මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දිනය - විවිධාකාරයෙන් මිනිසුන් සූරාකන මිනිස් වෙළඳාමට එරෙහි වෙමු

මිනිස් වෙළඳාමට එරෙහි ජාත්‍යන්තර දිනය - විවිධාකාරයෙන් මිනිසුන් සූරාකන මිනිස් වෙළඳාමට එරෙහි වෙමු

ලෝකයේ ඉතා පැරණි වෘත්තීන් අතර ස්ත්‍රීන්ගේ සිරුර විකිණීම ගැන කව්රුත් දනිති. ඒ හා සමාන වෘත්තියක් ලෙස මිනිස් ජාවාරමද ලෝකයේ ඉතා පැරණි වෘත්තීන්ගෙන් එකක් යැයි කීම අතීශෝක්තියක් නොවනු ඇත. පුරාණයේ අවි ආයුධ බලය හිමි ඇමරිකන් සහ යුරෝපීය ජාතීන් දකුණු අප්‍රිකානු රටවල් වලින් වහල් සේවය සඳහා අප්‍රිකානු රටවල ජනතාව පාදක කර ගනිමින් මිනිස් ජාවාරම කරන ලදී. මේ වන විට මිනිස් ජාවාරම තුරන් කිරීම කෙසේ වෙතත් ක්‍රමයෙන් අවම වී ඇතත් සතුටු විය හැකි ආකාරයක් නැත.

ඒයට හේතුව වන්නේ අද වන විට මිනිස් ජාවාරම වෙනත් මුහුණුවරකින් හා වඩාත් සූක්ෂම ලෙස සිදුවීමයි. සන්නද්ධ ගැටුම්, අවතැන්වීම්, දේශගුණික විපර්යාස, ස්වාභාවික විපත් සහ දරිද්‍රතාව නිසා වෙනත් රටවල "සරුබිම්" සොයන අය අවසානයේ අවදානම් සහ අපේක්ෂා භංගත්වයේ මායිමට වැටේ.

ලෝකයේ බොහෝ රටවල්, විශේෂයෙන්ම, දරිද්‍රතාවයෙන් හා සම්පත් නිසිලෙස බෙදා නොහැරීමේ තත්ත්වය තුළ පීඩාවට පත් ජනතාව සිටින රටවල මිනිස් ජාවාරම ඉතා ප්‍රබල ලෙසම සිදුවේ. සෑම රටකම සෑම දිනකම මිනිස් ජාවාරම්කරුවන් ලාභ සඳහා විවිධාකාර ලෙස මිනිසුන් සූරාකයි. දුප්පතුන් හා අවදානමට ලක්විය හැකි අය වඩාත් අවදානමට ලක්ව සිටිති. අන්තර් ජාලයේ තොරතුරුවලින් අනාවරණය වූ පරිදි ජාවාරම්වලට ගොදුරු වූවන්ගෙන් සියයට 70 කට වැඩි ප්‍රමාණයක් කාන්තාවන් හා ගැහැණු ළමයින් වන අතර තුනෙන් එකක් පමණ ළමුන් ය.

සෑම දිනකම සිදුවෙන මිනිසුන් විකිණීමේ මෙම ක්‍රියාදාමයේ වින්දිතයන් බවට පත්වී තිබෙන්නේ ස්ත්‍රීන් හා බාල වයස්කාර තරුණ තරුණියන් වීම ඛේදජනකය.

මා ඉතාලියේ ගත කල වසර 25,ක පමණ කාලයේ අප්‍රිකානු රටවල් වලින් යුරෝපීය රටවලට මුදල් ගෙවා මිනිසුන් ගෙන ඒමේ දුෂ්ඨ හා කූඨ ව්‍යාපාරය පිළිබඳව යම් හැදෑරීමක් කරන්නට හැකිවූයේ විජාතිකයන්ට නවාතැන් ලබාදෙන රජයේ මධ්‍යස්ථානයක අධ්‍යක්ෂක වශයෙන් මා සේවය කල නිසාය.

උතුරු අප්‍රිකාවේ ඇල්ජීරියා, මොරොක්කො, මවුරිතානියා, බුරිකීනා ෆාසෝ ආදී රටවල් මෙන්ම මධ්‍යම අප්‍රිකානු රටවල් වන චාඩ්, මාලි, අයිවරි කෝස්ට් මෙන්ම අනිත් අප්‍රිකානු රටවල් වන සෝමාලියා, ඉතියෝපියා, කැමරුන්, සෙනෙගාල් නයිජීරියා වැනි රටවලින් යුරෝපය කරා දිනපතා විවිධ ක්‍රම ඔස්සේ "සරණාගතයන්" ලෙස හෝ විවිධ හේතු මත සංක්‍රමණිකයන් පැමිණීම සිදුවේ. මා සේවය කල මධ්‍යස්ථානයට මෙම සෑම රටකම සරණාගතයෙක් පැමිණ ඇත.

මෙය යුරෝපීය රටවල් බරපතල අර්බුදයක් ලෙස යුරෝපීය පාර්ලිමේන්තුව තුලද කථිකාවට භාජනය කර ඇත.

බරපතල සමාජ හා දේශපාලන ප්‍රශ්නයක් වන මෙය එම රටවල පොදු මහජන සේවාවන් යටපත් කර ඇති අතර, නීතිය ක්‍රියාත්මක කිරීමේ හා අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ කාර්යයට බලපෑම් ඇති කර ඇති අතර වින්දිතයින්ට උපකාර පැතීම මේ වන විට දුෂ්කර කර තිබේ.

මෙම විෂය ඉතා සංකීර්ණ වන්නේ මෙම මිනිස් වෙළඳාමේ යෙදී සිටින බලගතු පුද්ගලයන් නිසායයි විටෙක චෝදනා එල්ල විය. ඉතා සංවිදිත ලෙස මෙම ව්‍යාපාරය කරන බවටද චෝදනා ඇත. සෑම රටකම සෑම දිනකම මිනිස් ජාවාරම්කරුවන් ලාභ සඳහා මිනිසුන් සූරාකයි. ඒ සමහර රැකියා ස්වදේශිකයන් කිරීමට අකැමැති තත්ත්වය තුල ඒ සඳහා විජාතිකයන් යොදා ගැනීමට හැකි අවකාශය නිසාය. දුප්පතුන් හා අවදානමට ලක්විය හැකි අය වඩාත් අවදානමට ලක්වන්නේ මෙතැනදීය.

COVID-19 මගින් වෙළඳාමේ අන්තරායන් විශාල කර ඇත. රැකියා අහිමිවීම, දරිද්‍රතාවය වර්ධනය වීම, පාසැල් වැසීම සහ මාර්ගගත අන්තර්ක්‍රියාකාරිත්වයේ ඉහළ යාම අවදානම වැඩි කිරීම සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සඳහා අවස්ථා විවෘත කිරීමක් සිදුව ඇතැයි අන්තර්ජාල තොරතුරු අනාවරණය කරයි.

පුද්ගලයින් ජාවාරමට එරෙහි මේ වසරේ ලෝක දිනයේ තේමාව අවධානය යොමු කරන්නේ පළමු ප්‍රතිචාර දැක්වූවන් වන සමාජ සේවකයින්, කම්කරු පරීක්ෂකවරුන්, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ නඩු පවරන්නන්, සෞඛ්‍ය සේවකයින් සහ රාජ්‍ය නොවන සංවිධාන කාර්ය මණ්ඩලය, වින්දිතයින් හඳුනාගෙන ඔවුන් යුක්තිය කරා යන මාවතට සහ ඔවුන්ගේ නැවත ගොඩනැඟීම සඳහා කරණු ලබන සද්කාර්‍යයන් කෙරෙහිය.

සිල්වෙස්ටර් ජයකොඩි, ප්‍රධාන ලේකම්, ලංකා වෙළඳ කාර්මික  හා පොදු කම්කරු සංගමය