මාර්තු 8 වනදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්නට තරම් අද අපේ රටේ කාන්තාවන් ඇතුළු සියලු දෙනාට නිරවුල් මනසක් තිබෙනවා ද යන්න පවා සැක සහිතය.
ඒ තරමට විශේෂයෙන්ම කාන්තාව තලා පෙලා දමන පීඩනයට පත් කරන මනස අවුල් කරන දරා ගත නොහැකි තත්ත්වයක්, එනම් ඔවුන් ප්‍රචණ්ඩත්වයට ලක් කරන, ගැහැනු දරුවන් දැරියන් දූෂණය කරන, දේශපාලනය තුළ නිසි කාන්තා නියෝජනයක් නොදීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් කාන්තාව ණයගැතියි එක් බවට පත්කර සියදිවි නසා ගන්නා තත්ත්වයට පත් කිරීම, පොදු ප්‍රවාහනයක, සාමාන්‍ය පරිසරයක, වැඩ බිම තුල කාන්තාව නිරන්තරව හිංසනයට ලක්වීම පීඩනයට ලක්වීම ප්‍රචණ්ඩත්වයට හා දූෂණයට ලක් වීම,වැනි දරාගත නොහැකි තත්ත්වයක් රට තුළ ඇති වී තිබෙන බැවිනි.
එදා ඩෙන්මාර්කය හොල්ලමින් ජර්මන් ජාතික ක්ලාරා සෙට් සහෝදරිය විසින් එදාත් කාන්තා දිනයක් ඉල්ලා ලෝක කාන්තා සම්මේලනයේදී යෝජනාවක් ගෙන එන්නට හේතු වූයේ එදා නිව්යෝර්ක් නගරයේ ඇඟලුම් කම්හලක සේවය කළ කාන්තාවන්ට අඩු වැටුප් ගෙවීම සහ නුසුදුසු සේවා පරිසරය නිසාවෙනි.
අද ද ඇත්තේ එවන් වූ ම පරිසරයකි. 70% කාන්තාවන් සේවය කරන නිදහස් වෙළඳ කලාපයේ අද පාලකයන්ගේ හිතුමතයට වැඩ කරන සේවකයන් ට අඩු වැටුප් ගෙවන covid නීති රීති කඩ කරන සේවකයන් රෝගීන් කරන, වැඩබිමේ හිංසන නිරන්තරව සිදුවන, සංවිධානය වීමට අවස්ථාව අහුරන වැඩබිමක් බවට පත් කර ඇත.
කතා කිරීමේ නිදහස සංවිධානය වීමේ නිදහස අහුරමින්, සේවය නැතිවේ යැයි බිය වද්දමින්, අද නිදහස් වෙළඳ කලාප කාන්තාවන් පැය දහයක් පහළොවක් සොච්චම් වැටුපකට සේවයේ යොදවමින් සේවකයාට ඉතා දරුණු තත්වයක් පාලකයා විසින් ඇති කරමින් සිටි.
ඔවුන් අඳුරේම සේවයට යති. අඳුරේම නේවාසිකාගාරයට එති. ඔවුන්ට දහවලක් දකින්නට නැති තරම් සේවා තත්වයන් දරුණු කර ඇත. වහලුන්ගෙන් මෙන් එතරම් සේවයක් ලබා ගත්තත් රටේ පවතින විශාල ආර්ථික අර්බුදය හමුවේ ලැබෙන වැටුප ලෙවකන්නට වත් සෑහෙන්නේ නැත.
එපමනක් නොව භූමිතෙල්, ගෑස් සහල්, පරිප්පු, කිරිපිටි, පාන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගත නොහැකි ලෙස ඉහල යෑමද ඔවුන් බඩගින්නේ තබන්නට තවත් කාරණාවක් ව ඇත.
covid-19 වසංගත හමුවේ පාලකයන් ගෙන් හෝ ආණ්ඩුවෙන් හෝ වගකිව යුතු කිසිවෙකුගෙන් හව් හරණයක් නොලද ඔවුන් ඉන් බැට කෑවේ ඉතාමත් ශෝචනීය අයුරිනි.
රටට ඩොලර් උපයන්නේ සන්නාලිය යැයි කියමින් ආණ්ඩුව ඇතුළු බලධාරීන් රටට පමණක් නොව ලෝකයට ද මොරගැසූවද ඒ කිසිවකු ඔවුන්ට පිහිට වූයේ වත් ඔවුන්ගේ බඩගින්න ගැන වත් ඔවුන් ජීවත් වන්නේ කෙසේද යන්න වත් සොයා බැලුවේ වත් සිතා බැලුවේ වත් නැති තරම්ය.
ඔවුන් සේවය කළේ මරණය අභිමුව සිටය. නමුත් ඒ සා විශාල කැපකිරීමක් කළ පුද්ගලික අංශය ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන්ට 2022 වසරේ ජීවන වියදමට සරිලන අයුරින් වැටුප් වැඩිවීමක් කරන්නට තරම් මෙම පාලකයන් කාරුණික වූයේ නැත.
මෙවන් වූ තුච්ඡ පාලනයක් හමුවේ හිස නමා ගෙන සේවය කරන නිදහස් වෙළඳ කලාපයේ කාන්තාවන්ගෙන් සහ කාන්තාවන්ගේ සුභ සිද්ධිය උදෙසා ඇපකැපව සිටින සියල්ලන්ගෙන් මෙම කාන්තා දිනයේ දී අප ඉල්ලා සිටින්නේ තවදුරටත් කොන්ද පණ නැති වහලියන් නොවී තමන්ගේ අයිතීන් වෙනුවෙන් සංවිධානය වීම සඳහා එකාවන්ව පෙළගැසෙන්නටත් වෘත්තීය සමිති වටාරොක්වන්නටත් ලෙසත්,C190 අපරානුමත කර ක්‍රියාත්මක කර ගැනීමටත් ඔවුන් හා එක්ව පෙල ගැසෙන ලෙසය.
සංවිධානය ගත වීමෙන් තොරව ඔබට කෙදිනකවත් විමුක්ති මාවතක් උදාවන්නේ නැත. ඔවුන් එය බන්දේසියක තබා ඔබට දෙන්නේද නැත. වැඩකරන පන්තියේ සියලුම කාන්තාවනි අපි එකාවන්ව සපථ කරමු මෙම කාන්තා දිනයේ දී අප අපේ අයිතීන් උදෙසා පෙළගැසෙන බව.
ජාත්‍යන්තර කාන්තා දිනය ට ජය වේවා
රට පුරා විසිර සිටින වැඩකරන පන්තියේ සියලු කාන්තාවන්ට තමන්ගේ අයිතීන් උදෙසා අඩියක් පෙරට තබන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.
චන්ද්‍ර දේවනාරායන, රෙඩ් සංවිධානය