තීරු බදු සහනය ගන්නේ කොතැනින්ද ?

තීරු බදු සහනය ගන්නේ කොතැනින්ද ?
  • කටුනායකින් නම් ඩොලර් 187යි
  • පෝට් සිටියෙන් නම් ඩොලර් 5000යි

ඔබ විදේශගතව රැකියාවක යෙදෙන ශ්‍රී ලාංකිකයෙක් නම් යළි ශ්‍රී ලංකාවට ඒමේදී මෙතෙක් ඔබට ලැබුන තීරු බදු සහනය වූයේ දින 90කට අඩු කාලයක් විදේශගතවී සිටියේ නම් ඇමරිකානු ඩොලර් 187.5කි, දින 90ත් දින 365ක කාලයත් අතර විදේශ ගතවී සිටියේ නම් ඩොලර් 625කි. දින 365ට වැඩියෙන් විදේශගත වී පැමිණියේ නම් ඩොලර් 1750ක් වශයෙනි. ඒද ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු එම තීරුබදු සහනය ලබා ගැනීමේදීය. නොඑසේව ඔබ එම තීරු බදු සහනයට අදාළ භාණ්ඩ ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර එසේ පැමිණෙන රටකින් හෝ අතරමැදි රටකින් ලබා ගත්තේ නම් ඔබට ලැබෙන තීරු බදු සහනය වන්නේ විදේශගත වී සිටි කාලය දින 90කට අඩු නම් ඩොලර් 125ක්, දින 90ත් දින 365ත් අතර නම් ඩොලර් 500ක් හා දින 365ට වැඩි නම් ඩොලර් 1000ක් වශයෙන්ය. එම තීරු බදු සහනය තුළ ලීටර් 2ක විදේශ මත්පැන් මිලදී ගැනීමේ සහනය හා වයින් බෝතල් 2ක් මිලදී ගැනීමේ සහනය ඇතුලත්ය.

මීට අමතරව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහාද තීරු බදු සහන හිමිවන අතර ඒ ඇමරිකානු ඩොලර් 250ක භාණ්ඩ මිලදී ගැනීමක් සඳහාය. ඒ තුළ ලීටර් 1.5ක තීරු බදු රහිතව විදේශ මත්පැන් මිලදී ගැනීමට හා වයින් බෝතල් දෙකක් මිලදී ගැනීමට හැකියාව ඇත.

විදේශ මුදල් අර්බුදයකට ලක්වීම නිසා රට ආර්ථික වශයෙන් බංකොළොත් තත්වයට පත්වීම හේතුවෙන් රටට විදේශ මුදල් ගෙන්වා ගැනීම උදෙසා ඉහත තීරු බදු සහනයට අතිරේක සහනයක් මේ වනවිට ශ්‍රී ලාංකිකයින්ට  හඳුන්වා දී ඇත. ඒ විදේශගත ශ්‍රී ලාංකිකයින් ඔවුන් විදේශගතවී සිටින කාලයේදී ශ්‍රී ලංකාවට එවනු ලබන මුදල් ප්‍රමාණයට සරිලන ලෙසය. ඒ අනුව ඇමරිකානු ඩොලර් 2400ත් 4799ත් අතර ප්‍රමාණයක යම් විදේශ විනිමය ප්‍රමාණයක් රටට එවා ඇත්නම් ඉහත සඳහන් කළ තීරු බදු සහනයට අමතරව ඇමරිකානු ඩොලර් 600ක තීරු බදු සහනයක් හිමිවේ. ඩොලර් 4800ත් 7199ත් අතර විදේශ විනිමය ප්‍රමාණයක් රටට එවා ඇත්නම් ඩොලර් 960ක අමතර තීරු බදු සහනයක් හිමිවන අතර ඩොලර් 7200ත් 11,999ත් අතර ප්‍රමාණයක විදේශ මුදල් එවා ඇත්නම් ඩොලර් 1440ක අමතර තීරු බදු සහනයක් හිමිවේ. ඩොලර් 12,000ත් 23,999ත් අතර විදේශ විනිමය ප්‍රමාණයක් රටට එවා ඇත්නම් ඩොලර් 2400ක අමතර තීරු බදු සහනයක් හිමිවන අතර ඩොලර් 24,000ට වැඩියෙන් රටට එවා ඇත්නම් ඩොලර් 4800ක තීරු බදු සහනයක් හිමිවේ.

ඒ ආකාරයට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති අමතර උපරිම තීරු බදු සහනය වන ඩොලර් 4800ක් ලබා ගැනීම සඳහා මාසයකට අනිවාර්යෙන් ඇමරිකානු ඩොලර් 2000කට සමාන විදේශ විනිමය ප්‍රමාණයක් රටට එවිය යුතුය. ඩොලරයක් සඳහා වූ ශ්‍රී ලංකා රුපියලේ අගය ආසන්න වශයෙන් රුපියල් 300ක් ලෙස සැළකුවහොත් එය රුපියල් ලක්ෂ 6ක ප්‍රමාණයකි. මැද පෙරදිග වැනි රටක සේවය කරන අති බහුතරයක් ශ්‍රී ලාංකිකයින්ට එවැනි මුදල් ප්‍රමාණයක් එවිය නොහැකි බව යථාර්ථයයි.

ඉන් මෙහා ඇති ඩොලර් 2400ක අමතර තීරු බදු සහනය ලබා ගැනීම සඳහාද එහි අවමය වන ඩොලර් 12,000 සඳහා ගණනය කළහොත් ඒ සඳහාද ඩොලර් 1000ක මුදලකට සමාන රුපියල් ලක්ෂ 3ක මුදලක් ශ්‍රී ලංකාවට එවිය යුතු අතර එයද ඉහත සඳහන් කළ පරිදිම මැද පෙරදිග වැනි රටවල සේවයේ යෙදෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් යථාර්ථයක් වන්නේ නැත. ඊලඟ සහන අවස්ථාව වන ඩොලර් 1440ක අමතර තීරු බදු සහනය ලබා ගැනීම සඳහාත් ඩොලර් 7200 යන අවමය සලකා බැලුවත් ඩොලර් 600ක් හෙවත් රුපියල් 180,000ක මුදලක් එවිය යුතු අතර මැද පෙරදිග වැනි රටවල සේවය කරන්නන්ට එයද ප්‍රායෝගික නොවේ.

ඩොලර් 960 අමතර තීරු බදු සහනය ලබා ගැනීමට එහි අවමය වන ඩොලර් 4800ක ප්‍රමාණය සලකා බැලුවහොත් ඩොලර් 400ක් හෙවත් රුපියල් 120,000ක මුදලක් මාසිකව රටට එවිය යුතු අතර මැද පෙරදිග ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් ගත්කළ එය ප්‍රායෝගික නැත. අවම කාණ්ඩයේ ඇති ඩොලර් 600ක අමතර තීරු බදු සහනය ලබා ගැනීම සඳහා එහි අවමය වන ඩොලර් 2400 සම්බන්ධයෙන් සලකා බැලුවහොත් ඩොලර් 200ක් හෙවත් රුපියල් 60,000ක මුදලක් රටට මාසිකව එවිය යුතු අතර මැද පෙරදිග වැනි රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ගත්කළ යම් ප්‍රායෝගික බවක් ඇත්තේ එහි බව පෙනේ.

යුරෝපය, ඇමරිකාව, කැනඩාව වැනි රටවලට ගොස් ඇති බොහෝ පිරිස් සිය අඹුදරුවන්ද සමඟ එම රටවල්වල ජීවත් වන නිසා සිය දෙමාපියන් වෙනුවෙන් මාසිකව යම් මුදලක් එව්වද එය බොහෝ විට රුපියල් ලක්ෂයක් හෝ ඊට අඩු මුදලකි. නෑදෑ හිතවතෙකුට යම් කරුණකට මුදලක් එව්වද එයද අනිවාර්ය එකක් නොවේ. ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ලබාදී ඇති අමතර තීරු බදු සහනයේ අවම සහනයවත් වසර කිහිපයක්  විදේශ ප්‍රේෂණ එවීම මගින් මිස වසරක කාලයක විදේශ ප්‍රේෂණ එවීම මගින් උපයාගත නොහැකි බව පැහැදිලි කරුණකි. 

එහෙත් විදේශගතව සිට කොළඹ පෝර්ට් සිටියට ඉදිරි කාලයේදී ශ්‍රී ලාංකිකයෙකු පැමිණියහොත් ඉහත සඳහන් කළ තීරු බදු සහනයට වඩා විශාල තීරු බදු සහනයක් ලබා ගැනීමේ හැකියාව දැන් ලබාදී ඇත. කොළඹ පෝර්ට් සිටියට තීරුදු බදු සහන ලබාදීම සඳහා මැයි 22 දින ප්‍රකාශයට පත්කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයේ මේ බව සඳහන්ය. ඒ අනුව වසරක කාලයකදී ඇමරිකානු ඩොලර් 5000ක තීරු බදු සහන යටතේ භාණ්ඩ මිලදී ගැනීමට ශ්‍රී ලංකා ගුවන් බලපත්‍ර හිමි විදේශගතව පැමිණෙන්නන්ට අවසර ලැබේ. ඊට අමතරව විදේශ ගමන් බලපත්‍ර හිමි ශ්‍රී ලංකාවේ නේවාසික වීසා හිමි විදේශිකයින්ටත් එම පහසුකම ලැබේ. ඒ සඳහා ඇත්තේ එක් පසීමාවක් පමණය. ඒ තීරු බදු සහනයට අදාළ භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ ඒ භාණ්ඩ මිලදී ගත හැකි උපරිම සීමාවක් පනවා තිබීම පමණය.

මැයි 22 වැනිදා නිකුත් කර ඇති කොළඹ පෝර්ට් සිටියට තීරු බදු සහන ලබාදීමේ අති විශේෂ ැසට් පත්‍රයේ ඇති උදාහරණ කිහිපයක් ගතහොත් මෙසේය. ක්‍රීඩා ඇඳුම්, විලාසිතා හා සුඛෝපභෝගී ඇඳුම් යටතේ ඇඟළුම් 36ක් මිලදී ගත හැකිය. බ්ලූටෘත් ස්පීකර්, සීසීටීවී පද්ධති, ගෘහ විනෝදාස්වාද පද්ධති හා ඉලෙක්ට්‍රොනික උපකරණ යටතේ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ 2ක් මලදී ගත හැකිය. ඩිජිටල් ඡායාරූප කැමරා, වීඩියෝ කැමරා හා ඡායාරූප උපාංග 2ක් මිලදී ගත හැකිය. ඩෙක්ස්ටොප්, ලැප්ටොප්, ටැබ්ලට් ආදියෙන් එක බැගින් 3ක් මිලදී ගත හැකිය. රසකැවිලි හා බිස්කට් වර්ග කිලෝ 10ක් මිලදී ගත හැකිය. ඇසුරුම් කළ ආහාර කිලෝ 10ක් මිලදී ගත හැකිය. ක්‍රීඩා 6ක් සඳහා ක්‍රීඩා මෘදුකාංග 1ක බැගින් මිලදී ගත හැකිය. රූපලාවන්‍ය හා ශරීර ආරක්ෂණ නිෂ්පාදන 12ක් මිලදී ගත හැකිය. සෞඛ්‍ය හා සුවතා නිෂ්පාදන 12ක් මිලදී ගත හැකිය. ගෘහ පිරිසිදු කාරක සහ රෙදි සෝදන නිෂ්පාදන කිලෝ 10ක් මිලදීගත හැකිය. මුළුතැන්ගේ උපකරණ හා හැඳි ගෑරප්පු 36ක් මිලදී ගත හැකිය. ළමා සෙල්ලම් බඩු, ළදරු කරත්ත හා ළදරු උපාංග යන ඒවායින් ඒකක 2 බැගින් මිලදී ගත හැකිය. සම් නිෂ්පාදන යටතේ පටි, බෑග්, පසුම්බි හා සපත්තු යන ඒනායින් 4 බැගින් 16ක් මිලදී ගත හැකිය. ගමන් මළු 2ක් මිලදී ගත හැකිය. ජංගම දුරකතන සහ උපාංග 2ක් මිලදී ගත හැකිය. එක් නිෂ්පාදනයකින් 1ක බැගින් සංගිීත භාණ්ඩ 4ක් මිලදී ගත හැකිය. ජිම් උපකරණ, මෝටර් රහිත බයිසිකල්, ක්‍රීඩා උපකරණ යන ඒවායින් 3 බැගින් 12ක් මිලදී ගත හැකිය. මත්පැන්, වයින් හා බියර් ලීටර් 2 බැගින් මිලදී ගත හැකිය. ඔරලෝසු 4ක් මිලදී ගත හැකිය.

මේ ලැයිස්තුව බැලූ විට මිලදී ගත නොහැක්කේ මෝටර් රථ වාහන, ශිතකරණ, රෙදි සෝදන යන්ත්‍ර, ටීවී ආදී භාණ්ඩ කිහිපයක් පමණය.

ශ්‍රී ලංකා ගුවන් බලපත්‍ර හිමි අයට අමතරව එම ඩොලර් 5000ක වාර්ෂික තීරු බදු සහනය තානාපති කාර්යාල, එක්සත් ජාතීන්ගේ කාර්යාලය හා එයට අනුබද්ධ සංවිධානවලට අනුයුක්තව සේවය කරන පුද්ගලයින්ටද හිමිවේ. එසේ වුවද සංචාරකයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ට ඩොලර් 5000ක් යන සීමාව අදාළ නැත. ඔවුන්ට සීමා රහිත ප්‍රමාණයක තීරු බදු සහන ලබාගත හැකිය. ඇත්තේ එක් සීමාවක් පමණය. ඔවුන්ට එක් එක් භාණ්ඩ මිලදී ගැනීමේ සීමාව යටතේ ඩොලර් සීමාවකින් තොරව භාණ්ඩ මිලදී ගත හැකිය.එමෙන්ම එය වසරක කාලයකට සීමා වන්නේද නැත. ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින සම්පූර්ණ කාලයටම තීරු බදු සහනය යටතේ භාණ්ඩ මිලදී ගැනීම එය අදාළ වේ.

ඉහත සඳහන් කරන ලද තීරු බදු සහනයන් ගමන් වාර කිහිපයක් හෙවත් බහුවිධ ගමන් වාර ඇති ශ්‍රී ලංකා ගුවන් බලපත්‍ර හිමියන් මාස තුනක කාලයක් ඇතුලත ලබාගත යුතු වූවත්, සංචාරකයින් සඳහා එහි සීමාවක් පනවන්නේ නැත. එමෙන්ම ඉහතින් දක්වා ඇති භාණ්ඩ මිලදී ගැනීමේ සීමා කිරීම් අභිබවා යෑමේ හැකියාව ශ්‍රී ලංකා ගුවන් බලපත්‍ර හිමියන්ට හා සංචාරකයින් නොවන විදේශ ගුවන් බලපත්‍ර හිමියන්ට හිමිනොවන අතර සංචාරකයින්ට එය හිමිවේ. ඒ විදේශ ගතවන ගුවන් තොටුපලෙන් හෝ වරායෙන් භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන්ය.

ඉතිං රට ගොස් පැමිණ හෝ රට සිට පැමිණ කටුනායකින් බැස එහි තීරු බදු සාප්පු සංකීර්ණයෙන් වසරක කාලයකට වඩා විදේශ ගතවී සිටියහොත්  සාමාන්‍ය ලෙස ලැබෙන උපරිම ඩොලර් 1750ක තීරු බදු සහනයට භාණ්ඩ ලබා ගන්නවාට වඩා පොර්ට් සිටියට ගොස් ඩොලර් 5000ක තීරු බදු සහනයක් ලබා ගැනීම වාසිදායක බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහිදී අහිමි වන්නේ ශිතකරණ, ටිඩී හා රෙදි සෝදන යන්ත්‍ර වැනි භාණ්ඩ කිහිපයක් මිලදී ගැනීමේ පහසුකම පමණය.

ඒ අනුව රැකියා හා වෙනත් හේතු නිසා විදේශගතවන ශ්‍රී ලාංකිකයින්ට තෝරා ගැනීම් දෙකක් මින් ඉදිරියට ඉතිරි වී තිබේ. එකක් රටේ ආර්ථික අර්බුදයට ආධාරයක් වශයෙන් තමන්ට ලඟාකර ගත නොහැකි ප්‍රමාණයක විදේශ මුදල් ප්‍රමාණයක් එවීමට උත්සාහ කර ඒ සඳහා ලැබෙන අමතර සොච්චම් තීරු බදු සහනයක් ලබා ගැනීමය. අනෙක ඒ කිසිවකට උත්සාහයක් හෝ නොකර පෝර්ට් සිටියට පැමිණ ඊට වඩා වැඩි තීරු බදු සහනයක් ලබා ගන්නවාද යන්නය.

පොර්ට් සිටියෙන් කෙතරම් විදේශ ආයෝජන ලැබේදැයි තවමත් අපට කිව නොහැකිය. දැනටමත් එහි ආයෝජනයට කියා පැමිණෙන්නේ දේශීය ව්‍යාපාරිකයින්ය. රට විරුවන් විරුවන් ගැන කියමින්, ඔවුන්ට වැඩි වැඩියෙන් විදේශ විනිමය රටට එවන ලෙස කියමින් පෝර්ට් සිටියට එන අය සම්බන්ධයෙන් ඊට වැඩි  තීරු බදු  සහන ලබාදෙන්නේ නම් එහි අවුලක් ඇති බව තේරුම් යා යුතුය. 

| ලසන්ත රුහුණගේ (අනිද්දා)