කාන්තාවන්ට අදාළව ලංකාවෙ බලාත්මක ඇතැම් නීති අදට කොහෙත්ම ගැලපෙන්නේ නෑ - නීතිඥ ගයත්‍රී නවරත්න

කාන්තාවන්ට අදාළව ලංකාවෙ බලාත්මක ඇතැම් නීති අදට කොහෙත්ම ගැලපෙන්නේ නෑ -  නීතිඥ ගයත්‍රී නවරත්න

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පසුගිය ජුනි 20 වැනිදා පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මගින් කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සදහා විධිවිධාන සපයා ඇත. එසේම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම ඇතුළු  ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන මෙම නව පනත මගින් ලබා දී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවිය.

මෙම පනත සහ කාන්තාවන් හා සම්බන්ධ තවත් වැදගත් කරුණු සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිනියක හා නීතිඥවරියක වන ගයත්‍රී නවරත්න සමග ‘සුභාවිත‘ ගුවන් විදුලි වැඩසටහනට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත පසුගිය ජූනි 20 වැනිදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මේ පනත සහ එය ගෙන ඒමට බලපෑ පසුබිම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?

ලංකාවේ ජනගහණයෙන් 52%ක් කාන්තාවන් වුණත් අදත් අපේ සමාජය කාන්තාවන් සලකන්නේ ‘ආන්තීකරණයට‘ ලක් වුණ පිරිසක් විදිහටයි.  ඔවුන්ට යම්කිසි ආකාරයක සවිබල ගැන්වීමක් අවශ්‍ය බව සිතනවා. ඒ අනුව කාන්තාවන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාව වත්මන් ආණ්ඩුව විසිනුත් වටහා ගෙන තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, කාන්තාවන්, ළමුන් හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික කාරක සභාව සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ පනත සම්පාදනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. එහිදී යම් යම් සංශෝධන සහිතව මෙම පනත සම්මත වුණා.

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවේ අරමුණු හා බලතල මොනවාද ?

කාන්තාවක් වීම නිසා ම කාන්තාවන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් මැදිහත්වීමට, ඒ සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීමට, කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධ නඩු කටයුතුවලට (අධිකරණයේ අවසර සහිතව) මැදිහත් වීම සහ, විශේෂයෙන් උපරමාධිකරණය විසින් ලබා දෙන තීන්දු ක්‍රියාත්මක කිරීමට අධිකරණමය වශයෙන් විමර්ෂණ බලයක් මෙම කොමිෂන් සභාවට හිමිවෙනවා. ඊට අමතරව කාන්තාවන් සම්බන්ධ ‘ජාතික ප්‍රතිපත්තියක්‘ සම්පාදනය කිරීමට මෙම කොමිෂන් සභාවට බලය තිබෙනවා. එසේම කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය හා ජාත්‍යන්තර ආයතන සමග එක්ව කටයුතු කිරීමටත් මෙම කොමිෂන් සභාවට බලය තිබෙනවා. එසේම ඔවුන් සම්පාදනය කරන ප්‍රතිපත්ති ආදිය අධීක්ෂණය කිරීමටත් මෙම කොමිෂන් සභාවට බලය තිබෙනවා. එසේම කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමත් මෙම කොමිෂන් සභාවේ විෂයපථයට අයත් වෙනවා.

මේ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමට අදාළ කටයුතු සිදුවන්නේ කොහොමද ?

කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාව මගින් තමයි කාන්තාවන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය සකස් කළ යුතුව තිබෙන්නේ. විෂයභාර අමාත්‍යවරයා හෝ වරිය විසින් මේ ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි. එහිදී යම් සංශෝධනයක් ඉදිරිපත් කළොත් ඒ සංශෝධන සහිතව අදාළ ජාතික ප්‍රතිපත්තිය සම්මත කරගත යුතුයි.

මෙවැනි පනත් සම්මත වීම ප්‍රගතිශීලී බව අපට පිළිගන්න පුළුවන්. නමුත් අපට තිබෙන ප්‍රශ්නය තමයි මේ වැනි පනත් කොපමණ සම්මත වුණත් සමාජයේ කාන්තාවන් ගැන තිබෙන්නේ ඍණාත්මක ආකල්පයක්. මේ ගැන ඔබගේ අදහස කුමක් ද ?

අපටත් තිබෙන ප්‍රශ්නය තමයි මෙවැනි නීති යථාර්ථයක් බවට පත් නොවී කොළ කැබැල්ලකට පමණක් බොහෝ විට සීමා වීම. බොහෝ දකුණු ආසියානු රටවල් සේම ලංකාවෙත් කාන්තාවන් සම්බන්ධයෙන් තිබෙන්නේ ‘පුරුෂ මූලික දෘෂ්ටියක්‘. එවැනි අවස්ථාවක කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමාවීම හෝ ඒවා සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමේ ගමන් මාර්ගය අතිෂය දුෂ්කර විය හැකියි.  ඉතිං මෙවැනි කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කළහොත් කාන්තාවන් හා සම්බන්ධ කාරණාවලදී වඩාත් පහසුවෙන් කටයුතු කළ හැකි වෙිවි. නමුත් මෙවැනි දේවල් කොතරම් දුරට ප්‍රායෝගික ද කියලා අපි සලකා බැලිය යුතුයි. අපි දන්නවා පනත් හරහා බොහෝ විට ස්වාධීන කොමිෂන් සභා පිහිටුවනවා. නමුත් ඒවාට ක්‍රියාත්මක වීමට අවශ්‍ය සම්පත් ලබාදීමක් බොහෝ විට සිදුවෙන්නේ නැහැ. ඒ නිසා කොතරම් ප්‍රගතිශීලී පනත් හෝ ආයතන තිබුණත් ප්‍රයෝජනයක් නැහැ ඒවා ‘හුදු කොළ කැබැල්ලක‘ බවට පත්වෙනවා නම්. අපි දන්නවා මේ පනත පවා සම්මත වුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එක කොන්දේසියක් අනුවයි. ඒ නිසා මේක ‘වැඩ ලැයිස්තුවක්‘ ඉටුකිරීම පමණක් විය හැකියි.

අපි දන්නවා සමහර නීති තිබෙනවා ඒවා තුළින්ම කාන්තාවන් වෙනස් කොට සලකනවා, වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් සීමා කරනවා. මේවා සම්බන්ධයෙන් මේ පනත තුළ ඇති ප්‍රතිපාදන මොනවාද ?

මේ පනත අනුව පිහිටුවන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගන්නා අයිතිවාසිකම් කඩවීමකදී පමණයි. මෙම පනතේ 16 සහ 17 වැනි වගන්තිවල දැක්වෙනවා විමර්ෂණ කටයුතු සිදුවන්නේ රටේ පවතින නීතියට අදාළවයි කියලා. අපි හොඳාකාරවම දන්නවා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් අධිකරණයමය ක්‍රියාමාර්ග ගන්නා විට 16 වැනි ව්‍යවස්ථාව අනුව එය සීමා වෙනවා. 16 වැනි ව්‍යවස්ථාවට අනුව ඊට පෙර පැවැති ලිඛිත හෝ අලිඛිත නීතියකට යටත්ව තමයි මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමට අවස්ථාව ලැබෙන්නේ. මෙම කොමිෂන් සභාව කටයුතු කරන්නේ ඉහත නීතියට (16 වැනි වගන්තිය) යටත්වයි. ලංකාව කියන්නේ ‘යල්පැන ගිය නීති‘ හදන රටක්. ලංකාව ඇත්තටම ජීවත් වෙන්නේ පසුගාමී තැනකයි. කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් පවා නීති පනවන තැනකයි. යල්පැන ගිය තත්ත්වයන්ට යටත්ව මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ඇත්තටම අභියෝගාත්මකයි. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවත් අපට තිබෙනවා.

වත්මන් සමාජය ස්ත්‍රී - පුරුෂ යන සම්ප්‍රදායික බෙදීම ඉක්මවා ගිහින් ‘සංක්‍රාන්ති ලිංගිකත්වය‘ ගැනත් කතා කරනවා. මේ පනත ඒ ගැන අවධානය යොමුකර තිබෙනවාද ?

ඒකත් අපි මේ පනතේ දකින දුර්වලතාවයක්. මොකද මේ පනතේ ‘කාන්තාව‘ යනු කවුද ? යන්න ගැන නිර්වචනයක් කර නැහැ. වර්තමාන භාවිතය අනුව කාන්තාව කියන්නේ ඇය උපතින් ලබන ලිංගිකත්වයට වඩා වෙනස් සමාජභාවයක් හිමිකර ගන්න කෙනෙක් ලෙස අර්ථ දැක්විය හැකියි. එතනදී ‘සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්‘ මේ කියන කාන්තාවන් ගණනට ගැනෙනවාද ? යන ප්‍රශ්නය තිබෙනවා. ඒ වගේම තමයි ‘කාන්තා අයිතිවාසිකම්‘ සම්බන්ධයෙන් වුණත් හරියාකාර අර්ථ දැක්වීමක් මෙම පනත තුළ නැහැ.

ඔබ සිතනවාද මේ පනත කාන්තාවන්ගේ අනාගතය වෙනස් කරන පනතක් බවට අනාගතයේදී පත්වෙයි කියලා.

අනිවාර්යයෙන් ම. වර්තමානයේදී වුණත් කාන්තාවන්ට සිදුවන අසාධාරණකම්, ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකර ගැනීමේ මාර්ගයට බොහෝ විට කාත්නාවන් යොමුවන්නේ නැහැ. මොකද එවැනි දෙයක් හරහා ඔවුන් ‘ද්විතියීක හිංසනයට‘ පත්වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ වගේ කොමිෂන් සභාවක් පත් කිරීම හරහා ඒකට යම්කිසි ආකාරයක කාර්යක්ෂම සහ සහනශීලී විසඳුමක් ලැබිලා තිබෙනවා. යුක්තිය උදෙසා පහසුවෙන් ප්‍රවේශ විය හැකි මාර්ගයක් කාන්තාවන්ට ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ පනත හරහා කාන්තාවන් සම්බන්ධයෙන් ‘ජාතික ප්‍රතිපත්තියක්‘ සකස් කරනවා, කාන්තා අයිතිවාසිකම් ගැන දැනුවත් කිරීම් සිදුවෙනවා, මේ තත්ත්වය තුළ මෙම පනත ධනාත්මක එකක් ලෙස සැලකිය හැකියි. ඒ වගේම තමයි ලංකාව ‘සීඩෝ සම්මුතියේ‘ හවුල්කාර රාජ්‍යයක්. නමුත් සීඩෝ වැනි පනතක් ලංකාවේ නැහැ. අපිට සහන ලබා ගන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හිමිකර දී තිබෙන අයිතිවාසිකම් සම්බන්ධයෙන් පමණයි.