දෙගොල්ලොම පිස්සු කෙළියත් “වර්ජන අයිතිය” අහෝසි වන්නේ නැත

දෙගොල්ලොම පිස්සු කෙළියත් “වර්ජන අයිතිය” අහෝසි වන්නේ නැත

ආරම්භයේදීම ගුරු සටන්කාමීන්ට පෙර ආණ්ඩුවට කිව යුත්තක් ඇත. වාර්තාවන අයුරු ඔක්තෝමබර 21 සහ 22 දෙදින වැඩ වර්ජනය කිරීමට ගුරු හා විදුහල්පති සංගම් තීන්දුකර ඇත. මේ නූතන ලෝකයේ පෞද්ගලික වේවා රජයේ වේවා වැඩවර්ජනය කිරීම, සේවක අයිතියකි.

එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තෙවන පරිච්ඡේදයෙහි 14(1) යටතේ සහතික කර ඇති (අ) සිට (ඈ) දක්වා වන අදහස් පල කිරීම, සාමකාමීව රැස්වීම, සංවිධානයවීම සහ වෘත්තීය සමිතියක් සංවිධානය කිරීම සහ එවැන්නක සාමාජිකත්වය ගැනීම දක්වා වන මූලික අයිතිවාසිකම් සමග තහවුරු කෙරෙන්නකි.

ශ්‍රී ලංකාණ්ඩුව අපරානුමත කර ඇති ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87 වන සම්මුතියෙන් සහතික කෙරෙන සංවිධානයවීමේ අයිතිය යටතේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධීක්ෂණ මණ්ඩල (Supervisory bodies) විසින් තීන්දුකර ඇත්තේ “වැඩ වර්ජනය කිරීම එහි ආවේණික අනුපූරකයක් (Intrinsic corallory)” යනුවෙනි.

වැඩ වර්ජනය කිරීම සේවක අයිතියක් ලෙස පිළිගන්නාවූ තවත් ජාත්‍යන්තර හා කලාපීය ගිවිසුම් හා ප්‍රඥප්තීන් ඇත. 1966 සම්මත වූ “ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්පතියෙහි” (International Convenetion on Economic, Social and Cultural Rights - 1966) 08 වන වගන්තියේ (1)(ඈ) යටතේද වැඩ වර්ජනය කිරීම අයිතියක් ලෙස පිළිගැනෙන්නකි.

එය තව දුරටත් අර්ථ දක්වමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධීක්ෂණ මණ්ඩල කියන්නේ ”නමුත් වැඩවර්ජන සමස්ථ සේව්‍ය සේවක සම්බන්ධතා වලින් වියෝකර නොසැළකිය යුතුය. වැඩ වර්ජන සේවකයින්ටත් ස්වාමි පක්ෂයටත් සමාජයටත් මිල අධික සහ අනර්ථකාමී ක්‍රියාවකි. වැඩ වර්ජන ඇති වන්නේ සේවක ගැටළු සාමකාමීව සාමුහික කේවල් කිරීමේ ක්‍රියාවලිය බිඳ වැටීමේ හේතුවෙනි.”

ඔවුන්ගේ විස්තර කිරීමට අනුව “අත්‍යාවශ්‍ය සේවා” ලෙස පිළිගැනෙන සේවාවන්හි හැර අනෙක් සියලු සේවාවන්හි වැඩ වර්ජන නිත්‍යානුකූල බවය. ආණ්ඩුවේ ප්‍රධානීන් වෙනුවෙන් මෙය අවධාරණය කළ යුතුය. තමන්ට හිතෙන අයුරු, තමන්ගේ වාසියට, “අත්‍යාවශ්‍ය සේවා” යැයි ඕනෑම සේවාවක් නම් කළ නොහැකිය. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධීක්ෂණ මණ්ඩල (පොදු සමීක්ෂණ පරිච්ඡේද 159)  විසින් “අත්‍යාවශ්‍ය සේවා” ලෙස අර්ථ ගන්වා ඇත්තේ, “සේවාවක් අඩාලවීමෙන් සමස්ථ ජනගහනයට හෝ ඉන් කොටසක ජීවිතයට, පෞද්ගලික ආරක්ෂාවට හෝ සෞඛ්‍යයට තර්ජනයක් හෝ අගතියක් ඇති විය හැකි සේවා” ලෙස පමණි.

එබැවින් ලබන 21 වන දින පාසල් ආරම්භ කිරීමට ආණ්ඩුව තීන්දු කෙරුවත් නොකෙරුවත් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට වැඩ වර්ජනය කරන්නට ඇති අයිතිය හැම අතින්ම නිත්‍යානුකූල අයිතියකි. එය අනවශ්‍ය, අසික්කිත බලපෑම් හා තර්ජන මගින්ද නිත්‍යානුකූලව ගන්නා පියවර යැයි පෙන්වීමට පොලීසිය යෙදවීමෙන් හෝ කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින් උත්සාහ කිරීම රටක නීති රීති හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සේවක අයිතිවාසිකම් පිළිබඳව ඔවුන්ගේ නොදැනුවත්කම හා සේවක ආරවුලක් සාමකාමීව විසඳා ගැනීමට ආණ්ඩුවේ ඇති නොහැකියාව ප්‍රදර්ශනය කරන්නකි.

දේශපාලන වශයෙන් ආණ්ඩුව එවැනි පියවර සඳහා නිහඬ අනුමැතියක් හෝ ලබා දීමත් ගුරු විදුහල්පති “සටනට” වාසියකි. පොදුවේ සමාජයේ හැම ක්ෂේත්‍රයකම ආරවුල් ඇතිකර ගෙන තිබෙන, ඒ අර්බූද සඳහා මේ ආණ්ඩුවට විසඳුම් උත්තර නැතැයි සමාජයේ මතයක් හැදෙන විට, මේ ආණ්ඩුවේ හැම බලහත්කාරී තීන්දුවක්ම, මර්දනකාරී පියවරක්ම ඊට නතු කෙරෙන පාර්ශවයේ වාසියට එකතු වන්නේය. එනිසා මේ කෙරෙන තර්ජන ගර්ජන මගින් ඔප්පු කෙරෙන්නේ රටේ නීති රීති හා අයිතිවාසිකම් පිළිබඳව පමණක් නොව, ආණ්ඩුවේ ප්‍රධානීන් දේශපාලනයේ සරළ කාරණාවන් හෝ නොදන්නා බවය.

එහෙත් අගමැති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ වැනි වසර 50 ට වැඩි දේශපාලන ඉතිහාසයක් සහ අත්දැකීම් සතු මේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට ඔවුන්ගේ ආණ්ඩුවේ දේශපාලන කෝඩුකාරයින්ගේ අනුවණ හිතුවක්කාරකම් නවතා නැවත සාමකාමී ශීලාචාර ප්‍රවේශයකට ගොඩවීම වඩා යහපත් වනු ඇතැයි කිව යුතු ය.

එසේ කියමින් මෙය අවසන් කිරීමට පෙර, ගුරු සටනේ ක්‍රියාකාරීන්ටද වචනයක් කියා මෙය අවසන් කළ යුතුය. “පොල් අතු වහල යට, ඩෙස්-බංකු හා කලු ලෑලි නැති පංති කාමර වල ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල පළ කරමින් ආණ්ඩුවේ බලහත්කාරයට අභියෝග කිරීමට ඔබලාට නොහැක. ඒ සඳහා සදාචාරමය අයිතියක්ද ඔබලාට නැත” යැයි මම විවෘතව කියමි.

මෙතෙක් විදුහල්පති හා ගුරු සංගම් ඉදිරිපත් කළ ඉල්ලීම් පැහැදිලි ලෙසම සීමා වූයේ “සුබෝධිනි වාර්තාව” යැයි කියන්නාවූ කොළ කෑලි 03 ක ලියා ඇති ගුරු-විදුහල්පති වැටුප් වැඩි කිරීම් වලට පමණම ය. දසක දෙක තුනක ඉතිහාසයේ ගුරු සංගම් බරපතල දුෂ්කරතා සමග වන එවැනි පාසල්වල ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් කර සටන්කර නැත. අවම තරමින් ගුරුවරුන් වර්ජනය කරන්නේ යැයි කියන “මාර්ග ගත” ඉගැන්වීම් සියලුම පාසල්වල සියලු ළමුන්ට ගස් ගල් උඩ නොනැග අපහසුවකින් තොර ඉගෙන ගැනීමටත් ළමුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන්ට අවශ්‍ය පහසුකම් සම්පූර්ණ කර ගැනීමටත්, මේ මොහොතේවත් වැටුප් වැඩි කිරීම් සමග ඉල්ලීම් ලෙස කිසිවක් ඉදිරිපත් කරන්නේ නැත. මේ ගුරු සටන හුදෙක් මාසික වැටුප ගණන් හදන ආර්ථික වාසියක් සඳහා පමණක්වන ආත්මාර්ථකාමී සටනකි.

අවසන් වශයෙන් කිව යුත්තේ සමාජ මාධ්‍ය ජාලවල හා විද්‍යුත් සාකච්ඡාවල කියා පාන්නාවූ අති උතුම් ශීලාචාර ගුරු වෘත්තියක් අද නැත කියා ය. මීට පරම්පරා දෙකකට තුනකට පමණ ඉහතින් තම කාලය හා ශ්‍රමය ළමුන් වෙනුවෙන් වැය කළ විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් සිටියහ. එවැනි පරාර්ථකාමී රජයේ සේවක සේවිකාවන් හැම ක්ෂේත්‍රයකම වූහ. එහෙත් අද, අනෙක් සියලු සේවාවන්හි හා වෘත්තීන්හි මෙන්ම ගුරු වෘත්තියේද එවැනි පරාර්ථකාමීන් ඉතා විරලය.

එවගේම ගුරු වෘත්තිය අද ළමුන්ගේ පැත්තෙන් ගත්විට පීඩාකාරී වෘත්තියකි. අද වැඩිමනත් ළමා හිංසන හා අපයෝජන සිදුවන්නේද පාසල් වලට සම්බන්ධව ය. එයට ඇතැමුන් පිළිතුරු දෙන්නේ “කොහෙද එහෙම පැමිණිලි තියෙන්නේ? කොහෙද එහෙම සංඛ්‍යාලේඛන තියෙන්නේ?” යැයි අසමින්ය. එළෙසින් අසන අයම දන්නා කාරණයක් වන්නේ එවැනි බොහෝ හිංසන අපචාර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දෙමාපියන් ඉදිරිපත් නොවන බව ය. එයට හේතුවද එළෙස පැමිණිලි කළ දින සිට දරුවා ගුරුවරුන්ගේ නොයෙකුත් වධ බන්ධනයන්ට හා චෝදනා වලට ගොදුරු වන්නේ යැයි දෙමාපියන් අතර ඇති දැඩි විශ්වාසය වන්නේය.

මෙය ඒ සඳහා කදිම උදාහරණයකි. ඉකුත් 2017 වසරේ සැප්තැම්බර 21 වන දින මධ්‍යම පළාතේ මහ ඇමති ප්‍රධාන අමුත්තෙකු ලෙස සහභාගිවන මගුල් උත්සවයක ගිනස් වාර්තාවක් තැබීමට කි.මී. 03.5 ක් දුර ගන්නොරුව-මහනුවර ප්‍රධාන මාර්ගයේ මනාලියගේ ඔසරියෙහි පොට අල්ලා ගෙන සිටින්නට සරත් ඒකනායක ප්‍රාථමික විදුහලේ ළමුන් 250 ක් පාන්දර 02.30 සිට සූදානම්කර පෝලිම් ගස්සා තැබීමට කිසිදු දෙමාපියෙකු විරෝධය දැක්වූයේ නැත. ඒ එම පාසලේ විදුහල්පති සහ ගුරුවරුන් ළමුන් එවන්නට බලකර සිටියෙනි. එවැනි විටෙක ඊට විරුද්ධවීමෙන් බරපතල අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදුවන්නේ දරුවන්ට වන හෙයිනි. ඒ බරපතල ළමා හිංසනය සම්බන්ධයෙන් කිසිදු ගුරු සංගමයක් ප්‍රසිද්ධියේ විරෝධය දැක්වූයේ නැත. පැමිණිලි කෙරුවේද නැත. එනිසා ළමා ආරක්ෂක අධිකාරයට යොමු කෙරුණු එකම පැමිණිල්ල වූයේ පසුදින මා එහි සභාපතිනියට යොමු කළ පැමිණිල්ල පමණක් විය.

මාසික වැටුපට එකතු කරගත හැකි දේ ගැන පමණක් උනන්දු වන ගුරු සංගම් තම සේවාවට අවශ්‍ය පහසුකම් ගැන හෝ තැකීමක් නැත. දසක දෙක තුනක මෙතෙක් ගුරු සංගම් ඉතිහාසයෙහි වතුර පොදක් නැති, එනිසාම වැසිකිළි-කැසිකිළි පහසුකම් අහලකවත් නැති පාසල් තුන් හාර දහසක ළමුන් වෙනුවෙන් පමණක් නොව, තම ගුරු සාමාජිකයින් වෙනුවෙන් හෝ නායකයින් කතා කර නැත.

2017 අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සංගණනයට අනුව,

  • බස්නාහිර පළාතේ සියයට 40 ක් පාසල් වතුර ලබා ගන්නේ පාසල් භූමියෙහි විවෘත ළිඳකින් හෝ නල ළිඳකින්ය
  • උතුරු පළාතේ සියයට 73 ක් පාසල් වතුර ලබා ගන්නේ පාසල් භූමියෙහි විවෘත ළිඳකින් හෝ නල ළිඳකින් වන අතර සියයට 10 ට කිසිදු වතුරක් නැත.
  • වයඹ පළාතේ සියයට 25 ක් පාසල් වල කිසිදු වතුරක් නැත.
  • ඌව පළාතේ සියයට 25 ක් පාසල් වල කිසිදු වතුරක් නැති අතර සියයට 21 ක් යැපෙන්නේ ඇළ දොළ වලින්ය.
  • උතුරු-මැද පළාතේ සියයට 21 ක් පාසල් වල කිසිදු වතුරක් නැත.
  • මධ්‍යම පළාතේ සියයට 23 ක් පාසල් වල කිසිදු වතුරක් නැති අතර සියයට 20 ක් යැපෙන්නේ ඇළ දොළ වලින්ය.
  • සබරගමුව පළාතේ සියයට 19 ක් පාසල් වල කිසිදු වතුරක් නැති අතර සියයට 20 ක් යැපෙන්නේ ඇළ දොළ වලින්ය.
  • නැගෙනහිර පළාතේ සියයට 25 ක් පාසල් වල කිසිදු වතුරක් නැත.
  • එවැනි පාසල්වල ළමුන් හා ගුරුවර ගුරුවරියන් දෛනිකව පත්වන අපහසුතාවට “සුබෝධිනි” වාර්තාව අනුව ඉල්ලා සිටින රුපියල් දහ දොළොස් දාහකින් පිළියම් ලැබෙන්නේ නැත.
  • එවගේම ගුරු සංගම් කතා නොකරන නාම මාත්‍රිකව පවත්වා ගෙන යන ළමුන් 50 ට අඩු පාසල් 1,486 ක්ද ගුරුවර ගුරුවරියන් 09 ට වඩා අඩු පාසල් 2,979 ක්ද ඇත.

නිදහස් සෞඛ්‍ය සේවාවේ වෛද්‍ය වෘත්තිකයින් රෝගී ජීවිත බිල්ලට තබා කිසිදු සාධාරණත්වයක් නොමැති ඉල්ලීම් ලබා ගන්නා අයුරු, “නිදහස් අධ්‍යාපනය” වෙනුවෙන් පෙනී සිටින ගුරු සංගම් නායකයින් හා ක්‍රියාකාරීන් මිලියන 4.1 ක් ළමුන්ගේ අධ්‍යාපනය පාසල් ගේට්ටුවෙන් එළියේ තබා සුබෝධිනි වාර්තාවේ වැටුප් වැඩිවීම් සඳහා පමණක් සටන් කරති. ඔවුන් කිසි දිනක ළමුන්ගේ අධ්‍යාපනයෙහි ඇති බරපතල විෂමතා සඳහා අවශ්‍ය විසඳුම් ගැන කතා කර නැත. අධ්‍යාපන අයිතිය වෙනුවෙන් කතා කරන ඔවුන්, අධ්‍යාපන අයිතිය යනු සියලු ළමුන්ට සමාන පහසුකම් හා සමාන අවස්ථා ඇති අධ්‍යාපන අයිතියක් බවද නොසළකති.

තම වෘත්තීය ක්ෂේත්‍රයෙහි දියුණුව ගැන හෝ අවධානයක් නැති එවැනි ගුරු සංගම් නායකයින් තමන්ගේ ඉල්ලීම් ගැන කතා කරන්නේ ශයිලොක්ගේ භාෂාවෙනි. එනිසා ආණ්ඩුව ඉදිරිපත් කළ අතරමැදි විසඳුම ගැන කතා කරන්නට, සාකච්ඡා කරන්නට ඔවුන් සූදානම් නැත. ශයිලොක්ලාට අතර මැදි විසඳුම් අවශ්‍ය නැත. එහෙත් දියුණු පරිණත වෘත්තීය සමිති නායකයින් හැම විටම - මෙය අවධාරණයෙන් යුතුව කියන්නකි - හැම විටම දෙවැනි විසඳුමක් අත ඇතිව වැඩ වර්ජන තීන්දු ගන්නවා පමණක් නොව, සාකච්ඡා සමගින් යා හැකි දුර පිළිබඳව පැහැදිලි තක්සේරුවක් ඇතිව තම ඉල්ලීම් සංශෝධනය කිරීමටද ඔවුහු ඉඩ තබා ගනිති.

මොවුන්ට එවැනි කිසිදු හැකියාවක් නැත. පවතින තත්ත්වයන් පිළිබඳව යම් අවබෝධයක් තිබේ නම්, නුපුහුණු කම්කරුවන් මෙන් නොව, අධ්‍යාපන ක්ෂේත්‍රයේ දරුවන්ගේ අනාගතය ගැන මූලික වගකීමක් ඇති ගුරු වෘත්තිකයින්ගේ නායකයින් ලෙස ඔවුන් මේ මොහොතේ අගමැති කළ “එක වාරිකයක් මෙවර අයවැය සමගින් ලබා දී ඉතිරි වාරික දෙක ලබන 2023 අයවැය සමගින් ලබා දීමේ” යෝජනාවට සංශෝධනයක් ලෙස ඉදිරිපත් කළ යුතුව තිබූයේ “පළමු වාරික දෙක මෙවර ලබා දී තුන්වන වාරිකය 2023 අයවැය සමගින් ලබා ගැනීම සළකා බැලීමට හැකිය” යන්න ය.

එවැනි යෝජනාවකට තවම ඉඩ ඇත. එවැනි යෝජනාවක් දෙමාපියන් සහ සමාජය හමුවේ සාධාරණය කිරීමටද පහසුය. එවැන්නක් ආණ්ඩුවට, විශේෂයෙන් අගමැති වැනි පළපුරුදු දේශපාලනඥයෙකුට නොසළකා හැරීමටද අපහසුය. එවැනි පරිණත බවක් ගුරු සංගම් නායකයින් නොපෙන්නුවද වැඩ වර්ජනය දිගටම ගෙන යාමේ මූලික අයිතිය ගුරුවරුන්ට ඇති බව ආණ්ඩුවේ ප්‍රධානීන් දත යුතුය.

කුසල් පෙරේරා