ස්ත්‍රීන් බලගැන්වීම සඳහා ගෙන එන ‘නව පනත්වල ස්වභාවය සහ අපේක්ෂාවන්’

ස්ත්‍රීන් බලගැන්වීම සඳහා ගෙන එන ‘නව පනත්වල ස්වභාවය සහ අපේක්ෂාවන්’

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පසුගිය ජුනි 20 වැනිදා පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත සම්මත වී එය නීතියක් බවට පත්වීම සමග මෙම පනත ද ඇතුළත්ව ‘ස්ත්‍රීන් බලගැන්වීම සඳහා ගෙන එන නව පනත්වල ස්වභාවය සහ අපේක්ෂාවන්‘ පිළිබඳ සමාජ සංවාදයක් සිදුවෙමින් පවතී.

සමාජය තුළ සිදුවන මෙම සංවාදයට සමගාමීව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පසුගිය ‘කතිකාවත‘ වැඩසටහනේ දී මේ සම්බන්ධයෙන් විද්වත් සංවාදයක් ආරම්භ කළේය. මෙම විද්වත් සංවාදයට සණස ජාත්‍යන්තර සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂිකා සාමදානි කිරිවන්දෙණිය මහත්මිය, ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සහ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සම්බන්ධ වූහ. නීතිඥ ගයත්‍රී නවරත්න මහත්මිය විසින් මෙම සංවාදය මෙහෙයවනු ලැබුවාය.

මෙම කතිකාවතට ආරම්භයක් ගනිමින් නීතිඥ ගයත්‍රී නවරත්න කියා සිටියේ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත මෙන්ම ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය‘ පිළිබඳ පනත් කෙටුම්පත් දෙක සහ  පාර්ලිමේන්තු මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කර තිබෙන ‘දේශපාලනයේ ස්ත්‍රීන් සවිබල ගැන්වීමේ‘ පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුව තුළ සහ සමාජය තුළ සංවාදයට ලක්ව ඇති බවයි. මෙම පනත් සමාජය තුළ ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රායෝගික භාවිතය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මෙම කතිකාවත තුළින් ඒ සම්බන්ධයෙන් පුුළුල් සාකච්ඡාවක් සිදුවන බවත් නවරත්න මහත්මිය කීවාය.

dr sujatha gamage 1

පංතිමය පදනමින් ගත් විට කාන්තාවන් මුහුණ දෙන ගැටලු සහ අභියෝග එකිනෙකට වෙනස් – ආචාර්ය සුජාතා ගමගේ

කාන්තාවන් සම්බන්ධයෙන් අතිශය වැදගත් පනත් සහ පනත් කෙටුම්පත් හතරක් මේ වන විට කරළියේ තිබෙන නමුත් වත්මන් දේශපාලන හා ආර්ථික නොසන්සුන්තා මැද සමාජය ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බව තමාට සිතෙන බව, මෙම සංවාදයට එක්වෙමින් ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නාය.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මන්ත්‍රීවරිය විසින් ඉදිරිපත් කර ඇති පනතක් කෙටුම්පතට අනුව දේශපාලන පක්ෂවල විධායක පදවිවලින්, ප්‍රධාන පදවිවලින් 30%ක් කාන්තාවන්ට හිමිවිිය යුතු බව යෝජනා කර ඇතැයි ද එසේම ඕනෑම දේශපාලන පක්ෂයක් විසින් මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුවලින් 50%ක් ‘කාන්තාවට හිමිවිය යුතු බවට එහි යෝජනා කර ඇති බව ද ආචාර්ය ගමගේ මෙහිදී සඳහන් කළාය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය පිළිබඳ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව මහාධිකරණය විසින් පවසා ඇති බව සඳහන් කළ ආචාර්ය ගමගේ එම පනත් කෙටුම්පත සංශෝධනය නොකරන්නේ නම් පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව අධිකරණය විසින් දන්වා ඇති බව ද කීවාය.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගරු අධිකරණයේ තීන්දුව ගැන තමන් කම්පාවට පත් වූ බව ඇය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කළ ආචාර්ය සුජාතා ගමගේ මෙසේ ද කීවාය. ‘ශිෂ්ඨ සමාජයක අපට වඩා වෙනස් අය ආරක්ෂා කිරීම කළ යුතු දෙයක්. සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව සමාජයක ඉතාම කුඩා ප්‍රතිශතයක් විය හැකියි. (මම පුද්ගලිකව දන්නේ නැහැ)  නමුත් මම සමරිසි ප්‍රජාව ගැන පුද්ගලිකව දන්නවා, ඔවුන්ට මුහුණ දීමට සිදුවන අපහසුතා සහ වෙනස්කොට සැලකීම් ගැන දන්නවා. ඒ නිසා ඔවුන්ට යම්කිසි ආරක්ෂාවක් ලබාගත හැකි පනතක් සම්මත කර ගැනීමට නොහැකි වීම කනගාටුවට කරුණක්. ඒ නිසා මේ මැතිවරණ සමයේ අපි ඔවුන් ගැන සමාජය දැනුවත් කළ යුතුයි. සංවේදීභාවයක් ඇති කළ යුතුයි‘

මෙහිදී ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ නීතිඥ ප්‍රේම්නාත් සී. දෙලාවත්ත මන්ත්‍රීවරයා විසින් ද සමරිසි ක්‍රියාවන් අපරාධමය වරදක් නොවන බවට අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බවත් එය තවමත් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ ඇති බවත්ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්වතාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කරගත නොහැකි වුවත් ඉහත දක්වන ලද ආකාරයේ නීති සංශෝධනයට හැකියාවක් ඇති බව ද ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නාය.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ගැන දීර්ඝව සිය අදහස් ඉදිරිපත් කරමින් ආචාර්ය ගමගේ මෙසේ ද පැවසුවාය. ‘‘ලංකාව පුරුෂාධිපත්‍ය සහිත සමාජයක්. මම ඒක පුද්ගලිකව දකිනවා. නමුත් මම ඒ ගැන කල්පනා කරන්නේ පුළුල් ලෙසයි. මම ඒක දකින්නේ අපේ සමාජයේ ප්‍රශ්නයක් ලෙස, ඒක අපේ අධ්‍යාපන ක්‍රමයේ වරදක්, නූගත්කමේ ලක්ෂණයක්. මගේ අවධානය යොමුවන්නේ මෙම කාරණා වෙනස් කිරීම ගැනයි. මෙහිදී සඳහන් කළ යුතුයි, කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් විවිධ අදහස් සහ මතවාද තිබෙනවා. මේවා අතර සැලකිය යුතු විෂමතා මෙන්ම සමානකම් ද තිබෙනවා. මේ අතර වැදගත් අදහසක් තමයි සසෙක්ස් විශ්වවිද්‍යාලයේ Naila Kabeer මහාචාර්යවරිය විසින් ඉදිරිපත් කළ වැදගත් අදහසක් තිබුණා. ඇය මෙහිදී කියා තිබුණා කාන්තාවන් සවිබල ගැන්වීම තුන් ආකාරයකින් කළ හැකි බව. ඇයට අනුව ‘සම්පත්, තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ හැකියාව, සහ සාර්ථකත්වය යන තුන් ආකාරයෙන් කාන්තාවන් සවිබල ගැන්වීම කළ හැකියි“

ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ තමන් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත දෙස බලන්නේ ඉහත දක්වන ලද ‘රාමුව‘ තුළ සිට බවයි. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත තුළ අන්තර්ගත මූලිකාංගයක් වශයෙන් ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම ගැන දෙවරක් කල්පනා කළ යුතු බව කී ආචාර්ය ගමගේ එවැනි කොමිෂන් සභා කොතරම් ‘අදාළ‘ දැයි විමසා බැලිය යුතු බව කීවාය.

‘අපි දන්නවා කොමිෂන්, ව්‍යවස්ථාපිත ආයතන ඇතුළු 300කට අධික ආයතන සංඛ්‍යාවක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. නමුත් කොමිෂන් සභාවක් පත්කළ ගමන් ඒවාට දෙන බලතල මොනවාද ? සම්පත් මොනවාද ? කියලා හිතන්න ඕනෑ. පුළුල් ස්වාධීනත්වයක් සහතික කරමින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කළත් දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට තරම්වත් කොමිෂන් සභාවක සභාපතිවරයෙකුට ස්වාධීනත්වයක් නැහැ. ඒ අතින් බැලූ විට කාන්තාවන් සවිබල ගැන්වීමේ කොමිෂන් සභාව ඉතා බලසම්පන්නයි. බලතල අතින් බැලූ විට මෙම කොමිෂන් සභාවට අධිකරණමය බලතල නොතිබුණත් සැලකිය යුතු බලතල ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මට ප්‍රශ්නය තිබෙන්නේ මේ කොමිෂම අවසානයේ ‘නඩුදාන‘ තැනක් බවට පත්වෙනවා.  ඒ ගැන මට බයක් තිබෙනවා, කොමිෂම සම්පූර්ණයෙන්ම මේ ‘නඩුදාන තැන‘ හිරවෙයි ද ? කියලා. ඒ වගේම මේ කොමිෂමට අවශ්‍ය තරම් නීතිඥයෝ බඳවා ගන්න පුළුවන් වෙයිද ? කියලා මට සැකයක් තිබෙනවා‘

මෙහිදී ආචාර්ය ගමගේ පෙන්වා දුන්නේ වර්තමානය වන විටත් ‘ශ්‍රී ලංකා කාන්තා කාර්යංශය‘ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එම ආයතනය ‘තවත්‘ දෙපාර්තමේන්තුවක් බවට පත්කිරීමට සැලසුම් කර ඇතැයි කී ආචාර්ය සුජාතා කාන්තාවන් සම්බන්ධ කාර්යංශයක් සහ කොමිෂන් සභාවක් යන දෙකක් තිබීම තමාට ප්‍රශ්නයක් බව ද සඳහන් කළාය.

මෙහිදී විවිධ ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ගැන අදහස් දක්වමින් ආචාර්ය ගමගේ පෙන්වා දුන්නේ ගණිතය සහ ඉංජිනේරු අංශවල හැර සෙසු සියලු අංශවල කාන්තා නියෝජනය පුළුල්ව ඇති බවයි. විශ්වවිද්‍යාලවල කලා පීඨයේ කාන්තා නියෝජනය 95%ක් පමණ වන බව ද ඇය පෙන්වා දුන්නාය.

මධ්‍යම පංතියේ සහ ඉහළ පංතියේ කාන්තාවන් සම්බන්ධයෙන් ගත් විට ‘සම්පත්‘ සහ ‘තීන්දු – තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවත් ඔවුන් සම්බන්ධයෙන් ඇත්තේ ‘සාර්ථකත්වය‘ සම්බන්ධ ගැටලු බවත් ආචාර්ය ගමගේ කීවාය.

උගත් කාන්තාවන් කාන්තාවන් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමෙන් ඔබ්බට ගොස් ආර්ථිය, බලශක්තිය ආදි විෂයන් ගැන ද කතා කළ යුතු බව අවධාරණය කළ ආචාර්ය ගමගේ සාමාන්‍ය පංතියේ කාන්තාවන් මුහුණ දෙන්නේ ‘වෙනස් ම‘ ගැටලු සහ අභියෝගවලට බව පෙන්වා දුන්නාය.

මේ සම්බන්ධයෙන් කොමිෂන් සභාව මුහුණ දෙන අභියෝග ගැන සඳහන් කරමින් ආචාර්ය ගමගේ කියා සිටියේ ‘කොමිෂන් සභාව සාමාන්‍ය පංතියේ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවලට අවධානය යොමු නොකළහොත් ‘එය මධ්‍යම හා ඉහළ පංතියේ කාන්තාවන් සම්බන්ධයෙන් පමණක් කටයුතු කරන ආයතනයක් විය හැකි‘ බවයි.

නීති තිබුණත් දේශපාලනයේ කාන්තා නියෝජනය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ – රෝහණ හෙට්ටිආරච්චි

කාන්තා දේශපාලන නියෝජනය සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සිය අදහස් ඉදිරිපත් කරමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේ, වර්තමානය විට නීතිමය වශයෙන් කාන්තා නියෝජනය සඳහා මැතිවරණ පනත් වල ප්‍රධාන කොටස් දෙකක් එක්වී ඇති බවයි. වෛද්‍ය සුදර්ශනී ප්‍රානාන්දුපුල්ලේ මහත්මියගේ යෝජනාව තෙවැනි යෝජනාව බවත්, ඊට පෙර පැවති දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සම්බන්ධ 2010 සංශෝධනයෙන් තවත් අවස්ථාවක් නිර්මාණය වූ බවයි.

මෑත කාලීනව ගත්විට දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට හඳුන්වා දුන් එක් යෝජනාවක් ලෙස  පළාත් පාලන ආයතනවල 25%ක ‘අනිවාර්ය කෝටාවක්‘ ලබා දීම සැලකිය හැකි බවත්, ඒ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී 23.8%ක් දක්වා කාන්තා නියෝජනය ඉහළ නංවා ගැනීමට අවස්ථාව උදා වූ බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය. මෙම 25%ක අනිවාර්ය කාන්තා නියෝජනය තහවුරු කිරීම මැතිවරණ කොමිෂමේ වගකීමක් වූ හෙයින් කොමිෂම පළාත් පාලන ආයතනවල 25%ක නියෝජනය ‘තහවුරු‘ කළ නමුත් තාක්ෂණික හා ප්‍රායෝගික හේතු මත ඇතැම් පළාත් පාලන ආයතනවල අනිවාර්ය 25%ක කෝටාව තහවුරු කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

2017 දී පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමේ දී ඒ ඒ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන අපේක්ෂක ලැයිස්තුව තුළ 1/6ක කාන්තා ‘කෝටාවක්‘ සහ පත් කිරීමේ 50%ක කාන්තා කෝටාවක් තහවුරු කරන සංශෝධනයක් ගෙන ආ නමුත් මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන් එහි සාර්ථක – අසාර්ථකභාවය හඳුනාගත නොහැකි වන බවත් සඳහන් කළ හෙට්ටිආරච්චි මහතා මෙම පනත් දෙකම සම්මත කර ගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලකිය යුතු දායකත්වයක් ලබා දුන් බව ද කීවේය.

‘ඇත්තටම පළාත් සභාවල කාන්තා නියෝජනය තහවුරු කිරීමේ සංශෝධන ගෙන ආවේ කාන්තා නියෝජනය තහවුරු කිරීමට නොවෙයි, මැතිවරණය කල් දමා ගැනීමටයි‘ යනුවෙන් ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

2010 දී සිදුකළ ‘දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනයේදී‘ දේශපාලන පක්ෂයක් ලියපදංචි කරන විට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ‘අවම වශයෙන් එක් කාන්තාවක්‘ හෝ ඇතුළත් කළ යුතු බවට සංශෝධනයක් ඉදිරිපත් වූ නමුත් තමා 2012 දී සිදුකළ නිරීක්ෂණයක් අනුව, එවකට පාර්ලිමේන්තුව නියෝජනය කළ දේශපාලන පක්ෂ හයක (06) තීන්දු ගන්නා ස්ථානවල ‘එක්ම කාන්තාවක් හෝ නැති‘ බව හඳුනා ගත් බව ද හෙළි කළේය. අදාළ සංශෝධනය අනුව මෙම තත්ත්වය අභියෝගයට ලක් කළ නොහැකි වූයේ ඒ වන විටත් එම දේශපාලන පක්ෂ ලියාපදිංචි කර තිබූ නිසා බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.

‘නමුත් ඉදිරියේදී දේශපාලන පක්ෂ ලියාපදිංචි කරන විට ඒක අනිවාර්යය වෙනවා‘ යැයි ද ඔහු සඳහන් කළේය.

සුදර්ශනී ප්‍රනාන්ද පුල්ලේ මහත්මිය ඉදිරිපත් කර ඇති යෝජනාවේ කොටස් දෙකක් ඇති බවත්, පාර්ලිමේන්තුටව් 30%ක කාන්තා නියෝජනයක් සහ ජාතික ලැයිස්තුවෙන් 50%ක කාන්තා නියෝජනයක් මේ හරහා ඉල්ලා ඇති බව ද රෝහණ හෙට්ටිආරච්චි මහතා කීවේය.

වර්තමානය වන විට ප්‍රායෝගිකව භාවිතයේ පවතින්නේ පළාත් පාලන ආයතනවල 25%ක කාන්තා නියෝජනය බව ද අනෙක් සියලු යෝජනා ‘සම්මත වූ යෝජනා‘ පවා මෙතක් ක්‍රියාත්මක කරවා ගත නොහැකි වූ බව ද රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වුව ද පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5%ක් තරම් ‘සුළු‘ අගයක් බව ද මෙය ලෝකය හා සලකන විට ‘පසුගාමී‘ තත්ත්වයක් බව ද පෙන්වා දුන් හෙට්ටිආරච්චි මහතා මේ පසුගාමී තත්ත්වය වෙනස් කිරීම දේශපාලන පක්ෂ, සිවිල් සමාජයේ සහ පොදු ජනතාවගේ වගකීමක් බව ද අවධාරණය කළේය.

කාන්තාවන් සැබවින්ම සවිබල ගැන්වීම අභියෝගාත්මකයි – සාමදානී කිරිවන්දෙණිය

කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කර තහවුරු කිරීම හා ඔවුන් සවිබල ගැන්වීම සඳහා ‘සීඩෝ‘ වැනි ජාත්‍යන්තර නීති, දේශීය නීති හා කාන්තා කාර්යංශය වැනි ආයතන ද ඇතුළත් සැලකිය යුතු යාන්ත්‍රණයන් නිර්මාණය වී තිබුණ ද එය ‘සැබවින්ම කාන්තාවන්‘ සවිබල ගැන්වීම සඳහා යොදා ගැනීම අභියෝගාත්මක බව සාමදානි කිරිවන්දෙණිය මහත්මිය සාකච්ඡාවට ආරම්භක ප්‍රවේශයක් ගනිමින් පෙන්වා දුන්නාය.

ජාතික තලයේදී කාන්තාවන් සවිබල ගැන්වීම සම්බන්ධ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන් නියෝජනය කරන ආයතන සමග සම්බන්ධ වීමට ප්‍රමාණවත් ව්‍යුහයක් නොමැති වූ බව කී කිරිවන්දෙණිය මහත්මිය කාන්තා කාර්යංශය විදේශ ආධාර ලබන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හෝ රාජ්‍ය යාන්ත්‍රණයට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී හැර සෙසු අවස්ථාවලදී කාන්තාවන් සවිබල ගැන්වීමේ කටයුතුවල නිරත කණ්ඩායම් සමග ඒකාබද්ධව, නිශ්චිත ලෙස කාන්තාවන් සවිබල ගැන්වීමේ යාන්ත්‍රණයට නායකත්වය දෙන ආයතනයක් ලෙස තමාට ‘ග්‍රහණය‘ නොවූ බව ද කීවාය.

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත තුළ යම්කිසි දේශපාලන වුවමනාවක් ද තිබෙන නමුත් ඒ පනත තුළින් පිටුවන කොමිෂන් සභාව හරහා කාන්තාවන් වෙනුවෙන් කටයුතු කිරීමේ දී ‘යම්කිසි‘ කාර්යභාරයක් ඉටුකර ගත හැකිවනු ඇතැයි ද කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කළාය.

මෙහිදී කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ එහි ක්‍රියාකාරීත්වය ගැන සිය අදහස් ඉදිරිපත් කළ කිරිවන්දෙණිය මහත්මිය මෙසේ ද කීවාය. ‘මම යෝජනාවක් කරන්න කැමතියි, මේ පනත හරහා ස්ථාපිත කරන කොමිෂන් සභාව බලගැන්වීමට කාන්තාවන් වෙනුවෙන් කටයුතු කරන දේශපාලන පක්ෂ, සංවිධාන ආදි සියලුම දෙනා එක්විය යුතුයි‘