අප හැරගිය ලීනස්

අප හැරගිය ලීනස්

ලීනස් ජයතිලක යනු අපේ යුගයේ ජීවත්වූ පරමාදර්ශී වාමාංශික අරගලකරුවෙකි. ඔහු අපෙන් වෙන්වූ පුවත සැළවූ මොහොතේ මේ සටහන තබන්නට කල්පනා කළෙමි.

කිතුණු පුජකයකු ලෙස තම සමාජ ජීවිතය අරඹා පසු කාලෙක ලෝගුව ගලවා දමා නවසමසමාජ පක්ෂයට බැඳී වාමාංශික අරගලකරුවෙකු ලෙස තම ජීවිත කාලයම පීඩිතයන් සමග සටන් වැදුණු ලීනස් වයස අවුරුදු 80 ක කාලයක් ගෙවූ තම දිවි සැරිය නිමකර දෑස් පියගැනීම කොතරම් වේදනාවක් වුවද එය යථාර්තයක් ලෙස බාරගැනීමට සිදුවී තිබේ.

මහින්දව ජිනීවා එක්කන් ගියේ ලීනස්

88/89 කාලයේ රටේ සිදුවූ ම්ලේච්ච මිනිස් සංහාර නොඉවසු එවකට ප්‍රගතිශීලී තරුණ මන්ත්‍රී වරයකු ලෙස පෙනී සිටි මහින්ද රාජපක්ෂට එම අමානුෂික මනුෂ්‍ය ඝාතනයන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙනයාමට අවශ්‍යව තිබිණි. එහෙත් ඒ සදහා යොමුවීමට දැනුම හෝ හැකියාවක් නොතිබුණු මහින්දට පිහිටට හිටියේ ලීනස් ජයතිලක සහෝදරයාය. මහින්දට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීම සදහා වාර්තාව සකස් කරන්නේ ලීනස් ජයතිලකයන් විසිනි. ඒ වනවිට මහින්ද සිට ඇත්තේ ජිනීවා යාමට ගුවන් ටිකට් පතක් ගැනීමට හෝ නොහැකි ආර්ථික පසුබිමකය. ඊටද කරදී ඇත්තේ ලීනස්ය. ඔහු Christian Aid නැමැති ආයතනයට කතාකර මහින්දගේ ගමන සදහා වියදම් සපයා දී තිබේ. ඒ ගමනට මහින්ද සමග ගමන් සගයන් ලෙස සහභාගී වන්නේද ලීනස් සහ වාසුදේවය.

වාසූ සහ බාහු කුජීත වී ගිය පසුත් ලීනස්ගේ නොනැවතුණු අරගලය

මුල් කාලයේදී මහින්ද සමග මානව හිමිකම් අරගලයේ නියුතු වුවද ලීනස් මහින්ද සමග ඉදිරියට ගමන් කළේ නැත. ඔහු තෝරාගත්තේ නව සමසමාජ පක්ෂයේ දේශපාලනයයි. වාසූ සහ බාහු සමග එක්ව අරගල මාවතට පිවිස බොහෝ දුරක් ගමන් කළද පසුකලෙක වාසූ මහින්ද සමගත් බාහු රනිල් සමගත් එකතුවී තම දේශපාලන භූමිකාවන් කුජීත කරගන්නා විට ලීනස් තවදුරටත් තම දේශපාලන දැක්ම අතනොහරියේය.

ලීනස්ට ජීවිත එරියස් තිබුණේ නැත.

ලීනස් සමග එකට දේශපාලනය කළ අය මෙන්ම වෙනත් වමේ දේශපාලන ව්‍යාපාර වල සිටි ඇතැමුන් පසුකලෙක තම දේශපාලන ගමන එහෙමපිටින්ම පාවාදී දක්ෂිණාංශික බලවේග සමග නිදිවැදීමට යොමුවන්නට ඔවුන්ගේ පෞරුෂ වෙලාගෙන තිබූ සමාජ එරියස් හේතු වූ බව මගේ විශ්වාසයයි. එහෙත් ලීනස්ට එවන් ජීවිත එරියස් තිබුණේ නැත. කිතුණු පුජකයකු ලෙස තෝරාගත් අල්පේච්ච බව (volantary poverty ) වැළදගෙන සිටි ලීනස් තම අවසාන මොහොත දක්වාම දිවි ගෙවුයේ අල්පේච්ච දුප්පතෙකු ලෙසය. එය ඔහුගේ ජීවිත තෝරාගැනීමය. එහෙත් ඔහු දැනුමෙන් සහ වැඩකිරීමේ ශක්තියෙන් මහා පුරුෂයෙක්ව සිටියේය. 80 ජුලි වර්ජනයෙන් දොට්ට දැමුණු රජයේ සේවකයන් ජීවත් කිරීම සදහා එකසිතින් කැපවුණු. ලීනස් උතුරේ දෙමළ සමාජයේ පීඩිතයන් සමගද. කම්කරු වුර්තීය සමිති සමගද වියලි කලාපයේ පීඩිත ගොවීන් සමගද එක්වී අරගලයට මැදිගත් වී ඔවුන්ගේ ජීවිත අරගලයන් තුළ තම ජීවිතය ලුණු කැටයක් සේ දියවෙමින් ඔවුන්ගේ ජීවිත රස ගැන්වුවේය.

තම දිවිය පුරාම දිලිදු කම කැමැත්තෙන්ම තෝරාගෙන දිලිදුන් සමග කටයුතු කිරීමට ඔහු ලබාතිබු වාමාංශික පන්නරය මෙන්ම ඔහු තුළ බලවත් වී තිබූ කිතුණු අධ්‍යත්මිකත්වයද හේතු වූ බව මගේ තේරුම් ගැනීමයි.

මහින්ද රාජපක්ෂ ගැන ලීනස්ට තිබූ කම්පනය

මුල් කාලයේදී මහින්ද සමග එක්ව අරගල සදහා කටයුතු කළද පසු කාලෙක මහින්ද තුළ ඇතිවූ රුපන්ත්රණය පිළිබද ලීනස්ට තිබුණේ කම්පනයකි. එදා මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගිය මහින්ද ජනාධිපතිවී මුළු රටම කොල්ලකමින් මානව හිමිකම් අමුඅමුවේ කඩකරමින් ගතකළ ජීවිතය ගැන ලීනස්ට තිබුණේ අසීමිත කම්පනයකි. මහින්ද තම ධුරයෙන් ඉවත්වී ගිය දිනයේ සැලසුම් සහගතව මුළු රටම ගිණි අවුලාලු සැටි ලීනස්ට දකින්නට සිදුවුණි නම් ලීනස් අප හැර යන්නේ. කලින් දිනයේය. එහෙත් හොද වෙලාවට එවන විටත් ලීනස් සිටියේ බරපතල ලෙස රෝගීව අසිහියෙනි. මහින්ද රටේ බලවතාවී බලයෙන් ඉදිමී අවසන මුළු රටම ගිණි තබා එය්තිහසිකව කුජීතව් බලය අතහැර යන විට ලීනස් තම දිවිසැරිය නිමාකරන්නේ පරමාදර්ශී වාමාංශික අරගලකරුවකු ලෙසිනි.

සිඩ්නි මාකස් ඩයස්