අවධානමට ලක්ව ඇති ලංගමේ ගැටලු ගැන සාකච්ඡාවක් ඉල්ලයි

අවධානමට ලක්ව ඇති ලංගමේ ගැටලු ගැන සාකච්ඡාවක් ඉල්ලයි

ශ්‍රී ලංගම සේවකයින් හට මේ මොහොතේ උද්ගත වී ඇති ගැටලූ විසඳීමට ශ්‍රී ලංගම සියලූම වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් ඉතා කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය විසින් ලංගම සභාපත්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ශ්‍රී ලංගම සේවකයින් හට උද්ගත වී ඇති ගැටලූ විසඳන ලෙස මේ මොහොතේ ඇතැම් ශ්‍රී ලංගම සේවකයින් වෘතීය ක්‍රියාමාර්ගයකට පිවිසී ඇත. අප වෘතීය සමිති ඇතුලූ ශ්‍රී ලංගම සියලූම වෘතීය සමිති ශ්‍රී ලංගම සේවකයින්ගේ ප්‍රධාන ගැටලූ විසඳීමට මැදිහත් වන ලෙස දිගින් දිගටම ඔබතුමා ඇතුලූ ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ගරු ජනාධිපතිතුමාගෙන්, හිටපු ප්‍රවාහන ඇමතිවරුන්ගෙන් අප සංගමයද මෙම ගැටලූ විසඳීමට කඩිනමින් මැදිහත් වන ලෙස කිහිප වතාවක්ම ලිඛිතව ඉල්ලා ඇත.

ශ්‍රී ලංගම නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය කිරීම, සේවකයින්ගේ වැටුප් වර්ධකයන් ලබාදීම, වැඩිවන ජීවන වියදම සරිලන ලෙස වැටුප් වැඩිවීමක් ලබාදීම යන ඉල්ලීම් වෘතීය ක්‍රියාමාර්ගයන් ගෙන සිටින සේවකයින්ගේ ප්‍රධාන ඉල්ලීම් වේ.

ශ්‍රී ලංගම ශක්තිමත් කර ජනතාවට යහපත් ප්‍රවාහන සේවයක් ලබාදීම මේ මොහොතේ ඔබතුමා ඇතුලූ ප්‍රවාහන බලධාරීන්ගෙත් වෘතීය සමිති වලත් ජාතික වගකීමකි. මෙවැනි මොහොතක ශ්‍රී ලංගම සේවකයින් වෘතීය ක්‍රියාමාර්ගයන් වලට පිවිසීමට ඉඩකඩ විවර කිරීම ශ්‍රී ලංගම සේවකයන්ටත් මගී ජනතාවටත් සිදුකරන බලවත් අසාධාරණ ක්‍රියාවකි.

ගරු සභාපතිතුමනි, ඒ අනුව ඉහත කරුණු සියල්ල සැලකිලිමත් කරගෙන ශ්‍රී ලංගම සියලූ වෘතීය සමිති ඉතා කඩිනමින් සාකච්ඡාවකට කැඳවා පිළිගත හැකි විසඳුමක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් අප සංගමය ඔබතුමාගෙන් වගකිව යුතු වෘතීය සමිතියක් වශයෙන් ඉල්ලා සිටින්නෙමු.