- ඇඟළුම් කර්මාන්තවල හා නිදහස් වෙළඳ කලාපවල අපි ගැහැණු සියයට 70 ට වැඩියි.
- තේ - රබර් වැවිලිකරයේ ගැහැණු සියයට 60 ට කිට්ටුයි.
- මැද පෙරදිග ගිහින් කඹුර කඹුර ඩොලර් එවන අති බහුතරයත් කාන්තාවන්.
- මේ රටට වැඩියෙන්ම ඩොලර් හොයලා දෙන්නේ අපි කාන්තාවන්.
උදේ දවල් රෑ නැතුව හාම්පුතුන්ට ලාභ ගන්නත් රටට ඩොලර ගේන්නත් තුට්ටුවට දෙකට මහන්සි වෙන කාන්තාවන් වන අපි ගැන කිසිම සැළකිල්ලක් නැති හැම ආණ්ඩුවක්ම, අවශ්‍ය අනවශ්‍ය හැම දෙයක්ම රටින් ගෙන්න ගෙන, අපි හොයලා දෙන ඩොලර් නාස්ති කෙරුවා. ඒවයින් ලොකුවට මාටියත් ගැහැව්වා. අන්තිමට අපව පරම්පරා ගණනාවකට ලෝකෙටම ණයකාරයෝ කෙරුවා.
විදේශ විනිමය හිඟය අර්බුදයක් බවට පත් වීමෙන් වළකා ගැනීමට යහපාලන ආණ්ඩුවටත් සැළසුම් තිබුණේ නැහැ. හොරකම් නොකර හිටියෙත් නැහැ. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර ජනාධිපති වෙනකොට මහ බැංකුවේ තිබුණෙ ඩොලර මිලියන 7,500 යි. ණය පොලී ගෙවන්නත් ඉන්ධන හා ගෑස්, බෙහෙත් වර්ග, අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, වගාවට පොහොර පිටරටින් ගෙන්වා ගන්නත් ඩොලර් තිබුණේ එපමණයි.
මේ අතරවාරයේ කෝවිඩ්-19 වසංගතය ආව නිසා ආණ්ඩුව විදේශ විනිමය අර්බුදයයි රටේ ආර්ථික අහේනියයි අවුරුද්දක් විතර කෝවිඩ්-19 වසංගතයෙන් වසා ගත්තා. ණය පොලී ගෙවන්න, අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගන්න ඉන්දියාවෙන්, බංගලාදේශයෙන්, චීනයෙන් ණය ආධාර ඉල්ලා හිඟමන් ගියා. ඒත් ගිය අවුරුද්දේ නොවැම්බර අවසන් වෙනකොට ඉතිරිව තිබුණේ ඩොලර් මිලියන 1,580 යි.
පසුගිය අවුරුදු දෙකේ මොකද්ද උනේ?
කිසිවක් ජනතාව හිතපු විධියට උනේ නැහැ. නොවන බවත් දැන් පැහැදිළියි. කෝවිඩ් පාලනයෙන් කතාව පටන් ගත්තම ඇන්ටිජන්-පීසීආර් පරීක්ෂණ, නිරෝධායනය, එන්නත්කරණය ඇතුළු හැම දෙයකම විශාල දූෂණ ඇහුණා. ඇහෙනවා.
අම්පාරෙන් දිගනෙන් දියත් වුනු මුස්ලිම් විරෝධය වෛද්‍ය ශාෆි හරහා කෝවිඩ් වසංගතය පාලනය කිරීමේ නිර්දේශ දක්වා මුස්ලිම් විරෝධයකට පෙරළා ගත්තා.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ පරීක්ෂණත් හරියට නෙකෙරෙනවා කියලා දැන් කතෝලික ජනතාවත් දෙමළ ජනතාව වගේ ජාත්‍යන්තර සහාය ඉල්ලනවා.
දූෂිතයින්ට වංචාකාරයින්ට නඩු පැවරීමක් තබා පැවරූ නඩු ජනතා විශ්වාසය තහවුරු වෙන විධියට කෙළවර කෙරෙන බවත් පෙනෙන්න නැහැ.
පරිසර විනාශය, කැලෑ අනවසරයෙන් කැපීම, නීති විරෝධී වන සතුන් දඩයම කෙළවරක් නැහැ.
මහ බැංකු අධිපති ඉතිරිව තියෙන විදේශ විනිමය සොච්චමත් එයාට ඕන විධියට දූෂිතව පරිහරණය කරනවා කියලා දැන් හිතෙනවා.
කෘෂිකර්මයට ආවොත්, එක රැයින් කාබනික වගාවට මාරු වෙන්න ගිහින් ගොවියත් විනාශ කෙරෙන, වගාවත් විනාශ කෙරෙන, පාරිභෝගිකයත් අමාරුවේ දාන විනාශකාරි තත්ත්වයකට බහුතර ජනතාව පත් කරලා.
කතාව අපි කෙළවරක් කරමු
මේ ආර්ථික බිඳ වැටීම් සඳහා ආණ්ඩුවට විසඳුම් නැති බව පිළිගැනීමක් වශයෙන් මෙවර 2022 අයවැය මගින් ආණ්ඩුව රාජ්‍ය සේවයට රුපියල් 5,000 ක් ලබා දුන්නා. පෞද්ගලික අංශයට එය ලබා දෙන්නට පියවර ගත්තේ නැහැ. කෝවිඩ්-19 වසංගත තත්ත්වය වාසියට යොදා ගෙන සේවකයින් ඉවත් කරමින් අඩු සේවක සංඛ්‍යාවකින් වැඩි නිෂ්පාදනයක් සමග වැඩි ලාභයක් ගන්න හාම්පුතුන්ට රුපියල් 5,000 ක වැටුප් දීමනාව සේවක සේවිකාවන්ට ලබා දෙන්න කියලා ආණ්ඩුව අත සෝදා ගත්තා. අපට ඒක නොදුන්නා විතරක් නෙවෙයි. පෞද්ගලික අංශයේ විශ්‍රාම අරමුදල හැටියට අපේ සල්ලි එකතු කරන අර්ථසාධකේටත් සියයට 25 ක අධිභාර බද්දක් ගහලා රුපියල් බිලියන 60 කට වැඩිය අපෙන් මංකොල්ල කන්න යනවා.
කතාවට පමණක් නෙවෙයි, ඇත්ත ජීවිතයෙත් මේ හැම සමාජ වින්නැහියකින්ම අවසන් වශයෙන් පීඩාවට පත් වන්නේ, අසරණ වන්නේ දරුවන් හා කාන්තාවන්. ඒක ලෝක සත්‍යයක්. මේ වෙනකොට සියයට 24 කින් ඉහළ නැගලා ඇති බඩු මිල නිසා අසරණ වෙන්නේ කාන්තාවන්. ඉහුම් පිහුම් සඳහා ගෑස් හිඟ උනාම ඒ අසහනයත් කාන්තාවටයි. යුද්ධය අවසන් උනාට පස්සේ අතුරුදහන් කෙරුණු තමන්ගේ පියා, ස්වාමි පුරුෂයා, සහෝදරයා සොයා දෙන්න කියා උතුරු-නැගෙනහිර කාන්තාවන් නොකඩවා ඉල්ලා සිටින්නේ ඒ හිඬැස ඒ පවුල් බර නිසයි. ඔවුන්ට විඳින්නට සිදුවන පීඩනය, අතවර, හිංසන නිසයි.
එවැනි පීඩා, අතවර, හිංසන නිදහස් වෙළඳ කලාපවල, ඇඟළුම් කම්හල්වල සේවිකාවන්ටද අත්විඳින්නට සිදුවන අවස්ථා ඇති බව අපි කවුරුත් දන්නවා. බොහෝ ලිංගික බලපෑම් සේවක කලමණාකරන මෙවලම් වශයෙන් යොදා ගන්නා බවත් අපි දන්නවා. කාන්තා කම්කරුවන්ට වැඩපළේ පමණක් නෙවෙයි යන එන අතරමඟත් එහෙම පීඩාකාරී තත්ත්වයන් තියෙන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පිළිගන්නවා. ඒ නිසා තමයි 190 සම්මුතිය ඔවුන් සම්මත කළේ. ඒ සම්මුතිය අපරානුමත කරන්න ගිය අවුරුද්දේ කම්කරු ඇමති පොරොන්දු උනාට කෙරුවේ නැහැ.
පාස්කු ප්‍රහාරය සම්බන්‍ධව සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ දෙසීයකට වැඩි තවමත් රඳවා තබා ගෙන ඉන්න රැඳවියන්ගේ අම්මාවරුන්, භාර්යාවන් හා සහෝදරියන්ගේ ආදායම්වලට, ආරක්ෂාවට, ජීවිත වලට සිදුවන්නේ කුමක්දැයි කිසිවකු සොයා බලනවාදැයි සැකයි.
බොහෝ පිරිස් අත්අඩංගුවට ගනු ලබන්නේ මීට අවුරුදු 43 ට කලින් උතුරු-නැගෙනහිර තරුණ සන්නද්ධ කල්ලි කිහිපයක් ගැන කියමින් “තාවකාලික” පනතක් යැයි සම්මත කර ගනු ලැබූ “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත” යටතේයි. ඒ පනත යටතේ කිසිම චෝදනාවක් නැතිව අවුරුදු 10-12 රඳවාගෙන ඉන්න තරුණයින් දැන් මැදි වයසේ වැඩිහිටියන්.
ආණ්ඩුව විවේචනය කරනවුන්, ආණ්ඩු විරෝධීන් දැන් අත්අඩංගුවට ගන්නත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමේ අත්දැකීම් තියෙනවා. ඉතිරි ටික කියෙව්වම තේරේවී. ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලන්න කාන්තාවන්ටත් වගකීමක් තියෙනවා කියලා.
ඊළගට වෙන්නේ මොනවද කියලත් බලමුද?
වරින් වර දිනකට පැය 02 ක් විදුලිය කපන්න විදුලිබල මණ්ඩලයේ බලධාරීන් මීට සති 03 ට පමණ කලින් පොදු පහසුකම් මණ්ඩලයෙන් අවසර ඉල්ලූවා. ඒ පැය 02, පසුව පැය 04 ක් කරලා දැන් පැය 06 ක් දක්වා දීර්ඝ කරලා. එයට හේතුව විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න ඩීසල් නැතැයි කියලා දැන් බලධාරීන් විවෘතවම කියනවා.
මේ ඩීසල් හිඟයට ආණ්ඩුව විසඳුම් නොදෙන නිසා පෞද්ගලික බස් රථ හිමියන් ඔවුන්ගේ බස් ධාවනය සියයට 50 කින් අඩු කරන බව කියනවා.
ඒ අතර ගමනා ගමන ගැටළු නිසා මහ බැංකු අධිපති යෝජනවා කරනවා රාජ්‍ය සේවය සඳහා වැඩ සතිය දින 04 ක් කරන්න.
ඒ කියන්නෙ මහ අවුලක් අත ළඟ
කාබනිත පොහොර කතා වලට අමතරව, ඩීසල් නැතිව කුඩා ගොවීන් විශාල සංඛ්‍යාවකට යල කන්නයේ කුඹුරු සකස් කර ගන්න ට්‍රැක්ටර නැති වේවි.
ගොවීන්ට ගොඩ වගාවට වතුර පොම්පකර වගා කරන්නත් බැරි වේවි.
භාණ්ඩ ප්‍රවාහනයත් මගී ප්‍රවාහනය වගේම අඩාලෙට කරේවී රාජ්‍ය සේවය දින 04 ක සතියක් කළහොත් කලාප අධ්‍යාපන කාර්යාල සතියට දින 04 වැඩ කරද්දි ගුරු සේවය දින 05 ම පාසල් පැවැත් විය යුතුද? නැත්නම් ළමුන්ගේ අඩාල උන අධ්‍යාපනයට වෙන්නේ මොකද්ද?
හාම්පුතුන් කර්මාන්තවල වැඩ කරන්න කොහොම සැළසුම් කරයිද? සේවක අපට වෙන්නේ මොකද්ද?
මෙහෙම හිතුවම මේක මහා ජංජාලයක් කෙල්ලේ.
ඒ නිසා මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය කියන්නේ කාන්තා ගැටළු සමාජ ගැටළු වශයෙන් ජාතික සංවාදයකට ගන්න වෙන විශේෂ දිනයක්.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සිට ජීවත්වීමේ බර සහ කාන්තාවන්ට සිදුවන සියලු අසාධාරණකම් එක ගොන්නට ගෙන රට හමුවේ තියන්න අපට වගකීම් පැවරෙන දිනයක්.
වැඩපලේ, කම්හලේ, කාර්යාලයේ, ගමේ අම්මලා, අක්කලා, නංගිලා, පමණක් නෙවෙයි අයියලා, මල්ලිලා, ස්වාමිපුරුෂයින්, සෙනෙහෙවන්තයින්, මිතුරු මිතුරියන් හැමෝම හවුල් කර ගන්න ජාත්‍යන්තර කාන්තා දිනයකින් අපි අලුත් ගමනක් පටන් ගමු.
නිදහස් වෙළඳ කළාප හා පොද සේවක සංගමයේ කාන්තා අංශයේ ජාත්‍යන්තර කාන්තා දින සැමරුමත් සමග එක්වන්න.