සමස්ථ ජාතියම මුහුණ දී ඇති ආර්ථික, සාමාජීය හා දේශපාලන අර්බුදයෙන් මේ රට ගොඩගැනීම සඳහා මේ මොහොතේදී ඉටු කළ යුතු කාර්යභාරය

සමස්ථ ජාතියම මුහුණ දී ඇති ආර්ථික, සාමාජීය හා දේශපාලන අර්බුදයෙන් මේ රට ගොඩගැනීම සඳහා මේ මොහොතේදී ඉටු කළ යුතු කාර්යභාරය

නිදහසින් පසු ගත වූ කාලය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් විසින් විවිධාකර සන්ධාන ගොඩනඟා ගෙන තට්ටුමාරු ක්රමයට මේ රට පාලනය කරන ලදී. මොවුන්ගේ පාලන කාලයන් තුල රට දිගින් දිගටම අගාදයට ඇද දමා ඇති අතර අද රට මුහුණ දී ඇති ආර්ථික, සාමාජීය සහ දේශපාලන අර්බුදයට අඩු වැඩි වශයෙන් ඒ සියලු දෙනාම වගකිව යුතු බව අප තරයේ විශ්වාස කරමු.

මෙතෙක් රට පාලනය කළ පාලකයින් විසින් අනුගමය කළා වූ අමනෝඥ ආර්ථික ප්රතිපත්ති හේතුවෙන් අද වන විට රට විශාල ණය කන්දක හිරකර ඇත. මෙහි ප්රතිඵලයක් ලෙස ලෝකයේ රටවල් අතරින් බංකොලොත් රාජ්යන් අතරට අපගේ රට පත්වෙමින් පවතින අතර වර්තමානයේ ලෝකයේ ඇති අති උද්ධමනකාරී රටවල් හා සන්සන්දනයේ දී උද්ධමනය සීඝ්රලෙස වර්ධනය වන රටවල් අතර උද්ධමන වේගය සියයට 55 ක අගයෙහි තබා ලංකාවට හයවන ස්ථානය හිමි කරදීමට මෙම පාලකයන් විසින් කටයුතු කර ඇත.

2021 නොවැම්බර් 30 දින වන විට රටේ සමස්ථ මුළු ණය ප්රමාණය රුපියල් බිලියන 17,414 කි. මෙම ණය මුදලෙන් රුපියල් බිලියන 6,499 ක් විදේශීය ණය වන අතර ඉතිරි රුපියල් බිලියන 10,915 ක මුදල දේශීය මූලාශ්ර වලින් ලබා ගත් ණය විය. මෙම ණය මුදලින් 2021 වර්ෂයේ පමණක් ලබා ගත් ණය ප්රමාණය රුපියල් බිලියන 2,297 ක් වන අතර මෙම ණය ගෙවීම සඳහා වර්ෂයකට රුපියල් බිලියන 2,000 ක් පමණ වැය වේ. එයින් රුපියල් බිලියන 980 ක්ම ණය පොළී වියදම විය. මෙලෙස ණය ගැනීම් සිදු කල ද එම ණය උපයෝජනය කරමින් කරන ලද ව්යාපෘති වලට සමානුපාතිකව රටේ ප්රාග්ධන වත්කම්වල වැඩි වීමක් සිදු වන බවක් නිරූපණනය නොවීය. හුදෙක්ම මෙම වසර තුලදී ලබා ගත් ණය භාවිතා කර සිදුකරන ලද එකම ක්රියාව පාරිභෝජන ද්රව්ය මිලදී ගැනීමය.

2020 වර්ෂයේ රජයේ සමස්ථ ආදායම රුපියල් බිලියන 1,373 ක් වන අතර එම වර්ෂය තුළ ණය වාරික හා පොළී වශයෙන් ගෙවා ඇති මුදල රුපියල් බිලියන 1,942 කි. මේ අනුව දැනට මෙම වසර තුළ ආදායම ඉක්මවා ගෙවා ඇති ණය ප්රමාණය පමණක් රුපියල් බිලියන 569 කි. රටේ සමස්ථ ණය ප්රමාණය මධ්ය වාර්ෂික ජනගහනයෙන් බෙදූ විට අලුත උපන් බිළිඳාගේ සිට මහල්ලා දක්වා රටේ සෑම පුරවැසියෙකුම රු.794,434 ක ණයකරුවන් බවට පත් කර ඇත. ණය ගෙවීම් සඳහා සංචිත උපයෝගී කර ගැනීම මගින් රටේ විදේශ සංචිත හා රන් සංචිත මුළුමනින්ම සිදී ගොස් ඇති අතර මේ හේතුවෙන් අත්යවශ්ය භාණ්ඩ ආනයනය සඳහා ඩොලර් හිඟකමෙන් රට ඉන්ධන, ගෑස්, කිරිපිටි ඇතුලු අත්යවශ්ය ආහාර හිඟයකට මුහුණ පා ඇත.

අද වන විට අත්යවශ්ය පරිභෝජන ද්රව්ය එනම්, සහල්, කිරිපිටි, සීනි ඇතුළු ලුණු කැටය දක්වා සියළු පරිභෝජන ද්රව්ය මිල ගණන් සියයට 100 කින් ඉහළ ගොස් ඇති අතර අනෙකුත් ද්රව්ය වන ඉන්ධන, ගෑස්, බස් ගාස්තු, දුම්රිය ගාස්තු, විදුලි ගාස්තු හා අනෙකුත් අත්යවශ්ය සෑම භාණ්ඩයක්ම සියයට 55 සිට සියයට 100 ඉක්ම වූ ප්රතිශතයකින් මිල ඉහළට ගොස් ඇත. මේ තත්ත්වය හමුවේ වැඩ කරන පන්තිය ඇතුළු රටේ සියලු ජන කොට්ඨාශයම දැඩි ආර්ථික පීඩනයකට නතුව ඇති අතර වත්මන් පාලකයන් විසින් අනුගමනය කරන ලද හා අනුගමනය කරමින් පවතින අමනෝඥ ආර්ථික ප්රතිපත්ති හා අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙන් රටේ ජනතාව ආර්ථික, සමාජීය හා මානසික ප්රශ්න ගණනාවකට මුහුණපා ඇත. දරුවන්ගේ අධ්යාපනය කඩා වැටී ඇති අතර, විශ්වවිද්යාල මුළුමනින්ම වසා දමා රටේ ඉදිරි පැවැත්ම සඳහා අවශ්ය බුද්ධිමය බලකාය බිහි කිරීමේ මංපෙත් මුළුමනින්ම අවහිර කර ඇත. බුද්ධිමත් මානව සම්පතක් බිහි වීම වැළැක්වීම මඟින් අනාගතයේදී රටට අවශ්ය දියුණු මානව සම්පත් සංවර්ධනය කර ගැනීමේ මංපෙත් අවහිර කර ඇත.

එමෙන්ම රටේ ජනතාව මුහුණ දී ඇති මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් විශේෂයෙන් කුස්සියේ අර්බුදයට මුහුණ දී ඇති මව්වරුන් සහ පියවරුන් දැඩි මානසික ආතතියකට මුහුණ දී ඇති අතර ඒ තුළින් ඔවුන් අධි රුධිර පීඩන, දියවැඩියාව වැනි රෝග වලට ගොදුරු වීමෙන් නිරෝගිමත් සෞඛ්ය සම්පන්න ජාතියක්ව සිටි ඔවුන් අද දරුණු රෝ බිය ව්යසනයට ගොදුරු වී ඇත. දැඩි ජීවන බර හමුවේ මිනිසුන් වේලක් දෙකක් නොකා ජීවත්වීම හා කෙසේ හෝ කුසගින්න නිවා ගැනීමට ගන්නා පෝෂ්යදායී නොවන ආහාර හේතුවෙන් රටේ වත්මන් පරපුර හා අනාගත පරපුර මන්දපෝෂණයෙන් සපිරි ජාතියක් වීමද වැළැක්විය නොහැකිය. එමෙන්ම මෙම ජීවන අරගලය හමුවේ ආර්ථිකමය වශයෙන් කඩාවැටුණු මිනිසුන් මුහුණ දී ඇති මානසික ආතතියන් හේතුවෙන් සමාජය කුපිතවීම හරහා ඔවුන්ගෙන් පිටවන වේදනාව එකිනෙකා මරාගන්නා තත්ත්වයට පත්ව ඇති අතර එය අනාගතයේදී ඉතා භයානක සමාජීය හා සංස්කෘතික පිරිහීමක් කරා රට යොමු වීමට හේතුපාදක වී ඇත.

අද වන විට රටේ නීතිමය ආධිපත්ය මුළුමනින්ම බිද වැටී ඇති අතර රට අගාදයට යවන දේශපාලනඥයින් හා ගණන්දීමේ නිලධාරීන් ඇතුළු පිරිස් ඔවුන්ගේ වගවීම පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගෙන ආ හැකි ශක්තිමත් නීති පද්ධතියක් හෝ ක්රමවේදයක් නොමැති අතර තම හිතුමනාපයට ඔවුන් විසින් රටේ ප්රතිපත්ති මෙහෙයවමින් මහජන මුදල් අයථා ලෙස පරිහරණය කරමින් හා කොල්ලකමින් මහජන මුදල් වංචනිකව ලබා ගෙන ඔවුන් පමණක් සුරසැප විදින තත්ත්වයකට පත්ව ඇත. මෙම කිසිදු දේශපාලනඥයෙක් හෝ පුද්ගලයෙක් වගකීමට යටත් කළ හැකි පරිදි රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවීම හරහා පාලකයන්ට තම වගකීමෙන් නිදහස් වීමට ඉඩකඩ ලැබී ඇත.

ජනතාව පීඩාවට පත්ව තිබියදී හා ඔවුන්ට සහන නොදී මෙගා සංවර්ධන ව්යාපෘති හා මාර්ග ඉදිකිරීම් ව්යාපෘති ක්රියාත්මක කරමින් කෝටි ගණන් මහජන මුදල් කොල්ලකන හා කොමිස් ගිලින මෙම හොර පැලැන්තිය අද වන විට ඉතා සීඝ්රයෙන් මේ රටේ සම්පත් විදේශයන්ට හා බහුජාතික සමාගම්වලට තුට්ටුදෙකට අලෙවි කරමින් සිටී. එමෙන්ම ඔවුන්ගේ අකාර්යක්ෂම පරිපාලනය විසින් තම හෙන්චයියන්ට වරදාන ලෙස රටේ ආර්ථික මර්මස්ථානවල මුල්පුටු ලබා දීම හේතුවෙන් කඩා වට්ටවා ඇති රාජ්ය ආයතන පෞද්ගලික සමාගම් වෙත විකුණා, එම ආයතනවල පරිපාලන වගකීමෙන් හා ගණන්දීමේ වගකීමෙන් දේශපාලනඥයන්, බලධාරීන් හා නිලධාරීන් නිදහස් වීමට උත්සහ කරමින් සිටිති. මෙම දුර්වල පරිපාලනය හා අකාර්යක්ෂම ආර්ථික කළමණාකරණය මනාව උපයෝගී කර ගන්නා අන්තර්ජාතික මූල්ය අරමුදල ඔවුන්ගේ යෝජනා හරහා රටේ රාජ්ය සේවය හකුලමින් අධ්යාපනය, සෞඛ්ය, විදුලිය, ජලය හා ප්රවාහනය වැනි පොදු මහජන සේවා හරහා ජනතාවට ලබාදෙන සහන කපාහැරීමට හා ඒ්වා පෞද්ගලීකරණය කරමින් ප්රති ව්යුහගත කිරීමට නිර්දේශ කර ඇත. තවද ලෝක බලවතුන් විසින් එනම් අසල්වැසි ඉන්දියාව, චීනය හා ඇමෙරිකාව මේ රටේ භූමිය හා සම්පත් තරඟයට අත්පත් කරගැනීමේ ආර්ථිකමය සීතල යුද්ධයක් ආරම්භ කර ඇත.

මෙම ආර්ථික පීඩනයන් දරාගත නොහැකි ජනතාවට රටේ පරිපාලනය හා දේශපාලනඥයින් පිළිබඳ විශ්වාසය මුළුමනින්ම බිදවැටී ඇති අතර ඔවුන් තම අයිතිවාසිකම් උදෙසා තනිතනිව අරගල මාවතට පිවිස ඇත. ඊට ප්රතිචාර වශයෙන් රජය මඟින් ජනතාව මර්දනය කිරීම ආරම්භ කර ඇත. රටේ පාලනය හොබවන ජනාධිපතිවරයා ප්රමුඛ රජය විසින් පෙන්වන පරිපාලනමය නොහැකියාව  ප්රයොජනයට ගන්නා විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන කණ්ඩායම් මේ වන විට තරඟයට ජනතාව මුලා කරමින් ජනතාවගේ ප්රශ්න පසෙකලා තම දේශපාලන න්යාය පත්රයන් සපුරා ගැනීම සඳහා ජනතාවගේ කරපිටින් ගොස් බලය ලබා ගැනීමේ අරගලයක නිරතව ඇත. නමුත් මෙම දේශපාලන පක්ෂ වලට ජනතා ප්රශ්න විසඳීම අරභයා කිසිඳු ප්රායෝගික හා විද්යාත්මක වැඩපිළිවෙලක් නොමැති අතර රටේ ජනතාව මුහුණ දී ඇති ආර්ථික, දේශපාලන හා සමාජීය ප්රශ්න වලට කෙටි කාලීන, මධ්යකාලීන හා දීර්ඝකාලීන ප්රායෝගික හා විද්යාත්මක සැලසුම් ඔවුන් තුල නැත. බලය සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා හුදෙක්ම සංකල්පික යෝජනා පමණක් වන අතර මේවා ඉතා සූක්ෂම ලෙස සමාජගත කරමින් ජනතාව මුලා කිරීමට මේ මොහොතේ ඔවුන් විසින් කටයුතු කරමින් ඇත.

මෙම තත්ත්වය හමුවේ මෙම අර්බුදය නිවැරදිව තේරුම් ගෙන එය කළමණාකරණය කළ හැකි එකම කණ්ඩායම හා බලවේගය වෘත්තිය සමිති ව්යාපාරය බව අප අවබෝධ කරගත යුතුව ඇත. එසේ වුවත් තම පෞද්ගලික න්යායපත්ර මත අද වන විට වෘත්තිය සමිති ව්යාපාරය ද පාට පක්ෂ හමුවේ බෙදී වෙන්වී ඇති අතර ඔවුන් දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්ව තිබීම ඉතාම ඛේදජනක තත්ත්වයකි.  එබැවින් තම පෞද්ගලික අරමුණු, පෞද්ගලික වෘත්තිය සටන් පාඨ මොහොතකට පසෙකලා පාට පක්ෂ බේදවලින් තොරව රට සහ රටේ ජනතාව මුදාගැනීමේ මහඟු කාර්යට අත තැබිය යුතු මොහොත උදාවී ඇත. එබැවින් වෘත්තිය සමිති ව්යාපාරය මේ මොහොතේ ඉටු කළ යුතු තමන්ගේ කාර්යභාරය පහත පරිදි විය යුතු බව අපගේ අදහසයි.

  • වර්තමාන අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව මුලා කරමින් හා හුදු සංකල්පීය යෝජනා පමණක් ඉදිරිපත් කරමින් තට්ටුමාරු ක්රමයට රට පාලනය කළ දේශපාලන ව්යාපාරයන්ට අභියෝගයක් වන පරිදි රටේ ජනතාව මුහුණ දී ඇති ආර්ථික, සමාජීය හා දේශපාලනික අර්බුදයන්ට පිළිතුරක් ලෙස කෙටි කාලීන, මධ්යකාලීන හා දීර්ඝකාලීන වූ රටේ හා ජනතාවගේ දැවෙන සමාජ ආර්ථික ප්රශ්න විසඳීම සඳහා වූ ප්රායෝගික හා විද්යාත්මක වැඩපිළිවෙලක් සකස් කර එය කඩිනමින් ජනගත කිරීම.
  • මේ සඳහා රටේ සියලු බුද්ධිමතුන්, වෘත්තියවේදීන් හා සිවිල් හා බහුජන සංවිධාන ඒකරාශී කරමින් ඔවුන් සමඟ සාකච්ඡා කර ඉහත වැඩපිළිවෙල සංවර්ධනාත්මක තලයට ගෙන ඒම හා ක්රියාවට නැගීම සඳහා පුළුල් මහජන ව්යාපාරයක් ගොඩ නැගීම.
  • රටේ ජනතාව මුහුණ දී ඇති ආර්ථික ගැටළු වියදම අරභයා ජනතාවගේ පැත්තේ සිට ගනිමින් කෙටි කාලීන විසඳුම් උදෙසා පාලකයන්ට බලපෑම් කිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ගයක් ගැනීම.
  • අන්තර්ජාතික මූල්ය අරමුදල හා ලෝක බලවතුන් විසින් රට ආර්ථික, දේශපාලන හා යුධමය වශයෙන් ගිල ගැනීමට සකස් කරන උපාය මාර්ගික සීතල යුද්ධයට එරෙහිව නැගී සිටීම.
  • රටේ සම්පත් හා ඉඩම් විදේශයන්ට විකිණීම නැවැත්වීම සහ දේශපාලඥයන් හා බහුජාතික සමාගම් මඟින් විනාශ මුඛයට ඇද දමා ඇති පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා වූ ක්රියාමාර්ග ගැනීම.
  • රටේ ජනතාවගේ සම්පත් කොල්ලකෑ පිරිස්ගෙන් එම සම්පත් ආපසු පවරා ගත හැකි පරිදි හා නීතියේ ස්වාධිපත්ය හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයටත් ආර්ථික, ධීවර හා කෘෂිකාර්මික ප්රතිපත්ති නීතිගත වන පරිදි හා තම පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් හා තමන්ගේ දේශපාලන න්යාය පත්රයන්ට අනුව රටේ පවතින නීති වෙනස් කළ නොහැකි වන පරිදි එම සියලු කාරණා ආණ්ඩුක්රම ව්යවස්ථාව හරහා තහවුරු කර ගත හැකි ජනහිතකාමී ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සකස් කිරීම.
  • රටේ හොරකම, වංචාව හා දූෂණය මැඩලීම සඳහා දායක වන ආයතන ශක්තිමත් කිරීම හා විගණනය ශක්තිමත් කිරීම.

මෙම කරුණු යථාර්තයක් කර ගැනීම සඳහා මොහොතකට තම වෘත්තිය ගැටළු හා පෞද්ගලික න්යාය පත්රයන් පසෙකලා රට සහ රටේ ජනතාව මේ ව්යසනයෙන් ගොඩනැගීම සඳහා පාට පක්ෂ භේදයකින් තොරව සියලු වෘත්තිය සමිතිවලට හා වෘත්තිය සමිති සම්මේලනයන්ට, වෘත්තියවේදීන්ට හා වෘත්තියවේදී සංවිධානයන්ට හා සියළු සිවිල් හා බහුජන සංවිධානවලට සහෝදරත්වයෙන් යුතුව ආරාධනා කරමු.

ලංකා ගුරු සංගමය

ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා බැංකු සේවක සංගමය, කම්කරු අරගල මධ්යස්ථානය, ලංකා වතු සේවා සංගමය, ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමය, නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ප්‍රෝටෙක්ට් වෘත්තීය සමිතිය, තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය, මොන්ලාර් සංවිධානය, වාණිජ හා කාර්මික සේවක සංගමය, විප්ලවීය සමාජවාදී කේන්ද්රය, එක්සත් පොදු සේවක සංගමය, තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ශ්රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය, එක්සත් ජාතික තැපැල් සේවක සංගමය, විදුලි සංදේශ ඉංජිනේරුමය ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය, එක්සත් පොදු සේවක සංගමය, තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය, ශ්රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමය, මාධ්ය සේවක වෘත්තීය සමිති සම්මේලනය , දුම්රිය ශ්රේණිගත වෘත්තීය සමිති එකමුතුව, ලංකා විදුලි පොදු සේවක සංගමය, ලංවිම නව සේවක සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානය