රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා

රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා

පසුබිම

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය හේතුවෙන් උද්ධමනය වේගයෙන් ඉහළ යමින් තිබෙන අතර, ඉන්ධන, ගෑස්, ඖෂධ සහ විදුලිය වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය වී තිබේ. අර්බුදය හේතුවෙන් නායකත්වය සහ ආයතන කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටී ඇති අතර විධායක ජනාධිපති ක්‍රමයේ අසාර්ථකත්වයන් විවෘතව ප්‍රදර්ශනය වෙමින් තිබේ. වර්තමාන දේශපාලන අසහනය නිර්මාණය වී තිබෙන්නේ, විශේෂයෙන්ම, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු විධායකය සම්බන්ධයෙන් විධිමත් පාර්ලිමේන්තු අධීක්ෂණයක් නොමැතිවීම, වගවීමක් හා විනිවිදභාවයක් නොමැති වීම පිළිබඳ චෝදනා සහ පුළුල්ව පැතිරුණු දූෂණය පිළිබඳ සංජානනයන් හේතුවෙනි. දේශපාලනික හා ආර්ථික යන ද්විත්ව අර්බුද විසින් නැවත වරක් අවධාරණය කර තිබෙන්නේ ආයතන හා ඒවායේ ස්වාධීනත්වය දේශපාලනික මැදිහත්වීම්වලින් ආරක්ෂා කර ශක්තිමත් කිරීමේ වැදගත්කමයි. මහජනයා විසින් ඉල්ලා සිටින ‘ක්‍රමයේ වෙනස’ මගින් ගම්‍ය වන්නේ, ශක්තිමත් හා ස්වාධීන ආයතන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂණයන් සහ දූෂණය හා ඥාති සංග්‍රහය පිටුදැකීම සඳහා යෝග්‍ය නීති හා රෙගුලාසි හරහා සාධාරණ හා යුක්ති සහගත පාලනයකි. එසේම, පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාව සහිත, රටේ ජනතාවගේ බහුවිධභාවයට ගරු කරන, කුසලතාවන් මත පදනම් වූ නායකත්වයක් ද අපේක්ෂා කරනු ලැබේ.

ආර්ථික අර්බුදය සමග නිර්මාණය වී තිබෙන දේශපාලනික අස්ථාවරභාවය හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වාධීන තත්වයට පත්වී තිබේ. ජනාධිපති හා අගමැති හැර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වී වෙනත් දේශපාලන පක්ෂවලට කැබිනට් මණ්ඩලයට එකතු වන්නැයි ඉල්ලාසිටින ලදී. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායකය දුර්වල කර තිබෙන තත්වය තුළ විපක්ෂයේ දේශපාලන පක්ෂ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාලකයන් සති දෙකක පමණ කාලයක් තිස්සේ ඇමති මණ්ඩලයක් පත්කරගත නොහැකි සිරවීමකට ලක්වී තිබිණි. එසේම, ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු ඵලදායී විවාදයක් පැවැත්වීමට ද ව්‍යවස්ථාදායකය අසමත් විය. මහජනයා විසින් පවත්වන ලද විරෝධතා තීව්‍ර වී ගරු ජනාධිපතිවරයාටත්, ගරු අගමැතිවරයාටත් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වේ. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225දෙනාම ප්‍රතික්ෂේප කළ යුතු බවට අදහස් ද ඉදිරිපත් කරනු දක්නට ලැබේ.

2022 අප්‍රේල් 12දා, මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර නිකුත් නොකළ ආකාරයේ නිවේදනයක් නිකුත් කරමින් “බැහැරින් ලබාගන්නා ලද රාජ්‍ය ණය සම්බන්ධ වගවීම්වල සාමාන්‍ය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම දුෂ්කර වී” තිබෙන බව නිවේදනය කරන ලදී. එබැවින් “ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වන්නේ සාමාන්‍ය ණය සේවාකරණය අත්හිටුවීම” බව ද “ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහනක් සැලසුම් කිරීම සහ හදිසි මූල්‍ය සහාය ලබාගැනීම පිණිස රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව” ද නිවේදනය කළේය.වර්තමාන ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා තිබෙන හොඳම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම බව ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයන් විසින් ද, වානිජ මණ්ඩල හා වෙළඳ සංගම් විසින් ද පෙන්වාදෙන ලදී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා සාර්ථක කරගැනීම සඳහා දේශපාලනික ස්ථාවරභාවය අත්‍යවශ්‍ය බව ඔවුන් විසින් පෙන්වාදී තිබේ.

දේශපාලනික ස්ථාවරභාවයෙන් තොරව ආර්ථික අර්බුදයට පිළියම් යෙදීම කළ නොහැක්කක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කරයි. සංකේත පාර්ලිමේන්තු බහුතරයක් පැවතීම සහ අලුත් ඇමතිවරුන් පත්කිරීම පමණක් වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සඳහා විසඳුම් සෙවීමේදී ප්‍රමාණවත් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ මතයයි. බලය පාවිච්චි කිරීමෙන් හෝ මර්දනකාරී උපායන්ගෙන් දේශපාලනික ස්ථාවරත්වය නැවත ඇති කළ නොහැකිය. වර්තමානයේදී අවශ්‍ය වන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කරමින්, ජාතික ආර්ථිකයේ හදිසි ප්‍රතිසංස්කරණ සිදුකිරීම පිළිබඳ සම්මුතියක් නිර්මාණය කරගැනීම සහ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික හවුල්කරුවන් අතර රට කෙරෙහි විශ්වාසය ඇතිකිරීමයි.

ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම බිඳවැටීම හේතුවෙන් සෑම සමාජ ආර්ථික මට්ටමකටම අයත් සියලු ශ්‍රී ලාංකිකයන්ට මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා වෙහෙස වන්නට සිදුවී තිබෙන අතර පෝලිම් තුළ සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් තිබේ. ආර්ථික දුෂ්කරතා තුළින් පැනනැගී ඇති දේශපාලනික ඉල්ලීම් ලබාදී නොමැත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් වර්තමාන අභියෝගය ජයගැනීම සඳහා තම යෝජනා ඉදිරිපත් කරනු ලබන්නේ මෙම සංදර්භය තුළයි.

අරමුණ:

1. රට තුළ දේශපාලනික හා ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කිරීම

2. වර්තමාන අර්බුදයට (සහ අනාගතයේ සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණවලට බාධා ඇති විය හැකි) හේතු වන මූලික ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා යෝග්‍ය පරිසරයක් නිර්මාණය කිරීම

3. බාහිර ණය ප්‍රතිව්‍යූහගත කරගැනීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු බහු පාර්ශ්වීය ආයතන සමග සුදුසු වැඩසටහන් වෙත එළැඹීම. එම අරමුණ වෙනුවෙන් මූල්‍ය හා නීතිමය උපදේශකවරුන් පත්කිරීම හා ණය ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදුකරk f;la දැනට තිබෙන ණය අත්හිටුවීම සඳහා සාකච්ඡා කිරීම

4. සම්බන්ධක මූල්‍ය පහසුකමක් (bridging finance) ලබාගැනීම. ණය ප්‍රතිව්‍යූහගත කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භ වීම අතරතුර කාලය තුළදී බාධා විරහිතව ජනතාවගේ අවශ්‍යතා සම්පාදනය කිරීම සඳහා සම්බන්ධක මූල්‍ය පහසුකම හා ණය අත්හිටුවීම මගින් ඉතිරි කරගන්නා මුදල් යොදාගැනීම

5. දූෂණයට එරෙහිව සටන් කිරීම සහ ස්වාධීන ආයතන ශක්තිමත් කිරීම මගින් වගවීම තහවුරු කිරීම සඳහා පරිසරයක් නිර්මාණය කිරීම

විස්තීර්ණ අවශ්‍යතා:

ජාතික වශයෙන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබාගැනීම සඳහාත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වෙනත් බහුපාර්ශ්වීය නියෝජිතායතන සහ ශ්‍රී ලංකාවට මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට උපකාර කළ හැකි හිතවත් රටවල් සමග සාකච්ඡා කිරීම සඳහාත් විශ්වාසය දිනාගත හැකි ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය.

යෝජනා:

1. සියලු ක්‍රියාකාරකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අදාළ නීතිමය විධිවිධානවලට අනුකූල හා විනිවිදභාවයෙන් යුක්ත විය යුතුය. මෙම සංක්‍රාමීය විධිවිධාන හුදෙක්ම පවත්නා තත්වයේ අවශ්‍යතාව වෙනුවෙන් නිර්දේශ කරනු ලබන ඒවා වන අතර කිසිසේත්ම පූර්වාදර්ශ ලෙස භාවිතා නොකළ යුතුය.

2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 21වන සංශෝධනය ආණ්ඩුව විසින් වහා ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය යෝජනා කරයි. එමගින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අහෝසි කරමින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ස්ථාපිත කළ යුතුය. එසේ කිරීමෙහිදී වර්තමාන අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව එසේම පැවතිය යුතුය. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන නැවත ස්ථාපිත කිරීමත් සමගම අනුෂංගික ව්‍යවස්ථාදායක සභා සහ, ස්වාධීන කොමිෂන් සභා ද නැවත ස්ථාපිත විය යුතු අතර එම ආයතනවල මූල්‍ය ස්වාධීනත්වය , විනිවිදභාවය සහ වගවීම තහවුරු කළ යුතුය. .  

3. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධානවලට අමතරව, 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විසින් පහත දැක්වෙන නියමයන් ද සිදුකළ යුතුය.

අ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා සහ මූල්‍ය මණ්ඩලය පත්කිරීම ද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව සිදුකළ යුතුය.

ආ) අමාත්‍යාංශ ලේකම්වරුන්, ආණ්ඩුකාරවරුන්, තානාපතිවරුන් සහ දූත මණ්ඩල ප්‍රධානීන් පත්කිරීම කැබිනට් ඇමති මණ්ඩලයේ මත විමසා අගමැතිවරයාගේ උපදෙස් මත සිදුකළ යුතුය.

ඇ) ජනාධිපති සමාව ලබාදිය යුත්තේ නීති මගින් පිහිටුවන ලද, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශානුකූලව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ව්‍යූහයක නිර්දේශ පරිදිය.

4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය බලාත්මක කිරීමන් පසු සියලු ලේකම්වරුන් හා සියලු ස්වාධීන කොමිෂන් සභා නැවත පත්කළ යුතුය.

5. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්පාදනය කරන ලද පරිදි ජනාධිපතිවරයා කිසිදු ඇමති තනතුරක් නොදැරිය යුතුය.

6. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හැකි තරම් ඉක්මණින්, එනම් මාස 15ක් ඉක්ම යාමට පෙර, සිදුකළ යුතුය. ඒ සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 2022 නොවැම්බර් 30දාට පෙර සම්මත කළ යුතුය. එමගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන දින වකවානු නියම කළ යුතුය. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු පාලනයක් නිර්මාණය කළ යුතුය. ආණ්ඩුවේ නායකයා ලෙස අග්‍රාමාත්‍යවරයාත්, කැබිනට් ඇමතිවරුනුත් පාර්ලිමේන්තුවට වගවිය යුතුය.

7.ඇමතිවරුන් 15දෙනෙකුගෙන් සමන්විත අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් වහා පිහිටුවිය යුතුය. එහි අගමැතිවරයා ජාතික ආර්ථිකය සම්බන්ධයෙන් සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ අතර සම්මුතියක් නිර්මාණය කිරීමට සමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු අතර මෙම නිර්ණායකය සපිරිය හැකි මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ නොමැති නම්, වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පුද්ගලයකු අගමැති ලෙස පත්කිරීම සඳහා බහුපාර්ශ්වීය සම්මුතියක් ඇතිකරගත හැකි නම්, හදිසි අවශ්‍යතාව මත ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී, අගමැති ධුරය සඳහා යෝජිත පුද්ගලයා පාර්ලිමේන්තුවට පත්කර ගත යුතුය. එම පුද්ගලයාගේ නම ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මුල් ජාතික ලැයිස්තුවල සඳහන් වී නැතත්, එම පුද්ගලයාට ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට පත්වීමට අවස්ථාව ලබාදිය යුතුය. 

8. සියලු අදාළ වෘත්තික/ වෘත්තීය සමිති/ සිවිල් සමාජ සංවිධානවල උපදෙස් මත, අන්තර්කාලීන රජයේ  අමාත්‍යාංශ 15 සමග සමාන්තර හෝ ජාතික ආර්ථිකයට අදාළ, සුදුසුකම් සහිත වෘත්තිකයන් 15දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන උපදේශක සභාවක් පත්කළ යුතුය. ආණ්ඩුවේ සියලු ප්‍රධාන ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ උපදේශක සභාවේ අදහස් විමසා විනිවිදභාවයක් ඇතිවය.

9. අ) 2015 ජනවාරි 8 සහ 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අංක 2157/44 හා 2020 ජනවාරි 9 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අංක 2212/53 හා 2021 ජනවාරි 29 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව පත්කරන ලද විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ කටයුතු අහෝසි කළ යුතුය.

    ආ) 2015 ජනවාරි 8 සහ 2019 නොවැම්බර් 16 දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම් සම්බන්ධ චෝදනා විමර්ශනය කිරීම සඳහා අංක 2157/44 හා 2020 ජනවාරි 9 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක කිරීමෙන් වැළකිය යුතුය.

10. ජාතික කැබිනට් මණ්ඩලය විසින් උපදේශක සභාවේ උපදෙස් පරිදි පොදු අවම වැඩසටහනක් සම්පාදනය කළ යුතුය. පොදු අවම වැඩසටහන පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළ යුතු අතර එය ක්‍රියාත්මක කිරීම ජාතික ඇමති මණ්ඩලයේ වගකීම විය යුතුය. මෙම වකවානුවේ වැඩියෙන්ම අවදානමට ලක්වන පිරිස් කෙරෙහි පොදු අවම වැඩසටහන විසින් විශේෂ අවධානයක් යොමුකළ යුතුය.

පොදු අවම වැඩසටහන විසින් අවධානය යොමුකළ යුතු කාරණා අතර පහත දැක්වෙන කාරණා ද වේ:

අ) ණය ප්‍රතිව්‍යූහගත කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනක් පිළිබඳ සාකච්ඡා කිරීම සහ එම වැඩසටහන ආරම්භ වනතෙක් ද්විපාර්ශ්වීය හවුල්කරුවන් වෙතින් සම්බන්ධක මූල්‍ය පහසුකම් ලබාගැනීම

ආ) අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා හිඟය වහා විසඳීම

ඇ) රාජ්‍ය දේපල අයිතිය බැහැර කිරීම හෝ පෞද්ගලීකරණය ද ප්‍රසම්පාදනයන් ද විනිවිද පෙනෙනසුලු ආකාරයෙන් සිදුකිරීම

ඈ) නීතියේ පාලනය නඟාසිටුවීම සහ රාජ්‍ය ක්‍රියාකරුවන් විසින් ජනතාවගේ හිමිකම් හා නිදහස ආරක්ෂා කරන බව හා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය ඉහළ නංවන බව සහතික කිරීම

ඉ) අපරාධ මගින් උපයන වත්කම් සම්බන්ධයෙන් නීති බලාත්මක කිරීම, රාජ්‍ය සම්පත් ආපසු ලබාගැනීම, දේශපාලන පක්ෂ හා ප්‍රචාරණ ක්‍රියාමාලා වියදම් නියාමනය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම සහ වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීම සම්බන්ධ නීතියේ අවශ්‍ය සංශෝධන සිදුකිරීම

ඊ) ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනතාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය නීති සංශෝධන සිදුකිරීම හෝ නව නීති පැණවීම

උ) ද්විපාර්ශ්වික සහායෙන් හා වෘත්තික සංවිධානවල සහ වෙළඳ සංගම්වල දායකත්වයෙන් ජාතික ආර්ථිකය සංවර්ධනය කිරීම හා ආයෝජන ආකර්ශනය කරගැනීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීම

ඌ) පාර්ලිමේන්තු උපදේශක කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා ශක්තිමත් කිරීම සහ වෘත්තික සංවිධාන හා වෙළඳ සංගම්වලට එවැනි රැස්වීම්වලට සහභාගී වීමට ආරාධනා කිරීම

එ) මැතිවරණ (විශේෂයෙන්ම, කල් දමා තිබෙන මැතිවරණ) කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු සංශෝධන සම්පූර්ණ කිරීම, පිරිවැය අවම කරමින් ඵලදායී ලෙස එම මැතිවරණ පැවැත්වීම සඳහා (එනම්, එක් දිනක් තුළදී) ක්‍රම සම්පාදනය කිරීම සහ ජනාධිපති හෝ පාර්ලිමේන්තු මැතිවරණ හැර අනෙකුත් මැතිවරණ පැවැත්වීම සඳහා කාල රාමුවක් සකස්කරගැනීම‍

ඒ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් 22 දින විදේශ ඇමතිවරයා වෙත ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ යෝජනා සලකාබැලීම හා එම නීතිය සංශෝධනය කිරීම

11 විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පොදු අවම වැඩසටහනට ඇතුළත් විය යුතුය. 

12 අන්තර්කාලීන ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය පොදු අවම වැඩසටහන මත පදනම් විය යුතුය. 

13 ජාතික ආණ්ඩුව මාස දහඅටක (18) කාලයක් බලපැවැත්වෙන අතර මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් තවත් සති හයක කාලයක් තුළ භාරකාර රජයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. මාස දහඅටක (18) කාලය අවසානයේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන අතර සති හයකට පසුව මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇත. මහ මැතිවරණය අවසන් වීමත් ජාතික රජය ක්‍රියාත්මක වීම අවසන් වේ.

(ප්‍රජා)