ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ස්වාධීන fact checker වරුන්ගේ සේවය ඉවත් කරයි

mark zuckerberg

මෙටා සමාගමට අයත් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ස්වාධීනව සත්‍යාපන කටයුතුවල නිරත වන්නන් (independent fact checkers) යොදා ගැනීම නතර කර ඒ වෙනුවට පෝස්ට්වල නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා Xහි මෙන් පරිශීලකයින්ගේ "ප්‍රජා සටහන් (community notes)" භාවිත කිරීම අරඹා තිබේ.

තෙවන පාර්ශවීය මොඩරේටර්වරුන් "දේශපාලනික වශයෙන් ඕනෑවට වඩා පක්ෂග්‍රාහී" බව ත්, නිදහස් අදහස් දැක්වීම් වර්ධනය කිරීමේ සමාගමේ මූලික අරමුණු යළි ස්ථාපනය කිරීම අවශ්‍ය බව ත්, මෙටාහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් අඟහරුවාදා බ්ලොග් සටහනක් සමග වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබිණි.

මෙම පියවර ගෙන ඇත්තේ සකර්බර්ග් සහ අනෙකුත් තාක්ෂණික විධායකයින්, මෙම මස අගදී බලයට පත් වීමට පෙර එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සබඳතා වැඩිදියුණු කිරීමට උත්සහයක් ලෙසිනි.

මෙටාහි ගෝලීය කටයුතු ප්‍රධානී ශ්‍රීමත් නික් ක්ලෙග් වෙනුවට වැඩ භාරගත්, ප්‍රමුඛ රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වන ජොයෙල් කැප්ලාන් පැවසුවේ, ස්වාධීන මොඩරේටර්වරුන් මත රඳා පැවතීම "යහපත් චේතනාවෙන්" සිදු වූ නමුත් මේ වනවිට එය අදහස් වාරණයට තුඩු දී ඇති බව ය.

ට්‍රම්ප් සහ ඔහුගේ රිපබ්ලිකන් සාමාජිකයන් මෙටා සමගම අන්තර්ගතයන්වල සත්‍යතාව පරීක්ෂා කිරීමේ ප්‍රතිපත්ති විවේචනය කරමින් එය දක්ෂිණාංශික හඬ වාරණයක් ලෙස හඳුන්වා දී තිබේ.

මෙම නව වෙනස්කම් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ ගැන අදහස් දක්වමින් ට්‍රම්ප්, සකර්බර්ග්ගේ තීරණය ගැන තමා පැහැදුණු බවත් මෙටා සමාගම මේ වන විට "දිගු ගමනක් පැමිණ ඇති" බවත් පැවසීය.

ඉන්ටර්නෙට් හරහා සිදුවන වෛරී ප්‍රකාශනවලට එරෙහිව හඬ නගන්නන් මෙම වෙනස ගැන සිය අප්‍රසාදය පළ කර ඇති අතර, එය ට්‍ර්ම්ප්ගේ දක්ෂිණාංශික අදහස්වලට පක්ෂග්‍රාහී වීමක් ලෙස හඳුන්වා තිබේ.

"සකර්බර්ග්ගේ නිවේදනය ඉදිරි ට්‍රම්ප් පරිපාලනය පහසු කිරීමට ගත් හානිකර ප්‍රතිඵල සහිත නිහීන උත්සහයක්," විශාල තාක්ෂණික කණ්ඩායම් ඔවුන් ගන්නා තීරණවලට වග වන බව සනාත කරගැනීම සඳහා පිහිටුවාගත් කණ්ඩායමක් වන Global Witnessහි අවා ලී පැවසීය.

මේ වගේ සමාගම් තමන් "'වාරණයෙන් වැළකෙනවා කියලා කියන්නේ, ඒ අය පාලනය කරන සාමාජ මාධ්‍ය මගින් පතුරුවන වෛරය සහ අසත්‍ය තොරතුරු ගැන වගකීම පැහැර හැරීමේ දේශපාලනික පියවරක්," ඇය තවදුරටත් පැවසුවා ය.

X අනුකරණය කිරීම

2016දී හඳුන්වා දුන් මෙටාහි ක්‍රියාත්මක වූ සත්‍යාපන වැඩසටහන (fact checking programme) මගින් අසත්‍ය හෝ නොමග යවනසුලු යැයි හැඟෙන පෝස්ට්ස්වල විශ්වසනීයත්වය ස්වාධීන සංවිධානවලට යවා පරීක්ෂා කිරීම සිදු විය.

සාවද්‍ය බවට හඳුනා ගත් පොස්ට්වල, ඒ පිළිබඳව අතිරේක තොරතුරු සපයන ලේබල් තිබිය හැකි අතර, පරිශීලකයින්ගේ සමාජ මාධ්‍යවල ඒවා ප්‍රදර්ශනය වීම අඩු කළ හැකි ය.

මෙය දැන් "එක්සත් ජනපදයේ පළමුව" ප්‍රජා සටහන් (community notes) මගින් ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇත.

එක්සත් රාජධානියේ හෝ යුරෝපා සංගමයට අයත් රටවල සිටින තුන්වන පාර්ශවයේ 'සත්‍යාපන කටයුතුවල නිරත වන්නන්' ඉවත් කිරීමේ කඩිනම් සැලැස්මක් නොමැති බව ද මෙටා සමාගම පවසයි.

ඊලෝන් මස්ක් විසින් මිලට ගෙන නම වෙනස් කිරීමෙන් අනතුරුව X සඳහා හඳුන්වා දෙන ලද ප්‍රජා සටහන් (new community) ක්‍රමය ම මේ මෙහිදී යොදා ගැනේ.

මතභේදාත්මක තොරතුරු සඳහා, විවිධ දෘෂ්ටි කෝණයන් ඇති පුද්ගලයින් සම්බන්ධ වී ඒවායේ සන්දර්භය හෝ පැහැදිලි කිරීම් ලබා දීම මෙහිදී සිදු වේ.

මෙටා ද ඊට සමාන ක්‍රමයක් අනුගමනය කිරීම ඔහු හඳුන්වා දී ඇත්තේ 'මරු වැඩක්' ලෙසට ය.

කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ මොලී රෝස් පදනම මෙම පියවර හැඳින් වූයේ "ඔන්ලයින් ආරක්ෂාව ගැන සැලකියයුතු ගැටලුවක්."

"සියදිවි නසාගැනීම්, ස්වයං හානි සහ මානසික අවපීඩනය ඇති කරන අන්තර්ගතයන්වලටත් මේක අදාළ වෙනවා ද කියලා, මේකට මොනවා ද අයිති වෙන්න කියන එක ගැන අපි ඉතා ඉක්මනින් පැහැදිලි කර ගැනීමට කටයුතු කරමින් ඉන්නවා," යැයි එහි සභාපති ඉයන් රසල් පැවසීය.

"මෙම පියවර බොහෝ දරුවන්ට සහ නව යොවුන් පිරිසට අයහපත් ප්‍රතිවිපාක ඇති කරලා දෙන්න පුළුවන්."

සියදිවි නසාගැනීම් සහ ස්වයං හානි සහිත අන්තර්ගතයන් "ඉහළ බරපතළකමක් ඇති" උල්ලංඝණය කිරීම් ලෙස සලකන බව ත් ඒවා ස්වයංක්‍රිය මධ්‍යගත ක්‍රමයක් මගින් නියාමනය වනු ඇති බවත් මෙටා සමාගම බීබීසීයට පැවසීය.

ෆේස්බුක්හි යුරෝපයේ තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කිරීමේ සංවිධානයක් වන ෆුල් ෆැක්ට් ප්‍රකාශ කළේ, තම වෘත්තියට එරෙහිව "පක්ෂග්‍රාහී බවට කළ චෝදනා ප්‍රතික්ෂේප කරන" බව ය.

එහි ප්‍රධාන විධායක ක්‍රිස් මොරිස් මෙම වෙනස "බලාපොරොත්තු සුන් කරවන, ලෝකයට අයහපත් බලපෑම් ඇති කිරීමේ අවදානමක් ඇති පසුගාමී පියවරක්" ලෙස හඳුන්වා දී තිබේ.

'ෆේස්බුක් සිරගෙය'

අන්තර්ගත මොඩරේටර්වරුන් සහ තොරතුරුවල නිවරද්‍යතාව පරීක්ෂා කරන පුද්ගලයින් ඇතැම් අවස්ථාවල තමන් හඳුන්වා දෙන්නේ, ඉන්ටර්නෙට් හදිසි සේවා ලෙසට ය.

නමුත් මෙටා ප්‍රධානීන්ගේ නිගමනය වන්නේ ඔවුන් ඕනෑවට වඩා මැදිහත් වී ඇති බව ය.

"හානිකර නොවන අන්තර්ගතයන් ඕනෑවට වඩා වාරණය කිරීමෙන් බොහෝ දෙනෙක් නිරපරාදේ "ෆේස්බුක් බන්ධනාගාරයේ" හිර වෙලා ඉන්නේ. එහෙම වුණා ම අපි බොහෝ වෙලාවට ඒකට ප්‍රතිචාර දක්වන්නේ හරි ම මන්දගාමී විදිහට, ජොයෙල් කැප්ලන් පසුගිය අඟහරුවාදා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධ යම් අවදානමක් ඇති බව මෙටා සමාගම පිළිගනී. මෙම වෙනස්කම්වලින් අදහස් වන්නේ, "දෙයක් ලබා ගැනීමට, තවත් දෙයක් අත් හැරීමක්," බව සකර්බර්ග් සිය වීඩියෝවේ සඳහන් කර ඇත.

"ඒ කියන්නේ, නරක දේවල් අපි දකින එක අඩුවෙනවා කියන එක. නමුත් ඒත් එක්ක ම අපි අහම්බෙන් කරන ඉවත් කිරීම් නිසා අහිංසක මිනිස්සුන්ගේ පෝස්ට් සහ අකවුන්ට් සංඛ්‍යාවත් අඩු කරනවා," ඔහු පැවසීය.

මෙය මහා පරිමාණ තාක්ෂණික සමාගම්වලට ඔවුන්ගේ අන්තර්ගතයන් සඳහා වැඩි වගකීමක් දැරීමට හෝ දැඩි දඬුවම්වලට මුහුණ දීමට සිදු වන එක්සත් රාජධානියේ සහ යුරෝපයේ මෑත කාලීන රෙගුලාසි සමග ද ගැටෙයි.

එබැවින් මෙම අධීක්ෂණ සීමා ඉවත් කිරීම, අවම වශයෙන්, දැනට එක්සත් ජනපදයට පමණක් සීමා වීම පුදුමයක් නොවේ.

'විශාල වෙනසක්'

"මුලදී අපේක්ෂා කළ සීමා ඉක්මවා ගිය" නීති රීති සහ ප්‍රතිපත්ති පුළුල් කිරීම ආපසු හරවන බව ද මෙටා බ්ලොග් සටහනේ සඳහන් විය.

"රූපවාහිනියේ හෝ කොන්ග්‍රසයේ කියන්න පුළුවන් දේවල් අපේ සමාජ මාධ්‍යවල කියන්න බැරි වීම සාධාරණ නැහැ," යැයි එහි තවදුරටත් සඳහන් විය.

මෙය පැමිණෙන්නේ තාක්ෂණ සමාගම් සහ ඔවුන්ගේ විධායක නිලධාරීන්, එළඹෙන ජනවාරි 20 වන දා පැවැත්වෙන ට්‍ර්ම්ප්ගේ දිවුරුම් දීම සඳහා සූදානම් වන මොහොතක ය.

ට්‍රම්ප් නැවත ජනාධිපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් විධායක නිලධාරීන් කිහිප දෙනෙකු ම ට්‍රම්පට් ප්‍රසිද්ධියේ සුබ පැතුම් එක් කර ඇති අතර, සකර්බර්ග් ඇතුළු පිරිසක් පසුගිය නොවැම්බර් මාසයේදී ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ වතුයායට පැමිණ පත්වීමට නියමිත ජනාධිපතිවරයා හමුවී ඇත. එමෙන් ම මෙටා සමාගම විසින් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උළෙලට ඩොලර් මිලියනයක් පරිත්‍යාග කරනු ලැබ තිබේ.

සකර්බර්ග් ඔහු අඟහරුවාදා නිකුත් කළ වීඩියෝවේ සඳහන් කර ඇත්තේ, "ඉකුත් දා පැවති මැතිවරණය, භාෂණයේ නිදහසට ප්‍රමුඛත්වය දෙන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ හැරවුම් ලක්ෂයක් ලෙස හැඟෙන" බව ය.

මෙම ප්‍රතිපත්තිමය වෙනස පිළිබඳව මේ බව නිවේදනය කිරීමට පෙර මෙටා සමාගම විසින් එය ට්‍රම්ප්ගේ කණ්ඩායමට දැනුම් දෙනු ලැබ ඇති බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.

හිටපු ලිබරල් ඩිමොක්‍රටික් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු වූ ශ්‍රීමත් නික් වෙනුවට සමාගමේ ගෝලීය කටයුතු පිළිබඳ සභාපතිවරයා ලෙස කැප්ලන් පත්වීම ද සමාගම දේශපාලන අරමුණුවලට ප්‍රමුඛතාව දැක්වීමක් ලෙස ඇතැමුන් අර්ථ දක්වා තිබේ.

ට්‍රම්ප්ගේ සමීපතම සගයෙකු සහ Ultimate Fighting Championshipහි සභාපති වන ඩේනා වයිට් එහි අධ්‍යක්ෂක මණ්ඩලයට එක්වන බව ද සමාගම සඳුදා නිවේදනය කළේ ය.

සාන්ත ජෝන් විශ්වවිද්‍යාලීය නීති විද්‍යාලයේ නීතිය පිළිබඳ සහකාර මහාචාර්ය කේට් ක්ලෝනික් පැවසුවේ, මෙම වෙනස්කම් පසුගිය වසර කිහිපය තුළ නොවැළැක්විය හැකි බව පෙනුණු, විශේෂයෙන් මස්ක් X අත්පත් කර ගැනීමෙන් පසුව අනිවාර්යෙන් ම සිදුවීමට නියමිතව තිබූ ප්‍රවණතාවක් පිළිබිඹු කරන බව ය.

"මෙවැනි පෞද්ගලික සමාගම් මිනිස්සු මේ වේදිකාවල කියන දේවල් පාලනය කිරීම දේශපාලනික කරුණක් වෙලා තියෙන්නේ, ඇය බීබීසී පුවත් වෙත පැවසුවා ය.

හිරිහැර කිරීම්, වෛරී ප්‍රකාශන සහ අසත්‍ය තොරතුරු වැනි ගැටලුවලට එරෙහිව විශ්වාසය සහ ආරක්ෂිත පියවර නිර්මාණය කිරීමට වරෙක බලපෑම් කළ සමාගම් ම දැන් ඊට ප්‍රතිවිරුද්ධ දෙසට විශාල වෙනසක් කරමින් සිටින බව ඇය තවදුරටත් පැවසුවා ය.

| ලිව් මැක්මෑන්, සොයී ක්ලයිමන් සහ කෝට්නි සුබ්‍රමනියන් ‍(Role,බීබීසී පුවත් ග්ලාස්ගෝ සහ වොෂින්ටන්)

(bbc/sinhala)