තමන් ශ්‍රමිකයකු බව නොතේරෙන "දැනුම ශ්‍රමිකයාගේ" අබුද්ධිමත් වූ පන්ති අවබෝධය හා ඒ නිසා  සිදුනොවන තොරතුරු විප්ලවයේ සමාජ විප්ලවය

තමන් ශ්‍රමිකයකු බව නොතේරෙන "දැනුම ශ්‍රමිකයාගේ" අබුද්ධිමත් වූ පන්ති අවබෝධය හා ඒ නිසා  සිදුනොවන තොරතුරු විප්ලවයේ සමාජ විප්ලවය

පරිගණක භා සන්නිවේදන තාක්ෂණයේ සිදු වූ  සංවර්ධනය හා  ඒකාබද්ධ කල හැකි වීම තුල නිර්මාණය වූ තොරතුරු හා සන්නිවේදන  තාක්ෂණය නිසා අද මානව වර්ගයා ඉතාමත් පැහැදිලි වෙනසකට භාජනය වී ඇත. මානව වර්ගයා බිහි වූ දිනයේ සිට සැම මොහොතකම යම් වෙනසකට අපි ලක් වෙමින් සිටින්නෙමු. මෙම වෙනස්කම් ප්‍රමාණාත්මක ලෙස සිදු වූ අවස්ථාවන් කිහිපයක් ලෙස මානව වර්ගයා කෘෂිකර්මයට හා සත්ව පාලනයට නැඹුරු  වීම, කාර්මික විප්ලවය සිදු වීම හා වර්තමානයේ අප අත්විඳින දැනුම් පදනම් වූ සමාජයකට මග පාදන ඉලෙක්ට්‍රොනික තොරතුරු විප්ලවය සිදු වීම දැකිය හැක. මිනිසාගේ කායික ශ්‍රමය හා බුද්ධිමය ශ්‍රමය  ස්වයංක්‍රීය යාන්ත්‍රිකකරණයට ගනු ලැබූ උත්සාහයන්ගේ ප්‍රතිපලයන් ලෙස මෙම කාර්මික විප්ලවය හා ඉලෙක්ට්‍රොනික තොරතුරු විප්ලවය දැක්විය හැක. සත්‍යවශයෙන්ම මානව වර්ගයාගේ සැබෑ හා ස්වභාවික සංවර්ධනය තුල සිදු වූ විප්ලවයන් ලෙස මෙම අවස්ථා  අප විසින් හඳුනා ගත යුතුය.  ප්‍රංශ හා රුසියානු විප්ලවයන් සැබවින්ම සිදු වුයේ මෙම කාර්මික යුගය තුල ඇතිව වූ සමාජ ආර්ථික හා දේශපාලනික එහෙත් සිල්ලර විප්ලවයන් ලෙසය. මේ නිසා මෙම විප්ලවයන් තුල ඇතිවූ  දේශපාලනික හා ආර්ථික ව්‍යුහයන් ආරක්ෂා කිරීමට කෘතීම ව්‍යුහයන් හා බලවේගයන්  නිර්මාණය කිරීමටත් , යම් අවස්ථා වලදී මෙම කෘතීම ව්‍යුහයන් හා බලවේග ආරක්ෂා කිරීමට  සමාජ සංවර්ධනයේ සැබෑ බලවේගයන් යටපත් කිරීමටත් සිදු විය.

කෘෂිකාර්මික යුගයේදී ප්‍රධාන  නිෂ්පාදන සාධකය වූ “ ඉඩම”  හිමි සුළුතරය හා එම ගොවි බිම්වල සේවය කල නිෂ්පාදන සාධක වල අයිතිය අහිමි පීඩිතයින් දකින්නට ලැබුණි. ඉතා සුළු වශයෙන් මෙම දෙපාර්ශවය අතර යම් යම් ගැටුම් නිර්මාණය වුවද සංවිධානාත්මක පන්ති අරගලයක් දක්වා එම ගැටුම් දිග ඇදීම සිදු නොවුනි. කාර්මික විප්ලවයත් සමග නාගරීකරණයඇතුළු විවිධ වෙනස්කම් නිසා මෙම කාර්මික සමාජයේ තීරණාත්මක නිෂ්පාදන සාධකය වූ “ප්‍රාග්ධනය” හිමි පන්තියත් , ඔවුන්ට එරෙහිව ලෝකයේ ප්‍රථම වරට සංවිධානාත්මක පන්තියක් ලෙස සකස් වූ “නිර්ධන පන්තියත්” අතර පැහැදිලි පන්ති අරගලයක් නිර්මාණය විය. ජර්මන් ජාතික “කාල් මාක්ස්” විසින් රචිත”   “දාස් කැපිටාල්”  (“ප්‍රාග්ධනය”) කෘතිය මගින් මෙම පන්ති අර්බුධය පැහැදිලිව නිර්වචනය කරන ලදී.  මේ අනුව නිෂ්පාදන සාධක අහිමි “නිර්ධන කම්කරු” පන්තිය විසින්  තමන් කවුරුන්දැයි පැහැදිලිව හඳුනා ගැනීමත්, ඔවුන් සමාජ පන්තියක් ලෙස වෙනම හඳුනා ගැනීමත්, ඔවුන් තමන්ට නිෂ්පාදන සාධක වල අයිතිය නොමැති බව හඳුනාගැනීමත්, ඔවුන්ව ධනපති පන්තිය විසින් පැහැදිලිව සුරාකැමකට නිර්ධන පන්තිය ලක් කර ඇති බව තේරුම් ගැනීමත්  පැහැදිලිව දක්නට ලැබුණි. එ අනුව ඔවුන් සංවිජානික සමාජ පන්තියක් වූ අතර ඔවුන්ගේ මෙම පන්තිය පිලිබඳ අවබෝධයේ රස්නය  විසිරී සිටි ගොවියන්ට ද  තරමක් දුරට දැනෙන්නට විය. කාල් මාක්ස් ගේ මෙම “පන්ති සටනේ” න්‍යායන් පිලිබඳ ජනතාව දැනුවත් කොට සමාජ බලවේග ඒකරාශී කොට දේශපාලනික විප්ලව කොට  සමාජවාදී කඳවුරක් ලෝකය තුල ස්ථාපිත කරන්නට තරමට මෙම “සමාජවාදී කඳවුර” හෝ “වමේ කඳවුර” ශක්තිමත් විය.  මෙම “සමාජවාදී කඳවුර” හෝ  “වමේ බලවේග” හා “ධනවාදී කඳවුර” හෝ “දක්ෂිණාංශික බලවේග” අතර අර්බුධය  දෙවන ලෝක සංග්‍රාමයත් සමග සීතල යුද්ධයක් දක්වා දිග ඈදුනි.

 මෙම  ලෝකය බෙදා ගැනීමට  කල දෙවන ලෝක යුද්ධයනිසා සිදුවූ අතිමහත් විනාශය නිසා බියවූ ලෝක නායකයෝ   අප ජීවත් වන පෘතුවිය සතු  සම්පත් බෙදා ගැනීමට කරනු ලබන උත්සහාය පිටසක්වල සම්පත් සොයා යන ගමනක් දක්වා ගෙන යන්නට ගත් උත්සහාය මෙම සීතල යුද්ධයත් සමග “තාරකා යුද්ධයක් දක්වා” වර්ධනය විය.   එහිදී “අභ්‍යාවකාශය” ජය ගන්නට මිනිසා විසින් ගනු ලබූ උත්සහාය තුල “සන්නිවේදන තාක්ෂණය” විශාල දියුණුවකට ලක් වූ අතර “ජංගම සන්නිවේදන තාක්ෂණය” ප්‍රධාන උප ක්ෂේත්‍රයක් ලෙස අති මහත් සංවර්ධනයකට ලක් විය.  දෙවන ලෝක යුද්ධයේදී විශාල් දියුණුවකට පාත්‍ර වූ “පරිගණක තාක්ෂණය” මෙම නව “ සන්නිවේදන තාක්ෂණය”  සමග නිසි ලෙස මුසු වී ඒකාබද්ධ වීම තුල නව “ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය” එනම් “ICT”, Informatics, තොරතුරුවේදය” බිහි වී ප්‍රචලිත වීම තුල  අප ජීවත් වන, කනබොන, වැඩකරන  ආකාරය මෙන්ම අප සිතන පතන අයුරු පවා දැඩි වෙනස් කමකට ලක් වෙමින් අලුත්ම සමාජ ස්ථරයක් පවතින සමාජ ක්‍රමයට එක් කරන ලදී. මෙම නව සමාජය 21 වන සියවස, digital යුගයක්, තොරතුරු යුගයක්, දැනුම් පදනම් වූ සමාජයක්, එල් ඉලෙක්ට්‍රොනික ජාලගත සමාජයක් ආදී වශයෙන් විවිධ ලේබල් වලින් අලෙවිකිරීමට උත්සහා කරනු ලැබේ.  මිනිසාගේ “කායික හෝ භෞතික”  ශ්‍රමය ස්වයංක්‍රීය යන්ත්‍රවලට බාර දීමට ගත් උත්සාහය නිසා බිහි වූ “ රෝදය” හා “වාෂ්ප එන්ජිම” එකතු වීම තුල ඉකමන් වූ  “කාර්මික විප්ලවයෙන්” වසර පන්සියයකට පසුව ඇති වූ  මෙම විප්ලවයට පාදක  වුයේ “මානසික  හෝ බුද්ධිමය” ශ්‍රමය ස්වයංක්‍රීය කිරීමට ගනු ලැබූ උත්සාහයන්ය.  “ පරිගණකය” හා “දුරකථනය”  නිසි ලෙස එකතු වීම තුල ඉක්මන් වූ “තොරතුරු විප්ලවය” නිසා “කාර්මික” හා “කෘෂි” අංශ වලින් හා එම අංශ වල “සේවා” එකමුතුවෙන් ක්‍රියාත්මක වුනු කාර්මික සමාජයට නව ක්ෂේත්‍රයක් ලෙස “තොරතුරු” අංශයක් එක් වී  “තොරතුරු යුගයක්” එනම් “තොරතුරු සමාජයක්” නිර්මාණය විය.

භෞතික දේ පහසුවෙන් එහා මෙහා ගෙන යාමට යොදා ගත් “රෝදය”. භෞතික ශ්‍රමය ස්වයංක්‍රීයව සිදු කිරීමට නිර්මාණය වූ  “වාෂ්ප එන්ජිම” සමග නිසි ලෙස මුසු වී භෞතික ශ්‍රමයට අභියෝගයක් එල්ල කරද්දී , දැනුම, තොරතුරු, දත්ත හා උපදෙස් මෙන්ම  හැඟීම්  ලෙස ද  දැකිය හැකි අභෞතික දේ පහසුවෙන් එහා මෙහා ගෙන යාමට යොදා ගත්  “දුරකථනය” , අභෞතික හෝ මානසික හෝ බුද්ධිමය ශ්‍රමය ස්වයංක්‍රීයව සිදු කිරීමට නිර්මාණය වූ “පරිගණකය”  සමග  නිසි ලෙස මුසු වී බුද්ධිමය ශ්‍රමයට අභියෝගයක් කරමින් මෙම තොරතුරු යුගය නිර්මාණය වී ඇත. වර්තමානයේ ජීවත්වන මිලියන 7000 කට ආසන්න ප්‍රමාණයක් වූ ලෝක ජනගහනයෙන් හරි අඩකට වඩා පරිගණක ගැන දැනගෙන සිටියද  ඉන් බොහෝ දෙනෙක් පවා මේ සිදුවන සමාජ විප්ලවයේ අරුත තේරුම් ගෙන මෙම තොරතුරු සමාජය නිර්මාණය කිරීමට දායක වනවාද යන්න සැක සහිතය. පරිගණක හා ඉන්ටෙනට් ජාලයේ හුදු භාවිත කරුවන් හෝ ප්‍රතිලාභ ලබන්නන් ලෙස අක්‍රිය දායකයින් ලෙස ලොව ජනගහනයෙන් හරි අඩක් සහභාගී වුවද ඔවුන්ට මේ සමාජ විපර්යාසයේ අරුත නොතේරීම අරුමයක්ද නොවේ.  කාර්මික විප්ලවය හා තොරතුරු විප්ලවය යන  මානව වර්ගයාගේ සංවර්ධනය තුල සිදු වූ ප්‍රධානතම ජයග්‍රහණයන් අත්කරගැනීමට  මිනිස් වරගයා සමත් වුවද එම ප්‍රතිලාභ සාධාරණ හා නිසි ලෙස සමාජය තුල ගලායාමට සමත් සමාජ ක්‍රමයක් නිර්මාණය කල හැකි දේශපාලනික ආර්ථික යාන්ත්‍රණයක් නිර්මාණය කර ගැනීමට අසමත් වීම නිසා ලොවින් හරි අඩක් තවමත් ආර්ථික දරිද්‍රතාවයෙන් පීඩා විඳීම තුල “දුප්පත්කම” සුවකල නොහැකි  “නිදන්ගත රෝගයක්” වීම  දැනුම පදනම් වූ යුගයකට නොගැලපෙන අවාසනාවකි. මානව වර්ගයාගේ ඉහලම දියුණුවකට පැමිණි ඇති යුගයකත් මිනිසාට මිනිසාගේ ගැටළු විසඳා ගැනීමට නොහැකි වීමත්, මිනිසා මිනිසාට එරෙහිව විනාශකාරී දේ වලට යොමු වී මනුෂත්වය හමුවේ දුර්වල වීමත් පැහැදිලිව කනගාටුදායක තත්වයකි.

කාල් මාක්ස්ගේ “ඩාස්  කැපිටාල්” කෘතියෙන් දැනුමෙන් සන්නද්ධ වී   අනතුරුව  ව්ලදිමීර් ඉල්ලිච් ලෙනින් විසින් “රුසියාවේ කල විප්ලවය” නිසා  පන්නරය ලැබූ “ සමාජවාදී කඳවුර හා එහි ප්‍රචාරක බලවේග”  වලට පින් සිදු වන්නට කාර්මික සමාජයක  සම්පත් හෝ නිෂ්පාදන බලවේග වල අයිතිය  ඇති “ධනපති” පන්තිය හා එම නිෂ්පාදන බලවේග වල අයිතිය නොමැතිව  “කම්කරුවන් හා ගොවියන් ලෙස” තමන් ධනපති පන්තියේ “සුරාකෑමට හා පීඩාවට” ලක්ව ඇති බවත් “සිය ශ්‍රමයේ අයිතිය” සඳහා සුරාකෑමට එරෙහි විය යුතු බවත්   ඒ සඳහා “සමාජ” පන්තියක් ලෙස “සංවිධානය විය යුතු බවත් තේරුම් ගැනීම සිදු විය.

කාර්මික විප්ලවය නිසා බිහිවූ භෞතික ශ්‍රමයේ අභියෝගාත්මක නිර්මාණ නිසා කාර්මීකරණය, නාගරීකරණය ආදී වෙනස් කම් වලට ලක්වීම පිලිබඳ කාල් මාක්ස්ගේ පැහැදිලි කිරීම් තුල හිරවී සිටි “සමාජවාදී චින්තනය”  එම සමාජවාදී චින්තනයට පින් සිදු වන්නට ඒකාධිපති පාලනයන් ගෙන ගිය දේශපාලන ක්‍රමයන් නිසා කාල් මක්ස්ම ප්‍රකාශ කරන ලද “සර්පිලාකාර  සංවර්ධනය” ට ඉඩ කඩ නොදෙන ලදී. මෙම තත්වය තුල “මාක්ස්වාදය” එම දර්ශනයේ පදනම වූ “දෛලේක්තික භෞතිකවවාදය” ට  හා එහි පැවති  ප්‍රජාතන්ත්‍රවාදයට හා පවා එරෙහි වෙමින් “මාක්සාගම” නම්වූ ආගමක් බවට පත්විය. ඉතා කෙටි කාලයකදී  මාක්ස් හා ලෙනින් “මාක්සාගමේ  ප්‍රධාන දෙවිවරුන්” බවට පත් විය. 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හුදෙක් “පරිගණක විද්‍යාව” ලෙස සලකා එහි සමාජ විප්ලවය හා සන්නිවේදන  තාක්ෂණය  සමග නිසි ලෙස මුසු වී සිදු විය හැකි සමාජ අර්බුදය පැහැදිලිව තේරුම් ගෙන වෙනස් වෙන්නට සුදානම් නොවූ “සෝවියට් සංගමය” ඇතුළු සමාජවාදී කඳවුරු “සමාජ සංවර්ධනයේ” සැබෑ වෙනස්කම් බලයෙන් සිරගත කරන්නට උත්සහා ගනු ලැබිණ. 1917  දී රුසියාවේදී සිදු කල ඔක්තෝම්බර් විප්ලවය “ සමාජ ඉතිහාසයේ කල භයානක වැරද්දක්” ලෙස නිර්වචනය කල ඇමරිකානු නායකයෝ “මෙම ඉතිහාසයේ වැරැද්ද නිවැරදි කිරීම” සැම ඇමරිකානුවකුගේම සමාජ වගකීමක් ලෙස සමාජගත කෙරුණි. කෙසේ හෝ කුමන්ත්‍රණ හා ස්වභාවික යන හේතු රාශියක ප්‍රතිපලයක් ලෙස සමාජවාදී කඳවුර බිඳ වැටීමත්, කාර්මිකකරණය නිසා සිදු වූ  නාගරීකරණය වෙනුවට තොරතුරු විප්ලවයත් සමග ගෝලීයකරණයක් ක්‍රියාත්මක වන්නට පටන් ගනු ලැබිණ.

මෙම තත්වය ගෝලීය ධනවාදය  ලෙස නිර්වචනය කලද මෙම ගොලීය තොරතුරුවාදය තුල අද පවතින සම්පත් බෙදී යාමතුල ඇති පන්ති පරතරයන් හඳුනා ගත යුතුය. කෘෂිකාර්මික යුගය සමග එක්වූ ඉඩම් හිමි හා ඉඩම්  නැති පන්ති අතර පරතරය මෙන්ම කාර්මික යුගය සමග නිර්මාණය වූ ප්‍රාග්ධනය හිමි හා ප්‍රාග්ධනය අහිමි පන්ති අතර පරතරය යන පන්ති පරතරයේ සමාජ දායාදයන් අතරට නව පන්ති පරතරයක් නිර්මාණය වි එක් විය. එය තොරතුරු ආශ්‍රිත නිෂ්පාදන සාධක හිමි හා අහිමි පන්ති පරතරයයි. මෙය තොරතුරු යුගයේ තීරණාත්මක ඇති නැති පරතරය ලෙස දැක්විය හැක. මෙය ඉලෙක්ට්‍රොනික තොරතුරු ආශ්‍රිත නිෂ්පාදන සාධක අයිති හා අහිමි පන්ති වල පරතරයයි. මෙය සංඛ්‍යාකික සමාජ පරතරය හෝ සමාජ බෙදුම ලෙස ජනප්‍රියව හැඳින්වුනි. කණගාටුවට කරුණක් වනුයේ ගෝලීය තොරතුරුවාදය තුල මෙම පරතරය ගැන ජාත්‍යන්තර වශයෙනුත්, ජාතික වශයෙනුත් කතිකාවතක් ඇති වුනා මිස තොරතුරු වාදයේ පන්ති අරගලයක් සඳහා එය දියුණු නොවුනි. එයට ප්‍රධාන හේතුව වනුයේ තොරතුරු ශ්‍රමිකයින් කාර්මික හෝ කෘෂිකාර්මික ශ්‍රමිකයින්ට වඩා ඉහල ආර්ථික මට්ටමක සිටීමයි.  කාර්මික යුගයේදී  නිල් කරපටි ශ්‍රමිකයින්  පාලනය කරන්නට සුදු කරපටි ශ්‍රමිකයින් යොදා ගත් අතර ඔවුන් සිය සමාජ හා ආර්ථික පදනම නිසා සිය ශ්‍රමික පන්තිය අමතක කොට තමන් සුරකන ධනපති පන්තියේ සැබෑ අර්බුදය තේරුම් නොගෙන එම ධනපති පන්තියේ අවශ්‍යතා ඉටු කරමින් ඔවුන්ගේ මිත්‍රයින් හා හිතවත් දාසයින් ලෙස කටයුතු කරන ලදී.

තොරතුරු ශ්‍රමිකයින්ගේ අධික හිගය නිසා ඔවුන් සාපේක්ෂව ඉහල ආදයම් ලැබීමත්, ගෝලීය බාහිර මුලාශ්‍රකරණය තුල ඔවුන්ට ලැබූ නව අවශ්‍යතාවයන් තුල ඉල්ලුම හා සැපයුමේ කෙටි කාලීන අසම්තුලිත තත්වය තුල තමන් ශ්‍රමිකයින් බව හා තමන් කෘෂිකාර්මික හා කාර්මික ශ්‍රමිකයින්ට අයිති නොවන පිටසක්වලක ජීවීන් ලෙස උතොපියාවක ජීවත්වන්නට පටන් ගනු ලැබිණ. මෙම පන්තිය ට ශ්‍රමික පන්තියේ සැබෑ අර්බුදය තේරුම් නොගැනීම නිසා ඔවුන් තාවකාලික නින්දක සිහින දකින බව ඔවුන්ට නොතේරෙන තාවකාලික සුරලොවක් ඔවුන් නිර්මාණය කර ගෙන ඇත.  සමාජවාදී විප්ලවයෙන් හිරවුණු , මග නැවතුනු “ මාක්ස්වාදය”  මෙම තොරතුරු විප්ලවයත් සමග නිසි සංවර්ධනයක් සිදු නොවීම තුල අද බිහි වී ඇති “තොරතුරුවාදය”  හුදෙක් ගෝලීය ධනවාදයේ තොරතුරු හා සන්නිවේදන විප්ලවය ලෙස ලඝු කිරීම තුල අඩුම වශයෙන් මෙම ශ්‍රමික පන්තියට තම පන්තිය ගැන විචාරාත්මක කතිකාවතකට ඇති ඉඩ කඩ පවා ඇහිරී ඇත.  

වර්තමානයේ ගෝලීය වශයෙන් නිර්මාණය විය යුතු මෙම කතිකාවත වෙනුවට ජාතික වශයෙන් හිරවුණු “දේශපාලනික,ජනවාර්ගික හා ආගමික” අනන්‍යතාවයන් තුල හිරවී කරනු ලබන “අනන්‍යතා යුද්ධයන්” තුල අද බුද්ධිමතුන් හිරවී අත.  මෙම   බුද්ධිමතුන්  සිය බුද්ධිමය දායකත්වය ඉන්ටෙර්නෙට් ජාලයේ සමාජ ජාලයන්හි  පවා මෙම “අනන්‍යතා යුද්ධයන්” තුල  ට පටු කිරීම තුල “තොරතුරුවාදය” වෙනුවන් සිය බුද්ධි මෙහෙවර කරන්නට ඉඩ ප්‍රස්තා අහිමි කර ඇත. මේ සියල්ල තුලින් සිදු වන්නේ “ තමන් ශ්‍රමිකයකු බව නොතේරෙන  " දැනුම ශ්‍රමිකයාගේ"    අබුද්ධිමත්  වූ    පන්ති අවබෝධය   හා එමනිසා  සිදු නොවන තොරතුරු විප්ලවයේ අද දින  සිදු විය යුතු සමාජ විප්ලවය අද දින සිදු නොවීමය. එහෙත් මෙම සමාජ විප්ලවය සිදු වීම ප්‍රමාද වුවද එය අනිවාර්යයෙන්ම සිදු විය යුතුය.  ධනවාදයේ මුලික පදනමක් වන ඉල්ලුම හා සැපයුමට තොරතුරු ශ්‍රමිකයා නිසි ලෙස හසු වූ විට තමන්ගේ පන්තියේ විඥානය තේරුම් ගැනීමට සිදු වනු ඇත.

dilantha withanage

ආචාර්ය දිලන්ත විතානගේ