ලංකාවට ඩොලර් ලැබීමේ ප්‍රධානම මාර්ගය කඩා වැටෙන ලකුණු

migrant

විදේශ රැකියා නියුක්තිකයන් මෙරටට එවනු ලබන මුදල් ජූනි සහ ජූලි මාසවලදී විශාල පහත යාමට පටන් ගෙන තිබේ.

මහ බැංකුවේ නවතම නිවේදනයකට අනුව 2020 වසරේ ජූලි මාසයේ ඩොලර් මිලියන 702ක් මේ මගින් මෙරටට එවා තිබුණු අතර පසුගිය ජූලි මාසයේ දී එය ඩොලර් මිලියන 453ක් දක්වා පහත වැටී ඇත. මේ අනුව 2020 ජූලි මාසයට වඩා මෙම වසරේ ජූලි මාසයේදී ඩොලර් මිලියන 249කින් විදේශ රැකියා නියුක්තිකයන් සම්ප්‍රේෂණය කරන මුදල් පහත වැටී තිබේ.

මෙසේ සම්ප්‍රේෂණ පහත වැටීමට මූලික ම හේතුව වශයෙන් මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ විදේශ විනිමය උපයන්නන් මත ආණ්ඩුව එල්ල කර තිබෙන දැඩි පීඩනයයි. මෙම තත්වය හමුවේ බොහෝ පිරිස් තමන්ගේ විදේශ විනිමය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විදේශ රටවලම අදාළ මුදල් රඳවා තබා ගනිමින් ඔවුන්ගේ මෙරට පවුල්වල සාමාජිකයින්ට උන්ඩියල් ක්‍රමයට මුදල් ලබාදීමට ක්‍රියාකරමින් සිටීමයි.

මෙයට අමතරව තව තවත් රුපියලේ අගය පිරිහීමෙන් ලබා ගත හැකිවේ යැයි අනුමාන කරන වැඩි රුපියල් ප්‍රමාණය සලකා විදේශ විනිමය උපයන්නන් තම ආදායම මෙරටට එවීමෙන් වැළකී සිටිති. තවත් පැත්තකින් මෙරට තුළම විදේශ විනිමය සම්බන්ධයෙන් විනිමය අනුපාත තුනක් ප්‍රායෝගිකව පවතී. එනම්, මහ බැංකුවේ නිල විනිමය අනුපාතය, වාණිජ බැංකුවල විනිමය අනුපාතය සහ වාණිජ බැංකුවලටත් පිටින් ක්‍රියාත්මක වන්නා වූ කළු කඩ විනිමය අනුපාතය වශයෙනි.

(ලංකා ට්‍රත්)