මේ ශ්‍රී ලංකා ‘ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ යයි කියනු ලබන රටයි. 1950දී මෙහි ඒක පුද්ගල ආදායම ඩොලර් 89 ක් ලෙසින් කලාපයේ ඉහළින් සිටි එනම් ජපානය, සිංගප්පූරුව ආදී රටවල් අභිබවා සිටි රටක් ලෙසින් පැවති නමුත් මෙහි ජනතා නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරමින් තීන්දු තීරණ ගත් දේශපාලුවන් විසින් අද වන විට ඒ රට කලාපයේ පහළ ම අගයක් දක්වන රට බවට පත් කර තිබේ. අද එය ඉතියෝපියාවටත් පහත තත්වයකට පත්ව ඇති බව කනගාටුවෙන් සඳහන් කිරීමට සිදුව ඇත.
එසේ වූ වද ලෝකය ම වෙළා ගත් කොරෝනා වසංගතයට මුල් අදියරේ දී සාර්ථකව මුහුණ දීමට හැකි වීමේ ගෞරවය ලැබෙනුයේද අපගේ සෞඛ්‍ය අංශයට ය. මෙහි අතීතයේ පටන් පැවති මහජන සුබසාධන ක්‍රමවේදවලින් ඉතාමත් සංවිධානාත්මක ව මහජනයා වෙතට සම්ප්‍රේෂණය වන ලෙසට (වින්නඹු මාතා සේවය වැනි) පොදු යහපත සඳහා පැවති රාජ්‍ය සේවාවන් අතුරෙන් සෞඛ්‍ය සේවයට ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. කුඩා රටක් ලෙස සමස්ත රට පුරා ව්‍යාප්ත ව පැවති එවන් ගරු කටයුතු සේවාවක් ව පැවති තවත් අංශයක් වූයේ අධ්‍යාපන සේවයයි. එහෙත් බරපතළ ම අවාසනාව වන්නේ මේ වන විට කොමිස්, යටිමඩි, පගා ගැහීම, දූෂණය, වංචා, ඝාතන යනාදිය අවිච්ඡින්න පවත්වා ගෙන ආ තවදුරටත් එසේ පවත්වා ගෙන යන පාලකයින්ගේ සහ හොර ජාවාරම් කරුවන්ගේ කෝරුවාවයි. ඔවුන් විසින් පුරුදු පුහුණු කරණ ලද ජන කොට්ඨාශයන්ගෙන්ද සමන්විත පිරිස් ද ඒවාට සාපේක්ෂ ලෙසින් වර්ධනය වී තිබුණ සහ වෙමින් තිබීමයි. එම ක්‍රමවේද ඔස්සේ ම මහජන ඡන්දයෙන් ම තීන්දු තීරණ ගන්නා මණ්ඩලයන්ට දිගින් දිගටම පත් වෙමින් එන දුර්දාන්ත පාලකයින් හට තමන්ට වුවමනා පරිදි සපුරා කණපිට හරවා ගැනීමට නොහැකිවූ ක්ෂේත්‍රයෙන් දෙකක් වාසනාවට මෙන් තවමත් ඉතිරි වී පවතී. ඒවා නම් සෞඛ්‍ය සේවාව හා අධ්‍යාපන සේවාවයි. ඒවා මෙපමණකින් හෝ තවමත් එසේ පැවතීමට හැකිවී තිබෙන්නේ එම සේවාවන්හි කැපවී නිරත ව සිටින්නන්ගේ තවමත් නො නැසී පවතින අප්‍රතිහත ධෛර්යය හා කැපවීම මතයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ බුද්ධිමත් භාවය හා අවංකභාවය මෙන් ම තම වෘත්තිය කෙරෙහි වූ ගරුත්වය මෙයට හේතු වී තිබේ.
එහෙත් පසුගිය අප්‍රේල් සමයේ පාලකයින් විසින් අදූරදර්ශී ලෙස රට විවෘත කිරීමෙන් පසු නැවතත් මැති ඇමතිවරුන් සහ සහචරයන් විවිධ උත්සව සඳහා ජන රාශි ගත කිරීම් ආදිය නිසා රට නරක අතට හැරෙන්නට පටන් ගත්තේ ය. අයවැය හිඟය පියවා ගැනීම සඳහා මුදල් අච්චු ගැසුවේ ය. අඩු ආදායම්ලාභීන්ගෙන් තෝරා ගත් පිරිසකට පන්දාහේ දීමනාව දුන්නද ඒවාට අනුගතනොවූ එදිනෙදා වේල පිරිමසා ගන්නා බොහෝ පිරිසක් එම ගණනය කිරීම්වලට ඇතුළත් නො වූහ. ඒ මගින් රුපියලේ අගය තව තවත් බාල්දු වී මහජනයා ගේ මිලදී ගැනීමේ හැකියාව බිඳ වැටුණේ ය. අද වන විට දෙවෙනි හා තුන්වන රැළි ඔස්සේ සමස්ත රටම බේරා ගත නො හෙන සේ වසංගතයට ගොදුරු වෙමින් පවතී. දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යයි. එය 200 ද පසු කරමින් තිබේ. දෛනික නිල ආසාදිතයින් ගණන 4,500 ආසන්නයට පැමිණ තිබේ. රෝගීන් සංඛ්‍යාව රෝහල් ධාරිතාව අභිබවා ගොසිනි. එහෙත් කොවිඩ් වසංගතය හමුවේ රට මෙහෙයවන්නන් ලෙස පොරොන්දු පිට පොරොන්දු දී වගකීම භාර ගත් පාලකයින්ගේ මහජනයා කෙරෙහි වූ යුතුකම් සම්පූර්ණයෙන්ම වාගේ සෞඛ්‍ය අංශ පිට පටවා තිබෙන බවක් පෙනෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වුවද ඒ ගැන නොතකාහැර තිබීමෙනි. වෘත්තීමය සුදුසුකම් සපුරා ඇති සෞඛ්‍ය අංශයට රටේ සෞඛ්‍ය පිළිබඳ තීරණ ගැනීම වළකා සෞඛ්‍ය තීන්දු තීරණ ගැනීම ද යුධ හමුදා සගයින්ට ම භාර දුනි. ස්ත‍්‍රී හිංසන බහුල රටක් වන මෙහි ස්ත‍්‍රීන් සඳහා පැවති අමාත්‍යාංශය පවා සහමුලින්ම ඉවත් කර දැමුවේ ඕනෑ තරම් ස්ත‍්‍රීන් අපහරණයට විවෘත කර දෙනවා වැනි පණිවිඩය ලොවට දෙමිණි. සෞඛ්‍ය සේවකයින්ගේ අවශ්‍යතාවෙන් හා අයිතිවාසිකම්, විශේෂයෙන්ම ගමනාගමනය සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව ආදිය ගැන එතරම් තැකීමක් නො කිරීම කනගාටුවට කරුණකි.
මේ වන විට සෞඛ්‍ය අංශවලට තවදුරටත් ඔරොත්තු නො දෙන තරමට රෝගය ව්‍යාප්ත වෙමින් යයි. සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතවලට ද බරපතළ අභියෝගයක් වෙමින් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ බොහොමයක් මේ වන විට රෝගයට ගොදුරු වෙමින් සිටී.
ඒ අතර මහජනයාගේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමටත් සලස්වා මහජනයා කබලෙන් ලිපට ඇද දමමින් සිටි . ඒ අතර මාධ්‍ය හමුවල දී කෘෂිකාර්මික රටක් වන අප රටේ කුස ගින්නේ සිටින කිසිවකු නැතැයි හඬතලති. බරපතළ යුද්ධයකින් පසු පුරුෂයන් නොමැති වැන්දඹු පවුල් විශාල සංඛ්‍යාවක් උතුරේ මෙන් ම දකුණේ පවා සිටින අපගේ වැනි රටක කුසගින්නේ සිටින දරුවන් සහ මව්වරුන් සිටින බවවත් ඔවුහු නොසිතති. අහරට ගත හැකි කිසිවක් සිටුවා ගැනීමට බිම් අඟලක් නොමැතිවුන් සිටින බව හෝ රැකියා නොමැතිව කොතෙකුත් ජනයා සිටින බව අමතක ව ගොසිනි. විදේශ විනිමය ඉපයූ මැදපෙරදිග වහල් සේවයට ගොස් අතරමං ව සිටින පිරිස් පෙන්වා ගැනීමට උත්සුක නො වෙති. නිදහස් වෙළඳ කලාපයේ රැකියාවලට පැමිණ නිසි මුලක පහසුකමවත් නොමැතිව රැකියාව කරන පිරිස් ගැන කිසිදු තැකීමක් නොමැතිව ඔවුන් පවා වසංගතයෙන් මිය යද්දී වුව ආර්ථික ලාභයම පතා පාලකයින් කටයුතු කරති.
පසුගිය අගෝස්තු 21වෙනි දින එහි සේවක වෘත්තීය සමිති 5ක් එක්වී කලාපයේ සේවකයින්ට කොවිඩ් මාරයා හමුවේ මුහුණ පෑමට සිදුව ඇති බලහත්කාර සේවාවන් ගැන මෙන් ම කොවිඩ් අවදානම නො තකා, හාම්පුතුන් වසංගතයට ගොදුරුවූ බවට තහවුරු වූවන් පවා වැඩට කැඳවා ගැනීමට උත්සුක වන අයුරුත් සේවකයින් සඳහා අඩුම තරමින් මුඛ ආවරණයක් වත් ලබා නොදෙන බවත් කර්මාන්තශාලාවල විෂබීජහරණය ආදී සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකරන බවත් කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වාට පෙන්වා දී තිබේ. ඔවුන් කියන පරිදි කලාපයේ පමණක් දිනකට ආසාදිතයින් 11ක් වාර්තා වන බවත් කොරෝනා ආසාදිතයින් සීග‍්‍රයෙන් ඉහළ යන බවත් පෙන්වා දී තිබේ. වසංගතය පැතිරීම වැළැක්වීමට රට වසා තබන අවස්ථාවල දී පවා එම සේවිකාවන්ගේ ද සෞඛ්‍ය ආරක්ෂාව ගැන නො තැකීමේ වරද පෙන්වා දී තිබේ. එසේ කලාපය වසා නො තැබීම එම සේවකයින් දෙවෙනි ගණයේ පුරවැසියන් සේ සලකා ක්‍රියා නො කරන ලෙස ද ඉල්ලා ඇත. හාම්පුතුන්ට අවශ්‍ය ව ඇත්තේ ලාභ ඉපයීම පමණක් වන අතර සේවකයින්ට රටේ පුරවැසියන් සේ සැලකීමට ඔවුන්ට උවමනාවක් නොමැති බව පෙනීයන හෙයින් අඩුම තරමින් කලාපයේ හාම්පුතුන් වෙත අලූතින් සෞඛ්‍ය රෙගුලාසි පද්ධතියක් සකසා සේවක සෞඛ්‍යය රැක දීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලීම් කර තිබේ. තවද වසංගතයට ගොදුරුවූවන්හට මෙන්ම වසංගතය නිසා කර්මාන්තශාලා වසා දමනවිට සේවකයින්ගේ ජීවිත රැක ගැනීම සඳහා ඔවුන්ට දැනට ගෙවන රුපියල් 14,500 නොව ඔවුන්ගේ වැටුප ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.
රට තුල කුළියක් සොයා ගත නො හැකි ව දරු මල්ලන්ගේ කුසගින්න නිවා ගැනීමට ක්‍රමයක් නොමැතිව සිටින්නන් ගැන ඔවුන් නො දන්නා සේය. අද මෙහි වෙසෙන්නන්ට තම ජීවිත ගැට ගසාගැනීමට අන් කිසි දිනක නො දැරූ තරම් වෙහෙසක් දැරීමට සිදුවී තිබේ.
අතීතයේ පටන් තනි පවුල් ඒකක ලෙස පාඩුවේ විසූ සියයට 70කට වඩා වන ගොවි ජනතාව පවා සංවිධානාත්මක ව සෑම දස දිග භාගයකින් ම තම දුක්ගැනවිලි හඬගාන්නට පටන් ගෙන තිබේ. ඒ අතර එක්ස්ප‍්‍රස් පර්ල නෞකාව ගිනි ගැනීමෙන් රට වටා ඇති මුහුදු ජලය විනාශ වීමෙන් මත්ස්‍ය සම්පත වැනසී යාම නිසා ධීවරයන්ගේ ජන ජීවිත ද තව තවත් අගාධයට ම වැටී ඇත. එහෙත් රට වැනසී යන මාරාන්තික වසංගතයක් පවතිද්දී හැකි තාක් ප්‍රතිපාදන ඒ සඳහා වෙන් කළ යුතු ව පවති. නමුත් පාලකයින් සෞඛ්‍යයට වෙන් කර ඇත්තේ පසුගිය “යහපාලන රජය“ වෙන්කලාටත් වඩා අඩු මුදලකි. පසුගිය රජය 2019දී වෙන්කළේ රු.කෝටි 18.857ක් වන නමුත් වත්මන් රජය වසංගත සමයේ එනම් 2021 දී වෙන් කර ඇත්තේ 15,948 ක් වී මෙන් පැහැදිලි වන්නේ කුමක් දැයි සිතා බැලිය යුතුය.
හේමමාලී විජේසිංහ