හඬක් නොමැති අය වෙනුවෙන් හඬ නගමින් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් මියයන තෙක්ම ඇපකැපවී කටයුතු කළ සමාජ විද්‍යාඥයෙකු, නීතිවේදියෙකු, සටන් සගයෙකු, මග පෙන්වන්නෙකු ලෙස පීඩිත පන්තිය වෙනුවෙන් උදාර සේවයක් කළ, ලංකාවේ මෙතෙක් බිහිවූ ජ්‍යේෂ්ඨතම මෙන්ම ශ්‍රේෂ්ඨතම මාක්ස්වාදී කම්කරු නායකයා වූ බාලා තම්පෝ සහෝදරයා, මිනිසුන් වෙනුවෙන් වූ තම යුග මෙහෙවර නිමකර අප අතරින් වෙන්ව වසර 11 ක් ගතවන මොහොතේ, ඔහුව නොහඳුනන නමුත් ඔහුගේ ධෛර්‍යයෙන්, කැපවීමෙන් සහ දූරදර්ෂී නායකත්වයෙන් එදා දිනාගන්නා ලද අයිතීන් අදටත් බුක්තිවිඳින වත්මන් පරපුරට ඔහු හඳුන්වා දීමටත්, ඔහු ඇසුරු කළ, ඔහුගේ සමකාලීනයන්ගේ මතකය අවදිකිරීමටත් වසරක් පාසා සිදුකරනු ලබන සැමරුම් වෙනුවෙන් පොත්පිංචක් නිකුත් කිරීම කාලීනව වැදගත් යැයි හැඟුණු බැවින් මෙවරද බාලා සහෝදරයාගේ 11 වන ගුණානුස්මරණය වෙනුවෙන් මෙම පොත්පිංච ඔහුට උපහාර පිණිස එළිදක්වමු.
වසර 66 කට අධික කාලයක් වැඩකරන ජනතාවගේ සැබෑ නායකයෙකු ලෙස කටයුතු කළ බාලා තම්පෝ සහෝදරයා පිළිබඳ සුවිශේෂී කතාවක් කිව යුතුය. ඒ නම් අවිවාදයෙන්ම ඔහු සැබෑ කම්කරු නායකයෙකු බවයි. කිසිදු අවස්ථාවක පෞද්ගලික හෝ දේශපාලන අවශ්‍යතාවයකට වෘත්තීය සමිති ව්‍යාපාරය පාවා නොදුන් ඔහු සීඑම්යූ සංගමය හරහා පොදුවේ වැඩකරන ජනතාව මුහුණ දෙන ගැටලු සහ කම්කරු ජනතාවට බලපාන මර්ධන හා ගැටුම් මෙන්ම පොදුවේ සමාජයට බලපාන දේශපාලනික ආර්ථික ප්‍රශ්න හමුවේ පෙනී සිටිමින් ජනතාව වෙනුවෙන් කටයුතු කළ සුවිශේෂී නායකයෙකි. සැබෑ මිනිසෙකි.
බාලා සහෝදරයා ගැන මෙතෙක් එළිදැක්වූ පොත්, පත්‍රිකාවල, ඔහු ගැන අප දන්නා මෙන්ම අපට හැඟෙන දේ සටහන් කළ බැවින් මෙවර වෙනස් ඇසකින් බාලා දැකීම පිණිස ඔහු විසින්ම පුවත්පත් සහ වෙනත් ප්‍රකාශන සඳහා ලබාදුන් සම්මුඛ සාකච්ඡා ඇසුරින් මෙම පොත්පිංච නිමවා ඇත.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි නිදහස් සටනට උරදුන් විරුවන් අතර අවසන් පුරුක ලෙස, අතිශය තීරණාත්මක සහ අනතුරුදායක අවස්ථාවන් වල ජීවිතය පරදුවට තබා රටේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කිරීමේදී ඔහු ලද අත්දැකීම් සහ දැනුම් සම්භාරය මතු පරපුරේ උන්නතිය, යහපත වෙනුවෙන් සුරැකීම පිණිස තම ජීවිත කථාව රචනාකර තැබීමට බාලා සහෝදරයාට මෙන්ම ඔහුගේ සමකාලීන මිතුරන්ටත්, ඔහුගෙන් පන්නරය ලද වත්මන් වෘත්තීය සමිති නායකයින්ටත් අතපසුවීම කණගාටුවට කරුණකි. මිල කළ නොහැකි පාඩුවකි.
බාලා සහෝදරයාගේ සමකාලීනයකු නොවූ, සමීපතමයෙකු නොවූ වසර කීපයක ඉතා කෙටි කාලයක ඇසුරක් පමණක් ඇති මා, සීඑම්යූ සංගමයේ මෙතෙක් සුරැකිව ඇති ඔහු සම්බන්ධ ලියකියවිලි සහ පුවත්පත් වාර්ථා ඇසුරෙන් මෙම පොත්පිංච සකස් කිරීම, එම හිඩැස පිරවීමට ඉතා සුළු හෝ දායකත්වයක් ලබාදීමට ගන්නා ලද අවංක උත්සාහයකි.
| බාලා තම්පෝ සහෝදරයා තරුණවියේ
අපි දන්නෙ ඔබේ බාලා තම්පෝ කියන නම විතරයි?
මගේ සම්පූර්ණ නම පිලිප් බාලේන්ද්‍ර තම්පෝ.
ඉපදුනේ?
1922 මැයි 23 මීගමුවේ කුඩාපාඩුවේ.
ඉස්කෝලෙ ගියේ?
මීගමුවෙ නිවුස්ටඩ් විදුහලේ පළමුවන පන්තියේ හිටියා. ඊටපස්සෙ ගියේ ඉන්දියාවේ ඉස්කෝලෙකට. 8 වන පන්තියේ ඉඳලා රෝයල් කොලේජ් එකට.
මීගමුවෙ ඉඳල කොහොමද ඉන්දියාවෙ ඉස්කෝලෙ ගියේ?
එංගලන්ත ආණ්ඩුව කාළෙ අපේ තාත්තා සුරා බදු පරීක්‍ෂකවරයෙක් විදියට ඉන්දියාවෙ වැඩ කළා. අපිත් ඒ කාළෙ ජීවත් වුනේ ඉන්දියාවෙ. වයස අවුරුද්දක් වෙද්දි ඉන්දියාවට ගිය මම 1934 වනතුරු ඉන්දියාවේ සිටියා. ඉන්දියාවේ බැංගලෝරයේ පාසලකට තමා මුලින්ම ගියේ.
එතකොට රෝයල් කොලීජියට ආවෙ?
1934 දී ඇතුල් වුනේ 8 වෙනි පන්තියට. එතකොට අපේ පදිංචිය කොළඹ. 1937 දී මම ලෝරන්ස් ශිෂ්‍යත්ව ත්‍යාගය හිමිකර ගත්තා. 1939 දී ජ්‍යෙෂ්ඨ කේම්බී්‍රජ් විභාගයේ ප්‍රතිඵල මත මට යුනිවර්සිටි කොලෙජ් එකේ ( එකල ලංකා විශ්ව විද්‍යාලය හැඳින්වූයේ මේ නමිනි. ) නිදහස් ශිෂ්‍යභාවයක් ලැබුනා.
ඉස්සෙල්ලම කරපු රස්සාව මොකක්ද?
ඉංග්‍රීසි ඉගැන්නුව.
කොහෙද?
සම සමාජ පක්‍ෂයට සම්බන්ධ වෙලා හිටපු ටෙරන්ස් ඩී සිල්වගෙ කොළොන්නාවෙ පාසලක.
ඊට පස්සෙ?
ඊට පස්සෙ බොරැල්ලෙ වෙස්ලි කොලේජ් එකේ ඉගැන්නුව.
ඔය කොයි කාලෙද?
පාසලෙන් අස්වෙලා විශ්ව විද්‍යාලයට යන්න කලින්. එකල විශ්ව විද්‍යාල තිබුනේ නැහැ. තිබුනේ යුනිවර්සිටි කොලේජ්. බි්‍රතාන්‍ය යටත් විජිතයක් නිසා අපි මුහුණ දුන්නේ ඒ රටේ විභාග වලටයි. මම අධ්‍යාපනය හැදෑරුවේ විද්‍යා අංශයෙන්.
ඔබ දේශපාලනයට සම්බන්ධ වුනේ කොහොමද?
1941 දී මම එවකට තිබුණු නීති විරෝධී දේශපාලන පක්‍ෂයකට බැඳුනා.
මොකක්ද ඒ නීති විරෝධී දේශපාලන පක්‍ෂය?
ලංකා සමසමාජ පක්‍ෂය.
ලංකා සමසමාජ පක්‍ෂය නීති විරෝධී දේශපාලන පක්‍ෂයක් නොවෙයි නේද?
ඒ වෙනකොට සමසමාජ පක්‍ෂය තහනම් කරල තිබුණෙ.
ඒ ඇයි?
ඒ දෙවන ලෝක යුද්දෙ කාළෙ එම අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධවීම නිසා සමසමාජ පක්‍ෂය තහනම් කරල තිබුණෙ.
| අධිරාජ්‍යවාදී 2 වන මහා ලෝක යුද්ධයට එරෙහිව සමසමාජ පක්‍ෂයේ උද්ඝෝෂණයක් 1942
සමසමාජ කාරයෙක් වෙන්න හිතුවෙ ඇයි?
මාත් එක්ක විශ්ව විද්‍යාලෙ හිටපු මිත්‍රයො දෙන්නෙක් නිසා. දවසක් මට නාට්‍ය පිළිබඳ අධ්‍යයනයක් කරන්න උනන්දුවක් ඇති වුනා. ඒ වනවිට කලා අංශයෙන් අධ්‍යාපනය හදාරමින් සිටි ඩිකී ආටිගල, ටේරවර් ටිමර් යන මිතුරන් හමුවූයේ මගේ එම අදහස දන්වනු පිණිසයි. ඔවුන් එකල
අධිරාජ්‍යවාදී පාලනයේ හා දෙවන ලෝක යුද්ධයේ පීඩනයට එරෙහිව කටයුතු කළ අයයි. ඒ වගේම ඔවුන් දෙදෙනා ලංකා සමසමාජ පක්‍ෂයේ ක්‍රියාකාරී සාමාජිකයින්. පැවති අධිරාජ්‍යවාදී පාලනය විසින් ඒ වනවිටත් ලංකා සම සමාජ පක්‍ෂය තහනම් කර තිබුණා. ඔවුන් මාව ඒ නීති විරෝධී පක්‍ෂයේ නායකයින් වූ ඩෙරික් සූසා සහ ඇලෙක්සැන්ඩර් මැතිව් වෙත කැඳවාගෙන ගියා. ඒ අවස්ථාවේ ඔවුන්ට මගේ විප්ලවකාරී හැඟීම් තේරුම් ගිය නිසා ලංකා සමසමාජ පක්‍ෂයේ දේශපාලන කටයුතු වලට මා සම්බන්ධ කර ගත්තා. ඒ වනවිට ලංකා සමසමාජ පක්‍ෂයේ කාර්යභාරය වුණේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය භංගකර ශ්‍රී ලංකාවට පූර්ණ නිදහස ඇතිකර ගැනීමයි.
පසුව මටත් මගේ මිත්‍රයන්ටත් මේ රටේ සිටි බි්‍රතාන්‍ය සොල්දාදුවන් අතරට ගොස් යුද විරෝධී ආකල්ප ඇති කිරීම හා ඊට අදාල අත්පත්‍රිකා බෙදීමට පක්‍ෂය විසින් පැවරුවා. මෙය ඉතාම භයානක කාර්යයක් වුනත් හිතේ තිබුණු උද්වේගකර හැඟීම් අපව ඉදිරියට තල්ලු කළා. මේ කාර්යයේ නියුක්තව සිටින අතරතුර වතුකරයේ පැවති වැඩවර්ජනයට ද සහයෝගය ලබාදෙමින් එහි සම්බන්ධීකරණ කටයුතු කිරීමට මට පැවරුවා. මෙම කාර්යයන් ඉතා රහසේ සිදුවුනා. ඒ කාලේ හැටියට අසුවුනා නම් උරුම වන්නේ මරණය බව සියලු දෙනා දැන සිටියා.
එතකොට හිටපු අනෙක් දේශපාලන නායකයෝ කවුද?
ඒ වනවිට ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධානීන් අතර ඇන් ඇම් පෙරේරා, පිලිප් ගුණවර්ධන, එඩ්මන්ඩ් සමරක්කොඩි, ලෙස්ලි ගුණවර්ධන, කොල්වින් ආර් ද සිල්වා යන අය මහනුවර බෝගම්බර සිරගෙදර සිරගතව හිටියා. දවසක් අපේ ප්‍රධානීන් බලන්න බෝගම්බර හිරගෙදරට යෑමේ ආසාවක් මගේ සිත තුල උපන්නා. ඒ නිසාම කුරුප්පු නමින් පෙනී සිට මම හිර ගෙදරට ගියා. එයාලා එදා අපේ වීරයෝ. ඔවුන් රැවුල දිගට වවලා හිටියේ. ඒ නායකයින් මුල්වරට දැකපු ගමන් මගේ හැඟීම් තවත් තීව්‍ර වුණා. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
අපි නීති විරෝධී ලංකා සමසමාජ පක්‍ෂයට බි්‍රතාන්‍ය සොල්දාදුවන් පවා බඳවා ගැනීමට කටයුතු කළා. එපමණක් නොවෙයි, ඒ වනවිට බෝගම්බර හිරගෙදර බාරව සිටි සොලමන් නම් බි්‍රතාන්‍ය ජාතිකයාව මිත්‍ර කරගෙන අවස්ථා කීපයකදීම දේශපාලන කටයුතු වලට හිරගෙදරින් පිටතට පැමිණ යළිත් ඒ තුළට යෑමේ වැඩපිළිවෙලක් අපේ නායකයින් යොදාගෙන තිබුනා. ඒ කාළේ දේශපාලනය කරලා අහුවුනා නම් හිරේ. මම නීති විරෝධී ලංකා සමසමාජ පක්‍ෂයේ නිල පුවත්පත හොරෙන් බෙදීම කළා. දෙහිවල පැත්තේ රහස් මුද්‍රණාලයක තමයි හොරෙන් මුද්‍රණය කලේ. මේ සිදුවීම් අධිරාජ්‍යවාදීන්ට එරෙහිවත් යුද්ධයට එරෙහිවත් අපි ජීවිතය පරදුවට තබා කළ සටන්.
මේ සියලු සිදුවීම් 1941 - 1942 අතර කාලයේ දී සිදුවුනා. 1942 අප්‍රේල් 05 ජපන්නු ලංකාවට බෝම්බ දැම්මා. මෙය අපේ රටේ ජනතාවට නුපුරුදු සිදුවීමක් නිසා ඔවුන්ට විශාල කම්පනයක් ඇති වුනා. මේ අනතුරුදායක සිදුවීම නිසා මට කොළඹ සිට පේරාදෙණියේ අපේ මාමා කෙනෙකුගේ ගෙදර නැවතීමට සිදුවුනා. ජපන් හමුදාව ශක්තිමත් වෙමින් පැවතුන නිසා අපේ පක්‍ෂය තීරණයක් ගත්තා නායකයින් සියලු දෙනා හිරගෙදරින් පැන ඉන්දියාවට යායුතුයි කියලා. මේ අතර අපේ කාර්යය වූ බි්‍රතාන්‍ය සොල්දාදුවන්ට අත්පත්‍රිකා බෙදීම, ඒ අය තුල යුද විරෝධී හැඟීම් ඇතිකිරීම දිගටම කරගෙන ගියා. ඔවුන් සිනමා ශාලාවල චිත්‍රපට නැරඹීමට පැමිණෙන නිසා අපි සිනමා ශාලා තුලට ගොස් අපේ කටයුතු කළා. මේ කාර්යයන්
දක්‍ෂ ලෙස ඉටුකිරීමට හැකිවූයේ ආටිගල සහෝදරයාගේ චතුර ඉංග්‍රීසි කතාබහ නිසයි. ඔහු බුරුමය, ඉන්දියාව, ශ්‍රී ලංකාව එක්ව පිහිටුවා තිබූ බෝල්ෂෙවික් ලෙනින් පක්‍ෂයේ සභිකයෙක් බව මම පසුව දැනගත්තා. ඒ පක්‍ෂයේ ශ්‍රී ලංකාවේ කාර්යභාරය ඉටුකළේ ලංකා සමසමාජ පක්‍ෂයයි.
එදා රට පත්ව තිබුණේ කණගාටුදායක තත්වයකට. ජපන්නු බෝම්බ දැමීම නිසා මාර්ගවල ආලෝකය නැහැ. ජනතාවට එල්ලවී තිබූ පීඩනය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ නිසා අපේ හිතේ ඇතිවූ විප්ලවකාරී හැඟීම් සමග දක්‍ෂ නායකයින් යටතේ ක්‍රියාකිරීමේ අවස්ථාව ලැබීම නිසා අපි අභියෝගවලට මුහුණ දුන්නා.
සිංගප්පූරුවේදී බි්‍රතාන්‍ය හමුදාව පරාජයවීමෙන් අනතුරුව අපේ නායකයින් ඉන්දියාවට පලාගියා. ඔවුන් හිරෙන් පනින දවස මම දැනගෙන හිටියා. මමත් කොළඹ ආවේ ඔවුන්ගේ කාර් වලින්. මම හිටියේ පිලිප්ගේ කාරෙකේ. අපි ඇවිල්ලා නතර වුනේ බම්බලපිටියේ ඩොරික් ද සූසාලගේ ගෙදර. ඉන්දියාවට යන්න ප්ලෑන් කළේ එතන ඉඳලා. මුලින්ම අනුරාධපුරයට ගියා. ඔවුන් එන්න කලින් මම අනුරාධපුරේට ගිහිල්ලා ඔවුන්ට නැවතීමට ගෙයක් කුලියට ගත්තා. ඉන්දියාවට යෑමට නීතිමය තත්වයක් නොමැති නිසා යාපනයට ගොස් යාපනයේ හොරබඩු ජාවාරම්කාරයන්ට සල්ලි දීලා තමයි මුහුදුතීරය හරහා රහසේ ඔවුන් ඉන්දියාවට පැනගත්තේ.
| දෙවන ලෝක යුධ සමයේ පළවූ පුවත්පත් දැන්වීමක්
විශ්වවිද්‍යාලයෙන් පස්සෙ?
මේ සියලු කටයුතු මැද 1943 දී මම ගෞරව උපාධියක් ලබාගත්තා. 1944 ඊට අනුරූප ලන්ඩන් විශ්ව විද්‍යාලයේ උපාධියද මට ලැබුණා. 1943 දී මම ලංකා විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යාව සම්බන්ධ සහකාර ප්‍රදර්ශක වශයෙන් පත්වුනා. 1944 දී පේරාදෙණිය කෘෂිකාර්මික විද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳව කථිකාචාර්යවරයෙක් විදියට පත්වීමක් ලැබුවා. මට තිබුනේ මේ රටේ පලතුරු වගාව ප්‍රචලිත කිරීම සඳහා සිසුන්ට දැනුම ලබාදීමටයි. ඒ සඳහා රට වටේ තිබුණු කෘෂි මධ්‍යස්ථාන වලට යෑමට සිදුවුනා. මේ වනවිටත් මා හොරෙන් දේශපාලන පන්ති පවත්වමින් සිටියේ. 1945 යුද්ධය අවසන් වුනා. භාණ්ඩ මිල අධික ලෙස ඉහල ගියා. වතුකරයේ වැඩවර්ජන රැල්ලක් ඇතිවුනා.
මේ සියලු කාර්යයන්වල නියැළුණත් ට්‍රොස්කි වාදය පිළිගෙන කටයුතු කිරීම පමණයි මගේ අරමුණ වුනේ. ඔය අතරේ ස්ටාලීන්වාදය මුල් කරගෙන ලංකා සමසමාජ පක්‍ෂය තුළ යුද්ධයට පක්‍ෂ හා විපක්‍ෂ ලෙස කණ්ඩායම් දෙකක් ඇතිවුනා. යුද්ධයට පක්‍ෂ අය සමසමාජ පක්‍ෂයෙන් ඉවත්වීමෙන් දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එක්සත් සමාජවාදී පක්‍ෂය බිහි වුනා. පසුව පීටර් කේනමන් මහතා ද ඊට එකතුවීමෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය පිහිටුවා ගත්තා.
මේ වනවිට ලංකා සමසමාජ පක්‍ෂය මට තවත් වැඩක් පැවරුවා. ඒ සියලු රහස්‍ය ලිපි ලේඛන බාරව කටයුතු කිරීම. මේ වනවිට ඉන්දියාවට නිදහස ලැබීම නිසා ලංකා සමසමාජ පක්‍ෂයේ නායකයින් තුළ ජාතිකවාදය ඇතිවීමෙන් කොල්වින්, ලෙස්ලි, බර්නාඩ් එක්ව බෝල්ෂෙවික් සමසමාජ පක්‍ෂය පිහිටුවා ගත්තා. ඊට මමත් එකතුවුනා. මේ හේතුවෙන් ලංකා සමසමාජ පක්‍ෂයට සම්බන්ධ වෘත්තීය සමිති දෙකට බෙදුණා.
| රජයේ ලිපිකරු සේවා සංගමයේ වැඩවර්ජනයක්
සහභාගිවුණු පළමුවෙනි දේශපාලන අරගලය මොකක්ද?
1947 දී. ඒ කාළේ රෙගුලාසියක් තිබුණා රජයේ සේවකයින්ට ඡන්දය දීම හැර දේශපාලනය කරන්න තහනම් කියලා. ඒකට විරුද්ධව රජයේ සේවකයින් අතර උද්ඝෝෂණයක් ඇතිවුනා වෘත්තීය සමිති අයිතිය හා දේශපාලන නිදහස දිනාගන්න. එවකට රජයේ ලිපිකාර සේවා සංගමයේ නුවර ශාඛාවේ සභාපති වුණේ ටී. බී. ඉලංගරත්න මහතායි. ඔහු මට ආරාධනා කළා නුවර ශාඛාවට ඇවිත් වෘත්තීය සමිති අයිතීන් සහ දේශපාලන නිදහස ගැන කතා කරන්න. මම දේශනයක් කළා.
1947 මැයි 18 වැනිදා රජයේ ලිපිකරු සේවා සංගමයත්, පොදු සේවක සංගමයත් තවත් වෘත්තීය සමිති 18 කුත් විශේෂයෙන් සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂයත්, ගාලුමුවදොර පිට්ටනියේ දී, බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී රෙගුලාසි වලට එරෙහිව වෘත්තීය සමිති අයිතිය හා දේශපාලන නිදහස දිනාගන්න විශාල උද්ඝෝෂණයක් කළා. එහිදී ඇතිවූ මහා වැඩවර්ජනය හේතුවෙන් මැයි 30 වෙනිදා ඉලංගරත්න මහත්තයා ඇතුළු වෘත්ත්ීය සමිති නායකයින්ගේ සේවය තහනම් කළා. 1947 මැයි 31 වෙනිදා වෙද්දී තත්වය තවත් උණුසුම් වුණා. වෘත්ත්ීය සමිති නායකයින්ගේ සේවය තහනම් කිරීමට විරුද්ධව වැඩවර්ජනයක් කැඳෙව්වා. ඉලංගරත්න මහත්තයා නුවර සිට ඒ වෙනුවෙන් කොළඹ ආවා.
| දැන්වීමක්
ඉලංගරත්න මහත්තයා මට කීවා ඔයත් වර්ජනයට සම්බන්ධ වෙලා නායකත්වයක් බාරගන්න කියලා. මම ඒකට එකඟ වෙලා සමසමාජ පක්‍ෂයේ නායකත්වයෙන් විමසුවාම ඔවුන් මට වැඩවර්ජනය කරන්න අවසර දුන්නා. ඒ මහා වැඩවර්ජනයට නුවර නායකත්වය දුන්නෙ මම. 1947 ජූනි 03 දින මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී වැඩවර්ජකයන් අමතා මම ඓතිහාසික කථාවක් කළා. එම කථාවේදී ආණ්ඩුකාරවරයා විවේචනය කිරීම හේතුවෙන් මා රැකියාවෙන් පහකළා.
රජයේ සේවකයින්ට නැවත සේවයට වාර්ථා කරන්න කියලා 1947 ජූනි 20 දා රජය ගුවන් විදුලිය මගින් දැනුම් දුන්නා. නමුත් කවුරුත් වැඩට ගියේ නෑ. අපි 1947 ජූලි 05 වනදා සියලුම වර්ජකයින් කොළඹට කැඳවලා විරෝධතා පෙළපාලියක් ගියා. කොළාන්නාවේ රජයේ තෙල් සංස්ථාව ඉදිරිපිටදී පෙළපාලිකරුවන්ට පොලීසිය බැටන් ප්‍රහාරයක් එල්ල කරලා පස්සේ වෙඩි තිබ්බා. රජයේ ලිපිකරුවෙක් වූ වී. කන්දසාමි සහෝදරයා එතැනදී වෙඩිවැදී මැරුනා. ඒ සිදුවීමත් සමග වැඩවර්ජකයෝ පසු බහින්න වුනා. 1947 ජූලි 08 වෙනිදා කොම්පඤ්ඤවීදියේ ඩිමෙල් පිටියට සියළුම වර්ජකයින් කැඳවුවත් ආවේ 300 ක් විතර. පස්සේ අපි තීන්දුවක් ගත්තා නැවත සේවයට වාර්තා කරන්න.
මම සේවයට වාර්තා කරන්න ගියාම පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යාලයේ ප්‍රධානියා මට කීවා මගේ තත්වය අනුව මාව වැඩට ගන්න ඔහුට බලයක් නෑ කියලා. පසුව කොළඹ ප්‍රධානියා මගෙන් හේතු විමසලා ලිපියක් එවුවා. මම ඔහුට ලිවුවා රජයේ සේවකයන් ඔවුන්ගේ අයිතිය වෙනුවෙන් සටන් කරන කොට මගේ හෘදසාක්‍ෂියට අනුව මම ඔවුන්ට සහයෝගය දුන්නා කියලා. දින දෙකකට පස්සෙ පිළිතුරක් ආවා රාජ්‍ය සේවයට මාව අවශ්‍ය නැති බවට සඳහන් කරලා.
| බාලා සහෝදරයාගේ ඡන්ද පෝස්ටරයක්
ඡන්දෙට වැඩ කළේ නැත්ද?
ඇයි නැත්තෙ. 1947 සැප්තැම්බර් මාසෙ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ලංකාවේ පළමුවන මහ මැතිවරණය තිබ්බා. එතකොට බෝල්ෂෙවික් පක්‍ෂෙයි සමසමාජ පක්‍ෂෙයි දෙකම තිබුණා. ඒ මැතිවරණයේදී මම දේශපාලන ප්‍රචාරක කටයුතු වලට සහභාගි වුනා. මගේ කථිකත්වය ඊට ප්‍රයේජනවත් වුණා.
පසුව 1960 දී කොළඹ නගර සභාවටත් මැද කොළඹින් පාර්ලිමේන්තුවටත් මා ලංකා සමසමාජ පක්‍ෂයෙන් තරඟ කළා. ඒ තරඟ කලෙත් මගෙ උවමනාවකට නෙමෙයි. මැද කොළඹ බහු ආසනයක් නිසයි මම තරඟ කළේ. මම හතරවැනියා වුනා. ආර් ප්‍රේමදාස (1988 ජනාධිපති ) තුන්වැනියා. පසුව ලංකා සමසමාජ පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එකතුවීම නිසා අපි දේශපාලනයෙන් ඉදිරියට පැමිණියේ නැහැ. වමේ බලය හීන වුනා.
මුල්ම නිදහස් උත්සවය එහෙම ඔබ දකින්න ඇති?
ඔව්. මුල්ම නිදහස් උත්සවය තිබුනේ වික්ටෝරියා පාක් එකේ. දැන් ඒකට කියන්නේ විහාරමහා දේවී උද්‍යානය කියලා. ඉංග්‍රීසි කොඩිය පහතට දාලා සිංහ කොඩිය උස්සනවා මම දැක්කා.
පසු කලෙක ඹබ ලංකා සමසමාජ පක්‍ෂයෙන් ඉවත් වෙනවා?
ඒ 1964 දී. එතකොට මම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහයෝගය දිය යුතුයි කියන යෝජනාව ආව වෙලාවේ මම ඒකට විරුද්ධ වුනා. මම විතරක් නෙමෙයි. අපි එකසිය ගාණක් ඉවත් වුනා. එදාම අපි විප්ලවවාදී ලංකා සමසමාජ පක්‍ෂය පිහිටෙවුවා. එඩ්මන් සමරක්කොඩි සහෝදරයා එහි ප්‍රධාන ලේකම් ලෙස පත්වුනා. පසුව ඇතිවුණු මතභේද උඩ මම ලේකම් ලෙස කටයුතු කළා.
ලංකා වෙළඳ සේවක සංගමයට සම්බන්ධ වුනේ කොහොමද?
සාමාජිකත්වයේ ඉල්ලීම මත. ලංකා වෙළඳ සේවක සංගමයේ සාමාජිකයෝ එහි නායකයා වන ඒ. ඊ. ගුණසිංහ මහත්තය ගැන කළකිරිල හිටියෙ. ඒ අයට තේරිලා තිබුනා ගුණසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ තවදුරටත් තමන්ගේ ඉල්ලීම් දිනාගත නොහැකි බව.
මේ වනවිට රටේ මට යම් ප්‍රසිද්ධියක් ඇතිවී තිබුණ නිසා වරාය ඇතුළු ආයතන කීපයක සේවකයින් පැමිණ සමසමාජ පක්‍ෂයේ හිටපු මාත් සමග සාකච්ඡා කළා සංගමය බේරා ගැනීම ගැන.
| කම්කරු නායක ඒ. ඊ. ගුණසිංහ
ලංකාවේ පළමුවැනි වෘත්තීය සමිති නායකයා වශයෙන් ගුණසිංහ මහත්තයට ලොකු පිළිගැනීමක් තිබුණ නේද?
කම්කරු ජනතාව අතර පමණක් නොවෙයි මුළු රටේම ලොකු පිළිගැනීමක් තිබුණා. පත්තරේක එයාගෙ නම නැතුව කම්කරු නායකයා කියල ලියල තිබුනත් මිනිස්සු දන්නව මේ කියන්නෙ ගුණසිංහ මහත්තය ගැන කියල.
එහෙමනම් ඇයි සාමාජිකයෝ කළකිරුනේ?
ඒ වෙනකොට ගුණසිංහ මහත්තය ඩී. එස්. සේනානායක මහත්තයගෙ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධූරයකට පත්වෙලා හිටියෙ. එයා ඒ වෙනවිට ස්ට්‍රයික් විරෝධී තත්වයකට පත්වෙලා හිටියෙ. ඒ විතරක් නොවෙයි ස්ට්‍රයික් කඩාකප්පල් කරන තත්වයකටත් පත්වෙලා හිටියෙ.
එතකොට ලංකා වෙළඳ සේවක සංගමය පිහිටුවල කොච්චර කල්ද?
1928 දී පිහිටුවල තියෙන්නෙ. ඒ වෙනකොට 19 අවුරුද්දක් ගුණසිංහ මහත්තය ඒකෙ නායකත්වය දරල තිබුණා. ආර් ප්‍රේමදාස මහත්තයත් ( 1988 ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති ) මුලින්ම එයාගෙ කම්කරු පක්‍ෂයේ සාමාජිකයෙක්.
ඔබ එය බේරා ගත්තේ කොහොමද?
මම ඔවුන්ට උපදෙස් දුන්නා ඊලඟ සංවත්සරයේදී ලිපිකරුවෙක් සංගමයේ සභාපති ධූරයට පත් කරන ලෙස. ඒ අනුව 19 වන සංවත්සරයේදී ලිපිකරු මහතෙකු (ෆෝබ්ස් ඇන්ඩ් වෝකර් ශාඛාවේ ජේ. වී. සී. හොල්සිංගර්) සභාපති වශයෙන් පත්කර ගත්තා.
ගුණසිංහ මහත්තය මොකද කළේ?
එතුමා සංගමයෙන් ඉවත්වුනා. ඒ 1947 නොවැම්බර් මාසයේ.
| ජයග්‍රහණයේ සතුට
ඔබ එහි මහලේකම් (ප්‍රධාන ලේකම්) ධූරයට පත්වුනේ කොයි අවුරුද්දේද?
1948 දී. ඒගොල්ල අලුත් ව්‍යවස්ථාවක් ඇති කරල මාව මහලේකම් ධූරයට පත්කළා. හරියටම කියනව නම් 1948 පෙබරවාරි 01 දා. එදා සිට අද (2014) දක්වා මම ඒ ධූරය දරනවා.
මුලින්ම සාමාජිකත්වය කොයි තරම් හිටියද?
පන්සීයක්වත් හිටියේ නෑ.
දැන් කොච්චර ඉන්නවද?
ඊට පස්සේ 35,000 ටත් නැග්ගා. ඒත් දැන් අඩුවෙලා.
ඇයි දැන් අඩුවෙලා තියෙන්නේ?
නොයෙක් සමාගම් දැන් වහලා ගිහිල්ලා. තිබුණ ඒවත් දැන් සේවක සංඛ්‍යාව හුඟක් අඩුකරල. ඒ අයගෙ වැඩ කොන්ත්‍රාත් ක්‍රමයට කරගන්න තත්වයක් ඇතිකරල තියෙනවා.
ඒ කාලෙ ප්‍රභලම ශාඛාව තිබුනෙ කොහෙද?
වරායෙ.
අපි අහල තිබුණ දෙයක් තමයි ඔබේ සමිතියට දේශපාලන පක්‍ෂ භේදයක් නැති බව?
ඔව්. අපේ සංගමය දේශපාලන අතින් සම්පූර්ණ ස්වාධින මතයක් තමයි දරන්නෙ. දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ වෙලා නැහැ. මම සමසමාජ පක්‍ෂයේ ඉහලම නායකත්වයක් දරණ කාලයේත් කිවුවේ, වෘත්තීය සමිතියක් ස්වාධීන වියයුතු බවයි. පක්‍ෂයක් එයට ඇඟිලි ගැසිය යුතු නැති බවයි. මම හැම විටම කිව්වේ දේශපාලන පක්‍ෂවලට වටින්නෙ ඡන්දදායකයෝ මිස කම්කරුවෝ නොවෙයි. ඔවුන් මාක්ස්ගේ දර්ශනයට අනුව කම්කරුවන් තුළ පන්ති හැඟීම ඇති කරන්නේ නෑ. පන්ති සටනට පණ පොවන්නේ නෑ.
ඔබ සංගමය කරපු ලොකුම සටන මොකක්ද?
1956 දී සමාගම් 44 ක් එක්ක මහා වැඩවර්ජනයක් කළා. අප දන්න තරමින් ලංකාවේ පමණක් නොවෙයි ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ වෙනත් කිසිම රටක මේ තරම් කම්කරු සටන් වැඩවර්ජන ඇතිවී නැහැ. ඒ සේරම වාගේ කළේ ලංකා වෙළඳ සේවක සංගමය.
මෙච්චර සටන් කරලා ලබාගත්ත ජයග්‍රහණ මොනවාද?
ප්‍රධාන වශයෙන් ඉල්ලීම් 9 ක් ලබාගත්තා.
සියයට 50 ක පඩි වැඩිකිරීමක් ඇතුළුව අර්ථසාදක අරමුදල, නිවාඩු, අතිකාල දීමනා ආදිය පෞද්ගලික අංශය වෙනුවෙන් අපි ලබා ගත්තා. ඒ වගේම වරාය සේවකයින්ට මාස් පඩි තත්වයක් ඇතිවුණෙත් ඊට පසුව. එතෙක් පෞද්ගලික අංශයට ඒවා ලැබුනේ නැහැ. අපි කියපු නඩුවකින් පස්සෙ තමයි ඒවා නීත්‍යානුකූල වුනේ.
වරායේ ස්ථිර සේවකයින්ටත් දවස් පඩිද දුන්නෙ?
ඒ කාලෙ ස්ථිර සේවකයෝ කියල ජාතියක් හිටියෙ නැහැ. එක දවසින් නොටිස් දීලා මාසෙකින් අස්කරන්න පුළුවන් තත්වයක් තිබුණෙ. අපි සේවා සුරක්‍ෂිතතාවය ඇති කරගන්න සටන් කළා.
| ප්ලාටේ වැඩවර්ජනය - 1949
සීඑම්යූ ඉතිහාසය තුල කය වෙහෙසා වැඩකරන ජනතාව වෙනුවෙන් සිදුකළ තීරණාත්මක සටන් මොනවද?
සීඑම්යූ වේ ප්‍රථම වැඩවර්ජනය සිදුවුණේ 1949. ඒ තමයි ප්ලාටේ සමාගමේ සේවකයින් 55 දෙනාගේ වැඩවර්ජනය. ඊට පස්සෙ ප්‍රධාන ඒවා හැටියට,
1955 සිලෝන් තියටර්ස් වැඩවර්ජනය,
1957 ටයිම්ස් ඔෆ් සිලෝන් පිටමං කිරීම,
1959 ලේක්හවුස් වැඩවර්ජනය,
1963 - 1964 බෲක් බොන්ඩ් වැඩවර්ජනය,
1964 වරාය වැඩවර්ජනය,
1965 බ්‍රවුන්ස් වැඩවර්ජනය,
1966 ගුවන් විදුලි සංස්ථාවේ වැඩවර්ජනය සහ ලකී ඉන්ඩස්ට්‍රීස් වැඩවර්ජනය,
1969 කළුතර ඇසෝසියේට් මෝටර්වේස් සමාගමේ වැඩවර්ජනය,
1975 පොහොර සංස්ථාවේ අරගලය,
1982 යාපනය පරන්තන් රසායන ද්‍රව්‍ය සංස්ථාවේ වැඩවර්ජනය,
1994 පොලිටෙක්ස් වැඩවර්ජනය,
1996 කොකාකෝලා සමාගමේ වැඩවර්ජනය,
මේවගෙන් තමා රටේ පෞද්ගලික අංශයේ වගේම රාජ්‍ය අංශයේ කය වෙහෙසා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සහ යහපත් වැඩකිරීමේ තත්වයන් තහවුරු වුණේ. 1947 මහා වැඩවර්ජනයේ සිට 1953 හර්තාලය දක්වාත්, ඊට පස්සෙ ඇතිවූ සටන් හැම එකකමත් සීඑම්යූ ව රටේ සැබෑ කම්කරු පන්තියේ හඬ නියෝජනය කළා.
වැඩියෙන්ම ස්ට්‍රයික් කළේ කොයි කාලෙද?
1968 දී. ඩඩ්ලි සේනානායක ආණ්ඩුව කාළෙ.
කොයි තරම් ප්‍රමාණයක්ද?
මාසයක් වගේ ඇතුලත විවිධ තැන්වල ස්ට්‍රයික් 70 ක් විතර.
මොකක්ද ඒ සටන් වලට හේතු වුනේ?
කර්මාන්ත ශාලාවල සේවකයෝ අඩුකරන්න හාම්පුත්තු තීරණය කළා. ඒකට විරුද්ධවයි අපි සටන් කළේ.
දේශපාලනඥයො, ෆැක්ටරි අයිතිකාරයො ඔබව අල්ලා ගන්න බැලුවෙ නැත්ද?
එක වතාවක් ඩඩ්ලි සේනානායක මහත්තය මට එන්න කිවුවා. අපි රාත්‍රී 2 ට විතර නොනිල සාකච්ඡාවක් කළා වුඩ්ලන්ඩ් මන්දිරයේ.
මොනවද සාකච්ඡා කළේ?
ඇයි මේ තරම් ස්ට්‍රයික් කරන්නෙ කියලා එයා ඇහුවා. මම කිවුවා දැනට කම්කරුවන් වෙනුවෙන් කිසිම නීතියක් නැති බවත්, ඕනෑම සේවකයෙකු හිතුමතේ අස්කරන්න පුළුවන් බවත්, ඒ තත්වය වෙනස් කලයුතු බවත්, මම කියා සිටියා. එතුමා ඒක පිළිගත්තා. ඊට පස්සේ දිනක නිල සාකච්ඡාවක් තියල ඒ ඉල්ලීම් ඉටු කළා.
කවුද ඒ කාලෙ කම්කරු ඇමති?
එච්. එම්. මොහොමඩ්. ඒ කාලෙ ඉතා හොඳ කම්කරු කොමසාරිස් කෙනෙක් හිටියා ලින්කන් අබේදීර කියල. අබේදීර මහත්තයගෙ යෝජනාවක් මත මටම නීති කෙටුම්පත සකස් කරන්න අවස්ථාව ලැබුනා. එහෙත් ඒක සේවය අවසන් කිරීමේ පනත වශයෙන් එළියට ආවේ 1971 දී සිරිමාවෝ බණ්ඩාරණායකගේ රජය යටතේ. කාර්යාල හා සාප්පු පනත ඇති වුනෙත් ඩී. එස්. සේනානායක මහතාගේ කාලයේ අපේ සංගමය කළ සටනකින් පසුව.
වැඩියෙන්ම අයිතිවාසිකම් දිනාගෙන තියෙන්නෙ යූඑන්පී ආණ්ඩු යටතේද? ශ්‍රීලනිප ආණ්ඩු යටතේද?
දෙපැත්තෙන්ම වාගේ අයිතිවාසිකම් දිනාගෙන තියෙනවා. දෙපැත්තෙම ආණ්ඩු තියෙන කාලවල අපි ස්ට්‍රයික් කළා. 1956 දී බණ්ඩාරණායක මහත්තය ආණ්ඩුව පිහිටවල අවුරුද්දක් ඇතුලතත් අපි මහා වැඩවර්ජනයක් කළා. බණ්ඩාරණායක මහත්මයා මට හොඳින් සැලකුවා. මම සාධාරණව ඉල්ලීමක් කලාම එතුමා එයට ඇහුම්කන් දීලා යමක් කළා. මම එතුමාව හිතවත්ව ඇසුරු කළා. වැඩවර්ජන කරන්න එපා කියලා එතුමා මගෙන් ඉල්ලීම් කරපු අවස්ථා තිබුනා. වාර්ෂික පාරිතෝෂික දීමනාවක් ඉල්ලා වරායේ වැඩවර්ජනය කරද්දී එතුමා මාව රොස්මීඩ් පෙදෙසේ ගෙදරට කැඳවලා මා සමග සාකච්ඡා කරල අවසානයේ රුපියල් 25 ක පාරිතෝෂික දීමනාවක් දිනාගත්තා. අපි වැඩවර්ජනය කළේ සාධාරණ හේතු ඇතිව.
| 70 දශකයේ රුපියලේ අගය අඩුකිරීමට එරෙහිව සීඑම්යූ පෙළපාලියක්
සර් ජෝන් කොතලාවල වෘත්තීය සමිති අරගල මැඩ පවත්වන්න දැඩිව ක්‍රියා කළා නේද?
ඔව්. සර් ජෝන් හුඟක් මර්ධනකාරී විදියට ක්‍රියා කළා. ඒත් දිගින් දිගටම අපි වැඩවර්ජනත් කළා. 1956 සර් ජෝන් කොතලාවල අගමැති වෙලා ඉද්දි අපි මහා වැඩවර්ජනයක් කළා. අපේ සංගමය තනියම. ලංකාවේ ආනයන අපනයන වෙළඳ වයාපාර සම්පූර්ණයෙන් අත්හිටෙවුවා. ආණ්ඩුවට කරන්න දෙයක් තිබුනේ නෑ. වර්ජනය නීත්‍යානුකූල නෑ කියලා අපිට ඉල්ලීම් දිනාගන්න වුනේ අධිකරණයෙන්. ඒ නඩුවෙන් ලිපිකරුවන්ගේ අවම වැටුප 50% ක් වැඩිකර ගත්තා.
සර් ජෝන් මට දවසක් පානදුරේදී හමුවුණා. සර් ජෝන් කීවා මට මේ සමාජවාදියා එක්ක කතා කරන්න ඕනෑ කියලා. මමයි කොතලාවල මහත්තයයි පානදුරේ සිට ඔහුගේ කාරෙකේ කොළඹට එනකම්ම කතා කරකර ආවේ යුද්ධය ගැන.
1954 වෙද්දි මම 4 වැනි ජාත්‍යන්තරයට බැඳිලා හිටියා. ඒ සම්මේලනය තිබුනේ යුරෝපීය රටක. මම රට යන්න ගුවන් ගමන් බලපත්‍රය ඉල්ලුවාම මට ගුවන් ගමන් බලපත්‍රය දෙන්න බෑ කීවා. මම සර් ජෝන් අගමැති හමුවෙන්න ගියා ඒ ගැන අහන්න. මගෙන් ඇහුවා ඇයි රට යන්නේ කියලා. මම කීවා නිවාඩුවකට යන්නේ කියලා. නිවාඩුවකට නම් ඇයි නුවරඑළියට යන්න බැරි කියලා ඔහු ඇහුවා. මම කිවුවා නුවරඑළියයි යුරෝපයයි අතර ලොකු වෙනසක් තියෙනවා මට ප්‍රංශයටත් යන්න ඕනෑ කියලා. එතකොට කීවා ආ මට තේරෙනවා කාන්තාවෝ ආශ්‍රය කරන්න නේද යන්නේ කියලා. පිටරට ගිහින් ආණ්ඩුවට පහර ගහන්නේ නෑ කියලා පොරොන්දුවක් අරන් මට ගුවන් ගමන් බලපත්‍රය දුන්නා. හැබැයි මම කීවේ නෑ මම යන්නේ 4 වෙනි ජාත්‍යන්තරයේ රැස්වීමට කියලා.
| හර්තාලය - 1953 අගෝස්තු 12 ගාලුුමුවදොර රැළිය
හර්තාල් එකට සම්බන්ධ වුනේ නැත්ද?
ඔය කියන්නෙ 1953. එතකොට මම සමසමාජ පක්‍ෂයේ නායකයෙක්. අපේ සීඑම්යූ එකේ එතකොට ඒ තරම් වාමාංශික අදහස් තියෙන අය හිටියේ නැහැ. හිටියේ ලිපිකාර මහත්තුරු වගේ අය. එත් මම සමසමාජ පක්‍ෂය වෙනුවෙන් එයට නායකත්වය දුන්නා. සීඑම්යූ එකේ අය කළුපටි බැන්දා.
හර්තාලය මම මතක් කරන්නේ බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් වූ ලංකාවේ සිදුවූ වැදගත්ම සිදුවීම හැටියට මේ සිදුවීම ජාති ආගම් පක්‍ෂ බේද නැතිව තනිකරම ආර්ථික කරුණු මුල් කරගෙන සිද්ධ වෙච්ච ජනතා නැගිටීමක්. රජය ගත්ත තීරණයක් උඩ සහල් මිල ශත 25 සිට ශත 72 දක්වා තුන් ගුණයකින් වැඩිකළා. තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හැම එකකම වගේ මිල වැඩිකළා. මිනිස්සු නැගිට්ටේ බඩට ගහපු නිසයි. මේ අවස්ථාවේ සිදුවූ එක් සිදුවීමක් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන. එදා තිබුන ආණ්ඩුවේ කැබිනට් එකට ලංකාවේ භූමියෙන් ඉවත් වෙලා වරායෙ තිබුණු බි්‍රතාන්‍ය හමුදාවෙ එච් එම් එස් නිව්පවුන්ඩ් කියන නැවට ආරක්‍ෂාව සඳහා යන්න වුනා. ඒ කියන්නේ ලංකාවේ භූම්යෙන් ඉවත් වුණා. තාවකාලිකව වෙන්න පුළුවන්. නමුත් ඒක වුනේ හර්තාල් එක නිසයි. මේ තත්වය ඇති කරන්න මූලික වුනේ සමසමාජ පක්‍ෂය. ඒ සමගම කොමියුනිස්ට් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ වගේ වමේ පක්‍ෂ ඔක්කොම පාරට ආවා. පෙඩරල් පක්‍ෂය යාපනේ විරෝධතා වලට නායකත්වය දුන්නා. මේ විරෝධතාවය මතු කරන්න අපි ගොඩක් මහන්සිවී වැඩ කළා. සමසමාජ පක්‍ෂයේ රැස්වීම් ගනනාවක මම කතා කළා. සමසමාජ තරුණ සමිති ලොකු වැඩ කොටසක් කළා.
අනික පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති තනතුරට පත්වෙච්ච ඩඩ්ලි සේනානායක දොට්ට දමන්න හර්තාලයට හැකිවුනා. අවුරුද්දයි ඔහු අගමැති කමේ හිටියෙ. මේක විශේෂ සැලකිල්ලක් යොමුවියයුතු කාරණයක්. 1956 යූඑන්පී ආණ්ඩුව පරාජය කරල පාර්ලිමේන්තුවේ ආසන 9 කට බස්සල බණ්ඩාරනායක අගමැති වුනේ හර්තාලය නිසයි. තවත් එකක්, හර්තාල් දවසේ උදේ හිටන් මේ නැගිටීම් සිදුවෙන කොට, දවල් 2 ට ඩඩ්ලි සේනානායක අගමැති, මහජන ආරක්‍ෂක පනතේ වගන්ති වලට අනුව, රටේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා. ඒක වුනෙත් පළමු වරට. ඒ අනුව ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක පොලීසියට බලය දුන්නා වෙඩි තියන්ට.
මරණ තර්ජන ඇවිත් නැත්ද?
තිබෙනවා. වරක් පත්තරේ ලොකු අකුරු කපලා අලවල මරණ බවට තර්ජනය කරපු නිවේදනයක් ඇවිත් තියෙනවා.
කම්කරු සටන් වලදී පොලිසියෙන් ගහල නැත්ද?
එක වතාවක් බැටන් පොලු පාරවල් වැදුන. 1955 කොතලාවල ආණ්ඩුව කාලෙ. භාෂා ප්‍රශ්නය ගැන ඇතිවුණු සටනකදී.
ඒ වගේම, වැල්ලවත්ත රෙදිමෝලේ අවුරුද්ද අන්තිමට දෙන්න නියමිත ප්‍රතිලාභ නොදීම ගැන ප්‍රශ්නයකට ෆැක්ටරියේ ගේට්ටු කඩලා පාලකයින් අල්ලගෙන හිරකරලා තියාගෙන ඉන්නකොට සන්නද්ධ පොලිස් කණ්ඩායමක් ඇවිල්ලා ලොකු ගැටුමක් ඇතිවුනා. පොලීසිය එක්ක සටන් කරන තත්වයට උත්සන්න වුනා. අපි ඉදිරියට පැනලා පොලිස් වෙඩි ප්‍රහාර එල්ලවෙන එක වළක්වා ගත්තා. එහෙම ඉතිහාසයක් අපට තියෙනවා.
ඔබ නීතිඥ වෘත්තියට යොමුවුනේ කොහොමද?
ඒක අහම්බෙන් වුණ දෙයක්. 1953 අවුරුද්දෙ නීතිඥ වෘත්තියට මාව ඇදලා දැම්මේ මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්න. එයා අපේ සමසමාජ පක්‍ෂයේ හිටපු කෙනෙක්. ලංකාවේ අධිකරණ ඉතිහාසය ලියද්දි මගේ නම සඳහන් නොකර බැරිවෙන තැනක් තියෙනවා. මම තමයි අධිකරණ භාෂාව ඉංග්‍රිසි වුණු යුගයක සිංහලෙන් නඩු කතා කළේ. සිංහල නීතිඥවරුන් එදා ඒකට විරුද්ධ වුණා. ඔවුන් කීවේ තමන්ට එය කළ නොහැකි බවයි. ඒ අයගේ මව් භාෂාව සිංහල මගේ මව් භාෂාව නම් ඉංග්‍රීසි. හැබැයි මට පුළුවන් වුණා, ඔවුන් බැහැ කීවා.
ඔබ වැඩිපුරම පෙනී සිටියේ මොන විදියේ නඩු වලටද?
මිනීමැරුම් නඩුවලට.
විත්තියටද? පැමිණිල්ලටද?
විත්තියට. මම පෙනී හිටපු නඩු හාරසිය ගනනකින් 95% වගේ දිනුවා.
| 1971 ජවිපෙ කැරැල්ලේ විත්තිකරුවන්
1971 ජවිපෙ කැරැල්ලේ විත්තිකරුවන් වෙනුවෙනුත් පෙනී සිටියා නේද?
ඔව් ඒක ඇත්ත. ඒත් මම ඒ කැරැල්ල දකින්නෙ ඊනියා කැරැල්ලක් විදියට.
ඇයි ඔබ එහෙම කියන්නෙ?
ඒක නියම ජනතා කැරැල්ලක් වශයෙන් හඳුන්වන්න බැහැ. ඔවුන් නියම මාක්ස්වාදය නොවෙයි දැරුවේ. මාක්ස් කතා කළේ කම්කරු පන්තිය ගැන. මේ අය කතා කලේ නිර්ධන පන්තිය ගැන. ඒ කැරැල්ල මම දකින්නේ තරුණයන්ගේ කැරැල්ලක් විදිහට නෙවෙයි ඒක ළමයින්ගේ කැරැල්ලක්.
| රෝහණ විජේවීර
විජේවීර ගැන ඔබ මොකද කියන්නෙ?
මම විජේවීරලාගේ දේශපාලන අදහස් පිළිගත්තේ නෑ. විජේවීර රැඩිකල් වුනාට, විප්ලවීය හැඟීමක් ඔහුට තිබුනට, නියම මාක්ස් ලෙනින් වාදය නෙවෙයි දැරුවේ. ඒත් මම විජේවීර පෞද්ගලික මිත්‍රත්වයකින් ඇසුරු කළා. ඔහු මට පන්ති පහ ගැනත් ලියලා දුන්නා. අපේ ගෙදරටත් ආවා. මගේ බිරිඳත් විජේවීරට හොඳින් සැලකුවා. විජේවීරගේ අම්මත් මම හොඳින් හඳුනනවා. විජේවීර හිරේ ඉඳිත්දී මම තංගල්ලේ ගෙදරට ගිහින් ඒ අම්මා සමග රෑ කැමත් අරගත්තා. විජේවීරගේ මල්ලි ආනන්දත් ජවිපෙ කටයුතු වලට සම්බන්ධවී සිටියා. ඔහුත් ඝාතනයට ලක්වුනා. ඒ අම්මා කීවා මගේ පොඩිපුතත් යාපනයේ හිරවෙලා, ලොකු පුතා වැලිකඩ, ගෙදර කිසි කෙනෙක් නෑ කියලා. ඒ ගෙදර හිටපු විජේවීරගේ ඥාති සොහොයුරියක් මට බතික් කමිසයක් තෑගි කළා. එය අදත් මතක සටහනක් ලෙස මගේ ලඟ තියෙනවා.
ඔහු පිළිබඳව මුලදී නම් මා තුළ ලොකු බලාපෙරොත්තුවක් තිබුණා. පසුව නැතිවුනා. ඔහුට කම්කරුවන් ගැන ඒ තරම් විශ්වාසයක් තිබුනේ නැහැ.
එහෙනම් ඇයි ඔබ ඒ නඩුවට පෙනී හිටියේ?
කැරැල්ල මැඩ පැවැත්වීමේ මුවාවෙන් කළ මහා තරුණ ඝාතනයට විරුද්ධව.
1971 විප්ලවය අසාර්ථක වුණේ ඇයි?
ඒක නියම මහජන විප්ලවයක් නොවෙයි.
දේශපාලන ලෝකයේ ඔබේ හිතවතුන් කවුද?
විශේෂ හිතවත්කමක් නැහැ. ඒත් ඔය කා ළඟත් මට යම් ගෞරවයක් තිබුණා.
දැන් ලංකාවේ වාමාංශික පක්‍ෂ 50 විතර තියෙනව නේද?
නැහැ. එකක්වත් නැහැ. මාක්ස්වාදෙකුත් නෑ.
ඔබ වෘත්තීය සමිති වැඩවලට දවසේ පැය කීයක් කැප කරනවද?
මුළු දවසම.
| බාලා සහ මේ
ඔබ විවාහකයි?
මට කසාද දෙකයි. පළමු බිරිය නැන්සි කොතලාවල. අම්බලන්ගොඩ කෝරලේ මහත්තයෙකුගේ දුවෙක්. ඇය හිටියේ පිටරට. ඒක මෝඩකමට කරගත්තු විවාහයක්. ඒ විවාහයෙන් මට දරුවෝ දෙන්නයි. ඒ ශ්‍යාමා දුවයි, දිරේෂ් පුතයි. දෙන්නම ඇමරිකාවේ. 1985 ඇය යළි ලංකාවට ආවා. දුව මට ඇයව බාරදුන්නා. 1993 දී ඇය මියගියා.
1966 මම අපේ සීඑම්යූ එකේ උප ලේකම්වරියක ලෙස පූර්ණකාලීනව සේවය කළ මේ වික්‍රමසූරිය සහෝදරියව කසාද බැන්දා. ඇය පොලිස් අධිකාරිවරයෙකුගේ දුවක්. සංගමයේ කටයුතු වලට බාධා සිදුවන නිසා අපි දරුවන් හදන්නේ නැතිව ඉන්න තීරණය කළා. 1998 අසනීප තත්වයක් නිසා ඇය මියයන තුරුම සීඑම්යූවේ කටයුතු වලට ඇපකැප වී විශාල සේවයක් කළා.
පසුගිය දවසක මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෘත්තීය සමිති නායකයින්ට සම්මාන දුන්නා. ඔබට සම්මානයක් තිබුනත් ඔබ එය ගන්න ගියේ නැහැ. ඒත් සමහර වෘත්තීය සමිති නායකයෝ ජනාධිපතිවරයාගේ අත ඉඹලා සම්මානය අරගත්තා. ඇයි ඔබ ඒ සම්මානය ගන්න ගියේ නැත්තේ?
මම එම උත්සවයට සහභාගි වුනේ නැහැ. කම්කරු ඇමතිතුමා කම්කරු උපදේශක සභා රැස්වීමේදී මෙවැනි උත්සවයක් පවත්වන බවට මුලින්ම දැනුම් දීමක් කළා. මම ඒ වෙලාවෙම කිවුවා මම නම් ඕකට සහභාගි වෙන්නේ නැහැ කියලා. අමාත්‍යාංශයේ ලේකම් මහත්මයා කිවුවා මේ සම්මාන උලෙළ පවත්වන්නේ අවුරුදු පනහක් වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේ නිරතවී සිටි වෘත්තීය සමිති නායකයින්ට උපහාර දක්වන්න කියලා. එයා මට කිවුවා මගේ ජ්‍යේෂ්ඨත්වය වැඩි නිසා මගේ නම තමයි ඉදිරියෙන්ම තියෙන්නේ කියලාත්. අපේ වෘත්තීය සමිතියේ හැටවෙනි සංවත්සරය
අපි පසුගියදා පැවැත්වූවා. ඉතින් අපේ ඒ උත්සවය අපේ සංගමයට ඕනෑ නිසා එදා පැවැත්වූවා. නමුත් මේ උත්සවය සංවිධානය කරලා තිබුනේ රජය විසින්. එදා මම ඒ අයට කිවුවා අපේ සංගමය කිසිම දවසක රජය සමග ආණ්ඩු සමග වෘත්තීය සමිති වැඩ වලදී සම්බන්ධකම් පැවැත්වූයේ නැහැ කියලා. ආණ්ඩු සමග එවැනි සම්බන්ධකම් මම පැවැත්වූයේත් නැහැ, අපේ සංගමය පැවැත්වූයේත් නැහැ. හැබැයි ආණ්ඩු සමග අපි ගනුදෙනු කළා. එහෙත් සම්බන්ධකම් පැවැත්වූයේ නැහැ. අගමැතිකම් කරපු අය සමගත් ගනුදෙනු කළා. නමුත් සම්බන්ධයක් නැහැ.
චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාළේ ඔය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කම්කරු අමාත්‍යවරයා විදියට කටයුතු කළා. එදා මහින්ද රාජපක්‍ෂ අමාත්‍යවරයා කිවුවා, කැබිනටි මණ්ඩලය අනුමැතිය දීලා තියෙනවා කම්කරු ජනතාවට කරපු සේවය වෙනුවෙන් මට සම්මානයක් ලබා දෙන්න කියලා. ඔහු මට එදා කම්කරු අමාත්‍යවරයා විදියට නිල වශයෙන් ආරාධනා කළා, උපහාර උලෙළක් තියනවා ඔබට සම්මානයක් ලබාදෙන්න කියලා. එදත් මම නිල වශයෙන් ගිහිල්ලා කිවුවා අපේ සංගමය ආණ්ඩු සමග ගනුදෙනු කළාට ආණ්ඩු සමග සම්බන්ධකම් පවත්වන්නේ නැහැ කියලා. මොකද අපිට ස්වාධීන වෘත්තීය සමිතියක් විදියට කටයුතු කරන්න අවශ්‍ය නිසා. කොටින්ම කිවුවොත් අපි කම්කරු ජනතාවට කරපු සේවය වෙනුවෙන් අපිට ආණ්ඩුවේ සම්මාන අවශ්‍ය වෙන්නේ නැහැ.
හැබැයි ඔය උත්සවය වෙලාවෙ ජනාධිපතිවරයා කතා කළේ හරියට ඔබත් සහභාගි වුනා වගේ අන් අයට දැනෙන්න?
ඔව්. එහෙම උත්සාහ කරන්න ඇති. එයා ඉස්සර මාත් එක්ක හොඳින් හිටියා. ඒත් දැන් අපි ඈත්වෙලා. රාජපක්‍ෂ ජනාධිපතිවරයා කම්කරු උපදේශක සභාවේ ඒ කාළේ කම්කරු ඇමති විදියට එයා මුලසුන අරගන්නවා. එහෙම දවසක මගේ භාර්යාවත් එතනට ආවා. ඇය අපේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ලේකම් මේ වික්‍රමසූරිය සහෝදරිය. එදා රාජපක්‍ෂ කම්කරු අමාත්‍යවරයා ඇයට කිවුවා මේ සම්මානය බාරගන්න කියලා මට කියන්න කියලා. ඇය ඉංග්‍රීසියෙන් එක්වරම ප්‍රකාශ කළා, එය කොහෙත්ම කරන්න බැහැ කියලා. අන්න ඒක තමයි අපේ ස්ථාවරය. අපි සංගමය වෙනුවෙන් සමස්ථ කම්කරු ජනතාව වෙනුවෙන්ම පෙනී සිටිනවා.
විධායක ජනාධිපතිධූරය පිළිබඳව ඔබේ සංගමයේ ස්ථාවරය කුමක්ද?මුල සිටම අපේ සංගමය විධායක ජනාධිපතිධූරය ඇතිකළ ව්‍යවස්ථාවට සියයට සියයක්ම විරුද්ධව සිටියා. ජේආර් විසින් විධායක ජනාධිපති ක්‍රමය ඇති කළේ ඔහු විසින්ම ඇතිකළ ඊනියා විවෘත ආර්ථික ක්‍රමය පවත්වාගෙන යාමට ආඥාාදායක බලයක් අවශ්‍ය වූ නිසාමයි. 1977 මැතිවරණයේදී එවකට පැවති මැතිවරණ ක්‍රමයට අනුව එජාපයට 5/6 ක බලයක් ලැබුනු නිසා, විධායක ජනාධිපති ක්‍රමය ඇති කරන්න, හිටිහැටියේම ව්‍යවස්ථාව වෙනස් කර රජයේ පූර්ණ බලය එක් පුද්ගලයෙකගේු අතට ගොනු කළා. මේ විධායක ජනාධිපතික්‍රම ව්‍යවස්ථාව යටතේ 1982 තැබූ පළමු ජනාධිපතිවරණ මැතිවරණය අපි වර්ජනය කළා. නමුත් නොයෙක් දේශපාලනඥයෝ, පක්‍ෂ එම මැතිවරණයට ඉදිරිපත්වෙලා විධායක ජනාධිපති ක්‍රමයට එදා වලංගුභාවයක් ලබාදුන්නා.
විජේවීර, වාසුදේව, කොල්වින්, පොන්නම්බලම් වගේ දේශපාලනඥයන් එම ජනාධිපතිවරණයට තරඟ කරලා ජේආර් ට රුකුලක් දුන්නා විධායක ජනාධිපති ක්‍රමය ජනතාව පිළිගත්තා කියලා කියන්න. එදා අනෙක් පක්‍ෂ තරඟ කළේ නැත්නම් ජේආර් පාර්ලිමේන්තු බලය කූට විදියට පාවිච්චි කරලා ආඥාදායකයෙකු වුනු බවට ලෝකයම පිළිගන්න තිබුනා. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට අනෙක් අපේක්‍ෂකයන් ගිහිල්ලා තරඟ කිරීමෙන් සිදුවුනේ ඒකාධිපති විධායක ජනාධිපතිවරයෙක් මැතිවරණයකින් තරඟ කරලා පත්වුණු එකයි. ජේආර් එම බලය ගෙන රටට කරපු දේ කවුරුත් දන්නවා.
| CMU 60 වන සංවත්සරය
විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ වෙනවා කියලා ඡන්දය ඉල්ලන අයට ඡන්දය දියයුතු නැත්ද?
කවරෙකු හෝ ඡන්දය ගෙන මෙම ක්‍රමය වෙනස් කරනවා කිවුවොත් එය බොරුවක්. මට ඡන්දය දෙන්න. මම පත්වුනොත් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා කියලා මම කිව්වොත් ඒකත් බොරුවක්. පත්වෙලා අහෝසි කරනවා කියන එක බොරුවක්.
එසේ නම් ජනතාව කළ යුත්තේ කුමක්ද?
බහුතර ජනතා සංවිධාන ගොඩනැගිය යුතුයි. කම්කරු, ගොවි, ශිෂ්‍ය, ගෘහණියන් ආදීන්ගේ බහුතර සංවිධාන ගොඩනගන්නයි තියෙන්නේ. සීඑම්යූ අපි කියන්නේ, ඡන්ද පොලට ගිහින් කාටවත් ජන්දය නොදමා “විධායක ජනාධිපති ක්‍රමය එපා” කියලා ජන්ද පත්‍රිකාවේ ලියන්න කියලා.
| බාලා පොලීසිය සමග මත ගැටුමක
මේ ක්‍රියාව ඡන්දය කටුගෑමක්ද?
නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයකට බලය නොදී ජනතාවගෙන් වැදගත් කොටසක් තම මතය ප්‍රකාශ කිරීමක් වෙනවා. තනිතනිව තම මතය ප්‍රකාශ කිරීම තුල එය ඉබේම ජන මතයක් ජන බලයක් වෙනවා. එය ලංකා ඉතිහාසයේ වැදගත් පියවරක් වෙයි.
එතකොට මේ ඡන්ද අවලංගු ඡන්ද ලෙස ගනන් කරයි?
ඔව්. ඒ වුනාට ඡන්දදායකයෝ සෑහෙන ප්‍රමානයක් මේ විදියට ඡන්ද පත්‍රිකාවේ තම මතය ප්‍රකාශ කලොත්, ධනපතියෝ, සූරාකන්නෝ, අධිරාජ්‍යවාදීන්, ලෝක බැංකුව, බය වෙයි. ලංකාවේ ජනතාවගෙන් සෑහෙන ප්‍රමානයක් දැන් මේ ක්‍රමයට විරුද්ධ වෙලා ස්වාධීනව සිතනවා කියලා ඔවුන්ට සලකන්න වෙයි.
මේ විදියට ඡන්දය පාවිච්චි නොකිරීමට කරන ඉල්ලීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් නොවේද? සර්වජන ඡන්දබලය හෑල්ලු කිරීමක් නොවේද?
පවතින ක්‍රමය අනුව කතිරයක් ගහලා රජයේ පූර්ණ විධායක බලය තනි පුද්ගලයෙකුට පැවරීම තමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව. පාර්ලිමේන්තුවට, හමුදාවට, ඇමති මණ්ඩලයට ඉහලින් ඉඳගෙන ක්‍රියා කිරීමයි ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්නේ. ඡන්දයෙන් නියම බලයක් ඇතිකරන්න බැහැ. ඡන්දයෙන් වෙන්නේ බලය පැවරීමක් විතරයි. මෙම ඡන්ද දේශපාලනය නියම ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.
| බාලා
ඡන්දය ප්‍රතික්‍ෂ්ප කරලා තම මතය ප්‍රකාශකරන ජනතාවට ඇති ඉදිරිය මොකක්ද?
අපේ සංගමය තියෙනවා. මේ මතය දරණ පිළිගන්නා සංවිධාන සමග සාකච්ඡා කරලා ඇතිවන ප්‍රතිගාමී ආණ්ඩුවට එරෙහිව වෙනදාට වඩා ශක්තිමත්ව කම්කරුවෝ ජනතාව වෙනුවෙන් සටන් වදිනවා. මේක ආරම්භයක් පමණයි. ඒ නිසා මේ දූෂිත ප්‍රතිගාමී ක්‍රමයෙන් ගැලවීමයි පළමුව අවශ්‍ය. වෙනදාට වඩා බලයක් ඇතිව ඉදිරියට ක්‍රියාකිරීමටයි තියෙන්නේ. එතකොට එය විකල්ප ජනතා ව්‍යාපාරයක් වේවි.
සොයුර. සොයුරිය. ශ්‍රේෂ්ඨ මානවවාදී කම්කරු නායක බාලා සහෝදරයා වැඩකරන ජනතාවත් පොදු මහජනතාවත් වෙනුවෙන් කරන ලද සුවිසල් කාර්යභාරය ගැන මෙවන් සටහන් පිටු සිය දහස් ගනනක වුවද ලිවිය හැකි නමුත් විශාල පොත් කියවීමට බොහෝ දෙනා මැළිකමක් දක්වන බැවින් මෙයින් අවසන් කරමි.
බාලා තම්පෝ සහෝදරයාගේ 11 වන ගුණානුස්මරණය වෙනුවෙන් CMU පරිපාලන ලේකම් අනුර කුමාර රත්නායක විසින් පුවත්පත් සහ වෙනත් ප්‍රකාශනයන්හි පළවූ ලිපි ඇසුරෙන් මෙම ලිපිය සකස් කරන ලද්දකි.
ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය ( සීඑම්යූ )