මිනිස් වෙළෙඳාම යන්න සරළවම අර්ථකථනය කළහොත් එය සවිධානාත්මක අපරාධයක් ලෙස හැදින්වීම වරදක් නොවේ. මක් නිසාද ලෝකය පුරා ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්තවන විශාල මුදල් සම්භාරයක් හුවමාරුවන ලෝකයේ ප්‍රබලතම අපරාධයක් ලෙසද එය හැඳින්විය හැකි අතරම අපරාධකරුවන්ට ලැබෙන ආදායම අතින් මෙය දෙවැනි වන්නේ අවි ජාවාරම හා මත්ද්‍රව්‍ය ජාවාරමට පමණකි. මෙය නූතන වහල් මෙහෙය ලෙස හඳුන්වන්නත් පුළුවන්.
එය පොදුවේ සමස්ථ ලෝකයට මෙන්ම තනි තනි රටවල් වලට අතිශය හානිදායක බලපෑම් එල්ල කරනු ලබයි.
සමස්ත ලෝකයම මුහුණ දෙන ගෝලීය ගැටළුවක් ලෙසින් සලකන මිනිස් වෙළඳාම රැකියාවක් හෝ වෙනයම් ප්‍රතිෂ්ඨාවක් ලබ දෙන බව පවසමින් බඳවා ගන්නා ලද පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් වෙනත් ස්ථානයක් වෙත ප්‍රවාහනය කර ශ්‍රම සූරාකෑමට ලක් කීරිමේ ක්‍රියාවලිය ලෙස සරළවම අර්ථකථනය කළ හැකියි.මෙහිදී ප්‍රවාහනය අවසන්වන තැන අනුව බාහිර හා අභ්‍යන්තර වශයෙන්ද බෙදිය හැකි අතර ගමනාන්තය දේශ සීමා ඉක්මවීම සිදුවන්නේ නම් එය බාහිර මින්ස් වෙළඳාම ලෙසත් රට තුළ නම් එය අභ්‍යන්තර මිනිස් වෙළඳව ලෙසත් හැඳින්විය හැක.එමෙන්ම මිනිස් වෙළඳාම් වර්ගීකරණය පදනම් වෙන්නේ සූරාකෑමේ ස්වරූපය අනුව වන අතර ගණිකා වෘත්තිය, මෙහෙකාර සේවය,ශරීර අවයව ලබා ගැනීම,රුධිරය,පටක හෝ සිල ලබා ගැනීම මෙන්ම ශ්‍රම සූරාකෑම ලෙස මෙය ක්‍රියත්මක වෙයි. ලංකාව තුළ වැඩිමනක් සිදුවන්නේ “බාහිර බලහත්කාරී ශ්‍රම ශ්‍රම සූරාකෑම සඳහා වන මිනිස් වෙළඳාමයි”.
මිනිස් වෙළඳාමට ලක්විය හැකි වඩාත් අවදානම් කොටස් වන්නේ කාන්තාවන් හා ළමයින් වුවත් වර්තමානය වනවිට පිරිමි පාර්ශවයද මිනිස් වෙළඳාමේ ගොදුරක් බවට පත්වීම දැකිය හැකියි.
මිනිස් වෙළඳාම එසේත් නොමැති නම් තැනැත්තන් වෙළඳාම යන්න තුළ සංකල්පමය කාරණා තේරුම් ගැනීම අපහසු වුණත් සමාජය තුළ සිදුවෙන ඇතැම් ක්‍රියාවන් නිදර්ශන ලෙස ගනිමින් මෙම අපරාධය සරලව පැහැදිලිකර ගැනීමේ හැකියාව පවතියි.
මිනිස් වෙළඳාම තුළ මූලිකව සිදුවන්නේ පුද්ගලයින්ගේ නිදහසට බලහත්කාරයෙන් සීමා පැනවීමයි.එහිදී ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවකයින් දරුණු ලෙස මිනිස් වෙළඳාමේ ගොදුරක් බවට පත්වෙන අතර බලහත්කාරයෙන් ශ්‍රමය සූරා කෑම,වැටුප් කප්පාදුව,ලිංගික සූරා කෑම වැනි විවිදාකාරයෙන් ගොදුරක් බවට පත්ව තිබෙන බව පෙනේ.සමහර කම්කරුවන්ගෙන් මහා පරිමාණ වැඩ බිම් වල හා කර්මාන්ත ශාලා වල අවදානම් සහිත වැඩ කරගන්නා හාම්පුතුන් ඔවුන්ට එයින් පිටව යෑමට නොහැකි ලෙස සීමා පනවා තිබෙන අවස්ථා තිබෙනවා.
මිනිස් වෙළඳාම තුළ මූලිකව සිදුවන්නේ පුද්ගලයින්ගේ නිදහසට එහෙමත් බොරු විවාහ පොරොන්දු ලබා දීමෙන් කාන්තාවන් ලිංගික වහල්භාවයට පත් කිරීම, ළමයින් හෝ කාන්තාවන් රැවටීමෙන් රැගෙන ගොස් අසභ්‍ය වීඩියෝ පට සඳහා යොදා ගැනීම සිදුවෙන අතර වර්තමානයේදී පිරිමි පුද්ගලයින්ද මෙවැනි ආකාරයේ අපරාධ සඳහා ගොදුරු කර ගැනීමේ ප්‍රවණතාවයක් ඇතිව තිබේ. ඇතැම් අවස්ථාවල ගම්බද සිට නගරයට පැමිණෙන තරුණියන් කූට ආකාරයෙන් රැවටීමට භාජනය කර ඔවුන්ව ගණිකා සේවයේ යෙදවීම,බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයට යොදවා ගන්නා මුවාවෙන් ඔවුන්ගේ ශ්‍රම සූරා කෑම මෙන්ම ලිංගික ක්‍රියාවන්ට ගොදුරු කර ගැනීමද සිදුවෙනවා.මෙවැනි සිදුවීම්ද මිනිස් වෙළඳාමේ එක් පැතිකඩක්.
මැදපෙරදිග රැකියාවකට යන කාන්තාවගේ ගමන්බලපත්‍රය රඳවා ගනිමින් ඔවුන්ගෙන් බලහත්කාරයෙන් හෝ අඩු වැටුපකට සේවය සපයා ගන්නා අවස්ථා දකින්න පුළුවන්.එසේම බාල වයස් කරුවන් යොදවා මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීම ඔවුන්ව බලහත්කාරයෙන් හිඟා කෑම සඳහා යෙදවීම ආදී විවිධාකාරයෙන් ක්‍රියාත්මක වන නූතන මිනිස් වෙළඳාමේ මෑතක සිට වර්ධනය වන අළුත්ම ප්‍රවනතාවය තමයි රැවටීමෙන් රැගෙන ගොස් ශරීර අවයව ඉවත් කර ගැනීම. ඒ අනුව මිනිස් වෙළඳාම නම් සංවිධානාත්මක අපරාධයෙන් මානව සමාජයට ඇති තර්ජනාත්මක අවදානම කුමකුදැයි තේරුම් ගත හැකියි.
විශේෂත්වය වන්නේ මිනිස් වෙළඳාමේ ගොදුරු බවට පත් වූ බොහෝ අය ඒ පිළිබඳව පැමිණිලි කිරීමට මැළි වීමයි. ඊට බොහෝ හේතු තිබෙනවා. තමන් තවදුරටත් ලැජ්ජාවට පත් විය හැකි බවට හෝ නීති මඟින් කටයුතු කිරීමෙන් තමන්ටද හානි සිදු විය හැකි බව වින්දිතයන් විශ්වාස කරනවා. ඒ වගේම අපරාධකාරයා තමන්ගෙන් පළිගැනීවියැයි ඇති වන බිය එහෙමත් නැත්නම් රටකින් පිටුවහල් කිරීමට ලක් වේයැයි ඇති බියත් මීට හේතු වෙනවා. සියල්ලටම වඩා සමාජය තමන් පහත් කොට සළකාවි යන සංකල්පය නිසා වින්දිතයා නීතිය ඉදිරියට යෑමට බිය වෙනවා.
නමුත් දැන් එහෙම භිය විය යුතු නැහැ. වින්දිතයන් ආරක්ෂා කර ගැනීමේ පැහැදිලි යාන්ත්‍රණයක් නීතියේ දක්වා තිබෙනවා. මිනිස් වෙළඳාම වළක්වා ගැනීම, පාලනය කිරීම, මැඞ පැවැත්වීම හා දඞුවම් පැමිණවීම පිණිස වූ එක්සත් ජාතීන්ගේ කෙටුම්පත (ඵ්‍රොටොශොල්) නොහොත් පැලැර්මෝ ප්‍රොටෝකෝලය මඟින් මේ පිළබඳව පැහැදිලිව නිර්වචනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවත් එම ප්‍රොටෝකෝලයට අස්සන් තබා තිබෙනවා. ඒ අනුව 2006 අංක 16 දරණ දණඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතේ 360 (ඇ) වගන්තිය මඟින් මිනිස් වෙළඳාමට අදාළ විමර්ෂන කටයුතු හා නඩු පැවරීම් වලට අවශ්‍ය නීති ප්‍රතිපාදන හඳුන්වා දී තිබෙනවා. මිනිස් වෙළදාම කියන්නේ දේශසීමාවන් හා අධිකරණ බල සීමාවන් ඉක්මවා ගිය අපරාධවලින් එකක්. මිනිස් වෙළදාම ජාත්‍යන්තරව වගේම ලංකාවේත් නීති විරෝධී බව සිහිතබා ගත යුතුයි.