විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ලයනල් බෝපගේ (පළමු කොටස)

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් - ලයනල් බෝපගේ (පළමු කොටස)

පසුබිම

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා සංවර්ධනය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට නිදහසින් පසු කාල් පරිච්ඡේදය දක්වා දිවෙන අදියර කිහිපයක් හරහා විකාසනය වී ඇත. මෙම ක්‍රියාවලියේ ප්‍රධාන සන්ධිස්ථාන වන්නේ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1948 ඩොමීනියන් ලංකාවේ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1972 සහ 1978 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් ය. විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කල 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 21 වතාවක් සංශෝධනය කර තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට XVIIඅ පරිච්ඡේදය එකතු කිරීමෙන් පළාත් සභා පිහිටුවීම හරහා බලය බෙදා හැරීම හඳුන්වා දුන් 1987 දහතුන් වන සංශෝධනය, එසේ කරන ලද ඉතා වැදගත් වෙනස්කම් වලින් එකක් විය. ඉන්දු-ශ්‍රී ලංකා සාම ගිවිසුමට අනුව, මේ සංශෝධනය අවශ්‍ය වූයේ 'සියළුම පුරවැසියන්ට සමානාත්මතාවයෙන්, ආරක්ෂාවෙන් සහ සමගියෙන් යුතුව ජීවත් වෙමින්, සමෘද්ධිය ළඟා කර ගනිමින්, ස්වකීය අභිමතාර්ථයන් ඉටු කර ගත හැකි බහු-වාර්ගික, බහු-භාෂා සහ බහු-ආගමික බහුත්ව සමාජයක් ලෙස ශ්‍රී ලංකාවේ සමාජ ස්වරූපය ආරක්ෂා කිරීම සඳහා' ය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිවරයාට පුළුල් විධායක බලතල සහ වරප්‍රසාද ලබා දෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය යටතේ ආගමික නිදහස රක්ෂිත අයිතියක් වුවද, බුද්ධාගමට අග්‍රගණ්‍ය ස්ථානය ලබා දී ඇත. පුළුල් පරාසයකට අයත් මූලික අයිතිවාසිකම් සහතික කරන අතරම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සිංහල භාෂාව ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය භාෂාව ලෙස නම් කරන ලදුව, දෙමළ සහ මුස්ලිම් ජන කොටස්වලින් සමන්විත සැලකිය යුතු සුළුතර ජනගහනයක භාෂාව වූ දෙමළ භාෂාව ක්‍රියාත්මක ලෙස පසෙකට දැම්මේය. ව්‍යවස්ථාව, පාලක පැලැන්තියේ කොටස් වලින් සමන්විත වරප්‍රසාද ලත් සුළුතරයකට ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රතිලාභ සීමා කොට ඉංග්‍රීසි භාෂාව ද පසෙකට දැමීය.

ලෙනින් 1914 දී පැවසූ යමක් මෙහි දී සිහිපත් කිරීම වටී: “විවිධ ජාතීන්ට සාමයෙන් සහ නිදහසේ එකට ජීවත් වීම සඳහා, හෝ (ඔවුන්ට වඩාත් පහසු නම්) වෙන් ව විවිධ රජයයන් පිහිටුවීම සඳහා, කම්කරු පන්තිය විසින් සුරකිනු ලබන පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් අත්‍යවශ්‍ය වේ. කිසියම් ජාතියකට හෝ කිසියම් එක් භාෂාවකට වරප්‍රසාද නොදෙනු! ජාතික සුළුතරයක් සම්බන්ධයෙන් ගත් විට සුළු පීඩනයක් හෝ සුළු අසාධාරණයක් පවා සිදු විය යුතු නැත - කම්කරු පන්ති ප්‍රජාතන්ත්‍රවාදයේ මූල ධර්ම එවැනි ය.”

ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ එහි ඇති වැදගත්කම

ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු රටක් පාලනය කරන නීති මාලාවකි. මූලික නීතිමය ලේඛනයක් වන එය, ආණ්ඩුවක ව්‍යුහය, බලතල සහ කාර්යයන් ගෙන හැර දක්වයි. එය ආණ්ඩුව සහ එහි පුරවැසියන් අතර පවතින සම්බන්ධතාවය නිර්වචනය කරයි. එම නීති, සම්ප්‍රදාය මත පදනම් විය හැකිය; එසේ නැතහොත් නීති පද්ධතියක් හෝ නීති පද්ධති කිහිපයක් ලෙස ලියා තැබිය හැකිය. ඇතැම් රටවල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සාදන එවැනි නීති වෙනත් ඕනෑම නීතියක් මෙන් වෙනස් කළ හැකි සාමාන්‍ය නීති වේ. කෙසේ වෙතත්, බොහෝ රටවල, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරන නීතිවලට විශේෂ තත්වයක් ලබා දී ඇත.

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එය ලියා ඇති කඩදාසිය තරම් වත් නොවටිනා කොල කැබැල්ලක් ය" යන බලවත් කියමන ප්‍රසිද්ධ ප්‍රකාශනයකි. ලේඛනය පමණක් ගතහොත්, එහි අඩංගු මූල ධර්ම හෝ ඒ මූල ධර්ම ප්‍රායෝගික ලෙස සුරකින ආකාරය තරම් එම ලේඛනය වැදගත් නොවන බව එයින් ඇඟවෙයි. ආණ්ඩුව සහ පුරවැසියන් යන දෙපිරිස විසින් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල ධර්මවලට අඛණ්ඩව කැපවීමේ තිබෙන අවශ්‍යතාවය එය අවධාරණය කරයි. මෙම ප්‍රකාශනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කාර්යභාරය සහ වැදගත්කම අධික ලෙස සරල කිරීමක් ලෙස දැකිය හැකිය. පාලනය උදෙසා සැකිල්ලක් සපයන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේය යන කරුණ එය නොසලකා හරියි. ලේඛනයකට වඩා වැඩි යමක් නියෝජනය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සමාජයීය වටිනාකම්, අයිතිවාසිකම් සහ එහි පරමාදර්ශ කෙරෙහි අඛණ්ඩ කැපවීමක් මූර්තිමත් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යහපත් වන්නේ එය ප්‍රායෝගික ව යොදා ගන්නා තරමට පමණි. එක්සත් ජනපදය වැනි රටවල දැන් සිදු වෙමින් පවතින්නාක් මෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත මූල ධර්ම පිළි නොගතහොත්, ඒ ලේඛනය නොවටිනා බවට පත් විය හැකිය. හමුදාව සහ/හෝ අධිකාරවාදී ප්‍රභූ පැලැන්ති ආණ්ඩු පෙරලා දැමූ විට, එසේ නැතහොත් ආඥාදායකයන් සහ ඒකාධිපතියන් මැතිවරණ ජයග්‍රහණය කර බලය ලබා ගත් විට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හුදෙක් කඩදාසි කැබලි බවට පත් විය හැකිය.

ජනතා හිමිකම් අන්තර්ගත කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වැනි මූලික මූල ධර්ම සහ වටිනාකම් අන්තර්ගත කර ගනියි. උදාහරණයක් ලෙස, විජිත අතර දීර්ඝ සාකච්ඡා සහ සම්මුති ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වූ ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, එහි නිර්මාතෘවරුන්ගේ වටිනාකම් සහ අපේක්ෂාවන් පිළිබිඹු කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අගය රඳා පවතින්නේ පාලන ක්‍රමය උදෙසා සැකිල්ලක් ස්ථාපිත කිරීමට, පුද්ගල අයිතිවාසිකම් සුරැකීමට සහ සමාජයේ සියළු ජන වර්ග උදෙසා ස්ථාවර පදනමක් සපයන්නට එහි ඇති හැකියාව තුළ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ප්‍රායෝගික භාවිතාවේ වැදගත්කම සහ එහි පරමාදර්ශ කෙරෙහි පවතින අඛණ්ඩ කැපවීම ප්‍රමාණවත් ලෙස ඉස්මතු කොට දැක්විය නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු වෙනස් නොවන ලේඛනයක් නොවේ. එය විකාසනය වන සමාජයීය අවශ්‍යතා සහ වටිනාකම් පිළිබිඹු කරන පරිදි වෙනස් කළ හැකි ගතික ලේඛනයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය: ජාත්‍යන්තර අත්දැකීම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය කිරීම, බහු-අදියර ක්‍රියාවලියක් හා සම්බන්ධ වෙයි. රාජ්‍ය බලය උසුලන අය දරන වරප්‍රසාද සහ පරදු මත පදනම් ව, මේ සම්බන්ධයෙන් විවිධ රටවල් ගෙන ඇති ප්‍රවේශ වෙනස් වේ. ඔස්ට්‍රේලියාවේ, මෙම ක්‍රියාවලියට එවකට ස්වයං-පාලනයට නතුව තිබුණ බ්‍රිතාන්‍ය විජිත ලෙස පැවති ප්‍රාන්ත හයේ නියෝජිතයෝ සම්බන්ධ වූහ. එය කෙටුම්පත් කිරීම සඳහා ඔවුහු සම්මේලන මාලාවක් තුළ ඒකරාශී වූහ. පසුව ජනමත විචාරන වල දී අනුමැතිය සඳහා ජනතාව වෙත ඉදිරිපත් කරන ලද මෙම කෙටුම්පත, අවසානයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. ඔස්ට්‍රේලියානු ජාතියේ උපත සලකුණු කරමින් 1901 ජනවාරි 1 වන දා සිට ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාව ක්‍රියාත්මක විය. ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව පිහිටුවන ලද අතර, විජිත නිල වශයෙන් ප්‍රාන්ත රාජ්‍ය බවට පත් විය.

සෝවියට් සංගමය, චීනය සහ වියට්නාමය

එවකට සෝවියට් සංගමයේත්, පසුව චීනයේ සහ වියට්නාමයේත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලි සියල්ලම ‘සමාජවාදී' මතවාදය තුල මුල් බැස තිබුණි. එහෙත්, ඒ රටවල ක්‍රියාවලි‍ ඒවායේ පැවති සන්දර්භ සහ නිශ්චිත ප්‍රවේශ අනුව එකිනෙකින් වෙනස් විය. සෝවියට් සංගමයේ ක්‍රියාවලියට සෝවියට් උපදේශකයින්ගේ සහ නායකයින්ගේ දායකත්වය සහිතව, නිල නොවන සෝවියට් රාජ්‍යයක සැකිල්ලක් තුළ ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම ඇතුළත් විය. අනෙක් අතට, සෝවියට් සංගමය නැගෙනහිර යුරෝපයේ, නැගෙනහිර ආසියාවේ සහ අභ්‍යන්තර ආසියාවේ පවා රටවල් ද ඇතුළුව එහි පරිවාරක රාජ්‍යයන්හි ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සහ සම්මත කිරීමේ දී (ස්වදේශීය පක්ෂ නායකයින්, නීති විශාරදයින් සහ සෝවියට් උපදේශකයින් වැනි) බහුවිධ ක‍්‍රියාකාරිකයන් සම්බන්ධ කර ගත් එම ක්‍රියාවලිය ධූරාවලි තර්කනයක් අනුගමනය කලේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් බොහෝ විට පාර්ලිමේන්තු සැසි වාර අතර කටයුතු හැසිරවීම සඳහා ස්ථාවර ආයතන ද සහිතව, පාර්ලිමේන්තු ආයතන උත්තරීතර සංස්ථා ලෙස ස්ථාපිත කරන ලදි. හැම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකම ජනතාව වෙත පරමාධිපත්‍යය ආරෝපණය කල ද, ප්‍රකට අඩුපාඩුව වූයේ සීමිත ජනතා සහභාගීත්වයයි. පක්ෂය සහ පක්ෂ උපදේශකයෝ බොහෝ දුරට සමස්ත ක්‍රියාවලියම පාහේ පාලනය කළහ.

චීනයේ, 1954 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී විවිධ සමාජ කණ්ඩායම්වල පුළුල් නියෝජනයක් ඇතුළත් විය. ජාතික ආණ්ඩුව සඳහා සැකිල්ලක් ස්ථාපිත කිරීමේ ආරම්භක පියවර වූයේ ආණ්ඩුවට උපදෙස් දීම සඳහා බහු-පාක්ෂික සම්මේලනයක් ලෙස චීන මහජන දේශපාලන උපදේශක සභාව පිහිටුවීමයි. ව්‍යවස්ථාව පක්ෂයේ මතවාදය සහ ඉලක්ක පිළිබිඹු කරන බව සහතික කරවමින් චීන කොමියුනිස්ට් පක්ෂය අවසානයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය මෙහෙයවූයේය. ජාතික මහජන කොංග්‍රසයේ පළමු මැතිවරණයට, එක්සත් පෙරමුණු ප්‍රවේශයක් පිළිබිඹු කරමින්, පක්ෂ සාමාජිකයින් සහ පක්ෂයේ නොවන සාමාජිකයින් ඇතුළු විවිධ පසුබිම්වල සාමාජිකයන් සහභාගි වූහ. 1954 දී ප්‍රථම ව්‍යවස්ථාව සම්මත කළේ මෙම සම්මේලනයයි.

වියට්නාමයේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය කොමියුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන ලද අතර, මහජන උපදේශනය සහ සහභාගීත්වය අතින් එය වැඩිදියුණු ප්‍රයත්නයන් දරා තිබේ. වියට්නාමයේ ව්‍යවස්ථා සම්පාදන බලය පවතින්නේ රටේ උත්තරීතර ආයතනය වන ජාතික මන්ත්‍රණ සභාව අතයි. එයට ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සහ සංශෝධනය කිරීම යන දෙකම කළ හැකිය. සැලකිය යුතු පාලන බලයක් පවත්වා ගනිමින් වියට්නාම කොමියුනිස්ට් පක්ෂය මහජන උපදේශනය සහ සහභාගිත්වය සහතික කිරීමට උත්සාහ දරා ඇත. සමාජයේ සජාතීයබව බව හේතුවෙන් වියට්නාමය ඒකීය රාජ්‍යයක් ලෙස පවතින අතර, ආණ්ඩුව සහ අධිකරණය ජාතික මන්ත්‍රණ සභාවට වගකිව යුතු ද, වග විය යුතු ද වේ.

දකුණු අප්‍රිකාව, නේපාලය සහ චිලී රට

දකුණු අප්‍රිකාව, නේපාලය සහ චිලී යන රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලි සඳහා  විස්තීර්ණ උපදේශන ක්‍රියාමාර්ග ඇතුළත් විය. එහෙත්, භාවිතා කල විශේෂ විධික්‍රම සහ සහභාගීත්ව මට්ටම් සැලකිය යුතු ලෙස වෙනස් විය. දකුණු අප්‍රිකාවේ ක්‍රියාවලිය අවධානය යොමු කළේ මාර්ගෝපදේශ මූල ධර්ම ස්ථාපිත කිරීම ද ඇතුළුව සියළු දෙනා ඇතුල් කර ගන්නා සාකච්ඡා සහ පුළුල් ව පාර්ශව කරුවන් සහභාගි කර ගැනීම වෙත යි. මෙම ක්‍රියාවලිය වර්ණ භේදවාදයේ සිට ප්‍රජාතන්ත්‍රවාදය වෙත මුළුමනින් සංක්‍රමණය වන ගමනේ කොටසක් විය. එය ආරම්භ වූයේ අවසාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අන්තර්ගතයට මග පෙන්වූ අනිවාර්ය ව්‍යවස්ථාදයක මූල ධර්ම 34 ක් ස්ථාපිත කිරීමෙනි. පුළුල් උපදේශනවල දී දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන සහ ප්‍රජා කණ්ඩායම් ද ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ වූහ. මෙම ක්‍රියාවලියේ අරමුණ වූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ දී සහ සාකච්ඡාවට ලක් කිරීමේ දී සමාජයේ විවිධ කොටස්වල නියෝජනය සහතික කරමින්, සියළු දෙනා ඇතුළත් කර ගැනීම යි.

නේපාලයේ, මෙම ක්‍රියාවලියට ව්‍යවස්ථාදායක සභාවක් සහ විවිධ උපදේශන යාන්ත්‍රණ ඇතුළත් විය. එහෙත් සම්මුතිය සහ නියෝජනය සාක්ෂාත් කර ගැනීමේ දී එය අභියෝගවලට මුහුණ දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය රාජාණ්ඩුවක සිට ෆෙඩරල් ජනරජයක් දක්වා වන පශ්චාත් ගැටුම් සංක්‍රාන්ති සමයක් සමග බැදී පැවතිනි. ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවක් තෝරා පත් කර ගත් නමුත් එම ක්‍රියාවලිය අභියෝගවලට සහ ප්‍රමාදයන්ට මුහුණ දුන්නේය. මහජන සාක්ෂි විමසීම්, සිවිල් සමාජය සමඟ සම්බන්ධ වීම සහ පාර්ශව කරුවන් සමඟ පවත්වන උපදේශන ඇතුළු විවිධ උපදේශන යාන්ත්‍රණ යොදා ගන්නා ලදී. එහෙත්, විවිධ දේශපාලන හා සමාජ කණ්ඩායම් අතර පූර්ණ නියෝජනයක් සහ එකඟත්වයක් ඇති කර ගැනීම අභියෝගාත්මක බව සනාථ විය.

චිලි රටේ මෙම ක්‍රියාවලිය මුලින් පොදු ජනමත විචාරණයක් මගින් මෙහෙයවනු ලැබුණි. එයට ව්‍යවස්ථාදායක සම්මේලනයක් සහ පසුව විශේෂඥ කමිටු හා ව්‍යවස්ථා සභාවක් සහිත බහු-අදියර ක්‍රියාවලියක් ඇතුළත් විය. පුරවැසි සහභාගීත්වය සහ ප්‍රභූ පැලැන්ති එකඟත්වය ගොඩ නැගීමේ දී මෙම ක්‍රියාවලිය සාර්ථකත්වයන් ද, අසාර්ථකත්වයන් ද අත්වින්දේ ය. පුරවැසි සහභාගීත්වය ප්‍රධාන අංගයක් වූ නමුත් එම ක්‍රියාවලිය ප්‍රභූ පැලැන්තියේ එකඟතාවයේ සහ දේශපාලන එකඟතාවයේ ඇති වැදගත්කම ඉස්මතු කළේය. චිලී අත්දැකීම දේශපාලන ප්‍රභූ පැලැන්තීන් අතර විශ්වාසය ගොඩ නැගීමේ වැදගත්කම, ව්‍යවස්ථා සම්පාදනය කෙරෙහි ඓතිහාසික සන්දර්භ පවත්වන බලපෑම සහ පුරවැසි සහභාගීත්වය සහ උපදේශනය උදෙසා ශක්තිමත් යාන්ත්‍රණවල තිබෙන අවශ්‍යතාවය පිළිබඳ වටිනා පාඩම් ඉදිරිපත් කරයි.

ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද්විතීය තත්වයක් උසුළයි: එය අනෙකුත් නීති මෙන් සංශෝධනය කළ නොහැකිය. උත්තරීතර නීතියක් වන එය අනෙක් නීතිරීති අභිබවා යයි. 1901 ට පෙර, වර්තමාන ඔස්ට්‍රේලියානු රාජ්‍යයන් එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වෙනම පැවති  විජිත විය. ෆෙඩරේෂනයක් තුල විජිත එකට එක් වන්නට තීරණය කළ විට, ජාතිය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ව්‍යවස්ථා සම්මේලනවලට සහභාගී වීමට හැම විජිතයකින් ම නියෝජිතයින් තෝරා පත් කර ගන්නා ලදි. පසුව, හැම විජිතයක ම පැවැත්වූ ජනමත විචාරණයක දී කෙටුම්පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ ඡන්ද විමසීමකින් අනුමත කර ගන්නා ලදි. ෆෙඩරල් ආණ්ඩුවේ ව්‍යුහය (එනම්, කොමන්වෙල්ත් ආණ්ඩුව, ජාතික, හෝ මධ්‍යම ආණ්ඩුව) ගෙන හැර දක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කොමන්වෙල්ත් ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය අතර පවතින සම්බන්ධතාවය නිර්වචනය කරයි.

ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් වන්නේ පාර්ලිමේන්තුවට සාමාන්‍ය නීතිරීති සංශෝධන පැනවීමෙන් වෙනස් කළ හැකි වුවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනස්කම් කිරීම සඳහා එයට කළ හැක්කේ අදාළ යෝජනාවලට මුල පිරීම පමණක් වන බවයි. මුලදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දී ඔස්ට්‍රේලියානු ජනතාවගේ අනුමැතිය තීරණාත්මක පියවරක් විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය නිශ්චිත ක්‍රියා පටිපාටි ද එය ගෙන හැර දක්වයි. කෙසේ වෙතත්, ඇතැම් බටහිර රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙන් නොව, ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල, අයිතිවාසිකම් කෙටුම්පතක් (a Bill of Rights), එනම්, පුරවැසියා භුක්ති විඳින අයිතිවාසිකම්  ලැයිස්තුවක්, අඩංගු නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ යෝජනාවක් ආරම්භ වන්නේ, ඕනෑම මන්ත්‍රීවරයෙකු හෝ සෙනේට් සභිකයෙකු විසින් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයට හෝ ඉහළ මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතකිනි. වෙනත් ඕනෑම පනත් කෙටුම්පතකට සමාන ලෙස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ පනත් කෙටුම්පතක් හැම මන්ත්‍රණ සභාවක දී ම එක සමාන ක්‍රියා පටිපාටි අනුගමනය කරයි. එසේ නමුත් එහි වැදගත් විශේෂත්වයක් වන්නේ එහි තුන් වන කියවීම 'නිරපේක්ෂ බහුතරයකින්' සම්මත කළ යුතු වීමයි; එනම්, මුළු මන්ත්‍රණ සභාව සමන්විත කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාවෙන් අඩකට වඩා ඊට එකඟ විය යුතු වීමයි. අනෙකුත් පනත් කෙටුම්පත් සඳහා අවශ්‍ය වන්නේ 'සරල බහුතරයක්', එනම්, ඒ අවස්ථාවේ ඡන්දය දෙන සාමාජිකයින්ගෙන් බහුතර‍යකගේ එකඟතාවය පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙන් ම සම්මත වූ විට, නිශ්චිත කාල රාමුවක් තුළ ඔස්ට්‍රේලියානු ජනතාවගේ කැමැත්ත විමසීම සඳහා ජනමත විචාරණයකට ඉදිරිපත් කරනු ලැබේ.

ජනමත විචාරණය සාර්ථක වීමට නම්, යෝජනාව රට පුරා ඡන්දදායකයින්ගෙන් බහුතරයක් මෙන්ම ප්‍රාන්ත රාජ්‍ය බහුතරයක (එනම්, අවම වශයෙන් ප්‍රාන්ත හතරක) ඡන්දදායකයන් බහුතරය විසින් ද අනුමත කළ යුතුය. යෝජනාවක් සියළු ප්‍රාන්තවලට නොව, නිශ්චිත ප්‍රාන්තයකට පමණක් බලපාන්නේ නම්, එයට එම නිශ්චිත ප්‍රාන්තය තුළ බහුතරයේ අනුමැතිය ද ලැබිය යුතුය. 1901 සිට, කොමිෂන් සභා, සම්මේලන, සම්මන්ත්‍රණ සහ තේරීම් කමිටු ඇතුළු නිල ආයතන කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාලෝචනයට ලක් කර ඇත. එහෙත්, පාර්ලිමේන්තුව සම්මත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනා හතළිස් පහෙන් ජනමත විචාරණ වලදී ජයග්‍රහණය කර ඇත්තේ අටක් පමණි.

ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රමයේ ඇතැම් කේන්ද්‍රීය ලක්ෂණ ව්‍යවස්ථාවේ දක්වා නොමැති නමුත් ඒවා සිරිත් විරිත් සහ සම්ප්‍රදායයන් මත පදනම් වේ. වැදගත් පරිපාලන හා ප්‍රතිපත්තිමය තීරණ ගැනීමෙන් ඵලදායී ලෙස ජාතියට නායකත්වය දෙන අගමැතිවරයාගේ සහ කැබිනට් මණ්ඩලයේ කාර්යභාරය මෙයට ඇතුළත් වේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 'පාර්ලිමේන්තුව වෙන අන්දමකට ඉඩ සලසා දෙන තුරු' තාවකාලික විධිවිධාන පනවයි. පාර්ලිමේන්තුව මෙය සිදු කරන්නේ පසුකාලීන ව නීති සම්පාදනය කිරීමෙනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු මහාධිකරණය වගකිව යුතු නමුත් එය උපදේශාත්මක අදහස් ලබා නොදේ. විශේෂ විධිවිධානවල අර්ථය සහ යෙදුම පිළිබඳව පවතින මතභේද සමථයකට පත් කිරීමට පමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලියන අවස්ථාවේ අපේක්ෂා නොකල ප්‍රවර්ධනයන් හේතුවෙන් ද එවැනි අර්ථ නිරූපණයන් අවශ්‍ය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානවලට අදාළ නිශ්චිත නඩු සම්බන්ධයෙන් මහාධිකරණය තීන්දු ලබා දෙයි.

මතු සම්බන්ධයි.

Lionel Bopage 1

| ලයනල් බෝපගේ

2025 ජූලි 21 වන දා