සීතා රන්ජනී: දිවි ගමනට සමුදුන් ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ 'වීරවරිය'

seetha-ranjani-1

| ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ 2023 සම්මාන උළෙලේදී, ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ දීර්ඝ කාලීන සහ ගෞරවාන්විත සේවය අගයා දීර්ඝ කාලීන සේවා අගැයුම් සම්මානය (Lifetime achievement Award) සීතා රන්ජනී මාධ්‍යවේදිනියට හිමි විය.

දශක පහකට අසන්න කාලයක් තිස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස, ස්ත්‍රී අයිතිවාසිකම් ඇතුළු මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මාධ්‍ය ක්‍රියාකාරිනියක වූ සීතා රන්ජනී පෙබරවාරි 16 වන දින දිවි ගමනට සමු දුන්නා ය.

ඇගේ 71 වන ජන්ම දිනයට සති කිහිපයක් තිබියදී ඇය ජීවිතයෙන් සමු ගන්නා විට, වසර කිහිපයක් තිස්සේ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියා ය.

රජරට සේවයෙන් ගමන් ඇරඹීම

Seetha

1954 මාර්තු 08 වන දින අනුරාධපුරයේ පෙරිමියන්කුලම ගම්මානයේදී උපත ලැබූ සිතා රන්ජනී සත් දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දියණිය යි.

ඇය පෙරිමියන්කුලම අශෝක මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙන අතර, ඒ කාලයේ පටන් ම සාහිත්‍ය කටයුතු පිළිබඳව දැඩි උනන්දුවක් තිබී ඇත.

ඒ වන විටත්, සාහිත්‍යකරණයේ නිරත වන ඇය 1979 දී රජරට ගුවන් විදුලිය ආරම්භ වී දින කිහිපයකට පසු ගුවන් විදුලියෙන් ලැබූ ආරාධනයකින් ඇගේ කෙටිකතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් සඳහා සහභාගි වූවා ය.

එහිදී ඇයට එම කෙටිකතාව ගුවන් විදුලිය හරහා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවූ අතර, එහිදී ඇය නිර්මාණකරණය වෙනුවෙන් ලැබූ පළමු වැටුපට හිමිකම් කීවා ය.

ඉන්පසු සීතා රන්ජනීහට දිගින් දිගට ම රජරට සේවයේ වැඩකටයුතු හා සම්බන්ධ වීමේ අවස්ථාව හිමිව ඇති අතර, එය සමාජයේ ප්‍රශ්න සිය නිර්මාණශීලීත්වය හරහා ගුවන් විදුලි නාට්‍ය මගින් ඉදිරිපත් කළා ය.

1980 වැඩ වර්ජනය, 1983 කළු ජූලිය වැනි සිදුවීම් ඇගේ ඇතැම් නිර්මාණවලට බලපෑ අතර, ජාතික සමගිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වැනි මාතෘකා බොහෝ විට ඇගේ නිර්මාණවලට තේමාවන් වී තිබේ.

Sitha Ranjani

| මේ 2006 අප්‍රේල් 06 වන දා කිලිනොච්චියේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවගේ තොරතුරු සොයා ගිය මාධ්‍යවේදී කණ්ඩායමට සීතා රන්ජනී ද එක් විය.

කොළඹට පැමිණීම

සීතා, සුනිලා අබේසේකර සහ සුනිල් විජේසිරිවර්ධන ඇතුළු පිරිසක් විසින් ආරම්භ කරනු ලැබූ 'කිණිහිර' අධ්‍යාපන කවයට සම්බන්ධ වී සිටියා ය.

ඒ අතරතුර ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව සිටි නන්දන මාරසිංහ සහ ගුණදාස කපුගේ විසින් පවත්වන ලද 'කාලයේ රාවය' ප්‍රසංගය සඳහා ඇගේ ගීත රචනා කිහිපයක් ද තෝරාගෙන තිබිණි.

ප්‍රගතිශීලි ස්ත්‍රී එකමුතුව විසින් පළ කළ 'අත්වැල' සඟරාවට ලිපි ලියමින් සිටි සිතා රන්ජනී කොළඹට සංක්‍රමණය වන්නේ, 1986 වසරේදී ය.

'විවරණ' සඟරාවේ සංස්කාරක මණ්ඩලයට එක වීමට ඇය එලෙස අනුරාධපුරයේ සිට කොළඹ බලා පැමිණියා ය.

පසුකාලීනව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය සම්බන්ධ වන ඇය ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ (MDDR) සාමාජිකත්වය ද ලබා ගත්තා ය.

මෙම කාලවකවානුවේදී ඇය කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් ප්‍රකාශයට පත් කළ 'ශක්ති' සඟරාව, 'ඇත්ත' පුවත්පත සහ මාවත සඟරාව යන කිහිපයකට ම ලිපි ලියමින් සිටියා ය.

පසුව ඇගේ කාව්‍ය නිර්මාණ 'මාවත' වැනි සඟරාවල ද පළ විය.

1980 දශකයේ අග භාගයේදී ඇය වරක් පොලිස් අත්අඩංගුවට පත් වූ අතර, ප්‍රශ්න කිරීම්වලින් පසුව නිදහස් කෙරිණි.

Sitha Ranjani & Lasantha Wickemathunge

| සීතා රන්ජනී, ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සමග...

යුක්තිය පුවත්පතට සම්බන්ධ වීම

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය විසින් සංස්කරණය කරනු ලැබූ යුක්තිය පුවත්පතට සම්බන්ධ වූ සීතා රන්ජනී, දෙමළ කලාකරුවන්ගේ නිර්මාණ 'සංකලන' නම් සඟරාවේ ප්‍රකාශයට පත් කළා ය.

1980 දශකයේ අග භාගයේ සිදුවූ ඝාතන සහ අතුරුදහන් කිරීම්වලට එරෙහිව පෙනී සිටි සීතා රන්ජනී, සිල්ක් ස්ක්‍රීන් මුද්‍රණය පිළිබඳව පකිස්ථානයේදී පුහුණුවක් ලබා තිබූ නිසා විරෝධතා සඳහා සිල්ක් ස්ක්‍රීන් පෝස්ටර් මුද්‍රණයට සම්බන්ධ වී සිටියා ය.

ඇය මෙම කාලයේදී, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ හඳුනා ගන්නේ, එවැනි පෝස්ටරයක් නිර්මාණය කිරීමේ සිදුවිමකදී ය.

මර්ජ් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ යුක්තිය සඟරාවේ සීතා සහ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය යන දෙදෙනා පමණක් යම් කාලයක් දක්වා වැඩකටයුතු කළ අතර පසුකාලීනව එයට තවත් සාමාජිකයින් කිහිප දෙනෙක් එකතු වූහ.

1998 දී ඇය පිළිකා රෝගයට ගොදුරු වූ අතර, එම කාලයේදී ඇය 'දෝංකාරය' නම් කෘතිය රචනා කළා ය.

ඇය ගුවන්විදුලි නාට්‍ය පිටපත් රචිකාවියක්, කිවිඳියක් සහ ගීත රචිකාවියක් වූවා ය.

කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් ම ඇය විසින් එළිදක්වා ඇති අතර, විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විසින් ගයන 'මේ වහින්නේ එදා මල් වරුසාවමයි' ගීතය රචනා කර තිබෙන්නේ ද සීතා රන්ජනී විසින් ය.

'මාධ්‍ය සංවිධානයක පළමු කැඳවුම්කාරිය'

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රාරම්භකයන්ගෙන් පසුව දෙවන පෙළ ලෙස සම්බන්ධ වූ අය අතර සීතා රන්ජනී මාධ්‍යවේදිනිය ද සිටි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා බීබීසී සිංහල කළ විමසීමකදී පැවසුවේ ය.

"සීතා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉතාමත් ක්‍රියාකාරී ක්‍රියාකාරිනියක් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. මේ විදිහට ඇගේ ක්‍රියාකාරිත්වය නිසා ඇය නොබෝ කාලයකින් ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටුවේ සාමාජිකාවක් වුණා," ඔහු පැවසුවේ ය.

"ඉන්පසුව එහි ලේකම් තනතුරටත් පසුකාලීනව කැඳවුම්කරු තනතුරටත් ඇය පත් වෙනවා. ඇය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුර අවස්ථා කිහිපයක දැරුවා. අවසන් වතාවට ඇය 2017 වගේ කාලයේදී කැඳවුම්කරු තනතුරේ කටයුතු කළා. සීතා තමයි ශ්‍රී ලංකාවේ මාධ්‍ය ව්‍යාපාරයක එවැනි තනතුරක් දැරූ පළමු කාන්තාව," මාධ්‍යවේදී ලසන්ත පැහැදිලි කළේ ය.

එපමණක් නොව ඇය ශ්‍රී ලංකා පුවත්පත් අයතනයේ විධායක කමිටුවේ ද සාමාජිකාවක වූ බව ඔහු පැවසුවේ ය.

ඔහු පැවසුවේ, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යම් යම් අර්බුදවලට මුහුණ දුන් අවස්ථාවලදී පවා ඇය නිර්භයව සංවිධානය වෙනුවෙන් කැප වී කටයුතු කළ බව ය.

එමෙන් ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් පසුව පැවති සෑම ආණ්ඩුවක් යටතේ ම සිදුවූ භාෂණයේ නිදහස කඩකිරීම්වලට එරෙහිව ඇය කටයුතු කළ බව ඔහු පවසයි.

"සීතා ක්‍රියාකාරිණියක් විදිහට අසනීප තත්ත්වයන් තියාගෙන වුණත් නොසැලී තමන්ගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටියා."

යුද සමයේදී සහ දේශපාලන හේතු නිසා ඝාතනය වූ සහ අතුරුදහන් වූ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිතය අලලා "අදහස් ඝාතනයේ ගොදුරු" නමින් ග්‍රන්ථයක් ද ප්‍රකාශයට පත් කළ බව ඔහු පැවසීය.

ඊට අමතරව, 'අනීතික දණ්ඩමුක්තිය' පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සිදුකරන ලද පර්යේෂණයකට ද ඇය සම්බන්ධ වී තිබේ.

යුද්දයේ උච්චතම කාලයේ සහ පශ්චාත් යුද සමයේදී සිදුවූ සිදුවීම් අලලා ඇය විසින් ලියන ලද තීරු ලිපි එක් කර 'විමර්ශී' ලෙස තීරු ලිපි එකතුවක් ද එළිදක්වා තිබේ.

Sitha Ranjani

| ධර්මරත්නම් සිවරාම් (තාරකී) ඝාතනයට එරෙහිව, 2005 දී පැවැත්වූ විරෝධතාවකට සම්බන්ධ වී සිටි මාධ්‍යවේදිනී සීතා රන්ජනී

'පාසල් කාලයේ ඇය අපට වීරවරියක්'

පාසල් සමයේදී රජරට ගුවන් විදුලිය හරහා අනුරාධපුරයේ ජනතාව අතර ප්‍රචලිතව සිටි සීතා රන්ජනී සිය පාසල් සමයේදී වීරවරියක ලෙස හැඟුණු බව ලේඛිකා ශාන්ති දිසානායක බීබීසී සිංහල කළ විමසීමකදී කියා සිටියා ය.

"ඇයත් මමත් දෙන්න ම අනුරාධපුරයේ. නමුත් අපි ඇයව දැනගෙන හිටියේ ගුවන් විදුලිය හරහා. ඒ කාලයේ අගේ නම කිව්ව ම අපට ඇය හරියට වීරවරියක් වගේ," ඇය පැවසුවා ය.

ඔවුන් දෙදෙනාගේ පළමු හමුව සිදුවූයේ 90 දශකයේ මුල් කාලයේ බව ශාන්ති දිසානායක පැවසුවා ය.

"1991 විතර කොළඹ රිචර්ඩ්-රාජනී සමරු උත්සවයක් සංවිධානය කරලා තිබුණා. එහි තරග සඳහා මමත් නිර්මාණ යොමු කරලා මටත් කුසලතා සම්මානයක් හිමි වෙලා තිබුණා. ඒ කුසලතා සහතිකය ගන්න ගිය අවස්ථාවේදී තමයි මට ඇයව මුලින් ම හමුවුණේ."

"මාධ්‍යවේදිනියක් විදිහට ඇය බොහොම ජවසම්පන්නව වැඩ කළා. භාෂණයේ නිදහස වෙනුවෙන් ඇය අගේ හඬ නැගුවා."

පසුකාලීනව සිය නිර්මාණ සඳහා සම්මාන ලබා ගැනීමට දරුවන් සමග කොළඹ පැමිණීමට සිදු වූ අවස්ථාවලදී ඇයව සීතා රන්ජනී මාධ්‍යවේදිනිය සිය නිවසේ නවාතන් ගැනීමට අවස්ථාව ලබා දුන් බව ශාන්ති දිසානායක සිහි කරයි.

'ඇයගේ මම දැකපු හොඳ ම ගුණය දරාගැනීමේ හැකියාවයි'

වසර ගණනාවක් පිළිකා රෝගයෙන් පෙළුන නමුත් ඇය එම රෝගයට අභියෝගයක් වෙමින් සිය මතවාදය වෙනුවෙන් පෙනී සිටි බව ශාන්ති දිසානායක පැවසුවා ය.

"ඇයගේ මම දැකපු සුවිශේෂී ලක්ෂණය තමයි ඇය කොයි තරම් පිළිකා රෝගයෙන් පෙළෙමින් හිටියත් ඇයගේ මතවාදය වෙනුවෙන් ඒ හැම දෙයක් ම දරාගෙන කටයුතු කරපු ආකාරය."

"අපි හම්බවුණු අවසන් වතාවල්වලදී ඇය සෑහෙන්න දුරට පිළිකා රෝගය නිසා පීඩා විඳිමින් සිටියා. නමුත් ඇය ඒ ගැන කිසි වෙලාවක මැසිවිලි කිව්වේ නෑ. ඇය බොහොම සිනාමුසුව ජීවත්වුණා. ඇය කිසි වෙලාවක ඒ රෝගයෙන් අධෛර්යට පත් වෙලා හිටියෙ නෑ."

මාධ්‍යවේදී ලසන්ත ද සිල්වා ද පැවසුවේ, ඇය අසනීප තත්ත්වය නොතකා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ වී සිටි බව ය.

"අවසානයට පහුගිය ජනවාරියේ පැවති 'කළු ජනවාරි' සමරුව සඳහා විතර යි ඇයට සම්බන්ධ වෙන්න බැරි වුණේ. ඒ වන විට ඇය සෑහෙන්න දුරකට පිළිකා රෝගය උත්සන්න වෙලා ඇයගේ ගම වන අනුරාධපුරයට ගිහින් හිටියේ," ඔහු පැවසුවේ ය.

"කළු ජනවාරියට සම්බන්ධ වෙන්න බැරි වීම ගැන ඇය සෑහෙන්න කනගාටුවට පත්වෙලා හිටියා. නමුත් ඇය ඒ හැම වැඩක් ම එක්ක සිතින් එකතු වෙලා ඉන්නවා කියලා ඇය මට එවපු පණිවුඩවල සඳහන් වෙලා තිබුණා."

ක්‍රියාකාරීත්වයට හිමිවූ අගැයීම්

මාධ්‍යවේදිනී සීතා රන්ජනී මාධ්‍ය නිදහස සහ භාෂණයේ නිදහස වෙනුවෙන් සිදුකළ සේවය අවස්ථා කිහිපයකදී ම ඇගයීමට ලක් වූවා ය.

2013 වසරේදී ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී මාධ්‍ය නිදහස වෙනුවෙන් අයගේ කැපකිරීම සඳහා සම්මානයක් හිමි විය.

2018 වසරේදී ශ්‍රී ලංකා පත්‍රකලා සංගමය විසින් ඇය සිදු කළ සේවය වෙනුවෙන් ඩී.එෆ්. කාරියකරවන සම්මානයෙන් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් පවත්වනු ලබන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ 2023 සම්මාන උළෙලේදී ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ දීර්ඝ කාලීන සහ ගෞරවාන්විත සේවය අගයා දීර්ඝ කාලීන සේවා ඇගැයුම් සම්මානය (Lifetime achievement Award) ද සීතා රන්ජනී මාධ්‍යවේදිනියට හිමි විය.

2013 වසරේදී ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී මාධ්‍ය නිදහස වෙනුවෙන් අයගේ කැපකිරීම සඳහා සම්මානයක් හිමි විය

| 2013 වසරේදී ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී මාධ්‍ය නිදහස වෙනුවෙන් අයගේ කැපකිරීම සඳහා සම්මානයක් හිමි විය

'පෙනහැල්ලට අභියෝග කරමින් අරුත්බර හුස්මක් ගනිමි'

රාවය පුවත්පතේ ආරාධනාවෙන් එහි ''කියනු මැන දිවි අරුත" විශේෂාංගය වෙනුවෙන් සීතා රන්ජනී විසින් ඇගේ ජීවිතය අලලා ලියන ලද සටහනක ඇගේ ජීවිතය ගැන ඇය මෙලෙස ලියා තිබිණි.

"ජීවිතය දිග දුරක් යම්කිසි ගමනක් ඇවිත් ඇත. ඒ දෙස බලන්නට මට පෙළඹවීමක් කෙරෙයි. ආපසු හැරී බලන විට එහි මූල බීජ මා තුළ ම රෝපණය වී තිබූ හැටි මට පෙනේ. මගේ ජීවිතය තුළින් ම අහුලා රෝපණය කළ එම බීජ පැළ වී, මතු වූ මුල්වල ශක්තිය මට දැනේ. ඒ මුල්වල ශක්තියෙන් අතු ඉති ලා වැඩුණ මගේ ජීවිතයට, ජීවිතයේ අරුත වැටහුණේ නැතිනම් එය ම අරුමයක් විය හැකිව තිබිණ. එය අරුමයක් වූයේ නැත. ජීවිතයේ අරුත වෙනුවෙන් ජීවත් වීමේ සමාජ වගකීම මගේ ජීවිතය දිග දුරක් ඉදිරියට ගෙනැවිත් ඇත."

එමෙන් ම ඇය සිය ජීවිතයේ අරුත වෙනුවෙන් සටන් වදින බව ඇය එම ලිපියේ අවසානයේ සඳහන් කර තිබුණේ මේ ආකාරයෙන් ය.

"වැඩ කිරීමේ අභියෝග සැලකිල්ලට නොගත් මට, ජීවිතයේ හුස්ම ටික එක්ක හරඹ කරන්නට සිටින පෙනහලු දෙක මට අභියෝග කිරීමට ඉදිරියට පැමිණ ඇත. පෙනහලු බදා ගත් විකෘති ශෛලවලට මාව නවත්වන්නට නම් ලොකු සටනක් කළ යුතුව ඇත. පෙනහැල්ලටත් අභියෝග කරමින් මම ජීවිත් වීමේ අරුත වෙනුවෙන් ජීවත් වෙන්නට හුස්ම ගනිමි."

(bbc/sinhala)

සබැඳි පුවත්