රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය අකැපද?

රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය අකැපද?

ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය හා විවේචන මැඩ පැවැත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු - එක්සත් ජාතික පක්ෂ වත්මන් ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වෙමින් සිටින බවට සමාජ ක්‍රියාකාරීන් විසින් චෝදනා නඟයි.

එලෙස විවේචනයට හා ආන්දෝලනයට තුඩු දී ඇති රජයේ නවතම ක්‍රියාමාර්ගය රාජ්‍ය සේවකයින්ට සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීමයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා (සැප්තැම්බර් 27 වැනිදා) නිකුත් කළ එම චක්‍රලේඛයට අනුව ආයතන සංග්‍රහය අනුගමනය නොකර රාජ්‍ය නිලධාරීන් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම විනය ක්‍රියාමාර්ග ගැනීමට තුඩු දෙන වරදකි.

නව චක්‍රලේඛය රාජ්‍ය සේවකයින්ගේ කට වැසීමටද?

රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙගේ අත්සනින් (සැප්තැම්බර් 27) චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය 6 වන හා 7 වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බව චක්‍රලේඛයේ දැක්වේ.

තවද දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීමද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාළ චක්‍රලේඛයේ සඳහන් ව ඇත.

එවැනි වරදවල් කරන නිලධරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙම චක්‍රලේඛය නිකුත්වන්නේ වෛද්‍යවරුන් ඇතුළු රජයේ විවිධ නිලධාරීන් විසින් දිගින් දිගටම රටේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවට ප්‍රකාශ කිරීම හා ඒ හා සම්බන්ධ විවිධ සිද්ධීන් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය හරහා ප්‍රකාශ කිරීමත් සමඟ වීම විශේෂත්වයකි.

මර්දනය කරලා, තර්ජනය කරලා, චක්‍රලේඛ ගහලා, කටවහල් වහලා, සත්‍ය වහන්න බැහැ

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් අවධාරණය කළේ, "මර්දනය කරලා හෝ, තර්ජනය කරලා හෝ, චක්‍රලේඛ ගහලා හෝ කටවහල් වහලා, සත්‍ය වහන්න බැහැ කියන එක තමයි අපිට කියන්න වෙන්නේ". යනුවෙනි.

"වහපු සත්‍යයේ ප්‍රතිඵල නිසා අද රට බංකොලොත් රටක් බවට පත්ව ඇතැයි" ද ඔහු සඳහන් කළේය.

රවී කුමුදේශ් පැවසුවේ, "මේ වන විට රටේ පවතින බොහෝ වැරදි ක්‍රියාමාර්ග සහ මේ රට සමාජ පරිවර්තනයකට ලක්කරන්න ඕනේ, නැත්නම් සිස්ටම් චේන්ජ් එකක් කරන්නට ඕනේ කියන රටේ පුරවැසියන්ගේ හඬත් එක්ක එකතු වෙලා තියෙන සිවිල් ක්‍රියාකාරීන්ගේ හඬ වහන්න සෞඛ්‍ය අමාත්‍යංශය මුලින් උත්සාහයක් ගත්තා, චක්‍රලේඛයක් නිකුත් කරලා. දැන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා."

"මේ චක්‍රලේඛ තුළ අනියම් තර්ජනයක් කරන්නේ. රටේ මිනිස්සුන්ගේ කට වහලා, ඇත්ත වහලා මේ සිදුවන ක්‍රියාවලිය තමන්ට අවශ්‍ය විදිහට පාලනය කර ගන්න. අපි රජයට කියන්නේ මේ ඇත්ත හෙළිදරව් කරන්නේ ආණ්ඩුවත් එක්ක තියෙන තරහටවත්, පෞද්ගලිකව තියෙන තරහකටත් නෙමේ."

ඔහු අවධාරණය කළේ, "නිවැරදි කර ගන්නට ඕනේ නම් රට, නිවැරදි වෙන්නට ඕනේ නම් මේ ක්‍රමවේදය මේවට වැඩි ඉඩ කඩක් ලැබෙන්නට ඕනේ. නමුත් අපිට පේන්නේ මේ වෙන කොට මර්දනය කරන එක, කටවහන එක, ත්‍රස්තවාදී පනත් ගේන එක, පාරේ ඇවිදින්න තහනම් කරන එක වගේ ක්‍රියාවලියක්."

මේක කිසිසේත් මේ රට අපේක්ෂා කරන සමාජ පරිවර්තනයේ උවමනාවන් වෙනුවෙන් වන එකක් නොවන බව ද රවී කුමදේශ් අවධාරණය කළේය.

"අපි ඉල්ලා සිටිනවා, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, සෞඛ්‍ය ලේකම්වරයා වගේ අයවළුන් මෙහෙය වන අදිසි හස්තයට මේ වැරදි මාර්ගය තුළ බොහෝ දුර ගියොත් නැවත හැරෙන්නට බැරි මාර්ගයක් වේවි කියලා" ඔහු පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, "රටේ සියලු පුරවැසියෝ මේ විදිහට දුක්විදින්නේ දේශපාලනඥයින්, පරිපාලකයින් ගත් වැරදි තීන්දු නිසා" බවයි.

විද්‍යුත් හා නව මාධ්‍ය නියාමනයට විකාශන අධිකාරියක්

මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා නව නීති පැනවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර තිබේ.

අමාත්‍ය මණ්ඩලයට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ, රූපවාහිනී, ගුවන් විදුලි හා නව මාධ්‍යය නියාමනය සඳහා විකාශන අධිකාරියක් පිහිටුවිය යුතු බවයි.

ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂගේ සභාපතීත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට රජය තීරණය කර තිබේ.

රූපවාහිනී, ගුවන් විදුලි හා නව මාධ්‍ය අන්තර්ගතයන් නියාමනය කිරීමට මෙරට තුළ මූලික නීතියක් නොමැති නිසා එවැනි මාධ්‍ය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදීත් ඒවායේ අන්තර්ගතයන් විකාශය කිරීමේදීත් ඇතැම් විට විවිධ පාර්ශවයන්ට ගැටලුවලට මුහුණදීමට සිදුව ඇතැයි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

ඇතැම් මාධ්‍ය සදාචාර විරෝධී අයුරින් ජනතාව තුළ වෛරී අදහස් ඉස්මතුවන අකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෑත කාලයේදී රට තුළ විවිධ ගැටලු මතුව ඇති බව ද අමාත්‍යවරයා සිය යෝජනාවෙන් පෙන්වා දී තිබේ.

ඒ අනුව ජනතාවට වග වන මාධ්‍ය සංස්කෘතියක් හා විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට හැකි අයුරින් නව විකාශන නීතියක් හඳුන්වා දිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවධාරණය කළේය.

කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ, "ඉතාම නොදියුණු සංස්කෘතිකමය හර පද්ධතියක් තියෙන රටක් ලෙස සන්නිවේදනයක් වෙලා තියෙනවා ලෝකය තුළ. අපි කැමති වුණත් අකමැති වුණත් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට විශාල හානියක් සිද්ධ වෙන ආකාරයේ සිදුවීම් නිවැරදි කිරීමේ වැඩි ශක්තියක් තිබෙන්නේ අපේ රටේ සමාජ මාධ්‍ය හා ජාතික තලයේ මාධ්‍ය ආයතනවලට කියලා අපි විශ්වාස කරනවා."

"සියලු මර්දනය ජනතාව නිශ්ශබ්ද කිරීමටයි"

මේ අතර වත්මන් රජය වසර 64ක් පැරණි පනතක් හමස් පෙට්ටියෙන් ගෙන පැරණි නීතිය පවා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය රජයවත් නොකළ ආකාරයට ජනතාව මර්දනය කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කළේය.

මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව දරුණු යෝජනාවක් ගෙනැවිත් ඇතැයි පෙන්වා දුන් ජී.එල් පීරිස් කියාසිටියේ 'අපේම ජනතාව මර්දනයට සැලසුම් සහගතව ගෙන යන වැඩපිළිවෙළේ සෘජු ප්‍රතිඵලයක් ලෙස රට මෙලෙස ජාත්‍යන්තරය හමුවේ අසීරුතාවට පත්වෙනවා' යැයි ද ඔහු පැවසීය.

මෙම වැඩපිළිවෙලට එරෙහිව තමන් විපක්‍ෂය ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත්, උපරිම උත්සාහයක යෙදෙමින් මේ මර්දනාකාරී වැඩපිළිවෙලට එරෙහිව කටයුතු කරන බවත් (සැප්තැම්බර් 27) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පැවසීය.

රට තුළ අධිආරක්‍ෂිත කලාප නම් කර, මිලිටරි කඳවුරක් ලෙස ස්ථාපිත කෙරේ නම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම කළ නොහැකි බව ද ජී.එල් පීරිස් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සියලු මර්දන සිදුවන්නේ මිනිසුන් නිශ්ශබ්ද කිරීමට බව කී ජී.එල් පීරිස් මන්ත්‍රීවරයා රටේ පවතින මන්ද පෝෂණය, ආහාර හා ඖෂධ හිඟය ආදිය ගැන ජනතාවට තොරතුරු හෙළි කරන නිලධාරීන් පවා විමර්ශනවලට බව පවසමින් ගෙන්වා ගෙන බියකිරීමට උත්සාහ කරන බව ද මෙහිදී කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමක්

සමාජ මාධ්‍යය හා විද්‍යුත් මාධ්‍යය නියාමනය පිළිබඳ අධිකාරියක් ඇතිකිරීමට කැබිනට් අනුකමිටුවක් පත්කිරීම ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමක් බව සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය පෙන්වා දෙයි.

මෙය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් පුරවැසියන්ට ලබාදී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කරන, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය හකුලා දැමීමට අඩිතාලම් දමන ආණ්ඩුවේ තවත් ළඳරු උත්සාහයක් බැවින් එකී ක්‍රියාවලිය පරාජය කළ යුතු බව කොන්දේසි විරහිතව විස්වාස කරන බව සර්වපාක්ෂික අරගලකරුවෝ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේය.

"කුසට හරි අහරක් නැතිව රටේ දරුවන් හාමතේ මහමඟ ඇදවැටෙමින් සිටින රටක, දිනපතා මිනීමැරුම් මංකොල්ලකෑම් සිදුවීම් සියගණනින් සිදුවන සමාජයක, දහස් ගනනින් වෘත්තිකයන් ව්‍යාපාරිකයන්, උගතුන්, තරුණයන් රට හැර විදේශගත වන යුගයක රටේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීමේ මුවාවෙන් රට මෙවන් දුක්ඛිත ඉරණමකට ගොදුරු කළ අමනෝඥ දේශපාලකයන් විසින්ම ඔවුන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යාමේ සහ ආරක්ෂා කිරීමේ පටු උවමනාවෙන් රටේ මිනිසුන්ගේ කටට බලහත්කාරයෙන් යකඩ මුකවාඩම් සවිකිරීමට උත්සාහ කිරීම බරපතල ඛේදවාචකයකි."

රටපුරා අධි ආරක්ෂිත කලාප නම් කරමින් විවිධ අණපනත් හරහා පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත තබමින් වික්‍රමසිංහ ආණ්ඩුව මේ ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයකට නම් ඊට එරෙහිවීම සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේම කාර්යයක බව සර්වපාක්ෂික අරගලකරුවන් පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි අමනෝඥ ක්‍රියාවලිය නවතා දමන ලෙසත්, කල් ඉකුත් වූ දේශපාලන විකටයන්ගේ ලනු ගිලීමෙන් ප්‍රවේසම් වන ලෙසත් ජනතාවාදීව ජනතාවගේ සැබෑ ප්‍රශ්න විසදීමට අවශ්‍ය ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසත් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානය රජයට බලකර සිටියි.

(bbc/sandeshaya)