අවම සේවක සංඛ්‍යාවක් සහිතව මත්තල ගුවන්තොටුපල පවත්වා ගෙන යාමට පියවර

අවම සේවක සංඛ්‍යාවක් සහිතව මත්තල ගුවන්තොටුපල පවත්වා ගෙන යාමට පියවර

අද වන විට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පවත්වාගෙන යෑමේ යෑමේ මාසික පාඩුව ලක්ෂ සියයක් (100) වෙනවා.නමුත් ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්ණායකයන්ට අනුව හදිසි ගොඩබෑම් සඳහා අපට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අත්‍යවශ්‍යයි.එම නිසා වියදම් අවම කරගනිමින් විකල්ප ආදායම් උත්පාදන මාර්ග එහි ගොඩ නැගිය යුතුයි.මෙහි පාඩුව අවම කර ගනිමින් අවම සේවක සංඛ්‍යාවක් සහිතව ඵලදායි ගුවන් තොටුපළක් ලෙස පවත්වා ගෙන යෑමට පියවර ගත යුතු බව වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය සෙනසුරාදා (11) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට හා සේවක හමුවකට එක්වෙමින්. එම චාරිකාවට කෘෂිකර්ම වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද එක් විය.

මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ගුවන් තොටුපොළට ආවේණික ගැටලු හා ප්‍රශ්න රාශියක් ඇති බව ය. මෙම ගුවන් තොටුපොළ ඉදි කර ඇත්තේ අලි ඇතුන්ගේ වාසබිමකයි. එම නිසා මෙම ගුවන් තොටුපොළ පරිශ්‍රයට නිරන්තරයෙන් සිදු වන අලි ඇතුල්වීම් සහ පහරදීම් වැළැක්වීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ග අසාර්ථක වී ඇති බවයි. ඒ අනුව වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එය සඳහා යෝජනා කළ පරිදි ගුවන් පථ ආරක්ෂක වැට හා වනසංරක්ෂණ සීමාව අතර භූමි භාගයේ අලින් ලංනොවන තල හා හන වගා කිරිමට අදාල කටයුතු පිළිබද ඉදිරි දෙසතිය තුළ මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා කර එම යෝජනා ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ද ඇමතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙහි දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මත්තල ගුවන් තොටුපොළ කිසිදු විටෙක විකුණන්නේ නැති බවය.මෙම ගුවන් තොටුපොළ පරිපාලනය ප්‍රතිව්‍යුහගත කරමින් හොඳ ආයෝජකයෙක් පැමිණිය හොත් ඔහු සමඟ සාමූහික ගිවිසුමකට එක්වෙමින් රජයේ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස මත්තල ගුවන්තොටුපල ලාභ ලබන ගුවන් තොටුපොළක් බවට පත් කිරීමට අදහස් කරන බව ය.

අද මත්තල ගුවන්තොටුපල නඩත්තු කරන්නේ කටුනායක උපයන මුදලින් බව ද , මෙම ගුවන් තොටුපළ ඉදි කිරීමට චීනයෙන් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය දහයක ණය (210) වාරික ගෙවීමට ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

එම නිසා මත්තල ගුවන් තොටුපොළේ ආදායම ඉහළ නැංවීමට විකල්ප යෝජනා මේ වන සලකා බලමින් සිටින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගුවන් යානා නවතා තබන අංගනයක් (Parking Space ) ලෙස ද ගුවන්යානා නඩත්තු අංගනයක් ලෙස ද මෙම ගුවන් තොටුපොළ යොදාගැනීමට මේ වන විට ගුවන් සමාගම් වෙත ආරාධනා කර ඇති බවත්,  නමුත් අපේ රටේ අද පවතින සමාජ තත්ත්වය, ඉන්ධන හා ඩොලර් අර්බුදය හේතුවෙන් ආයෝජකයන් හා ගුවන් සමාගම් ඒ සඳහා මැලිකමක් දක්වන බවත් ඒ සඳහා ඔවුන් ආකර්ෂණය කරගැනීම පහසු නැති බව ද නමුත් ඒ සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.

ඊට අමතරව මත්තල ගුවන් තොටුපොළ වහල පියසි සූර්ය බල විදුලි උත්පාදනයට යොදාගැනීමට අදාළ ව්‍යාපෘති යෝජනා සති දෙකක් ඇතුළත තමා වෙත ලබාදෙන ලෙස අමාත්‍යවරයා මෙහි දී නිලධාරීන්ට පැවසීය.

කිසිදු ගුවන් යානයක් නොපැමිණෙන මෙම ගුවන් තොටුපොළට සේවකයන් පන්සිය හතළිස් පස් දෙනෙකු (545)අනියුක්ත කර ඇති බවත්, මේ සමහර සේවකයන් කොළඹ සිට මත්තලට ප්‍රවාහනය කිරීමට දිනපතා බස් රථයක් යොදා ඇති බව ද මෙහි දී හෙළිදරව් විය. සේවකයන් පරිත්‍යාගශීලීව හා කැපවීම් සහගතව මෙම අවස්ථාවේ කටයුතු නොකළහොත්, කළමනාකරණය සහ පරිපාලනය පිළිබඳ දැඩි තීරණ නොගත හොත් මත්තල ගුවන් තොටුපොළ බරපතළ කඩා වැටීමකට ඉඩ ඇති බව ද එම නිසා සේවක කළමනාකරණ හා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම ද ඉහල කළමණාකාරිත්වයේ වැටුප් සහ දීමනා පිළිබඳ වාර්තාවක් මාසයක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා නිලධාරීන්ට පැවසීය .

එසේම සේවකයන් හා වෘත්තීය සමිති නිලධාරීන් පෙන්වා දුන් කරුණු සලකා බැලූ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ, අත්‍යවශ්‍ය සේවාවල සේවකයන් (200) දෙසීයකට පමණ නවාතැන් පහසුකම් සැපයීම සඳහා ගොඩනැගිල්ලක් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ මාස දෙකක් ඇතුළත ඉදිකරන ලෙසය.

මේ රට පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගී විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගියහොත් අපට මෙම ගුවන්තොටුපළ නැවත මෙම පාඩු ලබන තත්වයෙන් මුදා ගත හැකි වනු ඇතැයි ද අමාත්‍යවරයා බලාපොරොත්තු පළ කළේය.

මෙම නිරීක්ෂණ චාරිකාවට හා සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා මත්තල ගුවන්තොටුපල පරිපාලන නිලධාරීහු ද සහභාගි වූහ.