ඇයි මෙයාව ගෙනාවේ කියලා විනිසුරුවරු අහන වෙලාවලුත් තියෙනවා - අසේල කුරුළුවංශ

sex-workrs

පොලීසිය අපිව අත්අඩංගුවට ගන්නේ හේතුවක් නැතුවයි. ජීප් එකේ යනකොට අපිව දැක්කොත් වෙලාවකට පොලීසියේ මහත්තුරු නොදැක්කා වගේ යනවා. ඒ වගේමයි හිටපු ඇඟට කඩා පැනලා අරන් ගිහින් කූඩුවට දානවා. සමහර වෙලාවට පොලීසියේ මහත්තුරු සතුටු කරන්න වෙනවා. තවත් වෙලාවට  රෑ එළිවෙනකල් කූඩුවේ තියන් ඉඳලා උදේ එළියට දානවා. පාදට ආඥා පනතෙන් උසාවියට ඉදිරිපත් කළොත් රුපියල් 50 ක දඩයක් ගහනවා. මෙයාව ඇයි ගෙනාවේ කියලා විනිසුරුවරු අහන වෙලාවලුත් තියෙනවා. තවත් සමහර පොලිස් නිලධාරීන් කුඩු හරි අයිස් හරි දාලා අපිව උසාවියට ඉදිරිපත් කරනවා.මේ වගේ වෙලාවක දඩයක් ගැහුවම මාධ්‍ය මේවා වාර්තා කරන්නේ මොහොතකටවත් අපි මිනිස්සු කියලා හිතලා නෙවෙයි. අපි සමාජයට හානි කරන පිරිසක් කියන තැන ඉඳලා තමයි මාධ්‍ය අපේ දිහා බලන්නේ... මේ ලිංගික ශ්‍රමිකයෙකු ලෙස ජීවනෝපාය ගෙන යන සකුණි මායාදුන්නගේ හඬයි.

| සකුණි මායාදුන්න

ඇය TET නමින් පදනමක් පිහිටුවාගෙන තිබේ. ඒ ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරකින්නටය. ඇය හිතන තරම් එය පහසු කටයුත්තක් නොවන්නේය. ලිංගික ශ්‍රමිකයින්ගේ ජත්‍යන්තර එකමුතුව (International Union of Sex Workers)මගින් පසුගිය වර්ෂයේ එළිදැක්වූ වාර්තාවට අනුව ලොව පුරා ලිංගික ශ්‍රමිකයින් මිලියන 52 ක් පමණ සිටින බව පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව ලොව ලිංගික වෙළෙඳ පොළ රුපියල් බිලියන 180 ක් තරම් විශාල එකකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය 2016 දී කළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ ලිංගික ශ්‍රමිකයින් 16000 ක් පමණ සිටින බව හඳුනාගෙන තිබිණි. මේ වනවිට එම සංඛ්‍යාව 30000 ක් පමණ විය හැකි බවට අනුමාන කෙරෙන්නේ ඒ සම්බන්ධයෙන් විධිමත් සංගණනයක් සිදුකර නොමැති බැවිනි.

සකුණිගේ ප්‍රකාශයත් සමඟ මෙරට ලිංගික ශ්‍රමිකයින්ට ගැටලුවක් ඇතිවන සේ වෘත්තියේ නිරත වන ප්‍රධාන පුද්ගල කණ්ඩායම් දෙකක් සිටින බව පැහැදිලිය. එකක් නම් රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය ය. අනෙක් කණ්ඩායම වන්නේ රටේ සිව්වන බලවේගය යැයි තමන්ම හඳුන්වා ගන්නා මාධ්‍යවේදීන්ය. තමන්ට අසාධාරණයක් වූ තැන සාධාරණය සොයා අප යන්නේ පොලීසිය හමුවටය. ඉන්ද සාධාරණයක් ඉටු නොවුනහොත් අපට යාමට සිදුවන්නේ මාධ්‍ය හමුවටය. පොලීසියට අවශ්‍යය නම් ගොරකා දඩමස් කළ හැකි යැයි කියමනක් තිබේ. ඒ සඳහා අවශ්‍යය සහය ඇතැම් විට අණපනත් වලින් ද ලැබෙන බවක් පෙනෙන්නට තිබේ. පාදඩ ආඥා පනත ඊට උදාහරණයකි. 1841 දී ඉංග්‍රීසි පාලකයින් හඳුන්වාදුන් මෙම පනතේ ප්‍රසිද්ධ වීදියක හෝ මහාමාර්ගයක ඇවිදගෙන යන ප්‍රසිද්ධ ගණිකාවක අත්අඩංගුවට ගැනීමට හැකි බව එහි බව සඳහන් කර තිබේ. එසේ වුවත් ගණිකාව යන්න පනත මගින් නිර්වචනය කර නොතිබීම ගැටලුවකි. සැකය හෝ විශ්වාසය මත අත්අඩංගුවට ගැනීමට නොහැකි බව පනත මගින් දක්වා තිබුණද පොලීසිය  කිසිදු හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම් සිදුකරන බව ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ස්ටෑන්ඩ්අප් මූමන්ට් සංවිධානය පවසයි. ගණික නිවාස අඥා පනත ඉංග්‍රීසි පාලකයින් මෙරටට හඳුන්වා දෙන්නේ පාදඩ පනත ගෙනවිත් වසර 48 කට පසුය. 1889 ජූනි 28 වැනි දින සිට ක්‍රියාවට නැන්වූ මෙම පනත යටතේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, පාලනය කිරීම හා පවත්වාගෙන යෑමට සහය දීම වරදකි. එසේ වුවත් එමගින්ද ගණිකා නිවාස යන්න අර්ථ දක්වා නොතිබීම විශේෂත්වයකි. ලිංගික ශ්‍රමිකයින් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සියල්ල පවසා සිටින්නේ මෙම නීති වෙනස් විය යුතු බවයි.

| අශීලා දන්දෙණිය

එක් පැත්තකින් නීති වෙනස් කිරීම සඳහා සාකච්ඡාවක් නිර්මාණය වෙත්දී අනෙක් පසින්  ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති මාලාවක් එළිදකින්නේ මේ අතරවාරයේදීය. Standup Movement Lanka ආයතනය ඒ සඳහා මූලීකත්වය ගෙන කටයුතු කළේය. එහි විධායක අධ්‍යක්ෂ අශීලා දන්දෙණිය මහත්මිය එවැනි ප්‍රතිපත්ති මාලාවක වැදගත්කම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය. අපි ආයතනයක් විදිහට ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් වැඩ කරමින් ඉන්නවා. පිළිගත් සමාජය තුළ මේ කණ්ඩායම සාකච්ඡාවට ලක් නොවන බව අපි හැමෝම දන්නවා. මොවුන් ශ්‍රමික කණ්ඩායමක් ලෙස පිළිගන්න අකමැති පිරිසක් තාමත් අපේ රටේ ඉන්නවා. ඔවුන්ගේ  ගෞවරය හා ආරක්ෂාව සම්බන්ධව අපි හඳුනාගෙන තිබෙන ප්‍රශ්න අතර මාධ්‍ය භාවිතය ඉතාම සුවිශේෂි එකක් බව අපි දැක්කා. ඒ නිසා ලිංගික ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා ගෞරවය තහවුරු වන ලෙස මාධ්‍ය භාවිතාව කරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව ජාතික මට්ටමේ ප්‍රතිපත්ති මාලාවක් සකස් කළා. ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ සමාජයේ තිබෙන මතිමතාන්තර මොනවද කියලා අපි දන්නවා. මේවාට අපි යම්කිසි විදිහට අභියෝග කරමින් තමයි මේ අය ශ්‍රමයේ කොටස් කරුවන් ලෙස පිළිගැනීම සඳහා වන වැඩපිළිවෙළ සමාජගත කරන්න අපි උත්සහා කරන්නේ. ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ කතා කිරිමේදී ඔවුන් ශ්‍රම බලකායට ඇතුළත් කළ හැකිද යන්න සම්බන්ධව ගැටලු මතුකරන බව අපි දන්නවා. ලිංගික ශ්‍රමිකයින් ඇත්ත වශයෙන්ම රටේ ශ්‍රම බලකායට ඇතුළත් විය යුතුයි. ඔවුන් සේවා දායකයින්. ඒ අයටත් අනෙක් සේවා දායකයින්ට ලැබෙන අයිතිවාසිකම් තිිබිය යුතුයි. ලිංගික ශ්‍රමිකයින් ස්වයං රැකියා කරන අය ලෙස සලකන්න කියන එක තමයි අපේ ඉල්ලීම. මේ අය අවිධිමත් අන්දමේ සේවකයින් ලෙස හඳුන්වනවා. රටේ  සමස්ත ආර්ථික ක්‍රියාවලියට හවුල් වන කණ්ඩායමක් පදනමක් නැති මතිමතාන්තර ඔස්සේ අගතියකට ලක්වීම දියුණු සමාජයක සිදුවිය යුතු නැහැ. ලිංගික ශ්‍රමිකයින් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණය තිබෙන්නේ ඉතාම කනගාටුදායක තැනකයි. පහත හෙළන වචන භාවිතය, සමාජයට අවශ්‍යය නොමැති කණ්ඩායමක් ලෙස හුවා දැක්වීම, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් ලෙස හංවඩු ගැසීම, ලිංගාශ්‍රිත රෝග ව්‍යාප්තියට දායක වන පිරිසක් ලෙස පෙන්වීම ඇතුළු මාධ්‍ය ආචාරධර්ම වලට පටහැනි ක්‍රියා රැසක් ලිංගික ශ්‍රමිකයින් සම්බන්ධ වාර්තාකරණයේදී දකින්න ලැබෙනවා. මේ ප්‍රතිපත්ති මාලාව සියලුම මාධ්‍ය ආයතන වලට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුළින් ලිංගික ශ්‍රමිකයාගේ ගෞවරය ආරක්ෂා වන ආකාරයේ වාර්තාකරණයක් සඳහා මාධ්‍යවේදීන් යොමුවේ යැයි අපි විශ්වාස කරනවා.

ලිංගික ශ්‍රමිකයින් හැඳින්වීම සඳහා සමාජය තුළ විවිධ යෙදුම් භාවිත කෙරෙයි. ගණිකාව, බඩුව, රෑ සමනලිය යන්න ඉන් ප්‍රධානය. මෙම ඇතැම් යෙදුම් මාධ්‍ය වාර්තා වල ද දක්නට ලැබෙන බව එතික්ස් අයි සංවිධානය පෙන්වා දෙයි. ගණිකාව, කාන්තාවන් අළෙවි කිරීම, රෑ සමනලිය ආදි වචන උපුටන ලෙස දක්වමින් එම සංවිධානය පවසන්නේ එය මාධ්‍ය ආචාරධර්ම වලට පටහැනි බවයි. මෙවැනි වංචන භාවිතය තුළින් ලිංගික ශ්‍රමිකයින් සමාජ ගර්හාවට ලක්වන්නා සේම ඔවුන් සමාජයෙන් කොන්වීමද ඉඩ තිබෙන බවද එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙවැනි ප්‍රතිපත්ති මාලාවක් සකස් වීම සම්බන්ධයෙන් TET පදනමේ සකුණි මායාදුන්න  දැක්වූයේ මෙවන් අදහසකි. ලිංගික ශ්‍රමිකයින් ලෙස කාන්තාවන් වගේම සංක්‍රාන්ති ලිංගිකයින්ද කටයුතු කරනවා. විශේෂයෙන් සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව නිතර සමාජයේ උපහාසයට හා අපහාසයට ලක්වෙනවා. මේ අය ගොඩක් අපහසුතාවට පත්වන්නේ රජයේ ආයතන වලදීයි. පොලීසියකට, රෝහලකට ගියාම ගැටලු රැසකට මුහුණ දෙනවා. සමහරු මේ අය දිහා බලන්නේ අමුතු සතෙක් දිහා බලන විදිහටයි. මොනවා හරි හේතුවකින් ගැටුමක් ඇති වුණොත් ගොඩක් වෙලාවට හැමෝම චෝදනාව එල්ල කරන්න උත්සහ කරන්නේ මේ අයටයි. පහරදීම් වලට පවා ලක්වෙනවා. ගෙවල් වලින් අපේ නම් ඡන්ද නාම ලේඛනයට දාන්නේ නැහැ. ඒ නිසා ඡන්දය අහිමි වෙනවා. මේ ආපදාවත් එක්ක ගෙවල් වලට හානි වෙලා ඉන්න අපේ අයට ආරක්ෂිත මධ්‍යස්ථාන වලට ගිහින් අපිට ඉන්න බැහැ. අසාධාරණයක් වුණාම හැමෝම යන්නේ මාධ්‍ය ඉදිරියට. ඒත් අපිට එහෙම යන්න බැහැ. ඒ අයත් අපිව පිළිගන්නේ නැහැ. මාධ්‍ය වාර්තා නිසා පෞද්ගලිකව මම ගොඩක් පීඩා විඳලා තියෙනවා. ඒ තත්ත්වය තුළ වාර්තාකරණය සම්බන්ධව මේ ආකාරයෙන් ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදීම ඉතාම හොඳ එකක්. අඩුම තරමින් අපේ ප්‍රශ්න ගැන සමාජ කතාබහක් හරි මේ ඔස්සේ ඇතිවෙයි. මාධ්‍ය වලින් කරන්නේ හඬක් නැති මිනිස්සුන්ට හඬක් දීමයි. අපි මාධ්‍යවේදීන්ගෙන් හා මාධ්‍ය ආයතන වලින් ඉල්ලා සිටින්නේ   අපේ හඬ යටපත් නොකර ඒකට මතුවෙන්න ඉඩ දෙන්න කියලයි.

| කේ. පුෂපරාණි

කේ. පුෂපරාණි ලිංගික ශ්‍රමිකයෙකු ලෙස වසර පහක පමණ කාලයක් තිස්සේ සේවය කරයි. තමන් ලිංගික ශ්‍රමිකයෙකු වීම නිසා හැඳුනුම්පත ලබා ගැනීමේදී පවා විශාල ගැටලු වලට මුහුණ දීමට සිදුන තිබූ ඇය එම කතාව මෙසේ පෙළ ගැස්වූවාය. ලිංගික ශ්‍රමිකයින් ලෙස වැඩ කරන ගොඩක් අයගේ අධ්‍යාපන මට්ටම අඩුයි. අනිත් කාරණය තමයි අපේ අයම මේක වරදක් කියලා හිතාගෙන ඉන්නවා. ඒ නිසා පොලීසිය ඇල්ලුවාම තර්ක කරන්න යන්නේ නැහැ. කුඩු පැකට් එකක් හරි දාලා උසාවියට දැම්මොත් වරද පිළිගෙන එළියට එන්න තමයි උත්සහ කරන්නේ. මොකද අපි වෙනුවෙන් පෙනී ඉන්න පවුලේ අයවත් එන්නේ නැහැ. මගේ හැඳුනුම්පත නැතිවෙලා අලුත් එකක් ගන්න ගියාම ග්‍රාම නිලධාරි නෝනා මට හැඳුනුම්පත දෙන්න බෑ කිව්වා. හේතුව මොකක්ද කියලා ඇහුවම හේතුව මගේ රස්සාව කිව්වා. පොලීසියේ රාළහාමි මහත්තයත් ඒක අනුමත කළා. මට කවුරුවත් කන්න බොන්න දෙන්නේ නැහැ. ජීවත් වෙන්න කෙනෙක් වැඩ කරනවා වගේ මම මගේ ශරීරය විකුණනවා කිව්වා. මගේ අයිතිය ගැන කතා කරලා මම හැඳුනුම්පත ගත්තා. හැමෝටම මේක කරන්න බැහැ. සාධාරණ මාධ්‍ය වාර්තාකරණයකදී සියලු පාර්ශව වලට කතා කරන්න ඉඩදෙන්න ඕන. අපි ගැන වාර්තාවක් පළකරත්දී කවදාවත් මාධ්‍යවේදීන් අපෙන් ඒ ගැන අහන්නේ නැහැ. පොලීසිය තමයි එකම මූලාශ්‍රය විදිහට ගන්නේ. පොලීසිය කියන්නේ ඒ අයට වාසි දේ විතරයි. අපිත් මේ සමාජයේම ජීවත්වන පිරිසක්. අපිටත් පවුලක් තියෙනවා. වාර්තාකරණයේ දී මේවා ගැනත් හිතන්න කියලා මම මාධ්‍යවේදී  මහත්වරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ලිංගික ශ්‍රමිකත්වය සඳහා ඉහළ මිලක් තිබුණද ශ්‍රී ලංකාව තුළ තවමත් එය නීතිගත නැත. ඒ සඳහා වන සාකච්ඡා  වරින් වර මතුවෙමින් තිබේ. එවැනි පසුබිමක් තුළ ලිංගික ශ්‍රමිකයින් ඉල්ලා සිටින්නේ තමන්ට සමාජය තුළ පිළිගැනීමක් ලබාදෙන ලෙසයි. එම පිළිගැනීම ඇති කිරීම පිණිස මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන වලට කළ හැකි කාර්යභාරය අතිවිශාල බව Standup Movement Lanka ආයතනය පවසයි.

asela kuruluwansa

| අසේල කුරුළුවංශ