අම්මලාට අමතක වුණත් මිඩ්වයිෆ් නෝනට මේ දවස අමතක වෙන්නේ නෑ

අම්මලාට අමතක වුණත් මිඩ්වයිෆ් නෝනට මේ දවස අමතක වෙන්නේ නෑ

"දරුවකු ඉපිද පැය විසිහතරක් ගතවීමට මත්තෙන් ප්‍රතිශක්තිකරණ එන්නත් ක්‍රියාවලිය වෙත ඔහු යොමු කරනු ලබයි. එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට ගමින් ගමට ගෙයින් ගෙට ගොස් ඉතාමත්ම පලදායී වූ නිහඬ සේවාවක් ඉටුකරනු ලබන්නේ පවුල් සෞඛ්‍ය ‍සේවා නිලධාරිනියයි."

“සමහර අම්මලාට දරුවාට එන්නත ලබාදෙන්න ඕන දිනය අමතක වෙනවා. ඒත් කිසිම අවස්ථාවක ගමේ මිඩ්වයිෆ් නෝනට තමන් භාරයේ සිටින දරුවන්ට එන්නත් ලබාදීමේ දිනය අමතක වෙන්නේ නැහැ. ඇය එන්නත් ලබාදෙන දිනය ගැන අදාළ නිවසටම ගොස්, එහෙම නැත්නම් දුරකතන ඇමතුමක් ලබාදී හෝ මව දැනුවත් කරනවා. මෙහෙම අමතක වීමක් මවකට වෙන්නේ ඇය දරුවාගේ වැඩ සමඟ අවිවේකි වීම නිසා හෝ රැකියාවක නියැලීම නිසා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් දරුවන්ගේ එන්නත් ක්‍රියාවලිය ගැන විශේෂ අවධානය යොමු කරන්න හේතු තිබෙනවා.”

ඉන් ප්‍රධාන හේතුව වන්නේ බෝවන රෝගවලින් ලැබෙන ආරක්ෂාවය. එසේ ඇතැම් බෝවන රෝගයන්ගෙන් ආරක්ෂා වී සිටීමට උපකාරී වන්නේ ශරීරයේ පවතින ප්‍රතිශක්තියයි.

“ප්‍රතිශක්තිය කියලා කියන්නේ යම්කිසි පුද්ගලයෙකුගේ ශරීරයට පිටතින් ඇතුළුවන ප්‍රතිදේහජනකයන්ගෙන් (Antigen) ඇතිවිය හැකි රෝග සහ අනෙකුත් සංකූලතා වළක්වාගැනීමට ශරීරයේ පවතින හැකියාවයි. වසූරිය, එහෙමත් නැත්නම් මහාමාරිය වැනි රෝග එක්වරක් වැළඳීමෙන් අනතුරුව, නැවතත් එම රෝගය නොවැළඳීමේ සංසිද්ධිය මුල්කොටගෙන තමයි ප්‍රතිශක්තිය කියන වචනය වෛද්‍ය විද්‍යාවට එක්වෙන්නේ. ඒ වගේම තමන්ගේ නොවන ප්‍රතිදේහජනක හඳුනාගනු ලබන්නේ, ශරීරයේ පවතින ප්‍රතිශක්ති පද්ධතිය මගිනුයි.

මෙහිදී ප්‍රතිශක්තිය කොටස් දෙකකට බෙදෙනවා. ඒ විශේෂිත හා විශේෂිත නොවන ප්‍රතිශක්තිය ලෙසටයි.”

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහනට අනුව දරුවෙකුට උපතේදී හෝ ඉපදී පැය විසිහතරක් ඇතුළත බී.සී.ජී. එන්නත ලබාදෙනු ලබයි. මෙහි මාත්‍රාව වන්නේ 0.05ml ය. එය ලබාදෙන්නේ සම මතුපිටට වන අතර ඉන් වළක්වාලනු ලබන්නේ ක්ෂය රෝගයයි.

“එන්නත් දරුවාට ලබාදෙන්න නිසි වයසක් තියෙනවා. නියමිත මාත්‍රාව නියමිත ක්‍රමයට එහි ශීතදාමය ආරක්ෂා කරගනිමින් ලබාදීම වැදගත් වෙනවා. ඒ වගේම ඒ සඳහා නිපුණතාවක් පළපුරුද්දක් එන්නත ලබාදෙන නිලධාරියාට තිබිය යුතුයි. මෙම එන්නත් ක්‍රියාවලියට අනුව දෙවන එන්නත් දරුවාට මාස දෙකක් වනවිට ලබාදීම සිදු කෙරෙනවා.”

එසේ ලබාදෙන එක් එන්නත් මාත්‍රාවක් වන්නේ පෙන්ටාවේලන්ට් (Pentavalent) පළමු මාත්‍රාවයි. එය පංචා සංයුජ එන්නත කියා ද හඳුන්වයි. ඉන් වැළැක්වෙන රෝග වන්නේ ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම, හෙපටයිටිස් බී සහ හිමෝෆීලියා ඉන්ෆ්ලුවෙන්සා බී යන රෝගයන්ය. ඊට අමතරව මුඛ පොලියෝ එන්නතේ (OPV) බිංදු දෙකක් මුඛය මගින් ලබාදෙන අතර, Fipv පළමු මාත්‍රාවද දෙනු ලබයි. එම එන්නත් දෙක මගින් පෝලියෝ රෝග අවධානම වළක්වනු ලබයි.

“මාස හතරේදී ඉහත ලබාදුන් එන්නත් තුනේ දෙවන මාත්‍රාව ලබාදෙනවා. මාස හයේදී ලබාදෙන්නේ පෙන්ටාවේලන්ට් තුන්වන මාත්‍රාව සහ (OPV) මුඛ පෝලියෝ එන්නතේ තෙවන මාත්‍රාව පමණයි. Fipv එන්නත එහිදී ලබාදෙන්නේ නැහැ.

ඊළඟට දරුවාට මාස නවයක් වෙද්දී MMR පළමු මාත්‍රාව ලබාදෙනවා. එය ලබාදෙන්නේ සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා යන රෝගවලින් ආරක්ෂා කරගැනීමටයි. වයස අවුරුද්දක් වනවිට දරුවාට විටමින් ඒ අධිමාත්‍රාවක් (JE) ලබාදෙනවා. එමගින් ජැපනීස් එන්සෙපලයිටිස් රෝග අවධානම වළක්වනු ලබනවා.”

මෙම එන්නත් ක්‍රියාදාමයේ ඊළඟ පියවර DPT එන්නත ලබාදීමයි. එය දරුවාට අවුරුදු එකහමාරක් සම්පූර්ණ වූ විට ලබාදේ. ඒ ගලපටලය, කක්කල්කැස්ස, පිටගැස්ම යන රෝගවලින් ඇතිවන අවධානම වළක්වනු පිණිසය. එහිදී OPV හතරවන මාත්‍රාවත්, විටමින් ඒ අධිමාත්‍රාවත් සමඟ පණු බෙහෙත්ද ලබාදෙනු ලැබේ. MMR දෙක, විටමින් ඒ අධිමාත්‍රාව සහ පණුබෙහෙත් වයස අවුරුදු තුනේදීත් දරුවාට නියමිත පරිදි ලබාදීම සිදුකෙරේ. DT එන්නත ලබාදෙන්නේ දරුවාට අවුරුදු පහක් වනවිටය. එහිදීත් විටමින් ඒ අධිමාත්‍රාව, පෝලියෝ පස්වන එන්නත හා පණුබෙහෙත් ලබාදීම සිදුවේ.

“අවුරුදු එකොළහේදී ගැහැණු දරුවන්ට පමණක් ලබාදෙන එන්නත් තියෙනවා එය HPV-1, හියමන් පැපිලෝමා වෛරස තත්ත්වය හෙත් ගැබ්ගෙළ පිළිකා අවධානම වළක්වාලීම සඳහා ලබාදෙන එන්නතක්. ඉන් මාස හයකට පසු එය ලබාදිය යුතුයි. අවුරුදු දොළහේදී සියලු දරුවන්ට ගලපටලය හා පිටගැස්ම වළක්වන්න ATD එන්නත ලබාදෙනවා. මෙම එන්නත් කාලසටහන ගැන සෑම මවක්ම දැනුවත්ව සිටීම වැදගත්වෙනවා වගේම, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියත් මේ පිළිබඳ විශේධ දැනුමක් සහිතව කටයුතු කරනු ලබනවා.

ඒ වගේම දරුවාට එන්නතක් ලබාදුන් පසු මව්වරුන් නොකළ යුතු දේ තිබෙනවා. එන්නත ලබාදුන් ස්ථානය තවන්න, පොඩිකරන්න හොඳ නෑ. මොකද විෂබීජ සහිත දේකින් තැවීම සිදුකළොත්, එහි විෂබීජ ඇතුළු වී අහිතකර ලෙස දරුවාට බලපාන්න හැකියාවක් තිබෙනවා. මේ පිළීබඳව වගේම එන්නත ලබාදීමෙන් පසු කළ යුතු නොකළ යුතු දේ ගැන සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් කරනවා වගේම, මිඩ්වයිෆ් නෝනා එන්නත් ලබාගත් දරුවන් පිළිබඳව පසුවිපරමක් කරනවා. එතැනදී හදිසි තත්ත්වයක් වාර්තා වුණොත්, ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා දරුවා යොමු කරනු ලබනවා.“

එන්නත් ගනිද්දී දියරමය හෝ කුඩක් (powder) වශයෙන් එය පවතී. ඇතැම් එන්නත් ගබඩා කර තබන්නේ අධිශීතාගාර තුළය. එසේ කුඩක් ලෙස පවතින එන්නත් ලබාදීමට පෙර නියමිත ද්‍රාවකය නිසි ප්‍රමාණයට දමා නැවත සකස් කිරීම සිදුවේ. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අනුව සජීවී එන්නත් අතරින් දියර වශයෙන් පවතින එකම එන්නත මුඛ පෝලියෝ එන්නතය.

මේ කුමන එන්නත් වුවත් නිසි පරිදි නිමිත කලට වේලාවට එහි ගුණාත්මක බව රැකගනිමින් ඔබේ දරු සිඟිත්තාට ලබාදීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය කටයුතු කරනු ලබන්නේ, දරුවකුගේ නිරෝගිකම එම පවුලට වාගේම රටටද අයිති අනගි දෙයක් බැවිනි.

දීපා වසන්ති එදිරිසිංහ (ධරණී)