කොවිඩ්: වසංගතය 2022 වසරටත් ඇදීයනු ඇතැ යි WHO අනතුරු අඟවයි

who

දුප්පත් රටවලට අවශ්‍ය තරම් එන්නත් නොලැබෙන බැවින් කොවිඩ් වසංගතය "ඕනෑවටත් වඩා වසරක් දිගට ඇදීයනු ඇතැ"යි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියෙකු වන වෛද්‍ය බෘස් ඒල්වර්ඩ් පවසන්නේ, කොවිඩ් අර්බුදය "පහසුවෙන්ම 2022 වසරේත් සෑහෙන දුරකට ඇදී යා හැකියැ" යි එයින් අදහස් වනබව යි.

අනෙකුත් බොහෝ මහද්වීපවල ජනගහණයෙන් 40%ක් පමණම එන්නත්කර ඇතත්, ඊට සාපේක්ෂව අප්‍රිකානු මහද්වීපයෙන් එන්නත්කර ඇත්තේ 5%කට අඩු ප්‍රමාණයක් පමණි.

එක්සත් රාජධානිය ආධාර අවශ්‍ය රටවලට එන්නත් මිලියන 10කට වඩා ලබා දී ඇත.

Vaccines being delivered to Sudan via Covax

| ඔක්තෝබර් මුල දී Covax විසින් යැවුණු එන්නත් තොගයක් සුඩානයට ලැබුණු අවස්ථාව

එරට ආධාර වශයෙන් ලබාදීමට පොරොන්දු වී ඇති එන්නත් සංඛ්‍යාව මිලියන 100කි.

එන්නත් ලබාදීමේ දී අඩු ආදායම් රටවලට ප්‍රමුඛත්වය ලබාදීමට ඖෂධ සමාගම්වලට හැකිවනු පිණිස, එන්නත් පෝලිමේ තමාගේ ස්ථානය එම දිළිඳු රටවලට ලබාදෙන්නැ යි වෛද්‍ය ඒල්වර්ඩ් ධනවත් රටවලින් ඉල්ලා සිටියේ ය.

මේ වසරේ ශාන්ත අයිව්ස්හි පැවති G7 සමුළුව වැනි සමුළුවල දී දුප්පත් රටවලට ප්‍රදානය කිරීමට පොරොන්දු වූ එන්නත් තොගවලින්, තමන් මේ වන විට ප්‍රදානය කර ඇත්තේ කොතරම් ප්‍රමාණයක්දැ යි ධනවත් රටවල් විසින් ගණන් බැලිය යුතුබව ඔහු පැවසුවේ ය.

"අපි හරි පාරේ නෙවෙයි යන්නේ කියලා මට කියන්න පුළුවන්," ඔහු කියා සිටියේ ය. "අපට ඉක්මන් කරන්නම වෙනවා. නැත්නම් මොකද දන්නවා ද වෙන්නේ? මේ වසංගතේ ඕනෑවටත් වඩා අවුරුද්දකින් දිග්ගැස්සෙන එක."

පුණ්‍යායතන එකතුවක් වන 'The People's Vaccine' නිකුත්කළ නව සංඛ්‍යාලේඛනවලින් පෙනී යන පරිදි දුප්පත් රටවලට මේ වන විට සත්‍ය වශයෙන්ම ලැබී ඇත්තේ, ඖෂධ සමාගම් සහ ධනවත් රටවලින් ලබාදීමට පොරොන්දු වූ එන්නත් මාත්‍රාවන්ගෙන් හතෙන් එකක් පමණකි.

කොවිඩ් එන්නත්වලින් වැඩි ප්‍රමාණයක් ලබා දී ඇත්තේ ඉහළ ආදායම් හෝ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවලට ය. අප්‍රිකාව දිනපතා එන්නත්කරණය කරන මාත්‍රා ගණන ගෝලීය දෛනික මාත්‍රා සංඛ්‍යාවෙන් 2.6%ක් පමණි.

Vaccine supply

| ධනවත් රටවලින් ලබාදීමට පොරොන්දු වී ඇති එන්නත් සංඛ්‍යාව නිලෙන් ද, දැනට ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව කහ පැහැයෙන් ද දැක්වේ

Oxfam සහ UNAids වැනි රාජ්‍ය නොවන කණ්ඩායම් ගණනාවක්, සැමට සාධාරණව එන්නත් බෙදාදීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ ආධාරය ද ඇතිව පිහිටුවන ලද Covax වැඩසටහන හරහා කැනඩාව සහ එක්සත් රාජධානිය තම රටවල ජනගහණය සඳහා එන්නත් ලබාගැනීම විවේචනය කළේ ය.

නිල දත්තයන් පෙන්වා දෙන්නේ මේ වසරේ මුල්භාගයේ දී එක්සත් රාජධානියට ෆයිසර් මාත්‍රා 539 370ක් ද, කැනඩාවට ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මිලියනයක් පමණ ද ලැබී ඇතිබව යි.

මුල දී, Covax පිහිටුවන විට තීරණය වී තිබුණේ ධනවත් රටවල් ද ඇතුළු සියලු රටවලට එම සංවිධානය හරහා එන්නත් ලබාගත හැකිබව යි. කෙසේ නමුත් බොහෝ G7 රටවල් ඖෂධ සමාගම්වලින් සෘජුවම එන්නත් ලබාගැනීම ඇරඹූ විට Covax හරහා එන්නත් ලබාගැනීම නවතා දැමුවෝ ය.

කැනඩාව සහ එක්සත් රාජධානිය Covax යාන්ත්‍රණය සඳහා මුදල් යොදවා ඇතිබැවින්, රීත්‍යානුකූලව ගත්කල ඒ හරහා එන්නත් ලබාගැනීමට ඔවුනට ද අයිතියක් ඇතැ යි Oxfamහි ගෝලීය සෞඛ්‍ය උපදේශක රෝහිත් මාල්පානි පිළිගනියි. එනමුත් ඒ දෙරටම පෞද්ගලික ද්වීපාර්ශ්වික ගිවිසුම් හරහා මිලියන ගණනක එන්නත් තොග අත්කරගෙන සිටිය දී එසේ සිදුකිරීම "සදාචාරාත්මක අතින් සාධාරණීකරණය කළ නොහැකි" ක්‍රියාවක්යැ යි ඔහු පවසයි.

"ඔවුන් මේ එන්නත් මාත්‍රා Covax හරහා ලබා නොගෙන ඉන්න තිබුණා," ඔහු පැවසුවේ ය. "ඒක දොඩම් ගොඩ බදාගත්තා වගෙයි, වැඩි වෙනසක් නැහැ. ඒකෙන් වෙන්නේ දැනටමත් එන්නත් පෝලිමේ පිටුපසින්ම ඉන්න දිළිඳු රටවල්වලට තවත් වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙන එක."

නමුත් එක්සත් රාජධානි රජය පෙන්වා දුන්නේ, ගිය වසරේ දී යූරෝ මිලියන 548ක ආධාරයක් ලබා දී Covax යාන්ත්‍රණය පණ ගන්වා නැගිටුවීම සිදුකළේ එම රටවල් ද්විත්වයෙන් එකක්බව යි.

කැනඩා රජය, තමා Covax එන්නත් ලබාගැනීම මේ වන විට නවතා දමා ඇතැ යි අවධාරණය කිරීමට උත්සුක විය.

එරට අන්තර්ජාතික සංවර්ධන ඇමැතිනී කැරීනා ගුල්ඩ් මෙසේ පැවසුවා ය: "අපි ද්වීපාර්ශ්වික ගනුදෙනු හරහා ලබාගත් එන්නත් තොගය අප රටේ ජනතාවට ප්‍රමාණවත් බව පැහැදිලි වුණු වහාම Covax හරහා ලබාගත් මාත්‍රා ප්‍රමාණයට සමාන ප්‍රමාණයක් නැවත Covax වෙතටම ලබාදුන්නා, එතකොට ඒවා දියුණුවෙමින් පවතින රටවලට බෙදාදෙන්නට හැකි නිසා."

Covax සංවිධානය සැලසුම්කර තිබුණේ මේ වසරේ අවසානය වන විට එන්නත් මාත්‍රා බිලියන දෙකක් බෙදාදීමට වුවත්, ඔවුන් මේ වන විටත් බෙදාදීමට සමත්ව ඇත්තේ මාත්‍රා මිලියන 371ක් පමණි.

(bbc/sinhala)