ජනතාව නොදනී ; බලධරයින් දනී ; කේෂ්ත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් කේෂ්ත්‍රයෙන් අතුරුදහන්...

ජනතාව නොදනී ; බලධරයින් දනී ; කේෂ්ත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් කේෂ්ත්‍රයෙන් අතුරුදහන්...

කේෂ්ත්‍ර සේවයේ නියුතු බොහොමයක් රාජ්‍ය සේවකයින් දක්නට ලැබූවද එදා මෙදාතුර අව්වැසි නොබලමින් ගෙයින් ගෙට ගිය නිරතුරුව දක්නට ලැබුණු සුදෝ සුදු වතින් සැරසුණු ඇය නම් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීයයි. නමුත් අද කේෂ්ත්‍රය තුල දැක ගත නොහැක. ඇයට කුමක්වීද..ජනතාව නොදනී. බලධරයින් දනී.

ආයතනයක් තුළට කොටු වූ රාජ්‍ය සේවකයාට සේවයට වාර්තා කිරීමට සහ නැවත නිවසට යාමට ක්‍රමවේදයක් මෙන්ම ඉන්ධන අවැසි වූවන්ට ඉන්ධන අවශ්‍යමය. එය සත්‍යයකි. නමුත් කේෂ්ත්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්ට සේවයට වාර්තා කිරීමට පමණක් නොව ඇයගේ සේවාව ලබා දීමටද ඇයට ඉන්ධන අවශ්‍යය. ඒ නිසාවෙන්ම ඇයට රජයෙන් කේෂ්ත්‍ර සේවයේ නිරත වීම වෙනුවෙන් සැතපුම් කුලියක් ද ගෙවනු ලබයි. ඇයට සැතපුමකට

රු.2.00ක මුදලක් සැතපුම් කුලිය ලෙස ලබා දෙමින් සේවාව ලබා දීමට දිරි ගැන්වීම කෙතරම් අගනේද...ඊටත් වැඩියෙන් අගනාම දෙය වනුයේ මෙම මුදල රු.1000/= ක උපරිමයකට යටත් කිරීමය.

මෙලෙසින් අගයන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන්ද මේ රටේ දිවි ගෙවන සමස්තයෙන් එකෙකි. එම නිසාවෙන් අද දින පවතින වටිනාකම යටතේ පෙට්‍රල් ලීටරයක් රු.470.00 කට ගෙන සේවයේ නිරත වීමට සිදුව ඇත. ඇයට සේවයට වාර්තා කිරීමට මෙන්ම සේවාව සැපයීමටද ඉන්ධන සදහා දිනකට රු.1000.00 ක වියදමක් දැරීමට සිදුව ඇත්තේ මාසිකව සැතපුම් කුලිය ලෙස රු.1000.00 ක් ලබා දෙන පසුබිමකය. එය ලැබෙනුයේ ද මසකට අනිවාර්යයෙන් 500Km ක් සේවයේ යෙදුනහොත් පමණකි.

උණු ජලය දමා පොල් කුඩු මිරිකා පොල් කිරි ගන්නට ප්‍රයත්න දරන්නාසේ බලධාරින්ට ඉහළ පුටු වල වැජඹීමට සහ ලෝකය ඉදිරියේ සෞඛ්‍ය දත්ත ඉතාම ඉහළ මට්ටමකට කුමන අර්බුද පැවතියද පවත්වාගෙන යන බවට කෑ මොර දෙන්නට කේෂ්ත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් දිනෙන් දින පීඩනයට ලක් කරමින් සිටී. ඇයට සේවය සැපයීමට යාමට ඉන්ධන ලැබුණද නොලැබුණ ද බලධාරින්ට කම්නැත. ඇය ඇයගේ සේවාව නිසි කලට නිසි අයුරින් ලබා දිය යුතුමය. ඇයට ඉන්ධන ලබා දීමට නිසි ක්‍රමවේදයක් සැකසීමට බලධාරීන්ට අවැසි නැත. ඔවුන්ගේ ඒකායන පරමාර්ථය තම වාහනයේ ඉන්ධන ටැංකිය පුරවා ගැනීම පමණය.

බහුතරයක් සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබාදෙන කල පෝලිමේ ඉදිරියෙන්ම සිට තම ටැංකිය පුරවා ගන්නේ තම සේවය ලබාදීමට සේවා ස්ථානයට යාම සදහාය. නමුත් අවසන සිදු වනුයේ නිල වාහන භාවිතා කරමින් සේවයට පැමිණීම ඇතුළු සියළුම කටයුතු සිදු කරලීමය.

දිනෙන් දින පීඩනයට ලක්වන කේෂ්ත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් ඉන්ධන පෝලිමේ සිට සතියකට ඉන්ධන ලීටර් 4ක් 5ක් ලබාගෙන උපරිම දින 02ක් සේවයට වාර්තා කිරීමට හැකි තත්වයකට පත්ව ඇත. ඇයට ඉන්ධන අවශ්‍ය වන්නේ සේවයට වාර්තා කිරීමට පමණක් නොව සේවාව ලබා දීමටය. වත්මනේ මෙම ලීටර් ප්‍රමාණය ලබා ගැනීමටද 40Km ක් පමණ දුර ගෙවා ගොස් ඉන්ධන පෝලිම් වල සිටීමට සිදුව ඇත. අවම වශයෙන් 10Km ක් 15km ක් දුරින්වත් පවතින ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා දීමට බලධරයින් මැදිහත් නොවීම කණගාටුවට කරුණකි.

වත්මනේ පුලන්නන් බවට පත්ව ඇත්තේ සමස්ත මාසික වැටුප් ලාභී සේවකයන්ය. ඔවුන් අතරින් එකෙකි කේෂ්ත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය. ඇය ලබන සොච්චම් මාසික වැටුපෙන් 40Km ක් දුර ගෙවා ගොස් ඉන්ධන පෝලිම් වල පැය ගණන් දුක් විඳ ලීටර් 04ක් 05ක් ලබාගෙන ඉන් කොටසක්ද නැවත සේවා ස්ථානයට යාමට වැය කර ඉතිරියෙන් බලධරයින්ට පුටු රැකගන්නට , සෞඛ්‍ය දත්ත ඉහළ නංවන්නට තම දරුවන් කුසගින්නේ තබා සේවයට යාමට සිදු වීම ශෝචනීයය.

උණු දිය බඳුනට වැටුණු ගෙම්බෙක් එහි උණුසුමට හැඩ ගැසීමට උත්සාහ දරමින් සිට දිවි තොර වන තුරුත් බදුනෙන් පිටතට ඒමට උත්සාහ නොදරන්නාසේ සමස්ත මාසික වැටුප්ලාභීන් පවතින තත්ත්වයට හුරු වෙමින් තම විනාශය සිදු කර ගන්නා කල්හි ඊටම දායක වන කේෂ්ත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් අන් අයට මත්තෙන් මියැදෙනු අැත. කිමද ඔවුන් ලබන මාසික වේතනය රටේ පවතින ආර්ථික අර්බුදයට මත්තෙන්ම ප්‍රමාණවත් නොවූවක් නිසාවෙනි.

පවතින ආර්ථික හා ඉන්ධන අර්බුදය හමුවේ කේෂ්ත්‍ර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණීන් පණ අදිමින් සිටින කාලවකවානුවක සෞඛ්‍ය බලධාරීන්ගේ නිහැඩියාව තුල අහිංසක ජනතාවට තෙල් , ගෑස්, ආහාර මෙන්ම නුදුරු අනාගතයේ අහිමි වන දෙයකි පවුල් සෞඛ්‍ය සේවාව. එහි ආදීනව භුක්ති විදීමට සිදු වනුයේ අහිංසක ගැබිණි මව්වරුන්ට හා කිසිවකුත් කියා ගත නොහැකි ළඳරුවන්ටය. රටේ අනාගත පරපුරටය... පෞඩ ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයින් පෙරදිග ධාන්‍යගාරයේ සිට පිටරටින් ලැබෙන දේ මත දිවි ගෙවන්නට හුරුවීමේ ආදීනව භුක්ති විදින අතර අනාගත දරු පරපුරගේ දිවියද අනාරක්ෂිත කර හමාරය...

awanthi livera

| අවන්ති ලිවේරා, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය