විදුලි ගාස්තු සංශෝධන යෝජනාවේ විස්තරාත්මක තොරතුරු ලංවිමෙන් කොමිසම ඉල්ලයි

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවේ විස්තරාත්මක තොරතුරු ලංවිමෙන් කොමිසම ඉල්ලයි
  • රුපියල් මිලියන 20,256ක අතිරික්ත ආදායම සම්බන්ධයෙන් විස්තර නෑ
  • 2022 නොවැම්බර්වලින් පසු ණය වැඩිවෙලා
  • සම්ප්‍රේෂණ පාඩුව අනුමත අගයට වඩා වැඩියි

මෙම වසරේ ජුලි 01 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා සංශෝධනය කිරීමට නියමිත විදුලි ගාස්තු යෝජනාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට ලබාදී තිබේ. ඒ මැයි 15 වැනිදා දින සහිතව මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එය යොමු කරමින්ය. ඒ ගැන මුලින්ම රටට කියනු ලැබුයේ විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර විසිනි.

එම විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවේ ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ 2022 වර්ෂයේ එම මණ්ඩලයේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 167.2ක් බවයි. එමෙන්ම 2022 වර්ෂය අවසන් වනවිට වසරෙන් වසර ඉදිරියට ආ ශුද්ධ අලාභය රුපියල් බිලියන 409.2ක් වන බවයි. එමෙන්ම ලංවිම මුළු ණය හෝ ගෙවීමට ඇති මුළු මුදල රුපියල් බිලියන 512ක් බව එහි සඳහන් කර තිබේ.

එහි විස්තර කර ඇති පරිදි ලංවිම 2013 වර්ෂයේදී රුපියල් බිලියන 22.3ක ශුද්ධ ලාභයක් ලබා ඇත. 2014 වර්ෂයේදී එය රුපියල් බිලියන 15ක ශුද්ධ අලාභයක් බවට පත්වී ඇත.  යළි 2015 වර්ෂයේදී රුපියල් බිලියන 19.4ක ශුද්ධ ලාභයක් ලබා ඇති අතර 2016 වර්ෂයේ රුපියල් බිලියන 13.2ක ශුද්ධ අලාභයක් ලබා ඇත. 2017 වර්ෂයේ රුපියල් බිලියන 46ක්,  2018 වර්ෂයේද රුපියල් බිලියන 30.3ක්, 2019 වර්ෂයේ රුපියල් බිලියන 97.3ක්, 2020 වර්ෂයේ රුපියල් බිලියන 60.4ක් හා 2021 වර්ෂයේ රුපියල් බිලියන 21.5ක් ලෙස එය එක දිගටම ශුද්ධ අලාභයක් ලබා ඇත.

ලංවිම ගෙවීමට ඇති ණය විස්තර කරමින් සඳහන් කර ඇත්තේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් මිලියන 77,595ක්, පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 94,530ක් හා  පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් රුපියල් මිලියන 36,188ක් වශයෙන් ප්‍රධාන ණයකරුවන් සිටින බවයි.

එමෙන්ම කෙටි කාලීන ණය ලෙස සඳහන් කර ඇත්තේ ගල් අඟුරු මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් මිලියන 2604ක්, ණයවර ලිපි වෙනුවෙන්  රුපියල් මිලියන 1136ක්, වහළ මත සූර්ය කෝෂ විදුලියට  රුපියල් මිලියන 4130ක්, දේශීය සැපයුම්කරුවන්ට  රුපියල් මිලියන 6567ක්, උමාඔය ව්‍යාපෘතියට රුපියල් මිලියන 2640ක්, නොරොච්චෝලේ බලාගාරයේ නඩත්තු සඳහා රුපියල් මිලියන 5988ක්, හා ණය නැවත පියවීමට  රුපියල් මිලියන 1097ක් වශයෙන් ගෙවීමට ඇති බවයි. 

එමෙන්ම බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියට, ආසියානු සංවර්ධන බැංකුවට හා භාණ්ඩාගාරයට තවත් රුපියල් මිලියන 117,787ක් ගෙවීමට ඇති බව සඳහන් කරයි. අවසානයේ ණය හා ගෙවීමට ඇති මුළු මුදල වශයෙන් රුපියල් මිලියන 516,728ක් සඳහන් කරයි.

ලංවිම සිය අලාභය ලෙස එසේ පෙන්වා දෙන විටදී අප අමතක නොකළ යුතු කරුණ වන්නේ එහි අලාභය පියවා ගැනීමට යැයි කියමින් 2022 අගෝස්තු මාසයේදී සියයට 75ක ප්‍රතිශතයකින් සමස්ත විදුලි ගාස්තු වැඩිකළ බවය. ඉනුත් නොනැවතී මෙම වසරේ පෙබරවාරි මාසයේදී යළිත් වරක් සියයට 66 කින් සමස්ත විදුලි ගාස්තු වැඩිකළ බවය. මෙහිදී කවදුරටත් අප අමතක නොකළ යුතු කරුණ වන්නේ එම සමස්තය තුළ අඩු ඒකක සංඛ්‍යාවක් පාවිච්චි කළ විදුලි පාරිභෝගිකයින්ට සියයට 100 සිට සියයට 400 දක්වා වැඩිවූ විදුලි බිලක් ගෙවීමට සිදුවූ බවය.

ලංවිම යෝජනාව තුළ ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට හැකි විදුලි ගාස්තු සංශෝධනය ගැන සඳහන් කරන්නේ එම ණය සඳහන් කිරීමෙන් පසුය. ඒ අනුව අප පසුගිය සතියේ ප්‍රවෘත්තියක් ලෙස පෙන්වා දුන් පරිදි විදුලි ඒකක 60 සිට ඉහළට ඇති පාරිභෝගික කාණ්ඩයේ විදුලි ගාස්තු සංශෝධනයක් හෙවත් අඩු වීමක් ලංවිම යෝජනාව අනුව ජුලි 01 වැනිදා සිට සිදු වන්නේ නැත. සි්යයට 3ක පමණ සොච්චමකින් විදුලි ගාස්තු අඩු වෙන්නේ විදුලි ඒකක 60 දක්වා පාවිච්චි කරන්නන්ගේ පමණය. ඊට අමතරව ආගමික කාණ්ඩයේ විදුලි ඒකක ඒකක 120 දක්වා විදුලි ගාස්තු අඩුවේ. ඒ ඒකක 30 දක්වා රුපියල් 30ක් වන ඒකක ගාස්තුව රුපියල් 25 දක්වාත්, ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට 250ත් දක්වාත්, ඒකක 90 දක්වා රුපියල් 37ක් වූ ඒකක ගාස්තුව රුපියල් 36 දක්වා රුපියලකින් හා රුපියල් 550ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 500 දක්වාත්, ඒකක 120 දක්වා වූ රුපියල් 42ක් වූ ඒකක ගාස්තුව රුපියල් 39 දක්වා හා රුපියල් 650ක් වූ ස්ථාවර ගාස්තුව රුපියල් 650 සිට රුපියල් 600 දක්වාත් අඩු කිරීමටය.

මෙම කරුණු දැක්වීම් ලංවිම සිදුකරන්නේ ශීර්ෂ කිහිපයක් යටතේය. ඒ පසුබිම, විදුලි උත්පාදන පුරෝකතනය,  බලාගාර ක්‍රියාත්මක කිරීම, විකුණුම් පුරෝකතනය, ආදායම, වියදම හා නිගමන යන කරුණු යටතේය.

ඉදිරිපත් කර ඇති එම කරුණු කිසිවක් ගාස්තු සංශෝධනයක් සඳහා ප්‍රමාණවත් නොවන බව දන්වමින් මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් හැරෙන තැපෑලෙන්ම මැයි 16 වැනිදා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු රොෂාන් සෙනෙවිරත්නට ලිපියක් යවමින් දැනුම් දී ඇති අතර විදුලිය උත්පාදන පිරිවැය, විදුලිය සම්ප්‍රේෂණ පිරිවැය, විදුලිය බෙදා හැරීමේ පිරිවැය, විදුලිය විකිණීම පිළිබඳ පුරෝකතන හා යෝජනා කර ඇති ගාස්තු මගින් ආවරණය කර ගැනීමට නියමිත ආදායම යන තොරතුරු අනිවාර්යෙන්ම ලබාදෙන ලෙස ඒ මගින් ඉල්ලා ඇත.

එසේම එම දිනයේම මහජන උපයෝගිතා කොමිසමේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කංචන සිරිවර්ධන විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යධිකාරිවරයාට තවත් ලිපියක් යවමින් දැනුම් දෙන්නේ ඉදිරිපත් කරන ලද වියදම්වල සාධාරණ බව සහතික කිරීම සඳහා විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවේ අත්‍යවශ්‍ය තොරතුරු අඩංගු නොවන බැවින් ඉල්ලා ඇති සියලුම තොරතුරු ඔවුන් විසින් යොමු කරනු ලබන ආකෘතියට අනුව මැයි 24 හෝ ඊට පෙර මහජන උපයෝගිතා කොමිසමේ ඊමේල් ලිපිනයට යොමු කරන ලෙසයි.

ඒ අනුව විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති ගාස්තු සංශෝධන යෝජනාවේ ඇති ඉහත සඳහන් කරන ලද එක් එක් කරුණ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විස්තර ඉල්ලා තිබේ.

ලංවිම ලිපියේ පසුබිම ලෙස සඳහන් කර ඇති ඇති කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපයෝගිතා කොමිසමේ නියෝජන්‍ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ, 2022 නොවැම්බර් 30 දින දක්වා තිබූ කාලීන ණය ප්‍රමාණය රුපියල් මිලියන 129641 සිට රුපියල් මිලියන 146,469 දක්වා වැඩිවී තිබුණද, 2022 නොවැම්බර් 30 දක්වා තිබූ ප්‍රධාන ණය හිමියන්ගේ රුපියල් මිලියන 173,598ක ණය මුදල රුපියල් මිලියන 208,312 දක්වා වැඩි වී මිස අඩු වී නැති බවයි.  එබැවින් ලංකා විදුලි බල මණ්ඩලය 2022 නොවැම්බර් 30 දින සිට ලබාගත් සියලු ණය විස්තර, ගෙවීම් කාල සටහන්, පොලී සහ ප්‍රාග්ධන කොටස හා ණය පරිහරණය පිළිබඳ සියලු විස්තර ඉදිරිපත් කළ යුතු බවයි.

එමෙන්ම 2023 ජනවාරි 05 දිනැති ලංකා විදුලි බල මණ්ඩලයේම යෝජනාවක් අනුව පදනම්ව බෙදා හැරීමට හා සම්ප්‍රේෂණයට අවසර දී ඇති ආදායම ගණනය කර ඇති බවත්, මෙම යෝජනාව සඳහා කර ඇති වෙනත් ඉදිරිපත් කිරීම් 2024 වසරේ අවසර දී ඇති ආදායම් තක්සේරු කිරීම සඳහා සලකා බලනු ලබන බවත් එහි අවධාරණය කර තිබේ.

විකුණුම් පුරෝකතනය යටතේ සඳහන් කරන්නේ, 2023 ජුලි සිට 2023 දෙසැම්බර් දක්වා අවසන් කරන ලද  එක් එක් බෙදාහැරීමේ බලපත්‍රලාභියා සඳහා යෝජනාවේ සඳහන් කර ඇති පරිදි බලශක්ති විකුණුම් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු  ඉදිරිපත් කළ යුතු බවයි. ඒ ගාස්තු වර්ග, කාණ්ඩ අනුව පාරිභෝගික ප්‍රමාණය, බලශක්තිය හා උපරිම ඉල්ලුම යන කරුණු ඇතුලත්වය.

එමෙන්ම 2023 ජනවාරි මාසයේදී ලංවිම බෙදාහැරීමේ බලපත්‍රධාරීන් විසින් ඉදිරිපත් කරන ලද 2023 විකුණුම් අනාවැකි වැරදි බව කොමිසම නිරීක්ෂණය කළ බව නියෝජන්‍ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ලිපියේ සඳහන් කරයි. එම නිසා ලංවිම විකුණුම් පුරෝකතන සත්‍යාපනය කිරීම සඳහා 2023 මාර්තු දක්වා සත්‍ය විකුණුම් දත්ත උඩුගත කළ යුතු බවද දන්වයි. 

තවද ආදායම යන ශිර්ෂය සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, ලංවිම ප්‍රතික්ෂේප කළද ඉල්ලුමේ මිල නම්‍යතාව පිළිබඳ ගැටළුව කොමිෂන් සභාව අපේක්ෂා කරන බවයි. එම නිසා ලෙකෝ සමාගම වෙත ලංවිම කළ විකුණුම් පුරෝකතනය සහ  ආදායම් ගණනයන් ඉදිරිපත් කරන ලෙසද දන්වා ඇත.

වියදම් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ විදුලි බල මණ්ඩලය බෙදාහැරීමේ පිරිවැයට එකතු කරන ලද ඕනෑම පිරිවැයක් ඉදිරිපත් කළ යුතු බවයි. ඒ යටතේ සේවා සම්බන්ධතා, පාරිභෝගිකයින්ගේ ආරක්ෂක තැන්පතු සඳහා පොළී ගෙවීම් හා වෙනත් වියදම් යන්න ඉදිරිපත් කළ යුතුය යන්න සඳහන් කර තිබේ.

ලංවිම සිය ගාස්තු සංශෝධනය සඳහා  නිගමනය ලෙස සඳහන් කර ඇති රුපියල් මිලියන 20,256ක අතිරික්ත ආදායම සම්බන්ධයෙන් විස්තරාත්මක ගණනය කිරීමක් ලබාදෙන ලෙස තවදුරටත් දන්වා ඇත.

එම විස්තරාත්මක කරුණු යටතේ විකුණුම් පුරෝකතනයේ සඳහන් කළ ගාස්තු වර්ග අනුව ආදායම් ගණනය කිරීම සිදුකළ යුතු බව සඳහන් කර ඇත.

එමෙන්ම එම විස්තර බලශක්ති උත්පාදනයේ පිරිවැය විස්තරය, උත්පාදන ධාරිතාව, සම්ප්‍රේෂණය, බෙදා හැරීම, හා කාලීන ණය සමඟ ගණනය කර ලබාදෙන ලෙසද දන්වා ඇත.

එම ගණනය කිරීම් 2023 ජනවාරි ඉදිරිපත් කළ බෙදාහැරීම් හා සම්ප්‍රේෂණ වියදම් සමඟ සන්සන්දනය කළ යුතු බවත්, එමෙන්ම සාධාරණ උපකල්පනවලින්ද සමන්විත විය යුතු බවත් එහි සඳහන් කර තිබේ.

ලංවිම යෝජනාවේ ඇති තොග සැපයුම් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ, 2023 ජනවාරි මස සඳහන් කළ රුපියල් මිලියන 13708ක් වූ වාරික ණය ප්‍රමාණය රුපියල් මිලියන 19802 වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ලෙසයි.

සම්ප්‍රේෂණ පාඩුව ලෙස ලංවිම සියයට 3.49ක් දක්වා ඇති බවත්, එහෙත් 2021 අනුමත සම්ප්‍රේෂණ පාඩුවේ අගය සියයට 2.82ක් බවත් එහි සඳහන් කර තිබේ..

තවද නැප්තා ලීටරයක මිල රුපියල් 266ක් බව ලංවිම සඳහන් කර ඇතත්, දැනට නැප්තා මිල රුපියල් 220ක් බවත්, ඒ අනුව කැලණිතිස්ස චක්‍රීය බලාගාරයේ නැප්තා ඒකකයක බලශක්ති පිරිවැය රුපියල් 69.53ක් වන බවත්, ඩීසල් ඒකකයක මිල රුපියල් 68.14ක් වන බවත් සඳහන් කරමින් අවධාරණය කරන්නේ නැප්තා භාවිතයෙන් බලාගාර ඉවත් කිරීමට මේ අනුව ලංවිම උත්සාහ කරන බවක් හැඟී යන හෙයින් එසේ නැප්තා බලාගාර ඉවත් කිරීමට හේතු ඉදිරිපත් කළ යුතු බවයි.

ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයන් සම්බන්ධයෙන් ඉහත සඳහන් කරුණු ලංවිම පාර්ශවයෙන් හා මහජන උපයෝගිතා කොමිසම පාර්ශවයෙන් හුවමාරුවී තිබියදී මැයි 24 වැනිදා සිදුවූයේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමයි.

මේ අනුව ආණ්ඩුව අලුත් සභාපතිවරයෙක් මහජන උපයෝගිතා කොමිසමට ඉදිරියේදී පත්කරනු ඇත. එම කොමිසමේ වෘත්තීය කාර්ය මණ්ඩලය ඉහත සඳහන් කළ ලෙස විදුලි ගාස්තු සංශෝධනයන් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි විස්තරාත්මක තොරතුරු ඉල්ලුවද, එහි අවසන් තීරණය අවසානයේ ගනු ඇත්තේ දේශපාලන පත්වීම්ධාරීන් වන කොමිසමේ සාමාජිකයින්ය. ඔවුන් ඉවත් කරන ලද සභාපති ජනක රත්නායක මෙන් කටයුතු නොකළහොත් සිදුවිය හැක්කේ කිසිඳු වග විභාගයකින් තොරව ලංවිම යෝජනා කරන ප්‍රතිශතවලින් විදුලි ගාස්තු සංශෝධනය අනුමැතිය ලබාදීම පමණය. එසේ වුවහොත් විදුලි පාරිභෝගිකයින්ට කොමිසමේ පිහිටද නැති වනු ඇත.

ලසන්ත රුහුණගේ (අනිද්දා)