ආර්ථිකය ගොඩදාන ජා.මූ.අරමුදලේ අශීලාචාර ප්‍රතිවිරෝධය

ආර්ථිකය ගොඩදාන ජා.මූ.අරමුදලේ අශීලාචාර ප්‍රතිවිරෝධය

“මෙදා රතිඤ්ඤා පත්තු කිරීමට හේතු කරගත් ‘රට ගොඩදානවා’ කියන කතාවේ නොකියන කතා තියෙනවානෙ. ප්‍රධානම කතාව තමයි ඔය ‘රට’ කියන්නේ නාගරික මැදපංතික පැවැත්මටයි. අපි ‘රට’ කියන්නේ සමස්ථ ජනගහනයටයි. මේ වෙනසේ තියෙන්නේ අශීලාචාර ප්‍රතිවිරෝධයක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ජනාධිපති වික්‍රමසිංහ ඇති කරගත් ගිවිසුමෙහි පදනම ඒ අශීලාචාර ප්‍රතිවිරෝධයයි. ඒ නිසා තමයි විස්තර ප්‍රසිද්ධ නොකෙරෙන ගිවිසමුක් ක්‍රියාත්මක කෙරෙන්නේ.”

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා.මූ.අ) විසින් ඉකුත් මාර්තු 20 වන දින ඔවුන්ගේ විස්තීරණ සහන අරමුදල යටතේ ඩොලර් බිලියන 03 ට ආසන්න ණය මුදලක් සිව් වසරක ගිවිසුමක් යටතේ ලංකාවට ලබා දීම අනුමත කිරීම සම්බන්ධව පාර්ලිමේන්තුව අමතා මාර්තු 22 වන දින ජනාධිපති වික්‍රමසිංහ කළ කතාවෙන් පසු මගෙන් අදහස් විමසූ කිහිප දෙනෙකුට මම එළෙසින් කීවෙමි.

ජා.මූ.අරමුදලේ වැඩසටහන අනුව පියවර ගැනීමට වික්‍රමසිංහ ආණ්ඩුවට ජා.මූ.අ විධායක මණ්ඩලයේ අනුමැතියක් අවශ්‍ය වූයේද නැත. අනුමැතිය ලැබෙන්නේ කුමන කොන්දේසි සහිත වැඩසටහනකටද යන්න ආණ්ඩුවට කියා තිබුණේ ජා.මූ. අරමුදලේ මාණ්ඩලිකයින් සමග සාකච්ඡා කෙරෙන අතරතුරය. පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ සිට විදුලිය ගාස්තු සහ ඉන්ධන මිල වැඩි කෙරුණේ ඒ අනුවය. පසුගිය ජනවාරියේ සිට අලුත් කෙරුණු බදු අය කිරීම්ද එළෙසින්ම කල් ඇතිව ක්‍රියාත්මක කෙරුණු කොන්දේසියකි. ප්‍රධාන රාජ්‍ය ව්‍යාපාර අලෙවි කරන්නේ යැයි නොකියා “ප්‍රතිසංවිධානය” කිරීම ගැන කතා කරන්නේද ඒ අනුවය. එබැවින් ජා.මූ.අරමුදල ඒ ගැන ආණ්ඩුවේ බලධාරීනට සිය ප්‍රශංසා පළ කරති.

ලංකාණ්ඩුවට විස්තීරණ සහන අරමුදලින් ණය ලබාදීම විධායක මණ්ඩලය අනුමත කළ බැව් නිල වශයෙන් ප්‍රකාශ කිරීම සඳහා ජා.මූ.අ මාර්තු 20 වන දින පැවැත් වූ මාධ්‍ය හමුවේදී ලංකාව සමගවන ගිවිසුමෙහි විස්තර ඉදිරිපත් කළ ඔවුන්ගේ ශ්‍රී ලංකා කණ්ඩායම් ජ්‍යෙෂ්ඨ නායක පීට බ්‍රෲහ කියුවේ, “ශ්‍රී ලංකාව දැනටමත් මේ අභියෝගාත්මක ප්‍රතිපත්තිමය පියවර ක්‍රියාවට නැගීම ආරම්භ කර තිබීම අගය කළ යුතුයි. දැන් අවශ්‍ය වන්නේ ප්‍රතිසංස්කරණ ගම්‍යතාව ශ්‍රී ලංකා බලධාරීන්ගේ සහ වඩා පුළුල් ජනතාවකගේ ශක්තිමත් හිමිකාරිත්වයක් සමග ඉදිරියට ගෙන යාමයි.” කියා ය.

මෙය අශීලාචාර නොවන්නේද? මේ වැඩසටහන ශ්‍රී ලංකාවේ අර්බුදයට විසඳුම් ලෙස සමාජ සම්මුතියක් මගින් තීන්දු කෙරුණු ජාතික සංවර්ධන සැළසුමක් නොවේ. මේ ජා.මූ.අරමුදලේ මාණ්ඩලිකයින් ශ්‍රී ලංකාව සඳහා කෙටුම්පත් කළ වැඩසටහනකි. මෙම වැඩසටහන කෙටුම්පත් කිරීමේදී ජනතාවට තබා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටවත් හවුල්වීමට ඉඩ නොලැබුණි. මේ වැඩසටහන ජනාධිපති සමග මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේත් මහ භාණ්ඩාගාරයේත් තෝරාගත් ඉහළ නිලධාරීන් අතළොස්සක් පමණක් සාකච්ඡාවන්හි රහස්‍ය බව රකිමින් ජා.මූ. අරමුදලේ මාණ්ඩලිකයින් ඉදිරිපත් කළ යෝජනා රාමුව ඇතුළත සකස් කෙරුවකි. ඉන් මාස 06 ට පමණ පසු ජා.මූ.අරමුදලේ විධායක මණ්ඩලය අනුමත කළ වැඩසටහන ආණ්ඩුව සමස්ථයක් වශයෙන් කල් තියා බාර ගෙන ක්‍රියාත්මක කරනවාට අමතරව ජනතාවද එහි හිමිකාරිත්වය බාර ගත යුතු යැයි කීමේ ශීලාචාරකමක් තිබේද? එම වැඩ සටහන කෙටුම්පත් කිරීමෙන් පසුව හෝ බහුතර ජනතාවගේ දැන ගැනීම සඳහා අවම තරමින් සිංහල හා දෙමළ බසින් හෝ එය ප්‍රසිද්ධියට පත්කර නැත.

එම වැඩසටහන බාර ගැනීමට යැයි කියන්නේ, එමගින් ශ්‍රී ලංකාවට නැවත ණය ලබා ගැනීමට ඉඩ ලැබෙන හෙයින් යැයි ඒ වෙනුවෙන් නැගෙන ප්‍රධාන තර්කයකි. අපට වැදගත් වන්නේ ඔවුන්ගෙන් ලැබෙන ඩොලර බිලියන 03 පමණක් නොවේ යැයි ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට කිවේය. අපට වඩාත් වැදගත් වන්නේ ජා.මූ.අ සමගින් ඇති කරගත් එකඟතාව හේතුකොට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමග නැවත ගනුදෙනු කිරීමට ලැබෙන සහතිකය යැයි ඔහු කිවේය. “මේ පහසුකම ලබා දීමත් සමග අපට නැවත ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබෙනවා. ශ්‍රී ලංකාව තව දුරටත් බංකොලොත් රටක් නොවන බවට සහතිකයක් ලැබෙනවා. අපේ දේශීය බැංකු යළිත් ලෝකය පිළිගන්නා තත්ත්වයට පත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතන අපේ ණයවර ලිපි වලට ගරු කරනවා. වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගැනීමට පසුබිමක් සැකසෙනවා” යැයි ජනාධිපති වික්‍රමසිංහ එදින පාර්ලිමේන්තුවට කීවේය.

ඔහු ඒ සමග කීවේ දැනට තිබෙන අපගේ විදේශ ණය ප්‍රමාණය ගෙවීමට අවුරුදු 10 ක පමණ කාලයක් ලැබෙනු ඇතැයි ඔහු සිතන බවය. මහ භාණ්ඩාගාරයට අනුව ඒ ණය සඳහා පොලී වශයෙන් පමණක් අප වාර්ෂිකව ඩොලර බිලියන 04.4 ක් ගෙවිය යුතුය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතා අනුව අලුතින් ඉදිරි වසර කිහිපය සඳහා පොලී එකතු නොකෙරුවද, මේ වනවිට අප ඩොලර බිලියන 55 ක් පමණ විදේශ ණය පමණක් ගෙවිය යුතුය. ජනාධිපති වික්‍රමසිංහ කියන අයුරු වෙනත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ඉතා අඩු පොලියට ණය ආධාර ලබා ගත්තත් ඒ ණය ගෙවීම සඳහා අපට සහන කාලයක් නොලැබෙනු ඇත.

මේ ණය කෙරුවාව පිළිබඳ කතාව කෙටි කළහොත් අපට ඇත්තේ විදේශ ණය පමණක් නොවේ. අපට විශාල දේශීය ණය ප්‍රමාණයක්ද ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් ගැන තවම පැහැදිලි කිරීම් නැත. ඒ සඳහාද මහ භාණ්ඩාගාරය පොලී ගෙවිය යුතුය. මේවා ගෙවීමට අවශ්‍ය දේශීය හා විදේශීය ආදායම් ප්‍රමාණ උපයන ආර්ථිකයක් සැළසුම් කරන්නේ කෙසේද යන්න අප හමුවේ ඇති අභියෝගය වන්නේය. එහෙත් ජා.මූ.අ විසින් ලබාදී ඇති ඔවුන්ගේ කොන්දේසිගත විසඳුම් මගින් එවැනි ආර්ථිකයක් සඳහා සැළසුම් නැත. වැල්වටාරම් පැත්තකින් තැබූ පසු එහි ඇත්තේ ආර්ථික වශයෙන් ප්‍රධාන කාරණා තුනකි. ප්‍රසිද්ධියේ කතා වන හා නොවන ඉතිරිවා, ඒවායේ අතුරු ක්‍රියාකාරකම් ය. 

කෙටි කාලයක නොව, නිදහසින් පසු වසර 74 ක කාලයෙන් වසර 44 ක් සියලු සහන, වාසි, වරදාන සමගින් විදේශ ආයෝජකයින් ගෙන්වා ගෙන අපනයන නිෂ්පාදනය දියුණු කිරීමට ගත් අසාර්ථක වූ ආර්ථික පිළිවෙත වඩා පුළුල් ලෙස නැවත ක්‍රියාත්මක කිරීමත් ආර්ථිකය කඩා වැටෙන විට පැනවූ ආනයන සීමා ඉවත් කරමින් ආර්ථිකය යළි විවෘත කිරීමත් යන කාරණා දෙකට අමතරව තුන්වැන්න වන්නේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ කිහිපයකි. ඒ වෙනුවෙන් ආනයන සීමා, විදේශ විනිමය සීමා සහ ගෙවුම් ශේෂයට අදාල වෙනත් සීමා, අදියර කිහිපයකින් ඉවත් කිරීමට ආණ්ඩුවේ බලධාරීන් එකඟවී හමාරය. ඒ සඳහාවන ආණ්ඩුවේ සැළැසුම ලබන ජුනි මාසයේදී ජා.මූ.අ වෙත බාර දීමට ආණ්ඩුව පොරොන්දුවී ඇති බව ඔවුන්ගේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

ඒ අතරින් වැඩි කතා බහක් ඇත්තේ දූෂණ හා ඒ සඳහා ඇති අවකාශ අවම කිරීම වෙනුවෙන් ඔවුන්ගේ ආණ්ඩුකරණ දෝස හඳුනා ගැනීමේ කමිටු වාර්තාව ක්‍රියාවට නැංවීමය. දූෂණ විරෝධි නීති සම්පාදනය මගින් පෞද්ගලික වත්කම් ප්‍රකාශ කිරීම නොපමාව කළ හැකි වූවත් අහිමි වූ වත්කම් නැවත ලබා ගැනීමට යම් කාලයක් ගතවනු ඇතැයි සඳහන් වන්නේය. ඒ අතරතුර අලුතින් ආණ්ඩුකරණ දෝස හඳුනා ගැනීම් සමග දූෂණ අවම කිරීමේ වෙනත් යෝජනා තිබිය හැකි යැයි එදින මාධ්‍ය හමුවේදී ප්‍රකාශ විය.

මේ සියල්ල සමාජයට අලෙවි කෙරෙන්නේ දිළිඳු හා අවදානමට ලක් වීමේ වැඩි විභයක් ඇති ජනතාව ඉලක්ක කෙරෙන සමාජ රක්ෂණ වැඩසටහනක් කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අවම වියදමක් තීන්දු කළ යුතු යැයි වන යෝජනාවක්ද සමගය. ඒ වෙනුවෙන් පවතින සමාජ රක්ෂණ වැඩසටහන් පිරිසිදු කර යළි අලුත් කළ යුතු යැයි සඳහන් කෙරෙන්නේය.

මර්දනයක් දියත්වෙන, මැතිවරණ කල් තැබෙන, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමා කෙරෙන පසුබිමක මේ කාරණා කෙතරම් දුරකට සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිදැයි එම මාධ්‍ය හමුවේදී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පමණක් නොව, විදේශීය මාධ්‍යවේදීන්ද ප්‍රශ්න කළ විට ජා.මූ.අරමුදලේ ප්‍රතිචාරය වූයේ ඔවුන් මූලික වශයෙන් ආර්ථික අර්බූද වලට හසුවූ රටවලට සහන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වගකීම් බාර ගනු ලැබූ ජාත්‍යන්තර ආයතනයක් මිස ආණ්ඩු පාලන වගකීම් සඳහා මැදිහත්වීමේ වරම් ලැබූ ආයතනයක් නොවන බවය. එසේ කියූවත් ආණ්ඩුකරණයේ දොස් විමර්ශනය කිරීමේ ඔවුන්ගේ කමිටුව දැනටමත් වැඩ ආරම්භකර ඇත. එය දූෂණය අවම කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුකරණයේ දුර්වලතා විමර්ශනය කෙරෙන හා විසඳුම් සකස් කෙරෙන ආසියානු සන්දර්භයේ පළමු මැදිහත්වීම යැයි ඔවුහුද පිළිගනිති.

එහෙත් ඔවුන්ගේ ආණ්ඩුකරණ මැදිහත්වීම් දූෂණය අවම කිරීමට පමණක් නොව, ඉන් එහා ගිය රාජ්‍ය ප්‍රතිසංස්කරණ සඳහාද අත පොවන්නකි. විශේෂයෙන් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට යැයි කම්කරු හා කාර්මික නීති සංශෝධනය කිරීම් කිසිදු සඳහනක් ප්‍රචාරයක් නොමැතිව හාම්පුතුන්ගේ දැනුවත් මැදිහත්වීම් සමගින් දැනටත් කෙරෙන්නකි. පෞද්ගලික අංශය සඳහා ඒ කාර්ය යහපාලන ආණ්ඩුව සමයේද ඇමෙරිකානු ආධාර සමගින් කිරීමට ව්‍යාපාරිකයෙකු වූ එකල විදේශ වෙළඳාම් හා ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා සූදානම් වූවත් පෞද්ගලික අංශය සඳහාවන ජාතික කම්කරු උපදේශන සභාවෙහි වෘත්තීය සමිති විරුද්ධ වූයෙන් ඒ උත්සාහය අත හැරුණි. එනිසා ජාතික කම්කරු උපදේශන සභාව නොකැඳවා වත්මන් කම්කරු ඇමතිවරයා හාම්පුතුන් සමග ඔවුන්ට අවශ්‍ය පරිදි කම්කරු නීති සංශෝධනය මෙවර ආරම්භකර ඇත්තේ ජා.මූ.අ විසින් ආයෝජන සඳහා ආකර්ශනීය හා කාර්යක්ෂම පසුබිමක් සැකසීම එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති හෙයිනි.

ආයෝජන සඳහා ආකර්ශනීය හා කාර්යක්ෂම පසුබිම නාගරික මැදපංතිකයින් අර්ථ ගන්වන්නේ පෞද්ගලික අංශයේ කම්කරු අයිතීන් කප්පාදු කෙරෙන, හාම්පුතුන්ට සේවා කොන්දේසි තීන්දු කිරීමේ අයිතිය පැවරෙන, සේවකයින්ට තම වැටුප්, සේවා පහසුකම් හා පාරිසරික තත්ත්වයන් සාමුහිකව කේවල් කිරීමේ හැකියාව අහෝසි කෙරෙන පසුබිමකි. කෙටියෙන් කියනවා නම්, ඔවුන් යෝජනා කරන්නේ “කුලියට ගැනීමේ හා පලවා හැරීමේ අයිතිය” හාම්පුතුන්ට තිබිය යුතු යැයි කියාය. කම්කරු නීති 50 ට ආසන්න සංඛ්‍යාවක් ඇති බවත් ඒවා ආදි කාලීන සංකල්ප මත සැකසුණු නීති පනත් බවත් කියමින් දැන් කෙරෙන්නේ සේවකයින් “කුලියට ගැනීමේ හා පලවා හැරීමේ අයිතිය” නීතිගත කිරීමකි.

මෙහි අරුමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ ඉල්ලන, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කෙරෙන මූලික අයිතියක් යැයි අධිකරණයට යන නාගරික මැදපංතිකයින් ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඒ 14 වන අනු ව්‍යවස්ථාවෙහිම සඳහන් වෘත්තීය සමිති සංවිධානය කිරීමේ හා සාමාජිකත්වය ගැනීමේ මූලික අයිතිය සේවක සේවිකාවන්ට අහෝසි කිරීම සඳහා දෙපයින්ම පෙනී සිටීමය. රාජ්‍ය අංශය ව්‍යාපාරික කටයුතුවල නිරත නොවිය යුතුයැයි ජනාධිපති වික්‍රමසිංහ ඊයේ පෙරේදා කියා තිබූ පසුබිමක මැදපංතිකයින් ඉල්ලා සිටින රාජ්‍ය ව්‍යාපාර අලෙවිකරණයේදීද දොට්ට වැටෙන සේවකයින්ගේ අයිතිවාසිකම් කොයි ආකාරයෙන් සහතික කෙරෙන්නේද යන්නත් තනි නීතියකට ලියැවෙන නව කම්කරු නීති සංශෝධනයෙහි අලුතින් තීන්දු විය හැක්කකි.

ඒ පසුබිමෙහි අමතක නොකළ යුතු වැදගත් කාරණාවක් වන්නේ ලෝක බැංකු වාර්තාවට අනුව 2022 වසරේ ලංකාවෙහි ලක්ෂ 05 ට අධික රැකියා ප්‍රමාණයක් අහෝසිවී ඇති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි වූ අතර ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාව කාන්තාවන් වීම ය.

ඒ මොනවා වූවත් නැවත උත්සාහ කෙරෙන්නේ ලාභ ලබන වෙළඳපලක් වෙනුවෙන් අතමිට සරු නාගරික මැදපංතික සමාජයක් හැදීමටය. නැවත උත්සාහ කෙරෙන්නේ අවුරුදු 40 ට වැඩි කාලයක් අසාර්ථක වූ සහ මේ සමස්ථ අර්බුදයට ජාවාරම්කාර පදනම හැදූ මහ නගර කේන්ද්‍රීය මැදිපංතික වෙළඳපල ආර්ථිකය තිබුණාටත් වඩා අශීලාචාර ලෙස ග්‍රාමීය සමාජය අත හරිමින් යළි තහවුරු කිරීමටය. ග්‍රාමීය හා අවිධිමත් ආර්ථික ක්ෂේත්‍රයේ අඩු ආදායම්ලාභි බහුතර ජනයාට ආහාර සුරක්ෂාවක් නොමැති, සාමාන්‍ය ජනයාට අත්‍යාවශ්‍ය බෙහෙත් රෝහලේ නැති, සමාජයේ බහුතරයකට ඉන්ධන හා බලශක්ති ගාස්තු ඔරොත්තු නොදෙන තරමට ඉහළ දැමුණු, ආදායම් හැකිළෙන, රැකියා සුරක්ෂිතතාව අවදානමට ලක් කෙරෙන රටක දිළිඳු හා අසරණ තත්ත්වයට පත්විය හැකි ජන කොටස වෙනුවෙන් සමාජ රක්ෂණ පිළිවෙත් ගැන කතා කිරීම නාගරික මැදපංතිය වෙනුවෙන් විවෘත වෙළඳපල ක්‍රියාත්මක කිරීම සඳහා කෙරෙන කතා පමණක් බව තේරුම්ගත යුතුය. ඔවුන්ගේ “රට” සහ අපේ “රට” වෙනස්වන ඒ මැදපංතික අශීලාචාර ප්‍රතිවිරෝධය ජා.මූ.අ වැඩසටහන සමගින් ජනාධිපති වික්‍රමසිංහ බාරගත් විසඳුම වන්නේය. ඒ වෙනුවෙන් විනයගත සමාජයක් සඳහා යැයි ඉතා දැඩි මර්දනකාරී පාලනයක් නාගරික මැදපංතික කැමැත්ත ඇතිව තහවුරු කරන්නට ඉඩ ඇත්තේද “කුලියට ගැනීමේ හා පලවා හැරීමේ අයිතියට” යටත් කෙරෙන අසංවිධානාත්මක ශ්‍රමික වෙළඳපලක් සමගින් විය හැක.

Kusal perera 1

     | කුසල් පෙරේරා