මැතිවරණයකදී මිනිසා තුළ පවත්නා ආවේනික බය අවියක් සේ හැසිරවීමේ නවතම භාවිතාව 

ai-&-election
  • කෘතීම බුද්ධිය පාදක දුස්තොරතුරු ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රියාවලිය වෙත කළහැකි බලපෑම පිළිබඳ කෙටි විග්‍රහයක්

''Enemy of the State'' යනු වසර  1998 දී නිෂ්පාදනය වූ කදිම චිත්‍රපටයකි. මේ එහි එන ප්‍රකට දෙබසක්. 'The only privacy left is inside of your head' මෙහි වරනගන අදහස් ගොන්නක් තිබෙනවා. ප්‍රමුඛතම අදහස තමයි දැනට ලෝකයේ විවිධ අයුරින් ප්‍රතිෂ්ඨාපිත ආවේක්ෂණ (surveillance) ක්‍රමවේද නිසා අපි අනාරක්ෂිත බව. අන්තිමේදී අපේ ඔලුවේ තියෙන දේ පමණයි සුරක්‍ෂිත. අපි දිවිගෙවන්නේ මෙහෙම ලෝකයක. David Marconi මේ චිත්‍රපටයේ තිරකතාව ලියන්නේ මිට අවුරුදු 27 කට පෙර බවත් අමතක කරන්න එපා.

දැන් අපි තවත් බොහෝ දේ අලුතෙන් ඉගෙන ගනිමින් ඉන්නවා. එහි නවතම සාකච්ජාව කේන්ද්‍රගත වෙන්නේ Artificial Intelligence (AI) හෙවත් කෘතීම බුද්ධිය වටා. AI ආක්‍රමණය නොකරන ලද ක්‍ෂේත්‍රයක් නැති තරම්. මැතිවරණ, ඒ ලැයිස්තුවේ තියෙන්නේ ඉතාම ඉහළින්. ජනතා පරමාධිපත්‍යය පිළිබඳව අපි හිතන්නේ බොහොම උත්තරීතර සංකල්පයක් ලෙස. ඒත් එකී ජනතා පරමාධිපත්‍යය  AI මඟින් අනගි නිර්මිත එකක් බවට පත්කිරීමේ ඇති හැකියාව පහසුවෙන් බැහැර කරන්න බැහැ. සැබවින්ම AI ප්‍රජාතන්ත්‍රවාදය නැවත නිර්වචනය කරනවා. නමුත් භයානකම දේ පරමාධිපත්‍යය වැනි එකක් යම් ආකාරයකට නිර්මිත  (Fabricated) එකක් බවට පත්කිරීමට AI වලට ඇති හැකියාව පාලනය කිරීමට ඇති අමාරුකම.

මුළු ලෝකයම AI වෙත නතුවෙද්දී අපි මොකද කරන්නේ. අඩු තරමින් මැතිවරණ ආශ්‍රිතව නිෂ්පාදනය වන දුස්තොරතුරු ප්‍රමාණය හෝ නිවැරදි වටහා ගෙන අපිට පුලුවන්ද යම් තරමකට නිශ්චිතව මුලාශ්‍ර සහිතව හෙළිදරව් කරන්න (Debunk) කරන්න . මෙය පහසු වැඩක් නොවෙයි.

කෙසේවෙතත් මෙරටේ පැරැන්නන් අතර ඇති කියමනකුත් සිහි කරන්න ඕන. ඒ තමයි 'අපි යක්කුන්ගෙනුත් වැඩ ගත්ත ජාතියක්'' ය කියන එක. අවශ්‍යමනම් AI යකෙක් කියල හිතල වැඩ ගන්නත් පුළුවන්. හැබැයි ඒකටනම් ගෝලීය සංදර්භයක ඉඳගෙන තමයි සැළසුම් හදන්න වෙන්නේ. AI වල බලපෑම මැතිවරණ සඳහා විවිධ ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්. හරිම සරල අර්ථයෙන් දැක්වුවහොත් ඕනෑම ප්‍රබල දේශපාලන පක්‍ෂයක් හෝ අපේක්‍ෂකයෙක් ඕනෑම මොහොතක පරාජය වෙන්න පුළුවන්.

එවැනි අනපේක්‍ෂිත යමක් සිදුවුනා ස්ලොවැක් පාර්ලිමේන්තු මැතිවරණයේදී. එය පැවැත්වූයේ වසර 2023 දී. කරටකර පැවැත්වුණු මැතිවරණයක් මේ. මත සමීක්‍ෂණ කිහිපයක් මඟින් තහවුරු කලේ Progressive Slovakia  පක්‍ෂය (Progresívne Slovensko) අවම පරතරයක් තුළ ජයගනු ඇති බව.  ඒත් සියලු ජයග්‍රාහී අපේක්‍ෂාවන් වෙනස් කරන්න පුළුවන් වුනා  “Deepfake Audio” එකකට. ඩොලර් මිලියන ගණන් වැය කරලා මාස දෙකක් විතර  කරන්න ඕන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක් පාර්ලිමේන්තු  මැතිවරණයක් කියන්නේ. ඒත් අවසානයේදී ඉරණම තීන්දු කලේ විනාඩි 02 තත්පර 13 ක් වැනි කෙටි වේලාවක් තුළ ව්‍යාජ ලෙස නිෂ්පාදනය කරන ලද හඬ පටයක්. Slowak බසින් නිර්මිත මෙහි අවධාරණය කරන්නේ Michal Šimečka  ඒ කියන්නේ Progressive Slovakia ලිබරල් පක්‍ෂයේ නායකයා   මාධ්‍යවේදියෙක් සමඟ සිදුකරන සාකච්ජාවක්. ඇත්තටම ජන්ද මිලට ගන්න පුළුවන් ආකාරය ගැන සතර කන් මන්ත්‍රණයක්. නිහඬ කාලයේදී සිද්ධ වුනු මේ සාකච්ජාවේ ඇත්ත කරුණු සත්‍යාපනය කරන්නන්  (Fact Checkers) අනාවරණය කරගන්න කොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි (AI වලට ව්‍යාජ Fact Checkers ලාත් නිර්මාණය කරන්න පුළුවන්). ඉතිං අවසානයේදී Progressive පක්‍ෂය විපක්‍ෂය බවට පත්කරන්න එරටේ ජනතාව තීන්දු කරල.

මැතිවරණයක් කියන්නේ ඉතා විධිමත් සංවිධානාත්මක මෙහෙයුමක්. රටක මැතිවරණ ක්‍රියාවලියක් කියන්නේ එරටේ අදාළ වර්ෂයේ පවත්වන විශාලතම ප්‍රවර්තන මෙහෙයුම (The Biggest Logistical Operation). එවැනි පුළුල් රාජ්‍ය මට්ටමේ යාන්ත්‍රණයක් පවා අනතුරේ හෙලීමට පුළුවන් සමහර විට තත්පර 30 විඩියෝවකට. එහෙමත් නැත්නම් වැරදි තොරතුරු කිහිපයකට. මෙහිදී බලපෑ ප්‍රධානම කරුණු දෙක තමයි  වේගය සහ නිර්නාමිකත්වය  (Speed & anonymity) වගේම අවම පිරිවැය සහ ඉහළ අවදානම (Low cost, high risk) කියන සංකල්පය. අනන්‍යතාවය සඟවා ගනිමින් අධි වේගයෙන් වෛරල් කල හැකි යමක් AI මඟින් නිෂ්පාදනය කල හැකියි. ඒ වගේම ඊට වැය වන්නේ ඉතා අඩු පිරිවැයක්.

මෙතැනදී අපි විමසිය යුත්තේ මැතිවරණයක කුමන අදියර තුළදී AI Generated අන්තර්ගතයන් වඩාත් බලපෑම්සහගත විය හැක්කේ ද යන කරුණ.  මැතිවරණ නිරීක්ෂකයෙක් ලෙස මගේ අදහස නම් මැතිවරණයක සෑම ක්ෂේත්‍රයක්ම අවදානම් සහගතයි. එහෙත් දරුණුතම බලපෑම එල්ල කලහැක්කේ නිහඬ කාලයකදී සහ මැතිවරණ දවසේදී. නිහඬ කාලයට අයත් පැය 24 හෝ 48 අවසන් වන්නේ ජන්දදායකයන් ජන්දපොළවල් කරා යොමු වීමෙන්. එබැවින් මේ සීමිත කාලය අභියෝගයක්. අනෙක ලංකාව වගේ බොහෝ රටවල නිහඩ කාලය කියන්නේ නෛතිකව වෙනම ම හඳුනාගත් විශේෂ මැතිවරණ කාලයක් නොවේ. මේ අනුව Campaign Period, Silence / Pre-Election Day, Election Day සහ  Counting & Results Phase  කියන ඒවා අතරින් අවසන් අදියරේ එනම් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන අවසන් අදියරේ  සිදුවන වැරදි ප්‍රචාර නිසා බොහෝ දුරට සමාජ කැළඹිලි වුවත් ඇතිවිය හැකියි.

ඒ වගේම තමයි මැතිවරණය දවසේ සිදුකල හැකි හානිය. නිදසුනක් ලෙස කරටකර සටනක් ඇති ප්‍රදේශයක යම් දේශපාලන පක්‍ෂයකට හෝ අපේක්ෂකයෙකුට වැඩි වාසිසහගත තත්වයක් ඇති ජන්ද මධ්‍යස්ථානයක ජන්ද විමසීම අවලංගු බවත්, අදාළ ජන්දදායකයන් සියලු දෙනා වෙනත් ජන්ද මධ්‍යස්ථානයක් වෙත ප්‍රවේශ විය යුතු බවත් බළධරයෙකුගේ සැබෑ හඬ ව්‍යාජ ලෙස යාන්ත්‍රිකව  අනුකරණය කරමින් ක්‍ෂණික පණිවුඩයක්  (Fake “hot mic” recordings using voice cloning) නිර්මාණය කලොත් කොහොම වෙයිද. මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ හඬ උපයෝගී කරගැනීම බුලත් විටක් හදාගන්න අවශ්‍ය අඩුමකුඩුම එකතු කරගන්නවාටත් වඩා දැන් පහසුයි. ප්‍රතිවාදී අපේක්‍ෂකයාට අවශ්‍ය වන්නේ ජන්ද කිහිපයක් එහාමෙහා කිරීම පමණයි. ඔබට මතකනම් මෙරටේ අවසන් වරට එනම් 2024 වර්ෂයේ පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී  කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  නියෝජනය කරමින් ජයගත් අපේක්‍ෂකයා සහ ඊළඟට මනාප ගත් අපේක්‍ෂකයා අතර තිබුණු පරතරය ජන්ද 119 ක් පමණයි.

මැතිවරණ ක්‍රියාවලියකදී AI මඟින් නිර්මිත දුස්තොරතුරු වලින් වන හානිය සහ එය මැඩ පවත්වා ගන්නේ කෙසේද යන්න ගැන වැඩකරන ආයතන බොහොමයක් තිබෙනවා. International IDEA, National Democratic Institute, The Carter Center සහ . E.U. Election Observation Missions (EUEOMs) ඒ වගේ ආයතන කිහිපයක්. ශ්‍රී ලංකාවේ හැෂ්ටැග් ජෙනරේෂන් වැනි ආයතන කාලයක් මේ ගැන ඉතා සක්‍රියව කටයුතු කළා. එපමණක් නොවෙයි තාක්‍ෂණික සහ පර්යේෂණ ආයතන රාශියක් තිබෙනවා කෘතීම බුද්ධිය පාදක කරගෙන නිර්මාණය වන (AI Generated) මැතිවරණ දුස්තොරතුරු ගැන කතා කරන.

Stanford Internet Observatory, Oxford Internet Institute, Atlantic Council – Digital Forensic Research Lab, Brookings Institution,  Meedan, Global Disinformation Index, Poynter Institute – International Fact Checking Network (IFCN) වැනි ආයතන නිදසුනක් සේ දක්වන්න පුළුවන්.

කෘතීම බුද්ධිය මෙහෙයවා නිර්මාණය කරන ලද අන්තර්ගතයන්ගෙන් යුත් දුස්තොරතුරු පිළිබඳව ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ ලියැවුණු පොත්පත් වගේම වාර්තා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා අතරින් එකක් තමයි  Foolproof: Why We Fall for Misinformation and How to Build Immunity (2023) by Sander van der Linden කියන්නෙ. මෙහි එන ප්‍රකට කියමනක් තිබෙනවා. ''At a basic cognitive level, we are all susceptible to misinformation.” කියල. ඇත්තටම මේ පොතේ කියන අදහස් වල සාරය තමයි දුස්තොරතුරු ක්‍රියාකරන්නේ වෛරස් එකක් වගේ කියන අදහස. එමඟින් අපගේ මනස ආසාදනයට ලක්කරන බවයි අවදාරණය කරන්නෙ (misinformation as acting like a virus: it “infects our minds … altering our beliefs and replicating at astonishing rates''). මෙතැනින්ම පේනවා නේද ජන්දදායකයා වෙත කරන බලපෑම පහසුවෙන් මැඩ පවත්වන්න බැහැ කියන එක.

දැන් අපි ලංකාවේ සංදර්භය ගැන හිතුවොත් මෙතෙක් නිමාවූ මැතිවරණ කිහිපය සහ වසර 2015න්  පසුව පැවැත්වූ මැතිවරණ තුළදී AI generated Misinformation මැතිවරණ ප්‍රතිඵලයක් වෙනස් කරන මට්ටමට සිදු වෙලා නැහැ. එහෙත් අනාගතය පූර්ව සංදර්භ වාර්තාව සමඟ ගලපන්න බැහැ . මෙතෙක් සිදුවුනේ මැතිවරණ කොමිෂන් සභාවේ රැකියා දෙන බව සහ මහජන මත සමීක්‍ෂණ ඔස්සේ නිකුත් කොට ඇති ප්‍රතිඵල වගේම EU වැනි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් කියන ලද දේ යැයි කරුණු වෙනස් කොට හෝ අලුතෙන් අසත්‍ය තොරතුරක් පළ කිරීම. එහෙත් අපි සූදානම් වෙන්න ඕන නරකම තත්වයට. පසුගිය ජනාධිපතිවරණයේදී බොහෝවිට සිදුවුනේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් තමන් සතුව ප්‍රතාපවත් පෞරෂයක් ඇතිබව තහවුරු කිරීම සඳහා AI භාවිත කරමින් තමන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට අදාළ නිර්මාණාත්මක හැඩතල භාවිත කරමින් පෝස්ටර් ආදිය නිර්මාණය කරගැනීම. ඒවා එතරම් හානිකර දේ නොවෙයි. නමුත් එමඟින් පවා ජන්දදායකයන් වෙත තමන් හට නැති යමක් හුවා දක්වනව. අන්තිමේදී ව්‍යාජ ජන්දකරණයක් තමයි එතනත් තියෙන්නේ. ඉතිං මේ අපිට ගැන මොකද කරන්න පුළුවන්.

දැනට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව සතුව සයිබර් අවකාශගත මැතිවරණ ක්‍රියාවලීන් පිළිබඳව කටයුතු කිරීමට අදාළ සුබවාදී ප්‍රවේශයක් තිබෙනවා. ඔවුන් ඊට  අදාළ නව දැනුම අත්පත් කරගන්නා අවදියේ තමයි පසුවන්නේ. මැතිවරණ නිරීක්‍ෂණ ආයතනවල තත්වයත් ඉතාම අවදානම් සහගතයි. ජාත්‍යන්තර අරමුදල් මත දිනෙන් දින සංවර්ධනය වන ව්‍යූහයක් ඒවායේ පවතින්නේ. මෙවැනි පසුබිමක අපි කලයුතු ප්‍රමුඛතම වැඩේ තමයි AI පාදක දුස්තොරතුරු සහිත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතීන් පිළිබඳව නිවැරදි කරුණු සත්‍යාපනය සඳහා අවැසි තාක්‍ෂණික මෙවලම් භාවිතය සුලබ කිරීම (“tools to debunk” AI-generated propaganda). එවැනි ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය උපදෙස් සහ ක්‍රියා පරිපාටින් ගැන බොහෝ කරුණු පහත දැක්වෙන ලේඛන තුළ දක්නට ලැබෙනවා.

UNESCO — Elections in Digital Times: A Guide for Electoral Practitioners

Organization for Security and Co‑operation in Europe (OSCE) / ODIHR Handbook for Observation of ICT in Elections

Council of Europe — “Guidance Note on countering the spread of online mis- and disinformation”

International IDEA — “Protecting Democratic Elections through Safeguarding Information Integrity” (2024 Policy Brief)

අනෙක් පසින් වැදගත්ම කාර්යය වන්නේ නෛතිකමය භාවිතාව. ශ්‍රී ලංකාවේ අපට එතරම් සතුටු වෙන්න බැහැ ඉහත දුබලතා පාලනය සඳහා ශ්‍රී ලංකාව නෛතිකව මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන. තවමත් මැතිවරණ මෙහෙයුම කරන්නේ වසර 1980/81 කාලයේ හඳුන්වා දුන් නීතිය පාදක කරගෙන. කලින්කලට නිකුත් කරන විධාන සංග්‍රහය සහ අතිවිශේෂ ගැසට් පත්‍ර වලින් පමණක් දිනෙන් දින රැළි සරැළි නංවමින් මතුවන දුස්තොරතුරු ප්‍රවාහය මැඩ පවත්වන්න බැහැ. ඒ නිසා තමයි දැන් දැන් විවිධ රටවල් මේ ගැන වෙසෙස් අවධානයක් යොමු කරන්නේ.  United States – Texas SB 751 නව නීතිය හඳුන්වා දුන්නේ වසර 2023. ඊට අනුව ජන්දදායකයන් නොමඟ යැවීමේ අදිටනින් කෘතීම බුද්ධිය පාදක කරගත් political deepfakes හදන්න බැහැ මැතිවරණය පැවැත්වීමට නියමිත දින 30 ක කාල සීමාව තුළ. අපි එවැන්නක් ආදේශ කරනවනම් මූලික කාර්යයන් දෙකක් තියෙනවා අවශ්‍යයෙන්ම කරන්න ඕන. පළමුව දීපව්‍යාප්තව පවත්වන දැනුම්වත් කිරීම්. දෙවැන්න මැතිවරණ කොමිෂන් සභාව තුළ ධාරිතා සංවර්ධනය කිරීම. අනතුරුව පුළුවන් අදාළ පාර්ශ්ව සමඟින් එක්ව වැඩ කරන්න.

ඇත්තටම මැතිවරණ ක්‍රියාවලියේදී අපි පළමුව ජන්දදායකයා වෙත දිය යුතු පණිවුඩයක් තිබෙනවා. ඒ තමයි අන්තර්ජාලයේ ඔබ අසන දකින සෑම දෙයක් දෙසම වෙනස් විදියට බලන්න කියන එක. මෙහෙම කියන්නේ ඉතා ප්‍රකට ඩිජිටල් සාක්ෂරතාව පිළිබඳ  විශේෂඥයෙක් වන  මයික් කෝල්ෆීල්ඩ්. මේක හරියට

René Descartes ගේ දර්ශනය වගේ. ඔහු 1596–1650 කාලයේ දිවි ගෙවූ දාර්ශනිකයෙක්. එයා කියන්නේ  'To find the truth, first doubt everything you can.” දැන් මේ දර්ශනය සහ මයික් කියන කරුණු අන්තර් ජාලය ගැන එකක් වගේ පේන්න තියෙන්නේ.ඇත්තටම මැතිවරණ ආශ්‍රිතව හුවමාරු වන සහ වෛරල් වන බොහෝ වීඩියෝ සහ ඕඩියෝ පට යම් විශ්වාසදායි මුලාශ්‍රයක් මඟින් සත්‍යාපනය කරන තෙක් බලා සිටීම ඉතාම වැදගත්. මැතිවරණ කොමිෂන් සභාව , ශ්‍රී ලංකා පොලීසියේ මැතිවරණ අංශය ,මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වැනි ආයතන වල විධිමත් යාන්ත්‍රණය සහ ක්‍ෂණික ප්‍රතිචාර අවශ්‍ය වන්නේ මෙන්න මේ නිසා.

යම් මැතිවරණ ආශ්‍රිත තොරතුරක් දුටුවිට අපේ ජන්දදායකයන් දෙවරක් කල්පනා කරන්නෙ නැහැ. ඔවුන් බොහෝ දෙනෙක් ඉන්නේ දේශපාලනිකව ආවේගාත්මක හැසිරීමක් එක්ක. එමනිසා බාහිර අපක්‍ෂපාති පිරිසක් අදාළ තොරතුරුවල නිරවද්‍යතාව සොයන්න ඕන.  එවැන්නක් හමුවූ විට පික්සල් ප්‍රමාණය (resolution), ගුණාත්මකභාවය (quality) සහ වීඩියෝවේ දිග (length) ආදිය ගැන විශේෂ සැළකිල්ලක් දක්වන්න කියලයි මහාචාර්ය Hany Farid කියන්නේ.

කෙසේවෙතත් මහාචාර්යවරයාට අනුව අඩුම තරමේ මෙන්න මේ පහත කරුණු ගැන පූර්ණ අවධානයක් අවශ්‍යයයි AI පාදක වීඩියෝවක් හඳුනාගන්න.

  • අරුමැසි ආකාරයේ මුහුණේ පිළිඹිඹු - Weird facial artifacts, especially around the face boundary
  • අස්වාභාවික ශරීර ලක්ෂණ සහ අවයව දිස්වන ආකාරය -Unnatural body or limb movement
  • ඉතා කෙටි හෝ වඩාත් විවිධාකාරයේ එකිනෙකට වෙනස් අංග  එකට එක්කොට හොඳින් නිමකරන ලදැයි පෙනෙන වීඩියෝ පට - Short, “too perfect” clips or stitched-together segments
  • අත්‍ සහ ඇඟිලි නිර්මාණය තුළ දිස්වන ආකාරය - Problems with hands/fingers
  • ආලෝකකරණය , සෙවනැළි , සහ ප්‍රතිබිම්බ - Lighting, shadows, reflections, or background inconsistencies

FAKE OUT කියන්නේ අලුත් නවකතාවක්. ලියල තියෙන්නේ  Felicia Farber ගිය අවුරුද්දේ. මේ නවකතාව කියවගෙන යන විට හිතෙන දෙයක් තමයි තවදුරටත් අසන සහ දකින දේ පවා විශ්වාස කිරීම දුෂ්කරයි  (“seeing and hearing is no longer believing) කියන එක. ඒ තරමටම AI තුළින් උත්පාදිත දුස්තොරතුරු අපිව නොමඟ යවනවා. බුදුදහමේ ප්‍රකට කාලාම සුත්‍රය පවා කියන්නේ ඔබම අහල , බලල තීරණ ගන්න කියල . එක පැත්තකින් කාලාම සුත්‍ර දේශනාව නිදහස් භාෂණය ප්‍රවර්ධනය කරනවා. අනෙක් පසින් ස්වායක්ත දැනුම ගැන හැඟීමක් එකතු කරනවා . ඒත් AI යුගයේ අපිට අපේ දැනුම සහ අත්දැකීම් වගේම සාමාන්‍ය ව්‍යවහාරික බුද්ධිය ගැන සැක සංකා මතුකරනවා. ඉතිං AI වලින් මැතිවරණ බේරගන්න වගේම රැකගන්නත් පුළුවන් . ඒකට අපිට ගොඩක් ගෙදර වැඩ කරන්න වෙනවා.

manjula gajanayake 1

| මංජුල ගජනායක