ගුරුවරුන්ට හා දෙමාපියන්ට කෙරෙන විවෘත ආමන්ත්‍රණයක්

school-class-room
  • පෙළ පොත වෙනුවට වැඩ පොතක් හඳුන්වා දෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කියන විට දැනට භාවිත කෙරෙන “පෙළ පොත” ලබන මාර්තු වනවිට සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කියයි
  • අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ යෝජනාවට අනුව පාසල් කාලය දීර්ගකර ගුරුවරුන්ගෙන් මාසයකට අතිකාල සේවා පැය 40 ක් පරණ පුරුදු ආකාරයටම නොමිලේ ගනු ඇත
  • දස ලක්ෂ 4.1 ක් වන පාසල් ළමුන්ගේ ඉරණම තීන්දු කිරීමට, උසස් සුදුසුකම් කෙතරම් තිබුණත් කෙතරම් බලයක් ඇති තනතුරක් ඉසිලූවත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට විශේෂ හෝ කිසිදු අයිතියක් නැත

“පාසල් පෙළ පොත් පාඩම් විභාග ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර සිළුමිණට පැවසීය. ඒ අනුව 2023 වසරේ සිට සිසුන්ට පෙළ පොත් භාවිතයෙන් විභාග වලට මුහුණ දීමට සිදු නොවන බවත් සිසුන්ට පෙළ පොත වෙනුවට වැඩ පොතක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ලේකම්වරයා කීය.” මේ ඊයේ ඔක්තෝම්බර 31 වන දින “සිළුමිණ” පුවත් පතේ “පෙළ පොත වෙනුවට පාසලට වැඩ පොතක් එයි” යනුවෙන් පළකර තිබූ වාර්තාවකින් උපුටා ගත්තකි.

රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සේදර “වියත් මග”දේශපාලන හවුලේ ක්‍රියාකාරිකයෙකු වූවෙකි. 2020 අගෝස්තු අවසානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාවන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා ලෙස ඔහුව මේ ආණ්ඩුවෙන් පත් කරනු ලැබූ අතර, ඒ වනවිට ඔහු පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් වන ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ඇකඩෙමියේ ප්‍රධානියා විය. ඉන්පසු ඔහුව අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස 2021 ජනවාරියේදී පත් කරන විට හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරය බාර ගන්නා විට හෝ ඔහු ඉන් ඉවත් වූ බවක් වාර්තා නොවුනි. කෙසේ නමුත් ඔහු විවිධ අවස්ථාවල රජයේ මාධ්‍යයන්ට අදහස් දක්වමින් මෙරට අධ්‍යාපනය සහමුලින් වෙනස් කිරීමක් ගැන කතා කර ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කළ යුතු ආයතනයක් බවත් ඔහුගේ එවැනි අදහසකි. ඒ සියලු කතා තුල ඇත්තේ මෙරට අධ්‍යාපන ක්‍රමය සංවිධානය විය යුතු ආකාරය ඔහු හොඳින් දන්නා බවය.

ඔහුගේ සිළුමිණ සඳහනට සතියකට පෙර ඔක්තෝම්බර 25 වන දින, ස්වාධීන රූපවාහිනියේ “හත්වෙනි පැය”වැඩසටහනට පැමිණි අධ්‍යාපනය පිළිබඳ කැබිනට් අමාත්‍ය දිනේශ් ගුණවර්ධනගේ අමාත්‍ය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා එවැනි “වැඩ පොත්” ගැන කිසිවක් නොකීවේය. ඔහු කියුවේ, ඉතිරිව ඇති විෂය නිර්දේශ සම්පූර්ණ කිරීම සඳහා සතියේ දිනවල පාසල් පැයක් වැඩිපුර පැවැත්වීමටත් සෙනසුරාදා දින පාසල් පැවැත්වීමටත් සැළසුම්කර ඇති බවය. ඒ අනුව අතපසු වූ නිර්දේශ සියල්ල දින 100 කින් ලබන මාර්තු අවසන් වනවිට සම්පූර්ණ කිරීමට හැකි යැයි කීවේය. එහි සරළ තේරුම නම්, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් “පෙළ පොත” පාසලෙන් ඉවත් කරන බව කීවත් ලබන වසරේ මාර්තු වනවිට පෙළ පොත් ඉගැන්වීම් සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීන්දුකර ඇති බවය.

ඉතා කෙටියෙන් ආචාර්ය සේදරගේ පෙළ පොත් ඉවත් කිරීමේ තීන්දුව ගැන කිව යුත්තේ ලොව අනාගතවාදී දියුණුම අධ්‍යාපනය ඇතැයි පිළිගැනෙන ෆින්ලන්තයේ පවා පෙළ පොත් ඔවුන්ගේ අධ්‍යාපනයේ ඉතා වැදගත් සාධකයක් වන බවය. “පෙළ පොත් පදනම්වන ෆින්ලන්ත අධ්‍යාපනයේ ස්වභාවය තේරුම් ගැනීමේ උත්සාහය” මැයෙන් ඉකුත් 2020 වසරේ ජූනි 01 වන දින සම්පූර්ණ කෙරුණු අධ්‍යනයකින් ජොසෆින් මෝට් කියන්නේ පෙළ පොත් පදනම්වන ෆින්ලන්ත අධ්‍යාපනයේ සාර්ථකත්වය තව දුරටත් අධ්‍යනය කළ යුතු බවය.

දැන් ගැටළුව ඇත්තේ මේ දෙදෙනාගෙන් පෙළ පොත් පිළිබඳ ආණ්ඩුවේ තීන්දු ගැන කතා කරන්නේ කවුරුන්ද යන්නය. එක කාරණාවක් පැහැදිලිය. මේ අධ්‍යාපන බලධාරීන්ට සමාජීය බලපෑම් මත පාසල් විවෘත කිරීමේ තීන්දුව ගැනීමට සිදුවූවත් පාසල් විවෘත කිරීමත් සමග ගොඩ ගැසෙන ගැටළු සතු සංකීර්ණත්වය තේරුම් ගැනීමේ හැකියාවක් නොමැති බවය. එය පසුගිය මාස 18 ක පමණ වන කෝවිඩ්-19 වසංගත කාලයේ අවම මට්ටමකින් හෝ පාසල් අධ්‍යාපනය පවත්වා ගැනීමට සැළසුම් කළ නොහැකිව, අඩාලෙට කෙරුණු මාර්ග ගත ඉගැන්වීම් මත එල්ලී ගොඩ යන්නට උත්සාහ ගත් මේ අධ්‍යාපන බලධාරීන් සැකයකින් තොරව ඔප්පු කෙරුවකි.

එවැනි බලධාරීන්ගෙන් දැනට ඉදිරිපත්ව ඇති යෝජනා දෙකෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කතා කරන්නේ ළමුන්ගේ ඉගැන්වීම් කටයුතු හැර පාසල් කාලයෙන් පසු අන් කිසිදු කටයුත්තකට හවුල් නොවන බවට ගුරු සංගම් නායකයින් කළ ප්‍රකාශ අනාථ කෙරෙන යෝජනාවක් ගැනය. ඔහුගේ කතාව පාසල් කාලය දීර්ගකර ගුරුවරුන්ගෙන් මාසයකට අතිකාල සේවා පැය 40 ක් පරණ පුරුදු ආකාරයටම නොමිලේ ගැනීමට යැයි මම ඉකුත් 29 වන දින “ඉසුරුපායේ යෝජනා සමග ගුරුවරුන් නොමිලේ අතිකාල කිරීම හා ළමුන් ආතතියට පත්වීම” මැයෙන් වෙබ් පුවත් අඩවි කිහිපයකට ලියූවෙමි. ළමුන්ට හා ගුරුවරුන්ට අසාධාරණයක් වන තීන්දු බලධාරීන් විසින් ගැනීම සාමාන්‍ය පිළිවෙත බැව් දන්නා හෙයින් “මේ වසරේ විෂය නිර්දේශ වලට කරන්නේ මොනවද?” යැයි අසමින් මම මීට මාසයකට පෙර සැප්තැම්බර 29 වන දින “ඒ වගකීම ගුරුවරුන්ටද ඇත. ඔවුන්ද මේ වසරේ විෂය නිර්දේශ වලට කුමක් කරන්නේ දැයි ඇසිය යුතුය” කියා ලියුවෙමි. ඒ වගකීම ඔවුන්ගෙන් ඉටු නොවූයෙන් අධ්‍යාපන ලේකම් ඔවුන්ගෙන් නොමිලේ අතිකාල සේවය ලබා ගැනීමට සැළසුම්කර ඇත.

ඒ අසාධාරණය ළමුන් හා ගුරුවරුන් ඉදිරියේ එසේ තිබියදී රාජ්‍ය අමාත්‍යාංශයේ ලොක්කන් ඊටත් එහාට ගොසින් තවත් “කාබනික පොහොර” අවුලක් අධ්‍යාපනයෙහිද හදන්නට සැළසුම්කර ඇත. මගේ මතකය නිවැරදි නම්, 1972 දී “නව අධ්‍යාපන ක්‍රමය” හඳුන්වා දීමෙන් අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් සිදුකරන්නට ගොසින් හැදූ අවුලට පසු ජාතික අධ්‍යාපනයෙහි සිදු කෙරෙන මේ වෙනස බරපතල වෙනසකි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සේදර පවසා ඇති අයුරු මේ “ඉගැන්වීමේ මූලික වෙනස” විභාග ඉලක්ක කරමින් පංති කාමරයේ දැනට කෙරෙන ඉගැන්වීම මුළුමනින් වෙනස් කිරීමකි. ඔහු කියා තිබුණේ “2023 වසරේ සිට සිසුන්ට පෙළ පොත් භාවිතයෙන් විභාග වලට පෙනී සිටීම” සම්පූර්ණයෙන් නතර කරන බවය.
එය රට හමුවේ ඉතා බරපතල ප්‍රශ්න ගණනාවක් තබන්නකි. ප්‍රශ්න ආරම්භ වන්නේ තාක්ෂණික වාගේම ප්‍රතිපත්තිමය කාරණාවකිනි. අධ්‍යාපනයට සම්බන්ධ මූලික තීන්දු තීරණ ගැනීමේ වගකීම ඇත්තේ කැබිනට් අමාත්‍ය ධූර මට්ටමින් වන අධ්‍යාපන ඇමතිට ය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ කාර්ය සාධක බලකායේ යෝජනා කඩින් කඩ ඔවුන්ට රිසි සේ ක්‍රියාත්මක කිරීමේ අයිතියක් හෝ බලයක් රාජ්‍ය අමාත්‍යාංශයට නැත. ඒ සියලු යෝජනා තනි සැළසුමක් වශයෙන් අධ්‍යාපන ඇමති විසින් ඇමති මණ්ඩලයට පළමුව ඉදිරිපත් කළ යුතුය.

එවගේම අධ්‍යාපනයට අදාල ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමේදී 1988 සිට 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත් සභා වෙත බලය විමධ්‍යගත කර ඇති බවද ඇමතිවරයා සැළකිය යුතුව ඇත. 1988 න් පසු ගුරුවරුන් බඳවා ගැනීම, ඔවුන්ගේ සුදුසුකම් අනුව පළාතේ ගුරු සංයුතිය තීන්දු කිරීම, ගුරු පුහුණුවීම් සංවිධානයකර පැවැත්වීම, පළාතේ ඒක-සිසු වියදම තීන්දුකර මුදල් වෙන් කිරීම, පාසල් සඳහා යටිතල පහසුකම් ඉදිකිරීම හා දියුණු කිරීම, භාණ්ඩ මිලදී ගැනීම යනාදිය පළාත් සභාව සතු වගකීම් වන හෙයින්ය.

එවැනි ව්‍යවස්ථාමය පදනමක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ “රාජ්‍ය අමාත්‍යාංශය” සතු බලය රේඛීය අමාත්‍යාංශයක මට්ටමකට සීමා වන්නකි. පළමු කාරණාව, එසේ තිබියදී රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මාධ්‍යයට ප්‍රකාශ කර ඇති අයුරු මේ නව ක්‍රමයට අනුව 2023 වසරේදීම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වැඩ පොතට අනුව පැවැත්වීමටත් 2025 වසරේ සිට අ.පො.ස උසස් පෙළ විභාගයත් සම්පූර්ණයෙන්ම පෙළපොතින් ඉවත් කර වැඩ පොතට අනුව පැවැත්වීමටත් රාජ්‍ය අමාත්‍යාංශයකට ඇති බලය කවරේදැයි ප්‍රශ්න කළ යුත්තකි.

දෙවැන්න ඔහු කියා ඇති අන්දමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා සැළසුම් පත්‍රිකාවක් කැබිනට් අනුමැතිය ඇතිව පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය. එක් එක් පුද්ගලයින්ට ඔවුන්ගේ තාවකාලික නිල බලය පිළිබඳ සීමා වගකීම් නොතකමින් ඔවුන්ට රිසි සේ එවැනි බරපතල වෙනස්කම් අධ්‍යාපනයෙහි කරන්නට අයිතියක් නැති බවත් ඉතා පැහැදිලිව හා දැඩිව කිව යුත්තකි.

මෙය වගකීමක් ඇතිව කියන්නකි. උසස් සුදුසුකම් කෙතරම් තිබුණත් කෙතරම් බලයක් ඇති තනතුරක් ඉසිලූවත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයින් කිහිප දෙනෙකුට මේ රටේ දස ලක්ෂ 4.1 ක් වන පාසල් ළමුන්ගේ ඉරණම තීන්දු කිරීමට විශේෂ හෝ කිසිදු අයිතියක් ලැබෙන්නේ නැත. රටක ළමුන්ගේ විධිමත් අධ්‍යාපනයට අදාල සහ එනිසාම ඔවුන්ගේ අනාගත ජීවිතයට බලපාන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තීන්දු කළ යුත්තේ පුළුල් සමාජ කතිකාවකින් පසුව මිස කොළඹ ලොක්කන්ගේ කාමර වල ඔවුන්ගේ පහසුවට සහ වුවමනාවන්ට අනුව නොවේ. තම දරුවන්ගේ අනාගතය ගැන දෙමාපියන්ට ඉතා සංවේදී බැඳීමක් සහිත අනාගත වගකීමක් ඇති නිසාත් ඒ වගකීම වසර 10 ක් 12 ක් පාසල් ගුරුවරුන් භාරයේ තැබෙන නිසාත් සමාජ කතිකාවෙහි ඉතා වැදගත් පාර්ශව ලෙස මේ දෙපාර්ශවය අනිවාර්යෙන් හවුල් කරගත යුතුව ඇත.

එවැනි පුළුල් සමාජ කතිකාවක් නොමැතිව, කාල වකවානු සහිතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඔවුන් ගෙන ඇති තීන්දු සතු වගවීම් විරහිත රාජකාරි ස්වරූපය මැනවින් දැකිය හැකි යෝජනා ගණනාවක් ඇත. “සිළුමිණ” පුවත් පතට කියූ ඔහුගේ කතාවේ ඇත්තේ පාසල් අධ්‍යාපනයේ මූලික දෝසය ඇත්තේ දැනට භාවිත වන පෙළ පොත්වල නිසා ඒවා ඉවත් කිරීමට තීන්දු කළ කතාවකි. එනමුත් ඒ තීන්දුවට ඔවුන් පැමිණියේ කවර හේතු නිසාදැයි මේ රටේ දෙමාපියන් සහ ගුරුවරුන් දැන ගත යුතු යැයි ඔවුන් පිළිගන්නා බවක් ඒ කතාවේ නැත. ඔහු කියා ඇත්තේ “වැඩ පොත” මගින් දැනට සිදු කෙරෙන විභාග මූලික අධ්‍යාපන ක්‍රමය වෙනුවට “දැනුම භාවිතයෙන් කුසලතා වර්ධනය කළ හැකි ක්‍රමවේදයකට අනුව ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වෙන”බවය.

පාසල් අධ්‍යාපනය විභාග මූලික අධ්‍යාපනයකට තල්ලුකර තිබීමේ ඉතා නරක ප්‍රතිපල ඇත. එය වඩාත් දරුණු ලෙස බලපාන්නේ 05 ශිෂ්‍යත්ව විභාගයට ළමුන් දක්කා ගෙන යාමෙනි. එනිසා විභාග මූලික අධ්‍යාපනය වෙනස් විය යුතුව ඇත. එය මේ සමාජයේ ඇති පොදු කතාවකි. එනමුත් ප්‍රශ්නය ඇත්තේ එය වෙනස්කර අප හඳුන්වා දිය යුතු පාසල් අධ්‍යාපනයෙහි අන්තර්ගතය හා ඉගැන්වීමේ ක්‍රමයවේදය වෙනස් විය යුත්තේ කෙසේද යන්නෙහි ය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කිසිදු සම්බන්ධීකරණයකින් තොරව, එකිනෙකාට වෙනස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තීන්දුකර තිබීමෙන් අධ්‍යාපනයේ මේ ගරා වැටීම තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකිවීම ගැන පුදුම විය යුතු නැත. කෝවිඩ්-19 වසංගතය සමග වේගවත් වූ අධ්‍යාපනයේ බිඳ වැටීම පාඨ මාලාවලට හා පංති කාමරයේ ඉගැන්වීමට සීමා වූවක් නොවේ. පාසල්වල පරිපාලනයේ සිට කලාප හා දිස්ත්‍රික් අධ්‍යාපන පරිපාලනයේත් මහ ආණ්ඩුවේ අධ්‍යාපන බලධාරීන්ගේත් නොහැකියාවන්, අකාර්යක්ෂමතා හා දූෂණ සමග දෙමාපියන්ගේ දුප්පත්කම, මගී ප්‍රවාහනයේ සහ පාසල් යටිතල පහසුකම් සතු උෘණතා වැනි තවත් සමාජ ආර්ථික හා සංස්කෘතික සාධකද ඊට හේතු වන්නේය. එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තීන්දු කළ යුත්තේ දියුණු සමාජ සංවාදයක් සමගින් මිස අධ්‍යාපනයට අදාල සියල්ල දන්නේ යැයි සිතා සිටින කිහිප දෙනෙකුගේ තීන්දු මත නොවේ.

ඔවුන්ගේ නොහැකියාව ප්‍රදර්ශනයවන තවකක් වන්නේ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ කාල නිර්ණයෙහි ඇති මෝඩ අවුල ය. නව වැඩ පොත, ආරම්භයේදී 1 සහ 2 ශ්‍රේණි සඳහාත් ඉන්පසුව 6 සිට 10 ශ්‍රේණි සඳහාත් හඳුන්වා දෙන බව කියන අතරම, 2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගය වැඩ පොතට අනුව පැවැත්වීමට තීන්දුකර ඇතැයිද ඔහු කියන්නේය. දිගු කාලයක් වසා තැබුණු පාසල් තවමත් හරියාකාරව විවෘතව නැති මේ කාලයේ නිවෙස්වල සිටි විදුහල්පතිවරුන් සහ ගුරුවර ගුරුවරියන් 2,40,000 ට මෙවැනි වැඩ පොතක් ගැන අසන්නටවත් ලැබී නැත. ආරම්භයේදී 1 සහ 2 ශ්‍රේණි සඳහා වැඩ පොත හෙට අනිද්දා ළමුන්ට හඳුන්වා දුන්නත් ඉන්පසුව 6 සිට 10 වන ශ්‍රේණි සඳහා හඳුන්වා දීම ලබන 2022 වසරේ කෙදිනක හෝ කෙරෙන්නක් විය යුතුය. ඇතැම් විට එය නෙකෙරෙන්නටද ඉඩ ඇත.

එවැනි තත්ත්වයක 2023 වසරේ 11 වන ශ්‍රේණිය අවසන් කරන ළමුන් වැඩ පොත අනුව සා.පෙළ විභාගයට ඉදිරිපත් කරන්නේ කෙසේද? ඒ ළමුන් පමණක් නොව, පාසල් යන අනෙක් සියලු ළමුන්ද සා.පෙළ විභාගය සඳහා සූදානම් කෙරෙන්නේ 06 වන ශ්‍රේණියේ සිටය. එබැවින් හදිස්සියේ අතරමගදී පෙළ පොත ඉවත්කර වැඩ පොතක් දුන්නාට ළමුන්ට සා.පෙළ විභාගයට වාඩි විය නොහැක.

ඒ සියලු දෝස සමග අනෙක් බරපතල අවුල ඇත්තේ ගුරුවරුන් තවමත් නොදන්නා වැඩ පොතක් සමග ලබන වසරේ සිට අලුත් ආකාරයකින් පාසලේ ඉගැන්වීම් කෙරෙන්නේ කෙසේද යන්නෙහිය. වසරකට පොත් 03 බැගින් වසර 13 ක පාසල් කාලයකට මේ වැඩ පොත් විෂයානුගතව හා ශ්‍රේණිගතකර සංස්කරණ කටයුතු සම්පූර්ණ කර ඇතිදැයි සැකයකි. රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සේදර හවුලේ වැඩ කරන බවට වරක් කියා තිබූ ජාතික අධ්‍යාපන ආයතනය අනෙක් සියලු ආයතන වලටද වඩා අතිශය අලස, අකාර්යක්ෂම ආයතනයක් යැයි ඔහු මේ වනවිට අවබෝධ කොට ගෙන ඇතිදැයි නොදනිමි. එවගේම, ගුරුවරුන් 2,40,000 ක් පුහුණු කරන්නට වැඩසටහන් හැදිය යුතු සේම ඒවා ක්‍රියාත්මක කිරීමේ ගුරු පුහුණුකරුවන් පළමුව හදාගෙන සිටිය යුතු බැව්ද ඒ වෙනුවෙන්ද සැළකිය යුතු කාලයක් වැය වන බැව්ද රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දන්නේ දැයි නොදනිමි.

අමාත්‍යාංශ අතර කිසිදු එකඟතාවක් නැති සේ මේ ලේකම්වරුන් කතා කරන්නේ ළමුන්ට හා ගුරුවරුන්ට සාධාරණයක් ඉටු කෙරෙන ආකාරයේ ස්ථාවර විසඳුම් නොවන බැව් පැහැදිලිය. එනිසා ඒ යෝජනා කිසිවක් ක්‍රියාවට නැගීමට ඉඩ නොතැබිය යුත්තේ ඒවා “කාබනික පොහොර” තීන්දුව මෙන් බරපතල අවුල් අලුතින් නිර්මාණය කිරීමට හේතුවන හෙයිනි.

සුබෝධිනි වාර්තාවෙන් එහා ලෝකයක් ගුරු සංගම් නායකයින්ට තවමත් නොමැති හෙයින් ගුරුවරුන් ළමුන් හා දෙමාපියන් එක ගොනුවකට තල්ලු කෙරෙන මේ අධ්‍යාපන අර්බූදය ඔවුන්ට අදාල නැත. මේ නිර්මාණය කෙරෙන අර්බූදය තේරුම් ගත යුතුව ඇත්තේ ගුරු-විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ය. එබැවින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කිසිවක් 2022 වසර අවසන් වන්නට පෙර නොකරන්නටත් පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන අධ්‍යාපන ධවල පත්‍රිකාවක් මත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තීන්දුකර ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන ඇමතිවරයාට බල කිරීමේ වගකීම පැවරෙන්නේ ගුරු-විදුහල්පතිවරුන්ට හා දෙමාපියන්ටය. ඒ සඳහා ගුරු-විදුහල්පති නියෝජනයක්ද ඇතිව පත් කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කමිටුවක් සමග විවෘත සමාජ කතිකාවක් වහා සංවිධානාත්මකව ස්ථාපිත කිරීමටත් ඇමතිවරයාට බල කළ යුතුව ඇත. පාසල් සංවර්ධන කමිටු හරහා එවැනි බලපෑම් කිරීම විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ ප්‍රධාන වගකීමක් බැව් අවධාරණයෙන් යුතුව අවසන් වශයෙන් මෙහි සටහන් කරනු කැමැත්තෙමි.

kusal perera

2021 නොවැම්බර 01 වන දින