපිට ඊයේ දිනයේ දී වාර්තා වුණා, මාරවිල ප්‍රදේශයෙන් අවුරුදු 11ක පමණ ගැහැණු දරුවෙක් කොවිඩ් ආසාදිතව මියගිය බවට. සම්පූර්ණ තොරතුරු අපිට තාම ලැබුණේ නෑ. යම්කිසි ප්‍රමාණයකට තරබාරු දරුවෙක් බවට තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් අපි කරුණු සොයාගෙන යනවා," යනුවෙන් වෛද්‍ය ජී.විජේසූරිය ජනවාරි 31 වනදා මාධ්‍ය වෙත පැවසිය.

Sri Lankan child getting vaccinated

"ඊයේ දිනයේ දී තමා මේ දරුවා මියගියේ. ඒ නිවෙස්වලට ගිහින් පරණ ප්‍රතිකාර සටහන් සියල්ලම පරීක්ෂා කරන්න ඕනේ. අද දිනයේ දී ඒ පරීක්ෂණ වාර්තා ලබාගැනීමේ හැකියාව ලැබේවි. කෙසේවෙතත් මරණ පරීක්ෂණයේ දී අනුව දරුවා කොවිඩ් නියුමෝනියා තත්ත්වය තිබු බවට වාර්තා වෙනවා. එක දවසක් තුළ එතරම් ප්‍රමාණයක් නියුමෝනියාව වර්ධනය වීමට හැකියාවක් නෑ. අපිට ලැබුණ තොරතුරු අනුව මීට පෙර දරුවාගේ දෙමාපියන්ටත් මේ රෝගය වැලඳී තිබෙනවා."

ඔහු තවදුරටත් පැවසුවේ තවමත් අවුරුදු 12ට අඩු පිරිසට කොරෝනා වෛරසයට එරෙහිව එන්නත ලබානොදෙන නමුත් එම දරුවන් මේ වනවිට පාසල් යන බැවින් දරුවන්ගේ යම්කිසි ආකාරයක රෝග ලක්ෂණ පෙන්නුම්කරන්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවට රැගෙන ගොස් අවශ්‍ය වෛද්‍ය උපදෙස් මත පමණක් නිවෙස්ගත ප්‍රතිකාර කරන ලෙසයි.

"මාරවිල, රෝහලට ඇතුළත් කර එක දිනක් ඇතුළත (මේ ළමයා) මියගොස් තිබෙනවා. පුළුවන් තරම් ඉක්මනින් රෝහල්ගත වෙන්න පුළුවන් නම්, ඒ වෛද්‍යවරු පරීක්ෂා කර බලලා තීරණය කරයි නිවෙස්ගත ප්‍රතිකාර ද නැතිනම් සංකූලතා තියෙනවා නම් යම් ප්‍රතිකාර ලබාදීම සඳහා. කිසිම කෙනෙක් රෝහලට යන්න බයවෙන්න එපා. රෝහල් පරිසරය ඉතාම සුරක්ෂිතව සුදානම් කරලා තියෙනවා."

මේ වන විට රටේ නැවතත් කොරෝනා රැල්ලක් හිස ඔසවා ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් පවසන අතර අතර ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ මේ වන විට ඉතා සීග්‍රයෙන් පැතිරුණත් මරණ අනුපාතය ඉතා අඩුයැ යි රජරට විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අංගම්පොඩි පවසයි.

"මේ ලෙඩ්ඩු 1,000ක් (වාර්තා වෙනවා) කියනකොට සමාජයේ 5,000ක් 6,000ක් විතර ඉන්නවා. පරීක්ෂණ කරන්නෙත් නැහැ. රිපෝට් කරන්නෙත් නැහැ. එහෙම බැලුවහම අපේ මරණ අනුපාතය ඉතා අඩු යි. එන්නත්වල ලොකු බලපෑමක් තියෙනවා මේකට... මේ වෙනකොට එන්නත්කරණය ඉතා සාර්ථක යි ලංකාවේ. ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ඔමික්‍රෝන් පැතිරුණත් මරණ අනුපාතය ඉතා අඩු යි, මහාචාර්යවරයා පැවසුවේ ය.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, වසංගතය ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් අවසන් වීමේ ඉඩක් ඇතිබව යි.

"ඇත්ත කථාව නම් ලෝකේ විශේෂඥයෝ ගොඩක් බලාපොරොත්තුව තියෙනවා ඔමික්‍රෝන්වලින් මේක නවතියි කියලා. හැබැයි අඩුම තරමේ වසරක්වත් යනකන් කියන්න බැහැ අපිට මේක මොන පැත්තට හැරෙයි ද කියලා," ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් චෝදනා කරන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවිධිමත් දත්තවලින් වසංගතය ගැන වැරදි මතයක් ජනගත කෙරෙන බව යි.

කොවිඩ් ආසාධිතයන් 40,000කට අධික ප්‍රමාණයක් සමාජයේ වෙසෙන බව ඔහු අනුමාන කළේ ය.

"සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් පරීක්ෂණ සඳහා ලබාදෙන අඩු සැලකිල්ල සහ විද්‍යාත්මක පුරෝකථනයන් කරන්න දක්වන අකමැත්ත නිසා රට තුළ කෝවිඩ් වසංගතය පිළිබඳව වැරදි මතයක් සහ තක්සේරුවක් සමාජගත වෙනවා."

"රටේ පවතින පරීක්ෂණ කිරීමේ දුෂ්කරතාවය නිසා තමන්ට කෝවිඩ් ආසාදනයක් තිබෙන බව හොඳින්ම දන්නා ආසාදිතයන්ගෙන් භාගයකටත් වැඩි ප්‍රමාණයකට පරීක්ෂණයක් කරගන්න ලැබෙන්නේ නෑ. ඒ විදිහට කෝවිඩ් පරීක්ෂණයක් කරගන්න හිතෙන තරමට රෝග ලක්ෂණ හෝ සංකූලතා මතුවෙන්නේ ආසාදිතයන්ගෙන් 80%කටත් වඩා අඩු ප්‍රමාණයකට," රවී කුමුදේශ් පැවසුවේ ය.

ඔහු පවසා සිටින්නේ, රටේ තත්ත්වයට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙන් විසිගුණයකටත් වැඩි ආසාදිතයන් පිරිසක් රට තුළ සිටින බව උපකල්පනය කළ හැකි බව යි.

"...උදාහරණයකට පසුගිය 29 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පවතින වාර්තාවල සඳහන් වන ආසාදිතයන් සංඛ්‍යාව 1993ක්. නමුත් මාධ්‍යයට නිකුත් කරපු වාර්තා අනුව මාධ්‍ය වාර්තා කරන්නේ ආසාදිතයින් සංඛ්‍යාව 1045ක් කියලා. එතනම දෙගුණයකට ආසන්න අඩුවීමක් තියෙනවා. පරීක්ෂණ කරන්න බැරුව හැරිල ගිය හෝ පරීක්ෂණ නොකරපු අය මේ ගොඩට එකතු කළොත් එම සංඛ්‍යාව තවත් දෙගුණයකින් විතර වැඩි වෙනවා," ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පෙබරවාරි මස අග දක්වා දීර්ඝ වෙයි

2022 ජනවාරි 31 දක්වා ක්‍රියාත්මකව තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ චක්‍රලේඛය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පියවර ගත්තේ ය.

මාස හතරකට පසු පළමු වරට, ජනවාරි 30 වන දා වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දහසේ සීමාව ඉක්මවා ගියේ ය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිකුත් කෙරෙන මාර්ගෝපදේශ ඔවුන් විසින් විටින් විට යාවත්කාලීන කෙරෙන බව යි.

"මේ දක්වා බලාත්මකව තිබුණේ දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබූ, ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මකවීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛය යි. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරලා තියෙනවා. විශේෂ හේතුවක් මත සමහර විට නැවත සංශෝධනයට යටත්ව ඉදිරියේ දී මේ පෙබරවාරි මාසය පුරාම මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයම බලාත්මක වෙනවා," ඔහු පැවසුවේ ය.

බූස්ටර් එන්නත ලබාදීමේ ජංගම එන්නත්කරණ වැඩසටහන අද දවසේ දී ද ක්‍රියාත්මක වෙයි.

විහාර මහාදේවී උද්‍යානය, යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය ඇතුළු මධ්‍යස්ථාන රැසක දී බූස්ටර් එන්නත ලබා දෙන අතර, කොළඹ, යාපනය,අනුරාධපුර,මහනුවර, කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, මුලතිව්, කිලිනොච්චි, අම්පාර, ත්‍රිකුණාමලය, මාතර, මොණරාගල, බදුල්ල, නුවර එළිය, හම්බන්තොට, මන්නාරම, සහ මාතලේ දිස්ත්‍රික්කවල වෙසෙන වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් සඳහා යුද හමුදාවේ මෙහෙයවීමෙන් ජංගම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය තීරණය කර තිබේ.

"දුර්මත පතුරුවන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතු යි"

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් ගෙන, සිය දරුවන්ට පවා කොවිඩ් එන්නත ලබා දී ඇති අතර, "අනෙක් අය තවමත් සමාජ මාධ්‍යවලින් තොරතුරු සොයමින් කටකතා හරහා "අවබෝධය" ලබමින් සිටින බව" මහාචාර්ය සුනෙත් අගම්පොඩි පවසයි.

සමාජ මාධ්‍යවල ඇතිකර ඇති තත්ත්වය නිසා, බූස්ටර් එන්නත පිළිබඳ අනවශ්‍ය බියක් පැතිරයමින් ඇති බව ඔහු පෙන්වා දෙයි.

"අද එතරම් මරණ වාර්තා වන්නේ නැති නිසා, මිනිස්සු මැරෙන්නැති නිසා, බිය ටිකක් අඩුවෙලා තියෙනවා," යි පවසන මහචාර්ය අගම්පොඩි පවසා සිටියේ දුර්මත පතුරවන පුද්ගලයින්ට එරෙහිව "මීට වඩා ක්‍රියාමාර්ගයක් නොගැනීම" රජයේ අඩුපාඩුවක් බව යි.

"සමාජ මාධ්‍යවලින් කවුරුහරි මේවා ගැන අහිතකර ප්‍රචාර කරනවා නම් ඒ අයගේ ගිණුම් තහනම් කරන්න තැනට යන්න ඕනේ, මේ දරුවෝ බේරගන්න නම්. මෙච්චර ළඟට ගෙනල්ල දීල තියෙන එන්නත නොගැනීම ගැටලුවක්," මහාචාර්යවරයා බීබීසිය සමග පවසා සිටියේ ය.

ලොවපුරා ළමා මරණවල වැඩිවීමක්

මහාචාර්ය අගම්පොඩි පෙන්වා දෙන්නේ මේ වන විට කොවිඩ්-19 හා සම්බන්ධ ගෝලීය ළමා මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබෙන බව යි.

"ලෝකය පුරා තහවුරු කරන ලද ළමා මරණ 14,000ක් වාර්තා වෙනවා. 20,000කටත් වැඩියෙන් මැරිලා ඇති. එන්නත තිබියදීත් සෑහෙන ප්‍රමාණයක් මෙලෙස මියගිය අය අතර ඉන්නවා. ඉතින් මේකේ වගකීම දෙමව්පියෝ වගේම වැරදි දේවල් ප්‍රචාරය කරන පුද්ගලයෝ බාරගන්න ඕනේ."

Vaccinate children - prof. agampodi's psot

මෙම කොවිඩ් ළමා මරණවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් සඳහා මරණ වරෙන්තුව ලියා ඇත්තේ ඔවුන්ගේම දෙමව්පියන් විසින් බව ‍මහාචාර්යවරයා පවසා සිටියේ ය. එන්නත්විරෝධීන් විසින් එම කොවිඩ් ළමා මරණවලට පසුබිම සලසා ඇතැ යි ඔහු චෝදනා කරයි.

"සිතා හෝ නොසිතා එන්නත් සම්බන්ධයෙන් කරන අහිතකර ප්‍රචාරයන් නිසා දෙමව්පියන් එන්නත දෙන්න මැලිකමක් දක්වනවා ළමුන්ට. කොරෝනා තර්ජනය ළමුන්ට වැඩිවෙලා තියෙනවා, දරුවන්ට එන්නතක් දීලා නැති නිසා. පොදුවේ දරුවන්ට කොරෝනාවලින් තියෙන හානිය අඩු යි. නමුත් සාපේක්ෂව ඒක වැඩි වෙලා එන්නතක් නැති නිසා," මහාචාර්යවරයා පැවසුවේ ය.

"වෙනත් අයෙකු නොදැනුවත් කමින් කියන දේවල් අසා, දෙමව්පියෝ ළමුන්ට එන්නත දෙන එක ප්‍රමාද කිරීම ළමුන්ගේ මරණ වරෙන්තුව ලියනවා හා සමාන යි. තමන්ගේ අතට ගෙනල්ලා දීලා තියෙන එන්නත දරුවන්ට ගහන්නැති එක. ඒකට කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ," ඔහු පවසා සිටියේ ය.

"සමාජ මාධ්‍යයේ මේ වගේ තොරතුරු පතුරුවන සියලුම දෙනා වගකීම ගන්න වෙනවා දරුවන්ගේ අකල් මරණවලට. ළමා මරණ වළක්වගන්න පුළුවන්. ගිය මාසයෙත් ළමා මරණයක් වාර්තා වුණා. ළමා මරණ දිගටම සිද්ධ වෙනවා. ළදරු මරණ අපිට නවත්තගන්න පුළුවන්. වැඩිහිටි අය එන්නත අරන් මැරෙන එක නවත්වාගැනීමේ පොඩි අපහසුවක් තියෙනවා. නමුත් දරුවන්ට මේක හැදෙන එක එන්නතම මඟින් නවත්තගන්න පුළුවන්."

"හැම කෙනාගේම වගකීමක් හැටියට තමන් කියන දෙයක්, තමන් ශෙයාර් කරන දෙයක්, තමන් නොදන්නා වෙන කෙනෙක්ගේ එකක් ශෙයාර් කරනකොට දෙපාරක් හිතලා කරන්න. නොදන්නා තොරතුරක් වෙන අයට දෙන එකෙන් නවතින්න. විශේෂයෙන්ම එන්නත ගැන ගෙන යන අහිතකර ප්‍රචාරවලට අනුබලයක් දෙන්න එපා," මහාචාර්යවරයා ඉල්ලා සිටියේ ය.

"රජය මිලියන ගණනක් වියදම් කර ගෙන්වලා තියෙන එන්නත කවුරුන් හෝ ගහගන්නැත්නම්, ඒක රටටම කරන අපරාධයක්, මොකද මේ සල්ලි රටේ සල්ලි," මහාචාර්ය සුනෙත් අගම්පොඩි අවධාරණය කළේ ය.

(bbc-sandeshaya-sinhala)