වරදකාරී හෘදය සාක්‍ෂිය කම්පිත කල සාසාවේ අප්‍රේල් ප්‍රකාශනය

වරදකාරී හෘදය සාක්‍ෂිය කම්පිත කල සාසාවේ අප්‍රේල් ප්‍රකාශනය

මංගල සාදයකට ඇරයුම් ලද ජේසුහු කඩිනමින් අවසන් වූ වයින් අවැසියාව පූරණය කරනුවස් සේවිකාව එක්කල ඇල්දිය, වයින් බවට පෙරළා කල පෙරැළිය  (John 2.1–11) හා සම අරුමැසි පෙරළියක ජීවමාන සාක්‍ෂිකරුවෙක් වීමේ භාග්‍යය මා පෙරදිනෙක ලැබුවෙමි. පරසිදු මහවැලි කේන්ද්‍රය වෙත නන්දෙසින් හා නානා ස්ථරයෙන් එක්ව සිටි සුධිමත්හු රාජ්‍යකරණය හා සබැඳි මහාර්ඝ සම්භාෂණයක පාර්ශවකරුවෝ වූහ.

එය සැබවින්ම ජේසුන් කල අරුමැසි ආශ්චර්යය හා සමය. හුදු සාකච්ජාවක එවන් අරුමැසි බවක් දිස්වන්නේ මන්ද? ඒ අන් කවර කරුණක් නිසා හෝ නොවේ. තමන් නිරායාසයෙන් ලත් නිවහල් චින්තනය හා ආයාසයෙන් ලත් දැනුම් පරිපාකය මහජන නියෝජිතයන්ගේ කිරිපල්ල අතගෑමට හා ඉන් වහනය වන ඕජස්මය දුර්ගන්ධය ආශ්වාදනය කිරීම ම උත්තුංග පරිපාලන සේවය යැයි සිතා සිටි අපරාධ සහකරුවන් අහිනක් ප්‍රබුද්ධත්වයට පත්වීමේ  මංගලෝත්සවය එහි මුළුගැන්වුණු නිසාය.

අප සුමිතුරු ප්‍රභාත් චන්ද්‍රකීර්ති  හා තැපැල්පති රංජිත් ආරියරත්නයන්ගේ ඇරයුමෙන් අපද ඊට එක්වුණෙමු. ඒ මාර්තු 12 සංවිධානය නියෝජනය කරමිනි. එය නම්ගන්වා තිබුනේ 'ආර්ථික හා සමාජයීය පුනර්ජීවනය සඳහා ඉදිරිපත් කරනු ලබන කඩිනම් යෝජනාවලිය' ලෙසිණි. සංවිධායකත්වය හා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙනි. යෝජනාවලියේ හරය විමසීමේ මෙම උත්සහය අරඹන නිමේෂයේ අදාළ සංගමයේ තවත් සමාජජාලා පෝස්ටුවක් ද අප නෙත ගැටුණි. එහි මෙපවත් සඳහන්ව ඇත්තේය.

''ජනතා පරමාධිපත්‍යයට වෙඩි නොතබනු - උණ්ඩයෙන් නොව බුද්ධියෙන් විසඳුම් සොයමු''

ඔබගේ චිත්ත වීථිය කියවීමට මට නොහැකි බව සැබවි. එහෙත් ඉහත කඩිනම් යෝජනාවලිය හා කෙටි පණිවුඩය නිසැකවම ඔබ වික්‍ෂිප්ත කරවනු ඇතැයි මා හඟිමි. එහෙත් ඉන් කලබල නොවන්න. ඒ මහත්මා ගාන්ධිතුමන් මෙසේ කියා ඇති බැවිණි. ''I will not let anyone walk through my mind with their dirty feet.” සැබවින්ම මෙරටේ පරිපාලන සේවය මෙතෙක් ක්‍රියාකොට ඇත්තේ තම බලපරාක්‍රමය පිළිබඳ වගේවගක් නැති,  එනමුත් තම සේවා උන්නතිය හා බැඳුණු සිල්ලර කරුණු මත්තේ අනෙකුත් සේවාවන් හා නිරවි යුද්ධයක පැටළුණු නොදරුවන් සමූහයක් සේය. එබැවින් අත්තුක්කංසන පරවම්භනයේ පරප්‍රාප්ත දේශපාලකයෝ ඔවුන්ගේ සදාකාලික මාස්ටර්ලා විය. එහෙත් දැන් දැන් පෙනී යන්නේ පරිපාලකයෝ තවදුරටත් වහලුන් නොවන බවද? ඉහත ද්විවිධ එළඹුම් සුපිරිය. අනගිය.  ආදර්ශයට සුදුසුය.

පරිපාලන සේවය යැයි කියූ සැණෙන් එකිනෙකා වෙත ඇත්තේ සදය උපහාසගත මිශ්‍ර හැඟුම් සමුදායකි. පරිපාකයට පත් අත්දැකීම් හා භාෂාන්තර දැනුමෙන් අගපත් ඇත්තෝ දැන් දැන් එහි දුලබය. එනමුත් අතීතය වෙත දෝස් තැබීමෙන් ලද හැකි සෙතක් ඇත්තේ නොවේ. එබැවින් සාසා වේ නවමු අරමුණ  විමසීම කාලෝචිතය.

ශ්‍රී ලංකාවේ දෙවන ජනරජය අභියෝගයට ලක්ව අදට දින 20 ක් ගතව ඇත්තේය. එය සමකාමිත්වය කැටිවූ නිර්පාක්‍ෂික විරෝධයක් සේ බලමුළු ගැන්වුණේ මිරිහානබද පැඟිරිවත්ත මංසන්ධියෙනි. ඉලක්කය විධායක ජනපතිය. එය දෙගොඩතලා යන ගංදිය සේ රැළි සරැළි නංවමින් ගමනියම්ගං වදින නිමේෂයේ පරිපාලන සේවා සංගමයද තම සම්මාදම පිළිබඳ වාදාභිමුඛව ඇත්තේය. මෙය අතිශෝක්තිසහගත ප්‍රකාශයක් සේ නොදකිනු මැනවි. නිසැකවම සුසමාදර්ශී වෙනසක් ජනිත කල හැකි පියවරකි. කඩිනමින් සකස්කළේ යැයි දක්වා තිබුණේ වුව පිටු  59 ක් පුරා දිවෙන අදහස් මාලාවක් රැගත් මෙකී යෝජනාවලිය පෞද්ගලිකවම අප වෙතනම් ආගන්තුක නැත. එහෙත් ඔවුනගේ ප්‍රතිපත්තිමය ආස්ථානය පිළිබඳ විපිළසර වන්නෙක් සැනහිය හැකි අනගි අදහස් මාලාවක් එහි අන්තර්ගතය.

ආර්ථික කළමනාකරණය, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, බලශක්තිය, කර්මාන්ත ලෙසින් පෙළගස්වුණු එකී යෝජනාවලිය ආරම්භයේදී සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නම්වූ පරිච්ජේදය ද එකට ගෙන විමසන කල අප සතු ආකල්පය වන්නේ ගාලුමුවදොර වැසි රැට්ටා මතුනොව දෙල්කඳ පොළේ කීර විකුණන වියපත් අම්මා වුව තෘප්තිමත් කල හැකි සිස්ටම් චේන්ජ් එකක් එහි නිරුත්සාහිකව ගලප්පා ඇති බවය.

යෝජනා පරාසය පුළුල්ය. එබැවින් අපගේ ඇල්ම හා බැල්ම යොමුවන්නේ පළමු පරිච්ජේදය වෙතය. එහි යෝජිත වෙනස්කම්හි රන්හුයක් සේ දිවෙන යටිපෙළ මෙපරිදිය.

  • පුරවැසි අයිතීන් පාදක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුවක්වි
  • ධායක ජනාධිපතිධුරයේ අසීමිත බලය කප්පාදු කිරීම
  • විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසිය හා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම (19 + හෙවත් 21 වන ආණ්ඩුක්‍රම සංශෝධනය ලෙස)
  • දේශපාලනීකරණයෙන් තොර ස්වාධීන රාජ්‍ය සේවයක්රා
  • ජ්‍ය මුල්‍ය භාරය මුළුමනින්ම පාර්ලිමේන්තුව දැරිය යුතු වීම

මෙවැනි සංශෝධනාත්මක ප්‍රවේශයක් වෙත පරිපාලකයන් පිවිසිය යුතුව තිබුණේ එක් ඇමෙරිකානු ඩොලරයක් වෙත අපි රුපියල් සියයක් පමණ ගෙවන කාල සිමාවේදිය.දැන් එය රුපියල් 350 කි. ජනපති මැදුර පේන මානයේ ඊට මෙපිටින් පිහිටි කළුකඩ සංකීර්ණයේ එය රුපියල් 400 කි.  එනමුත් පරක්කම ධාතු හෙවත් යමක් ඇරඹීම ම ජයග්‍රහණයක් බැවින් පරිපාලකයන් ගත් මෙකී තැත අප ඉදිරියට රැගෙන යා යුත්තේ ගෙවිලියක් සහල් පොලන්නා සේය. ඇය එකදු හාල් ඇටයක් හෝ අපතේ නොයවා රොඩුබොරොඩු ගසාබසා දාන්නා සේ අපද මීට අදහස් එකතුකළ යුතුව ඇත්තේය.

manjula gajanayake 1

| මංජුල ගජනායක