මාලි අල්මේදා” කියා දෙන ජාත්‍යන්තර පිරිහීමේ සම්මානනීය ප්‍රකාශනය

මාලි අල්මේදා” කියා දෙන ජාත්‍යන්තර පිරිහීමේ සම්මානනීය ප්‍රකාශනය

"අවුරුදු 40 ක් පුරා අන්ත දූෂිත වෙළඳපල ආර්ථිකයක් ගෝලීය ක්‍රියාවලිය ලෙස නඩත්තු කරන

ඇඟේ නූල් පොටක් නැති වැඩිහිටියන් කිහිපදෙන හෙළුවෙන් යන කුඩා දරුවෙකුට දඩුවම් කළ යුතු යැයි කියන විට

කලින්ම කතා කළ යුත්තේ ඒ වැඩිහිටියන්ට රෙදි අන්දවන එක ගැනයි."

මෙවර “බුක ත්‍යාගය” පිරිනැමුණු ශෙහාන් කරුණාතිලකගේ නිර්මාණය පිළිබඳව කෙරෙන සිංහලවාදී ප්‍රශ්න කිරීම් අතුරෙන් කිහිපයක් හෝ සාධාරණ යැයි කීමට මට පළමු වරට වූවත් සිදුවීමම, මේ නව ලිබරල්වාදී ගෝලීය ආර්ථිකයේ තුච්ඡ පිරිහීම සමාජීය සංස්කෘතික පැවැත්මෙහි කෙතරම් ගැඹුරට කිඳා බැස ඇතිදැයි පෙන්වන්නකි. මේ වසරේ “බුක සම්මානය” දිනූ ශෙහාන් කරුණාතිලකගේ “සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා” කෘතිය ගැන විවිධ සටහන් සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වන්නට විය. මට ලැබුණු එවැනි එක සටහනක තිබූයේ “මහ ජාතියට මෙලෙස කෙළින විට, එක සම්මානයක් නොව, තවත් සම්මාන පෝළිමේ ඔහු වෙත ලැබෙනු ඇත......” යැයි කියා ය. කෙළවා නොගැනීමට හේතු වන ආකාරයෙන් මහ ජාතිය කටයුතු කළ යුතු යැයි ඊට මගේ ඉතාම කෙටි පිළිතුර විය.

සිංහලවාදී ප්‍රවේශයක් ඇතිව වූවත් වැදගත් ප්‍රශ්න කිරීමක් දෙකක්ද ඒ අතර තිබිණ. ඉන් එකක් වූයේ ශෙහාන්ගේ මේ නවකතාව ඡායාරූප ශිල්පී “මාලි අල්මේදා” නම් ප්‍රධාන චරිතයද ඇතිව 2020 දී “චැට්ස් විත් ද ඩෙඩ්” මැයෙන් 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය පසුබිම්ව පළවූ විට සම්මාන නොලැබුණත් මෙවර එය “විමුක්ති කොටි” සමග වූ ලාංකීය යුද පසුබිමට අනුරෝපණය කෙරුණු හෙයින් බ්රිතාන්‍ය ඒ වෙනුවෙන් සම්මානය දුන්නේදැයි යන්නය.

ශෙහාන්ගේ කෘතියෙහි නිර්මාණාත්මක හා සාහිත්‍යාත්මක අගය ඉන් ප්‍රශ්න කෙරෙන්නේ නැත. සම්මාන ලැබීමට තරම් අගයක් එහි ඇතැයි පොදු පිළිගැනීමක්ද ඇත. එහෙත් ඒ ප්‍රශ්න කිරීමෙහි වැදගත් කාරණා දෙකක් ඇත. පළමු කාරණාව නම්, බටහිර රටවල සමාජගතව ඇති ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, මානව හිමිකම්, ආණ්ඩු පාලනයේ වගවීම් හා පාරදෘශ්‍යභාවය සමග නොගැලපෙන අපේ රටේ යුද අපරාධ හා මානව විරෝධී ක්‍රියාකාරකම් ප්‍රශ්න කිරීමේ නැතිනම් ඒවා සාහිත්‍යාත්මක විවිරණයකට බඳුන් කිරීම වෙනුවෙන් වැඩි පිළිගැනීමක් අගයක් සම්මාන සඳහා ලබා දෙන්නේද යන්නය.

Shehan Karunatilaka wins Booker Prize for 'The Seven Moons of Maali Almeida'

වසර 25 ට වැඩි කාලයක් දිගු ඇදුණු යුද්ධයෙහි දකුණේ දේශපාලන නායකයින් විසින් ඔවුන්ගේ මැතිවරණ වාසි සඳහා දෙමළ විරෝධයක් වගා කරගෙන තිබුණි. විශේෂයෙන් යුද්ධයෙහි අවසන් අඩ වසරෙහි එය උච්ච අවස්ථාවකට රැගෙන ආ අතර, එනිසාම මෙවැනි ඕනෑම යුද්ධයක සිදුවිය හැකි අපරාධ, වග නොවීම් ප්‍රශ්න කිරීමට දකුණේ සිංහල-බෞද්ධ සමාජය සුදානම් නොවෙති. වෙනකක් තබා දැන් ඔවුන්ටද එරෙහිව යොදා ගනු ලබණ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” අහෝසි කළ යුතු යැයිද ඒ යටතේ අත්අඩංගුවට ගෙන වසර ගණන් රඳවා ඇති පිරිස් වහා නිදහස් කළ යුතු යැයි කියන්නටද තවමත් හරියාකාර එකඟතාවක් නැත. 

සිංහල-බෞද්ධ සමාජය එසේ වූවත් 2009 මැයි මස යුද්ධය අවසන් වූ පසු මෙතෙක් අවුරුදු 12 ට වැඩි කාලය පුරා උතුරු නැගෙනහිර ලාංකීය දෙමළ සමාජය නොකඩවාම සාධාරණත්වය හා යුක්තිය ඉල්ලා හඬ නගති. දෙමාපියන්, බිරින්දෑවරුන් හා ස්වාමිපුරුෂයින්, සහෝදර සහෝදරියන් තමන්ගේ අතුරුදහන් කෙරුණු දරුවන්, ස්වාමිපුරුෂයින් ඥාතීන් ඉල්ලා උද්ඝෝෂණය කරති. ඒ වෙනුවෙන් සංවිධානාත්මකව හඩ නගන, බලපෑම් කරන දෙමළ ජන සමාජ දැන් බටහිර රටවලද ඇත. “දෙමළ ඩයස්පෝරාව” යැයි සිංහල සමාජයේ නුරුස්නාවෙන් කතා කරන්නේ මෙරට වෙසෙන්නට නොහැකි වටපිටාවක රටින් පිටවූ ඒ දෙමළ ජනතාවට ය. ඔවුන් බටහිර රටවල පදිංචි වූයෙන් ඔවුන්ගේ ප්‍රශ්න ජාත්‍යන්තර සංවිධාන වෙත ඉදිරිපත් කිරීමේ විශේෂ හැකියාවක් ඔවුන්ට තිබෙනවා පමණක් නොව, ඔවුහු ඒ අවසරය උපරිමයෙන් ප්‍රයෝජනයටද ගනිති.

දකුණේ සිංහල-බෞද්ධ සමාජයට තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් හෝ එවැනි කැක්කුමක් නොවුනි. 1988-90 ජ.වි.පෙ ත්‍රස්තවාදය සමගින් දියත් කෙරුණු රාජ්‍ය මර්දනය සම්බන්ධයෙන් එවැනි ප්‍රශ්න කිරීමක් ඔවුහු නොකළහ. අතුරුදහන් වූවන්ගේ ඥාතීහු ඒ වෙනුවෙන් ස්වාධීනව ඉදිරිපත් නොවූහ. තනි පුද්ගලයින් ලෙස මහින්ද රාජපක්ෂ සමග වාසුදේවද ජිනීවා මානව හිමිකම් සැසි වාර දෙකකට ගියේ හුදෙක් දේශපාලන ප්‍රචාරක වාසි වෙනුවෙන් පමණි. 1988-90 ත්‍රස්තවාදී කැරැල්ලෙන් පසු ඉතිරිවූ ජ.වි.පෙ ක්‍රියාකාරීන් වසර 04 ට ආසන්න කාලයකින් පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසි පසුවද පාර්ලිමේන්තු නියෝජනයේ හයිය මත හෝ 1988-90 රාජ්‍ය මර්දනය ප්‍රශ්න කිරීමට උතුරු-නැගෙනහිර දෙමළ මන්ත්‍රීවරුන් මෙන් සූදානම් නොවුනි. අද වෙනතෙක්ම ඔවුන් රෝහණ විජේවීර ඇතුළු ඔවුන්ගේ නායකයින් ඝාතනය කිරීම පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා නැත.

එවගේම, ජ.වි.පෙ ත්‍රස්තවාදයට එරෙහි මර්දනය හේතුවෙන් රට හැර ගිය තරුණ පිරිස් වැඩිමනත් ගොනු වූයේ දකුණු කොරියාව හා ඉතාලිය වැනි රටවල අඩු වැටුප් ශ්‍රමිකයින් වශයෙනි. තවත් පිරිසක් ජපානයට ගියහ. ඔවුහු දෙමළ ඩයස්පෝරාව මෙන් මෙරට රාජ්‍ය මර්දනය ප්‍රශ්න කරන්නට සංවිධානාත්මකව මැදිහත් නොවූහ. එබැවින් ජ.වි.පෙ හිතවාදීන්ට 1988-90 රාජ්‍ය මර්දනයට එරෙහි ජාත්‍යන්තර මතයක් හැදීමට නොහැකි වූවා මෙන්ම වුවමනාවක් තිබුණේද නැත. ඔවුන්ගේ සිංහලවාදී උනන්දුව වූයේ දෙමළ ඩයස්පෝරාවට විරුද්ධවන්නටය.

ශෙහාන් ගේ දෙවන නවකතාව වූ “චැට්ස් විත් ද ඩෙඩ්” කෘතියට නොලැබුණු ප්‍රචාරක වාසිය එය “සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා” නමින් නවීකරණය කළ පසු ලැබීමේ සරළ දේශපාලනය එය ය. ඔහුගේ මෙම සම්මානනීය කෘතිය මුල් තේරීමට ඇතුළු වූ පසු ජුලි 31 වන දින “සන්ඩේ ටයිම්ස්” පුවත් පතේ ඇඩිලා ඉස්මයිල් සමග කළ සාකච්ඡාවේදී ඔහු ඒ ගැන වෙනත් ආකාරයකට කියා තිබිණ.

“මේ සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා එහි මුල් නිර්මාණය වන ඔබගේ චැට්ස් විත් ද ඩෙඩ් නිර්මාණයෙන් වෙනස් වෙන්නෙ කොහොමද?” යැයි ඇඩිලා ඇසූ විට ඔහු කියා තිබුණේ “මුල් පිටපතට ඉන්දියානු ප්‍රකාශකයින්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. නමුත් එය ජාත්‍යන්තර (බටහිර) පාර්ශව අන්දමන්ද කෙරුණ බවක් පෙණුනා. බොහෝ අයට ශ්‍රී ලංකාවේ ‘89 දේශපාලනය වටහා ගැනීම අපහසු උනා. විශේෂයෙන් දේශීය මිථ්‍යා විශ්වාස අවුල්සහගත උනා.” ශෙහාන් ඉන් කියන්නේ ජ.වි.පෙ ත්‍රස්තවාදී කැරැල්ල සහ රාජ්‍ය මර්දනය සම්බන්ධව බටහිර සමාජයන්හි පැවති නොදැනුවත්කම ගැනය.

දෙවන කාරණය නම්, මෙය නව නිර්මාණයක් නොව, දෙවරක් සංස්කරණය කෙරුණක් වීම සහ එවැන්නකට සම්මාන දීමේ වැදගත්කමක් තිබිය හැකිද යන්න ය. දෙවරක් සංස්කරණය කළ බවත් ඉන් පසු ප්‍රකාශයට පත් කළ බවත් ශෙහාන් සන්ඩේ ටයිම්ස් සාකච්ඡාවෙහි පිළිගෙන ඇත. “වැඩි පැහැදිලි කිරීම් සඳහා යන්තමින් එකතු කිරීම් හා සංස්කරණය කිරීමට ගත් උත්සාහය අවසන් වුනේ  දිගු සංශෝධන හා නවීකරණය කිරීම් හැටියටයි. නමුත් ඉන්දියාවේ පෙන්ගුයින් සමාගම ඊට කැමති උනා. ජයිපූර් උත්සවයේදී පොත එළිදැක්වීමට ඔවුන් කැමතිවූනා වගේම එය එළෙසින් එළිදැක්වූවා. නමුත් අපේ ප්‍රකාශනය කිරීමේ කාල සීමාව (බ්රිතාන්‍යයේ) කල් ඇදුණු නිසා නටාෂා සහ මම කොරෝනා වසංගත කාලයේ නැවත පොත සංස්කරණය කෙරුවා. අන්තර්ගතය වශයෙන් ගත්තම කතාව ඒකම තමයි. දළ වශයෙන් චරිතත් ඒවමයි. නමුත් සමහර සුළු සිද්ධීන් වෙනස් කෙරුණා.....”

ඉන් කියන්නේ මෙවර බුක ත්‍යාගයෙන් සම්මාන ලබන්නේ “සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා” නමින් මුල් කවරයද වෙනස් කෙරුණු දෙවන වරටත් “සෝට් ඔෆ් බුක්ස්” ප්‍රකාශිකාවද හවුල්වී නවීකරණය කළ ශෙහාන්ගේ පැරණි කතාව බවය. මේ සිංහලවාදී ප්‍රශ්න කිරීමෙහි ඇති වැදගත්කම වන්නේ වාර්ෂිකව සම්මාන පුදන්නට සංස්කරණය කෙරුණු පැරණි නිර්මාණ බාර ගැනීමේ සදාචාරය කුමක්ද යන්නය. පසුගිය වසරවල බුක ත්‍යාගය සඳහා දිගු ලැයිස්තුවට හෝ නොතේරුණු නිර්මාණයක් නැවත සංස්කරණය කර ලබන 2023 සම්මාන ලබන්නට ඉදිරිපත් කළහොත් එය බාර නොගත යුත්තේ ඇයිදැයි මට දැන් ප්‍රශ්නයක් ඇත.

බුක ත්‍යාගය සඳහා සුදුසුකම් ලබන එක කොන්දේසියක් වන්නේ අදාල කෘතීන් ඉකුත් වසර ඇතුළත බ්රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ ප්‍රකාශයට පත් කළ කෘතීන් විය යුතුය යන්නය. ශෙහාන්ගේ “චැට්ස් විත් ද ඩෙඩ්” කෘතිය මුලින් පළ කර තිබූයේ ඉන්දියාවෙහි ය. මෙවර එහි නවතම සංස්කරණය “සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා” පළමු වරට මීට දෙමසකට පමණ පෙර අගෝස්තුවේදී ලාංකීය සම්භවයක් ඇති නැට් ජෑන්ස්ගේ “සෝට් ඔෆ් බුක්ස්” නම් එංගලන්තයේ ස්වාධීන ප්‍රකාශන ආයතනයක් විසින් ප්‍රකාශයට පත් කෙරුවකි. එබැවින් එය එංගලන්තයට අලුත් කෘතියක් යැයි අයෙකුට තර්ක කළ හැකිය.

එය හුදෙක් තර්කයක් පමණි. එමගින් පළමු වරට 1969 දී “බුක ත්‍යාගය” ප්‍රධානය කරන විට තිබූ ආයතනික සද්භාවය දැන් හමුවන්නට නොහැක. වත්මන් දූෂිත ගෝලීය වෙළඳපල ආර්ථිකයේ පිරිහීම් ජාත්‍යන්තර මට්ටමින් ඔඩු දුවා ඇති ආකාරයට, දැන් අතීත සදාචාර පැවතුම් සෙවිය නොහැක. යෝධ ඖෂධ සමාගම් හා අවි ආයුධ නිෂ්පාදකයින් සමග එක්සත් ජාතීන්ගේ සිට “නොබෙල් සම්මාන අරමුදල” පසුකර බුක ත්‍යාග අනුග්‍රාහකයින් දක්වා සියල්ලන් දැන් දූෂිතව ඇත.

ඒ සම්බන්ධ “රටවල් අසාදු ලේඛණගත කිරීමේ විහිළුව සහ ශ්‍රී ලංකාව (එක්සත් ජාතීන්ගේ) ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයින් අතරට පත්වීම” නම් මගේ ඉංග්‍රීසි ලිපියේ උපුටනයක් දක්වන්නේ නම්, “බී.බී.සි නිෂ්පාදනයක් වන ‘The Whistle blowers; Inside the UN’ වාර්තාමය කෙටි චිත්‍රපටයට පාදක වූයේ පීට ගෙලෝ විසින් බී.බී.සි ට හඬ පටයක් රහසේ ලබා දීමය. එම වාර්තාමය චිත්‍රපටයේ ඔහු කියන්නේ - ‘එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ මම වසර 04 ක් පරීක්ෂකයෙකු වශයෙන් සේවය කෙරුවා. ඒ අත්දැකීම් සමග මම විශ්වාස කරනවා මේ සංවිධානය පහළ සිට ඉහළටම අන්ත දූෂිතයි කියලා‘’ (BBC iPlayer - The Whistleblowers: Inside the UN සහ https://m.youtube.com/watch?v=rE6x4SGJvtk

එයටම සම්බන්ධ බී.බී.සියේ ඉකුත් ජුනි 21 වන දින “නිවුස් නයිට්” වැඩසටහනට සහභාගි වූ 2018 දී වධහිංසන, පහරදීම් හා අසාධාරණය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශිකාව වූ පූර්ණා සෙන් නොසඟවා කියුවේ “දූෂණ, වංචා, ලිංගික හිංසන වැනි කවරක් වූවත් ඒ සම්බන්ධ පැමිණිලි නොපමාව, ආරම්භයේදීම ඉවත් කෙරෙන බවට වාර්තාවක් සකස් කරන්නවත් එක්සත් ජාතීන්ගේ මාණ්ඩලිකයින්ට ඉඩක් නැහැ. විකල්ප මාර්ගයක් හරි, අභියාචනා සඳහා අවස්ථාවක් හරි ලැබෙන්නෙත් නැහැ” යනුවෙන් ය.

සමස්ථ ලෝකයටම සදාචාර සම්පන්න, යුක්ති ගරුක, සාධාරණ සමාජ තහවුරු කර ගැනීම සඳහා ප්‍රතිපත්ති, ප්‍රඥප්ති සහ නීති හදන, වසර 20 ට පෙර දූෂණයට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තියක්ද සම්මත කළ ප්‍රධානම ගෝලීය ආයතනයේ දූෂණ වංචා, ලිංගික අපරාධ කෙළවරක් නැත. 2004 දෙසැම්බරයේ සුනාමි ආපදා අරමුදල්, ඉරාකයේ ආහාර සඳහා ඉන්ධන අපනයන ව්‍යාපෘතිය, එ.ජා. ව්‍යාපෘති සේවා කාර්යාලය, එ.ජා. සංවර්ධන වැඩසටහන් වැනි බොහෝ ආයතන හා ව්‍යාපෘතිවල සිදුව ඇති සහ සිදුවන දූෂණ ගැන වාර්තා සාමාන්‍ය මාධ්‍යයන්හි පළ නොවන්නේද දූෂණය වෘත්තිකයින් හා මාධ්‍ය දක්වාද දිගුවන හෙයින් ය.

මේ ගෝලීය ආර්ථිකයේ සියලු සංවිධාන, ආයතන, පදනම් හා අරමුදල් නඩත්තු කෙරෙන්නේ දූෂිත යෝධ ගෝලීය ව්‍යාපාර විසින් සහ බලවත් බටහිර රටවල් විසින් නිසා, දූෂණයට අමතරව ඒවායේ කලාපීය බල කඳවුරු හා බැඳුණු දේශපාලන න්‍යාය පත්‍රද ක්‍රියාත්මක වන්නේය.

ආර්ථික දූෂණ සමගවන මේ පිරිහීම් සතු දේශපාලනය ගැන සිතා ගත හැක්කේ “නොබෙල් සාම ත්‍යාග” ප්‍රදානය සමගින් ය. ස්වීඩන් ජාතික ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අවසන් කැමැත්ත අනුව ඔහුගේ සියලු වත්කම් යොදා ගනිමින් 1901 දෙසැම්බර 10 වන දින සිට නොබෙල් ත්‍යාග 05 ක් විශේෂ විෂයන් සඳහා ලොව විශිෂ්ටයින්ට වාර්ෂිකව පුදනු ලබන්නේය. ඉන් වඩාත් ජනප්‍රිය සම්මානය වන්නේ “නොබෙල් සාම ත්‍යාගය” ය. මේ කීර්තිමත් සාම ත්‍යාගය සඳහා තෝරා ගනු ලබන්නේ ඉකුත් වසරේ සාමය වෙනුවෙන් අවි ආයුධ පරිහරණය සීමා කිරීමටත් ජාත්‍යන්තර සහයෝගය වර්ධනය කිරීමටත් සාමය වෙනුවෙන් කෙරෙන සංවිධානාත්මක මැදිහත්වීම් හා මානව හිමිකම් අර්ථවත් කිරීමටත් වඩාත්ම සාර්ථකව දායක වූ පුද්ගලයෙකුට, කණ්ඩායමකට හෝ සිවිල් සංවිධානයකට ය.

එවැනි සාම ත්‍යාගයක් බරාක් ඔබාමාට දීමේ පදනම කුමක්ද? ඔබාමා ජාත්‍යන්තර කීර්තියක් ලැබුවේ ඇමෙරිකානු ජනාධිපති වශයෙන් නොව, ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙනි. ජනාධිපති අපේක්ෂකයෙකු වශයෙන් සාමය හා සාධාරණත්වය සම්බන්ධයෙන් වූ ඔහුගේ වාග් චාතූර්යට ලොවම දපනේ වැටිණ. ඔහු පළමු වරට ජනාධිපති වශයෙන් දිවුරුම් දුන්නේ 2009 ජනවාරියේ ය. ඉන් මාස 10 ට පසු 2009 නොවැම්බරයේදී ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමින. කුමක් සඳහාද? නොබෙල් ත්‍යාග කමිටුවට අනුව, ඔහු ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු ශක්තිමත් කිරීමට සහ ලෝකවාසීන් අතර සහයෝගය දියුණු කිරීමට අතිවිශිෂ්ට උත්සාහයක් ගන්නේය. න්‍යෂ්ඨික අවි නොමැති ලෝකයක් පිළිබඳ ඔබාමාගේ අනාගත දැක්ම සහ ඒ වෙනුවෙන් දරණ වෙහෙස කමිටුවේ විශේෂ අවධානයට ලක් වූ බවත් සඳහන්ව තිබිණ.

මෙය කෙතරම් ලජ්ජා සහගත තේරීමක් දැයි සාම ත්‍යාග කමිටුවේ තීරකයින්ට අදාල නොවුනි. ජනාධිපති ධූරයේ දිවුරුම් දී මාසයක් ගත වන්නටත් පෙර ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී ඩ්‍රෝන ප්‍රහාර සඳහා අවසර දුන් සහ එවැනි ප්‍රහාර මගින් සාමාන්‍ය ඇෆ්ගන් පුරවැසියන්ද මිය ගිය බව පිළිගැනීමට සිදුවූ රාජ්‍ය නායකයෙකුට “සාම” ත්‍යාගයක් ලබා දීම මනුස්ස ජීවිත කෙතරම් හෑල්ලු කෙරෙන්නක්ද? ලොව වැඩිම ආරක්ෂක වියදම කෙරෙන රටවල් 08 න් පළමු වැනියා ඇමෙරිකාව බව 2018 ජුනියේදී ඇඩම් කස්ඩා “ප(ර්)සූට්” වෙබ් අඩවියට සැපයූ විශේෂාංගයක ලියා තිබිණ. මේ 2022 වසර සඳහා ඇමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දී කිබුණ මුදල ඩොලර ට්රිලියන 1.94 කි. සාමාන්‍යයෙන් වාර්ෂික ඇමෙරිකානු ආරක්ෂක වියදම මධ්‍යම ආණ්ඩුවේ අයවැයෙන් සියයට 15 ක් පමණ වන්නේය. එවැනි රටක ජනාධිපති වූ ඔබාමා නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වශයෙන් ලොවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය වූයේ ඇෆගනිස්ථානයේ පමණක් නොව, ඉරාකයේත් ලිබියාවේත් මැදපෙරදිගත් ඔවුන්ගේ හමුදා බලය සමග ඛනිජ තෙල් නිෂ්පාදන පාලනය කිරීමේ ආධිපත්‍ය ඇමෙරිකාවට හදා ගැනීම සඳහා ය.

දැන් නැවත අපේ රටේ යුද්ධයත් යුධ අපරාධ හා මානුෂික ඛේදවාචක ගැනත් කතාවට පැමිණියහොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් පිටත සාහිත්‍ය සංවාද සමගින් එවැනි කාරණා හා අදාල වෙළඳපලක් බටහිර ඉංග්‍රීසි සමාජයන්හි ඇති බැව් බුක ත්‍යාගය කියන්නකි. සියලු ආකාරයෙන් දූෂිත ගෝලීය ආර්ථිකයක වෙළඳපල වාසි වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සිට නොබෙල් සාහිත්‍ය සහ පුලිට්ස ත්‍යාගයද පසුකර බුක ත්‍යාගය දක්වා සියලු “ස්වාධීන” ආයතන, පදනම්, අරමුදල් හා සංවිධාන තීන්දු ගැනීමට මැලි නොවන බවත් “සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා” කෘතියෙහි ප්‍රකාශිකාව අපට කියා දුන්නකි. ඇය ගණන් හැදූ ආකාරයට, ලාංකීය දේශපාලන අස්ථාවරත්වය සමග බටහිර දෙමළ ජන සමාජය විසින් ඔවුන් ඉල්ලා සිටින යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් උද්ඝෝෂණය කරන, බලපෑම් කරන ප්‍රමාණයට ඔවුන්ගේ කතා වස්තු ගැන කෙරෙන විවරණාත්මක නිර්මාණ වෙනුවෙන් වෙළඳපල පුළුල් වන්නේය.

මෙවර එය ඉන් ඔබ්බට ගෙන යනු ලැබූයේ බටහිර අති දූෂිත බලවතුන්ගේ භූ-දේශපාලනික පය ගැසීම වෙනුවෙන් වික්‍රමසිංහට බාර දුන් ආණ්ඩු පාලනය සඳහා ඉඩ ලබා දෙමින්ය. ඇමෙරිකාව ප්‍රධානවූ රටවල් කිහිපය ආර්ථික දූෂණ මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ අපරාධයක් ලෙස ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් කොමිසමේ යෝජනාවට එකතු කෙරුවේද ඒ වෙනුවෙන්ය. ඒ සඳහාවන කාල පරාසයද රාජපක්ෂ විරෝධය සඳහා වේදිකාව අලුත් කරන්නකි. දෙමළ ජනතාවක් ඉන්නා බ්රිතාන්‍ය ඇතුළු ඉංග්‍රිසි සමාජයන්හි ඒ භූ-දේශපාලනය වෙනුවෙන් ලාංකීය ඛේදවාචක තේමාගත කිරීම පොත් ප්‍රකාශකයින්ටද වාසිදායක වර්ධනයකි. එවන් වෙළඳපලක් හැදෙන්නට එකතුවන කාරණාවල උත්ප්‍රාසය ඇත්තේ ඇඟේ නූල් පොටක් නැති වැඩිහිටියන් කිහිපදෙන හෙළුවෙන් යන කුඩා දරුවෙකුට දඩුවම් කළ යුතු යැයි කීමෙහි ය. මෙවර බුක ත්‍යාගය ඒ සියල්ල රැගෙන එන ජාත්‍යන්තර පිරිහීමේ දේශපාලනික ප්‍රකාශනයක් ලෙස මම දකිමි. 

kusal perera  

2022 ඔක්තෝම්බර 30 වන දින