ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට දේශපාලනය කිරීම අභියෝගයක් ද?

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට දේශපාලනය කිරීම අභියෝගයක් ද?

'තිරසර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව' අදට (මාර්තු 8 වැනිදා) යෙදෙන 2022 ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව යි. "රටකි, දැයකි, ලොවකි, ඇය" යන්න තේමාව කරගනිමින් මෙවර කාන්තා දින සැමරුම මෙරට දී සමරනු ලබයි.

කාන්තා දිනය සමරනු ලබන අද දිනයේ මේ විමසා බැලීම ශ්‍රී ලංකාවේ කාන්තාවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව යි.

"ලංකාවේ අපි අවුරුදු ගාණක් තිස්සේ කාන්තා දින සමරනවා. අපි උත්සව තියනවා. අයිතිවාසිකම් ගැන කතා කරනවා. නමුත් මේ කියන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. හේතුව, අර උඩ පුටුවල ඉන්න මිනිස්සුන්ට මේ දේවල් සම්බන්ධයෙන් තමන්ගේ හදවතට දැනීමක් නැහැ," නවක නාගරික මන්ත්‍රීවරියක වන නීතිඥ ලිහිණි ප්‍රනාන්දු පවසයි.

දේශපාලනය කිරීමේ අභියෝගය

"ලංකාවේ කාන්තාවක් කාන්තාවකට ඡන්ද දෙන්නේ නැහැ. ඇයි ඡන්ද දෙන්නේ නැත්තේ? කාන්තාවන්ම පිළිගන්න ඕනේ කාන්තාවන්ට මේක කරන්න පුළුවන් කියලා. ලංකාවේ දේශපාලන දිශානතිය කවදහරි වෙනස් කරන්නෙත් කාන්තාවක්," නීතිඥ ප්‍රනාන්දු කියා සිටියි.

ඇය මේ බව පවසා සිටියේ කාන්තාවන් දේශපාලන නායකත්වය පැමිණීමට ඇති බාධාවන් පිළිබඳ අදහස් දක්වමිනි.

"උඩ පුටුවල ඉන්න මිනිස්සුන්ට මේ දේවල් සම්බන්ධයෙන් තමන්ගේ හදවතට දැනීමක් නැහැ. පොලිටිකල් විල් එකක් නැහැ. මේ දේවල් වෙනස් වෙන්න ඕනේ කියලා උඩ පුටුවල ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. පල්ලෙහා මට්ටමේ ඉන්න මිනිස්සු මේවා ගැන කෑගැහුවට, සම්මන්ත්‍රණ තිබ්බට, රිසර්ච් පේපර්ස් එළියට දැම්මට, එතනින් එහාට ලංකාවේ ගැටලුව විසඳෙන්නේ නැහැ."

"අඩුගානේ දරුවන්ගේ ගැටලු, කාන්තාවන්ගේ ගැටලු, සමාජීය ගැටලු විසඳන්න පක්ෂ පාට භේදයකින් තොරව දැන්වත් එකතුවෙන්න කියලා මම කියනවා. ඒක සමස්ත රටක් හැටියට, රටේ නැඟී සිටීමට මහඟු දායකත්වයක් වෙනවා," නීතීඥ ප්‍රනාන්දු අවධාරණය කළා ය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන අතර මෙරට ඡන්දදායකයින්ගෙන් 56%ක් කාන්තාවෝ වෙති. නමුත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225න් කාන්තා නියෝජනය කිසිවිටෙකත් ආසන 13 ඉක්මවාගොස් නැත. එය ප්‍රතිශතයක් ලෙස 6%කි.

මෙරට ජනගහනයෙන් වැඩි ප්‍රතිශතය කාන්තාවන් නියෝජනය කළත්, තීන්දු තීරණ ගන්නා ස්ථානවල කාන්තා නියෝජනය ඇත්තේ අවම මට්ටමක ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නීතිඥ ලිහිණි ප්‍රනාන්දු BBC ය සමග පවසා සිටියේ, "ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට දේශපාලනය කරන්න වෙන්නේ පිරිමි දේශපාලනය කරන පසුබිමක. පුර්ෂාධිපත්‍යයත් එක්ක ෆයිට් කරන රේස් එකක තමා කාන්තාව දේශපාලන කරන්නේ. කාන්තාවන්ට දේශපාලනය කරන වෙන විදිහක් නැහැ."

"කාන්තාවන්ට දේශපාලනය කිරීමටත්, අයිතිවාසිකම් දිනා ගැනීමටත් පිරිමින් එක්ක සටන්කරන්න සිද්ධ වෙලා තියෙනවා. කාන්තාවන්ට ඒ තැන සුදුසු යි කියන එක පිරිමිවත් අද තවම පිළිගන්නේ නැහැ," ඇය පෙන්වා දුන්නා ය.

"25%ක කෝටාවක් ගෙනාව පළාත් පාලන ආයතනවලට. ඒක නිසා කාන්තා නියෝජනය 23% දක්වා වැඩි වුණා, පළාත් පාලන අයතනවල කාන්තා නියෝජනය. නමුත් ඊළඟ මැතිවරණවල දී 25% නාමයෝජනා දීමට පමණක් සීමා කිරීමට ඔවුන් සූදානම් වනවා," ඇය පැවසුවා ය.

නීතීඥ ලිහිණි ප්‍රනාන්දු යෝජනාකර සිටින්නේ වාරයන් දෙකකට හෝ පාර්ලිමේන්තුවට හා පළාත් සභාවට 25%ක කාන්තා නියෝජනය ලැයිස්තුවෙන්ම සහ ඇතුළු කිරීමෙන්ම ලබා දිය යුතු බව යි.

"තාම ලංකාවේ කාන්තාවන්ට දේශපාලනය කරන්න සමබිමක් හැදිලා නැහැ. ලංකාවේ මැතිවරණ නියාමන නීති නැහැ. ලංකාවේ දේශපානය කරන්න මුදල් විශාල ප්‍රමාණයන් ඕනේ. ඒ මුදල් ප්‍රමාණය කාන්තාවන්ට නැහැ," ඇය ප්‍රකාශ කළා ය.

නීතිඥ ප්‍රනාන්දු කියා සිටියේ "පිරිමින් සේ දේශපාලනය කිරීම" කාන්තාවන්ට අපහසු බව යි. "මීට වඩා දේශපාලනය කළ හැකි පරිසරයක් කාන්තාවන්ට හදලා දෙන්න ඕනේ," ඇය පැවසුවා ය.

පක්ෂවල නාම යෝජනා ලබාදීමේ දී සිටම එම ක්‍රියාන්විතය වෙනස්විය යුතු බව ඇය පෙන්වා දුන්නා ය.

politician lihini fernando

 | නීතීඥ ලිහිණි ප්‍රනාන්දු යෝජනාකර සිටින්නේ වාරයන් දෙකකට හෝ පාර්ලිමේන්තුවට හා පළාත් සභාවට 25%ක කාන්තා නියෝජනය ලැයිස්තුවෙන්ම සහ ඇතුළු කිරීමෙන්ම ලබා දිය යුතු බව යි

අනියම් සබඳතා

කාන්තාවන් මුහුණදෙන තවත් අභියෝගයක් වන්නේ අනියම් සබඳතා බව ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර පවසයි.

"කාන්තාවන් මුහුණ දෙන තවත් අභියෝගයක් තමා ඇතිකර ගන්නා අනියම් සම්බන්ධතා. ඒ හේතුවෙනුත් ගැටලු ඇතිවෙලා තියෙනවා. කාන්තාවන්ට අද වන විට බොහෝ අවස්ථා ලැබිලා තියෙනවා. විවිධ රැකියාවල නිරත වෙනවා. ඒ ඔස්සේ විවිධ පුද්ගලයින් හඳුනාගැනීමට ඇයට අවස්ථාව ලැබෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම ක්ෂණික සම්බන්ධතාවලට පෙළඹෙන තත්ත්වයක් දකිනවා."

පොලීසිය පවසන්නේ, ඒ හරහා ගෘහය තුළ ප්‍රචන්ඩත්වයට මුහුණ දීමට කාන්තාවන්ට සිදුවන බව යි.

"බොහෝවිට විවාහක කාන්තාවක් මේ අතර සිටිනවා. ඒ නිසා ඇය නිරන්තරයෙන් ගෘහය තුළ යම් යම් ප්‍රචන්ඩකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා," යි පවසන නියෝජ්‍ය පොලිස්පතිවරිය, "මේ සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට සෑම විටම කාන්තාව තමා වින්දිතභාවයට පත්වෙන්නේයැ"යි ද ප්‍රකාශ කළා ය.

කාන්තාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට දැඩිව කැපවන පාර්ශවයකි.

පොලීසිය පවසන්නේ ඇඟළුම් කේෂත්‍රයේ නියැලී සිටින කාන්තාවන් මෙන්ම අනෙකුත් සියලුම වෘතීන්වල නියෑලී සිටින කාන්තාවන් අන්තර්ජාලය තුළ ද, එදිනෙදා කටයුතු කරගෙන යාමේ දී ද මේ අපරාධ වැරදිවලින් ආරක්ෂණය ලබා ගැනීමට නිරන්තරයෙන් උනන්දු විය යුතු බව යි.

"තමන්ට පාලනය කර ගැනීමට නොහැකි ගැටලුවකට මුහුණ දෙන්නේ නම්, ඒක සඟවාගෙන නොසිට කාන්තා පොලිස් නිලධාරිනියකට තමන්ගේ පැමිණිල්ල ලබා දීමට ක්‍රියා කරන්න ඕනේ," නියෝජ්‍ය පොලිස්පතිවරිය පැවසුවා ය.

නූතන සයිබර් අභියෝග

කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර නූතන අභියෝගය අන්තර් ජාලය හරහා විවිධ හිංසනවලට ලක්වීම බව පොලීසිය පවසයි.

සමාජ මාධ්‍ය ජාලාවන් හරහා විවිධාකාරයේ රැවටීම් ද සිදුවන අතර, මේ රැවටීම්වලට වැඩි වශයෙන් ගොදුරුවන්නේ ද කාන්තාවන් බව පොලිසීය අනාවරණය කළේ ය.

ළමා හා කාන්තා කාර්යංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර පවසා සිටියේ, "කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීම තුළින්, ඒවා නොයෙක් පුද්ගලයින් අතට පත්වීම තුළ ඇය විවිධ බලපෑම්වලට ලක්වෙලා තියෙනවා."

අන්තර්ජාලයට අන් අයගේ අසභ්‍ය පින්තූර, වීඩියෝ දමන පුද්ගලයින් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ඇති බවට ඇය පැවසුවා ය.

ඔවුන්ට අවුරුදු තුනක කාලයකට සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියාවක් ඇතැ යි ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ ය.

පරිගණකයකට ඇතුළුවී දත්ත සොරකම් කිරීම හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධ විවිධ දේ පළකරන්නේ නම් අවුරුදු හතක කාලයක් දක්වා බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාව තිබේ.

ඊට අමතරව අන්තර්ජාලය හරහා විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන්නේ නම්, ඒ තුළින් ජාතීන් අතර, ආගම් අතර අසමගියක් ඇති වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් රටේ අපරාධ නීතියේ ප්‍රධාන මූලාශ්‍රයය වන දණ්ඩ නීති සංග්‍රහය මෙන්ම සිවිල් හා දේශපාන අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ජාතික සම්මුති පනත යටතේ ක්‍රියා කිරීමේ හැකියාව ඇති බවත් ඔහු පැවසීය.

"ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානයේ සයිබර් අපරධ විමර්ශන අංශයක් තියෙනවා. පැමිණිලි කරන්න පුළුවන්. ප්‍රාදේශීය පොලිසිවල ළමා හා කාන්තා කාර්යංශවල අංශ පිහිටුවලා තියෙනවා. එම අංශවලටත් පැමිණිලි කරන්න පුළුවන්."

නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර පවසා සිටියේ කාන්තාවන් මේ ගැන පැමිණිලි කිරීමට පසුබටවන තත්ත්වයක් නිරීක්ෂණය වන බව යි.

"මොකද බොහෝ වෙලාවට මේ වගේ අභියෝගවලට ඇයට මුහුණ දෙන්න වෙන්නේ තනිවම. තමන්ගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට, වංචාකරුවන්ට මුදාහැරීම තුළින් කාන්තාව පීඩනයකට ලක්වෙලා තියෙනවා. නොදැනුවත්කම නිසා හැම විටම ඇය පැමිණිලි නොකර ඉන්න බලනවා."

"අද කාන්තා දිනය දවසේ සියලු කාන්තාවන්ට මතක් කරන්න කැමතියි, ඔබට විරුද්ධව අන්තර්ජාලය තුළ කුමන හෝ අයුරකින් හිංසනයකට ලක්වෙනවා නම් ළඟම තියෙන පොලීසියට පැමිණිල්ලක් කරන්න පසුබට වෙන්න එපා," ඇය පැවසුවා ය.

සයිබර් අපරාධවල වර්ධනයක්

සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ ඉහළයෑම නිසා පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය වසරේ මාර්තු මාසයේ දී විශේෂ පොලිස් කොට්ඨාසයක් පිහිටුවනු ලැබීය.

ඒ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය යි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ, එම කොට්ඨාසය වෙත වසරකට පැමිණිලි 2500කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇතිබව යි.

මේ වන විට එම තත්ත්වය වෙනස්ව ගොස් දිනකට පැමිණිලි 15ක් 20ක් පමණ ලැබෙමින් ඇතැ යි ඔහු සඳහන් කළේ ය.

"සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් මෙය සුවිශේෂී තත්ත්වයක්. සයිබර් අවකාශය තුළ සිදුවන වැරදිවල දී ශ්‍රී ලංකාව තුළ වැඩිපුරම වින්දිතයින් බවට පත්වන්නේ කාන්තාවන්," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ය.

ඡායාරූපවල කාන්තාවන්ගේ මුහුණට වෙනත් අයගේ ශරීර, නැතහොත් නිරුවත් ශරීර පින්තූර කොටසක් එකතුකර ඡායාරූප පළකිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇතැ යි පොලීසිය පැවසීය.

"ගැහුණු ළමුන් තමන් යම් ආකාරයක ආදරය කරපු, එහෙම නැත්නම් යහළුවී සිටි තරුණයින් සමග ගත්ත පින්තූර ඉන්පසුව ඇය විවාහවන දිනයේ, එහෙම නැත්නම් විවාහවීමට පෙර දිනයේ, නැත්නම් විවාහවුණාට පසු දිනයේ අන්තර්ජාලයට එකතු කිරීමේ සිද්ධි දක්නට ලැබෙනවා," ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසා සිටියි.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේ විවිධ ක්‍රම ඔස්සේ සයිබර් අවකාශය තුළ පුද්ගලයින් රැවටීමට ලක් කෙරෙන බව යි.

"යම් අයෙකුට උපන් දිනය දවසේ, විශේෂ දවසක දී තෑග්ගක් ලැබුණු බවට පවසමින් SMS පණිවුඩයක්, ඊමේල් පණිවුඩයක් හෝ වට්ස්ඇප් හෝ ෆේස්බුක් පණිවිඩයක් ලැබෙනවා. ඉන්පසුව සඳහන් වන්නේ තෑග්ගක් ලැබී ඇති බව යි," අජිත් රෝහණ පැවසුවේ ය.

"තෑග්ග ගැනීමට මුදල් තැන්පත් කරන ලෙස දැනුම් දෙනවා. මුදල් තැන්පත් කළ පසු නැවත දැනුම් දෙනවා ඒ තෑග්ගේ වටිනා දේවල් තියෙන නිසා යම් බදු මුදලක් අයකරන නිසා, බදු මුදල තැන්පත් කරන ලෙස. මේ ආකාරයට විවිධ බැංකු ගිණුම් අංක ලබාදෙමින් රැවටීම් සිදුකරනවා," ඔහු පැවසීය.

"මේ ආකාරයට විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා විවිධාකාරයේ රැවටීම් සිදු කරනවා. මේ රැවටීම්වලට වැඩිපුර ලක්වන්නේ කාන්තාවන්. විශේෂයෙන් වයස අවුරුදු 30-40ත් වයසේ මුහුණුපොතේ සිටින, එහෙම නැත්නම් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් තියෙන කාන්තාවන් සමග සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන්නේ නයිජීරියානු ජාතිකයින් වගේ මේ වංචා කරන පුද්ගලයින්. නමුත් ඔවුන් පෙනී සිටින්නේ මහා බ්‍රිතාන්‍යය, අමෙරිකාව, යුරෝපය වැනි රටවල සිටින වෛද්‍යවරුන් හෝ විශේෂ රැකියාවන් කරන අය විදිහට."

"විවිධාකාරයේ අදහස් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව දැනුම් දෙනවා තමාගේ බිරිඳ මියගොස් ඇති බවත්, මේ ශ්‍රී ලාංකික කාන්තාව විවාහකර ගැනීමට කැමති බවත්. ඉන්පසු විශේෂ තෑග්ගක් එවන බවට සඳහන් කරනවා. එම තෑග්ග ගුවන්තොටුපොළට හෝ වෙනත් භාණ්ඩ බෙදාහරින ස්ථානයකට ලැබී ඇති බවට දින කිහිපයකින් පණිවුඩයක් ලැබෙනවා, ෆේස්බුක් ඔස්සේ, වට්ස්ඇප් හෝ දුරකථන ඇමතුමක් මඟින්. මේ ආකාරයට පවසන්නේ එම තෑග්ග ලබාගැනීමට මුදලක් තැන්පත් කරන ලෙස යි. මේ ආකාරයට රැවටීම් සිදුකරනු ලබනවා."

"ගැහැණු ළමුන් විවාහවීමට පෙර පින්තූර ගැනීමේ දී, තමන්ගේ පෙම්වතුන් සමග ගමන් කිරීමේ දී අනවශ්‍ය ආකාරයට හැසිරුනොත්, එය මේ ආකාරයට ඔබ විවාහවන දිනයේ දී, නැතහොත් පෙර හෝ පසු දිනයේ දී තමන්ගේ ස්වාමි පුරුෂයාට ලැබෙන්නට සලස්වන අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙනවා," ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවවාද කළේ ය.

එවැනි සයිබර් අපරාධ සඳහා උපයෝගීකර ගන්නා ලැප්ටොප්, පරිගණක, ජංගම දුරකතන, ටැබ් වැනි විද්‍යුත් උපාංග පොලිස් භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස අධිකරණය ඉදිරිපත් කිරීමට හැකි බව පොලීසිය සඳහන් කළේ ය.

පොලීස් ප්‍රකාශකවරයා පවසා සිටියේ අන්තර්ජාලයට තමුන්ගේ විවිධ තොරතුරු ඉදිරිපත් කිරීමේ දී, විශේෂයෙන්ම කාන්තාවන්, ප්‍රවේශම් විය යුතු බව යි.

මෙවැනි අපරාධයන්හි යෙදෙන පුද්ගලයින් හඹාගෙනගොස් අත්අඩංගුවට ගෙන අධිකණයට ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

තව ද, පරිගණක හෝ සයිබර් අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසය ඊමේල් ලිපින දෙකක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව පරිගණක අපරාධ සම්බන්ධයෙන් පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකි ඊමේල් ලිපිනය වන්නේ: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

මීට අමතරව යම් කෙනෙකුගේ ගිණුමකට අනවසරයෙන් ඇතුළුවී තිබේ නම් හෝ, ව්‍යාජ ගිණුම් මුහුණු පොතේ හෝ වෙනත් තැනක පවත්වාගෙන යන්නේ නම් පැමිණිලි ඉදිරිපත් කිරීමට තවත් විද්‍යුත් ලිපිනයක් හඳුන්වා දී ඇත: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සිය ගිණුමකට අනවරයෙන් ඇතුළුවීමක් සිදුවූ විටෙක දී හෝ තමාගේ අනන්‍යතාව සොරාගෙන ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යන විට දී එම ඊමේල් ලිපිනයට පැමිණිල්ල ඉදිරිපත් කළ හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

"සයිබර් අපරාධවලින් වළකින්න නම් ඕබේ මුහුණු පොතේ ගිණුමට, වට්ස්ඇප් ගිණුමට, විද්‍යුත් තැපෑලට, ඔබට SMS පණිවිඩයක් ලැබුණොත් තෑග්ගක් ලැබිලා කියලා, ඒ ගැන කලබල වෙන්න එපා. අනවශ්‍ය ලෙස මුදල් තැන්පත් කරන්න යන්න එපා. එසේ කළහොත් ඔබ වංචාවක වින්දිතයෙකු බවට පත් වෙනවා," අජිත් රෝහණ පවසා සිටියේ ය.

"විශේෂයෙන්ම සිතා බලා කටයුතු කරන්න. ඔබට ලැබෙන හැම පණිවිඩයක්ම ඒ ආකාරයෙන්ම ශෙයාර් කරන්න, ෆෝවඩ් කරන්න යන්න එපා. එය හොඳින් කියවල බලලා අසත්‍ය තොරතුරක් නොවේ නම්, ඒ වගේම එය යම් යම් ජාතීන් අතර, ආගම් අතර අසමගිය ඇති කරන තොරතුරක් නොවේ නම්, එය ඔබට යවන්න පුළුවන්."

"එසේ නැති නම් ඒ ගැන දෙවරක් සිතා බලා කටයුතු කරන්න, විශේෂයෙන්ම සයිබර් අවකාශය තුළ සිදුවන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිරන්තර අවධියෙන් සිටිනවා," ඔහු පැවසුවේ ය.

"සයිබර් අවකාශය තුළ නිරන්තරයෙන් අපි සංචාරය කරනවා. මෙවැනි වැරදි කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනවා. යම් කෙනෙක් මෙවැනි වරදක් ශ්‍රී ලංකාවෙන් පරිබාහිරව පිටරටක සිට කළත්, ඉන් ශ්‍රී ලංකාව තුළ සිටින වින්දිතයෙකුට බලපාන්නේ නම්, එවැනි අවස්ථාවක දී එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ අධිකරණ බලය මීට අදාල ව්‍යවස්ථාව මඟින් ලබා දී තිබෙනවා."

"ඔබ පරිගණක අපරාධයක, සයිබර් අපරාධයක වින්දිතයෙකු බවට පත්වෙන්න එපා. ඒ වගේ සැකකරුවෙකු බවට පත්වන්නට ක්‍රියා කරන්නත් එපා. එය තමා අපිට දෙන්න තියෙන පණිවිඩය."

(bbc/sandeshya)