මානව හිමිකම් සැමරුම පවා අභියෝගයක් වුනු ජාත්‍යන්තර මානව හිමිකම් දිනය

මානව හිමිකම් සැමරුම පවා අභියෝගයක් වුනු ජාත්‍යන්තර මානව හිමිකම් දිනය
ශ්‍රී ලංකාවේ අප 74 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වනවිට පසුවන්නේ දැඩි තීරණාත්මක මොහොතකය. මූලික මිනිස් අයිතිවාසිකමක් වන  භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අමු අමුවේ උල්ලංඝණය කරමින් පවතින වටපිටාවකය. 'මානව හිමිකම් සැමරුමක්' වත් බාධා කිරීම් වලින් තොරව නිසි ලෙස පවත්වා ගැනීමට හැකියාවක් නොමැති තත්ත්වයකය. අදට යෙදෙන (දෙසැම්බර් 10) මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ සම්මන්ත්‍රණයකට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවට අයත් ශාලාවක් වෙන් කරවාගෙන තිබුණද, අවසාන මොහොතේ එම ශාලාව ලබා නොදීමට BMICH කළමනාකාරිත්වය තීරණය කරන ලදී.
 
වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින්  ‘නිදහස සහ යුක්තිය උදෙසා අරගලය නියතයක්’ සම්මන්ත්‍රණය සඳහා මෙලෙස බාධා එල්ල විය. සංවිධායකයන් විසින් මෙම සම්මන්ත්‍රණය සඳහා මුදල් ගෙවා අදාළ ශාලාව වෙන්කරගෙන තිබුණේ පසුගිය 02දා ය. ඉන්පසු එහෙත් 08 වෙනිදා BMICH කාර්යාලයෙන් සංවිධායකයන් අමතා පවසා ඇත්තේ අදාළ ශාලාව සඳහා ගෙවන ලද සම්පූර්ණ මුදල නැවත ලබාදෙන බවත්, සම්මන්ත්‍රණය සඳහා ඉඩ දිය නොහැකි බවත් ය. එහෙත් 'රයිට් ටු ලයිෆ්' නමැති සංවිධානය විසින් අද (10) දිනයේම සවස 2.30ට පවත්වන්නට යෙදෙන "දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ මානව හිමිකම් සුරක්ෂිත කිරීම'' නමැති මානව හිමිකම් සමරුවට BMICH හි ලැවෙන්දරා ශාලාව ලබාදී තිබේ. මේ අනුව එකම කටයුත්තක් වෙනුවෙන් දෙපිරිසකට දෙආකාරයකට සලකන අයුරු අද වන් මානව හිමිකම් වෙනුවෙන්ම වෙන් කෙරුණු දිනයක සාකච්ඡාවට ගැනීමට සිදුවීම තරම් ඛේදවාචකයක් තවත් තිබිය හැකිද?
 
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි. එහෙත් ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට දින 3ට ඉහතදීද, ශ්‍රී ලංකාවේ ප්‍රායෝගික තත්ත්වය සපුරා වෙනස්ය. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය හා අවට මාර්ග අවහිර කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වන පරිදි උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ දෙසැම්බර් 07 දා  තහනම් නියෝගයක් නිකුත් කරන ලදී.
 
පාර්ලිමේන්තුව අවට උද්ඝෝෂණයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවත්, අයවැය සම්බන්ධ වාද-විවාද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන මෙවැනි අවස්ථාවක අරගලකරුවන් එසේ ක්‍රියාකළහොත් පාර්ලිමේන්තු කටයුතුවලට බාධා ඇතිවිය හැකි බවත් වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි. වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාධ සහ පොලිස් කොස්තාපල් හෂාන් යන නිලධාරීන් දෙදෙනා විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීම සම්බන්ධයෙන් සෑහිමකට පත්ව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බැව් පැහැදිලිය. වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රධාන මාර්ගය, සමනල පාලම අසල සිට පොල්දූව හන්දිය හරහා පාර්ලිමේන්තුව දක්වා වූ මාර්ගය අවහිර කරමින් එය භාවිත කරන මහජනතාවට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පීඩාවක් ඇති වන ලෙස උද්ඝෝෂණයේ යෙදීම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇත. මෙසේ නියෝග නිකුත් කරනු ලැබූවේ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුවට සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්ට ය.
 
 
මූලික අයිතිවාසිකම් යනු කිසිදු සීමාවකට යටත් නොවන පරම, උත්තරීතර අයිතියක් යයි කිව නොහැකි බැව් සැබෑවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන මගින් මූලික අයිතිවාසිකම් සීමා කරන්නේද ඒ් නිසාය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.
 
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.
 
ඒහෙත් මෙම විධිවිධාන හා සීමා කම් හුවා දක්වමින් පොලීසියට හෝ ආණ්ඩුවට හිතු මානපයට, අත්තනෝමතික ලෙස සාමකාමී රැස්වීම්, විරෝධතා, සමරු පැවැත්වීමේ නිදහස උල්ලංඝණය කළ හැකිද? ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ් සඳහා පූර්වාදර්ශයන් කිහිපයක්ම ලබාදී තිබේ.
 ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය. එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.
 
වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)
දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.
 
විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)
රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත. මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.
(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsary unfication of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginings.)
 
දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)
 
මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’
 
නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.
 
අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) (ජනඝෝෂා නඩුව)
 
රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
 
මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි.
 
මෙවන් නීතිමය විධිවිධාන හා පසුබිමක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දැවැන්ත මර්දන නීති තවදුරටත් සක්‍රීයව පවත්වා ගනිමින් තම දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කරන තැනකට ආණ්ඩුව තල්ලුවී තිබේ. මේ නිසාමදෝ ඇමිනස්ට් ඉන්ටර් නැෂනල් හි කලාපීය නායිකා යාමිනී මිෂ්රා ශ්‍රී ලංකාවේ අප වෙනුවෙන් ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අළලා නිකුත් කළ වීඩියෝ පණිවිඩයක මෙසේ දැක්වෙයි.
 
"මේ මොහොතේ ශ්‍රී ලාංකේය පමණක් නොව කලාපීය වශයෙන් දැවැන්ත අභියෝගයන්ට මුහුණදී සිටින බව අමුතුවෙන් කිව යුතු නෙවෙයි. . ආර්ථික අර්බුදය සමගිනි පැන නැඟුණු අරගලය දැවැන්ත උත්තේජනයක් සැපයූ බව ඇත්තක්. එසේ වුවත් අරගලකරුවන්, මානව හිමිකම් ක්‍රියාධරයින්, නීතිඥයින් බොහෝ සේ අත්අඩංගුවට පත්වූ බවද,  සිහිපත් කළ යුතුයි. මෙවන් වටපිටාවක තවදුරටත් මානව හිමිකම් වෙනුවෙන් අරගල කරන ශ්‍රී ලංකාවේ ජනයාට ආචාරය පුද කර සිටිනවා"
 
මානව හිමිකම් ඇස සංවිධානයේ කලාපීය නායිකා මිනාක්ෂි ගංගුලි වීඩියෝ පණිවිඩයක් යොමු කරමින් පවසන්නේ මෙවැන්නකි.
 
"ශ්‍රී ලංකාවේ සියලුම පවුල්, යුක්තියේ ප්‍රමාදයෙන් වින්දිතයින් බවට පත්වූ සියලුදෙනාම වෙනුවෙන් මා සහයෝගිතාවයේ දෑත දිගුකරනවා. ශ්‍රී ලංකාව දැවැන්ත වශයෙන් මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට ලක්වූ හා ලක්වෙමින් පවතින රටක් මෙන්ම යුක්තියේ ප්‍රමාදයද, දිගින් දිගටම සිදුවෙනවා. ආර්ථික, සමාජීය වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන්ද දැවැන්ත අර්බුදය ගිලී සිටිනවා. ශ්‍රී ලංකාව වහාම නීතියේ පාලනයට හා යුක්තිය හා වගවීමේ ක්‍රියාදාමයකට පැමිණිය යුතුයි"
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි