සෞම්‍ය ලියනගේ කළේ හේතු පාඨයක් දික් ගස්සලා ඉදිරිපත් කිරීමක් - අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

සෞම්‍ය ලියනගේ ගේ කතාව ශාස්ත්‍රීය භාෂාවෙන් කරපු කතාවකටත් වඩා මට පෙනෙන විදියට නම් "හේතු පාඨ භාෂාවෙන්" කරපු එකක්. අර ලංකාවේ සම්මාන උළෙලවල් වලදී විනාඩියකින් දෙකකින් ඉදිරිපත් කරන හේතු පාඨයක්, විනාඩි දාහතරක් පහළොවක් දික් ගැස්සුවොත් ඇතිවන තත්ත්වය තමයි අපේ සෞම්‍යගේ කතාවෙන් පෙනුණේ.
මට මේ ගැන තියෙන්නේ ටිකක් මිශ්‍ර අදහසක්. මාලනී ෆොන්සේකා වගේ සුවිශාල චරිතයකගේ අවමගුලේදී එතන කෙරෙන කතා අතරින් එකක් බරින් වැඩි කතාවක් වුණාට කමක් නැහැ. ඒ අර්ථයෙන් සෞම්‍ය ලියනගේ එතැනදි බර කතාවක් කරන්න ගත්තු තීරණය පිළිබඳව මට ලොකු විවේචනයක් නෑ.
නමුත් ප්‍රශ්නය එන්නේ කතාව බර කිරීම සඳහා අනුගමනය කරන උපාය මොකක්ද කියන තැනදි. කතාවක් බරසාර කිරීම සඳහා බරසාර අදහස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බරසාර වචන පාවිච්චි කරන්නත් පුළුවන්. "හක්කෙ කෙලවරේ දත්" කියන එකටම "චාර්වක" කියලා කියන්න පුළුවන් වගෙයි.
බරසාර අදහස් කියල මෙතන කියන්නේ මේ සිද්ධියට අදාලව කිව්වොත් මාලිනී ෆොන්සේකා ගැන අපි ගොඩක් අයට මීට කලින් හිතිලා නොතිබුණු අලුත්, ඒ වගේම අපේ දැක්ම අවබෝධය පුළුල් කරන අදහස්. ඒවා සරල සුගම භාෂාවෙන් කියන්න පුළුවන්. බරසාර වචන කියල කියන්නේ ඇත්තටම කිව්වොත් දුර්ලභ, සමහර විට ශාස්ත්‍රීය, තවත් සමහරවිට සංස්කෘත ගතිය වැඩි, සාමාන්‍ය පොදු ජන ව්‍යවහාරයට දුරස් වචන.
ලංකාවේ අපේ ගොඩක් ඇකඩමික් අයගේ තියෙන පුරුද්දක් තමයි තමන්ගේ කතා සහ ලියවිලි අදහස්වලටත් වඩා වචනවලින් බර කරන්න ගන්න උත්සාහය. සමහර විට මේක කරන්නේ තියෙන සරල වචන වලටම අමාරු වචන එබ්බවීම මගින්. තවත් සමහර වෙලාවට මේක කෙරෙන්නේ කාටත් තේරෙන සරල දේවල්ම වියුක්ත න්‍යායන් හා න්‍යායික වචනවලින් හැඳින්වීම මගින්.
මේක හැමතිස්සෙම නරක දෙයක් නෙවෙයි. වචන පිළිබඳ කාරණය ගත්තොත් ඔය හේතු පාඨ වගේ දේවල් වලදී බර වචන ගොඩක් එක එක දිගට ලස්සනට අමුණලා ඉදිරිපත් කරනවා. එතකොට ඒකෙ තේරුමටත් වඩා වැඩි ගාම්භීර කාන්තියක් අහන් ඉන්න අයට දැනෙනවා. හේතු පාඨයක් ඉදිරිපත් කරන එකේ අරමුණ, හේතු දැක්වීමක් මගින් ගෞරව කිරීමනෙ. එ නිසා ඒ වගේ සංස්කෘත, ශාස්ත්‍රීය, විදග්ධ සිංහල වචන ගොඩක් ඒ විදියට ලස්සනට අමුණලා ඉදිරිපත් කරන එක ඒ වැඩේට ගැලපෙනව. හරියට යම් සරල අදහසක් වුනත් ඒක අමු සිංහලෙන් කියනවාට වඩා සංස්කෘත ශ්ලෝකයකින් කියද්දි ඒක අපිට වඩාත් ආකර්ෂණීය විදියට දැනෙනවා වගේ.
ඉතාමත්ම සරල අදහස්, න්‍යායන් අනුසාරයෙන් එහෙමත් නැතිනම් න්‍යායික වචන පාවිච්චි කරමින් විස්තර කරන එකත් ඒ වගේ දෙයක්. මම මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය තමයි කියන්න පුළුවන් හැම දෙයක්ම සාමාන්‍ය විදියට කියලා, බැරිම තැනක් ආවොත් පූර්ව පැහැදිලි කිරීමක් සහිතව න්‍යායක් පාවිච්චි කිරීම. ශාස්ත්‍රීය වචන භාවිතයේදි වුණත් මම නම් කරන්නේ "මෙන්න මේකයි මෙතන කියන්නේ, මේකට මෙන්න මේ වගේ ශාස්ත්‍රීය වචනයකුත් තියෙනවා" කියලා දෙපැත්තම ශේප් කරගන්න එකයි. එතකොට පොදු ජනයාට තමන්ගේ මට්ටමිනුත් ශාස්ත්‍රඥයින්ට ඒ ගොල්ලන්ගේ මට්ටමිනුත් ඒ කියන්න යන දේ තේරුම් ගන්න පුළුවන්. නමුත් මේ අදහසට විරුද්ධ අයත් ඉන්නවා. එයාල කියන දේ තමයි නිසි න්‍යායන් සහ ශාස්ත්‍රීය වචන භාවිත කළේ නැත්නම් ඒ කියන්න යන දේ හරියට සන්නිවේදනය වෙන්නේ නැහැ කියන එක. මම එහෙම හිතන්නේ නැහැ. නමුත් එහෙම හිතන අය ඉන්නවා.
මම තේරුම් අරන් ගෙන තියෙන්න ප්‍රමාණයට නම් සංකීර්ණ දේවල් වුනත් ගොඩක් වෙලාවට සරල විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම සරල දේවල් වුණත් යම් ගාම්භීරත්වයක් එක් වන පරිදි සංකීර්ණ විදිහට ඉදිරිපත් කරන්නත් පුළුවන්. විශේෂඥ වෛද්‍යවරු ජනමාධ්‍යවලට ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සුන්ට වැටහෙන විදියට සංකීර්ණ ලෙඩ රෝග විස්තර කිරීම පළමුවෙනි එකට උදාහරණයක්. යම් චිත්‍රපටියක් හෝ රඟපෑමක් හොඳයි කියලා කියන එකම ඊට වඩා ගාම්භීරව ශබ්ද රසයකුත් සමඟම හේතු පාඨ විදියට ඉදිරිපත් කරන එක දෙවෙනි එකට උදාහරණයක්.
මට තේරෙන විදියට අපේ හිතවත් සෞම්‍ය ලියනගේ කළේ හේතු පාඨයක් දික් ගස්සලා ඉදිරිපත් කිරීමක් වගේ දෙයක්.
සෞම්‍යගේ කතාව සම්පූර්ණයෙන් බැලුවම මට තේරුණු පළමු දේ තමයි ඒ කතාව ඉතාමත්ම සරල භාෂාවෙන් ඉදිරිපත් කළ හැකිව තිබුණු එකක් කියන එක. ඔය සම්මාන උළෙලවල් වලදී ඉදිරිපත් කරන හේතු පාඨ ඊට වඩා ගොඩක් සරල විදියට ඉදිරිපත් කරන්න පුළුවන් බව අපි කවුරුත් දන්නවනේ. ඒ වගේ තමයි මේකත්. මාලිනී ෆොන්සේකාගේ සම්මානනීය ජීවිත කාලයට ගැලපෙන හේතු පාඨයක් ඉදිරිපත් කරන්න සෞම්‍ය ලියනගේ සමහර විට හිතන්න ඇති.
සෞම්‍ය හිතුවේ හේතු පාඨයක් ඉදිරිපත් කරන්න නම් මට හිතෙන්නේ ඒ හේතු පාඨය දිග වැඩියි. එහෙම නැතිව සෞම්‍ය හිතුවේ ඇගේ සිනමා ජීවිතය ගැන විග්‍රහයක් සහිත කතාවක් කරන්න නම් නිසැකයෙන්ම ඒ කතාව මෙතනට ගැලපෙන්නෙ නෑ. ඒ කතාවම වගේ ඊට වඩා ගොඩක් සරල විදියට කියන්න තිබුණා.
| අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය