ඒජන්සිකරුවෝ පැමිණිලිකරුවන්ට රුපියල් තුන්කෝටි හතලිස් එක් ලක්ෂයක් ගෙවති

ඒජන්සිකරුවෝ පැමිණිලිකරුවන්ට රුපියල් තුන්කෝටි හතලිස් එක් ලක්ෂයක් ගෙවති

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා ලබා නොදීම, විදේශ  ගතවූ පසු නියමිත පරිදි රැකියා ලබා නොදීම  හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම, ආදී  කරුණු පදනම් කරගෙන 2022 වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය පැමිණිලි විභාග කර ඒජන්සි හිමියන් විසින්  පැමිණිලිකරුවන් වෙත ගෙවීමට තිබූ රු.34,174,,000 ක මුදලක් ඔවුන් වෙත අයකර දීමට කටයුතු කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව ඉතා ඉහළ මුදලක් වන අතර, ගිය වසරේ මෙලෙස අය කර දෙන ලද මුදල රු. 8,945,900 කි.

මෙම කාලසීමාව තුළදී විමර්ශන ඒකකයට පැමිණිලි 1080ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 614ක් ලැබී ඇත්තේ කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව වේ.

 තවද ඒජන්සි ආයතන වලට එරෙහිව ලැබුන පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව නීති විරෝදී අයුරින් කටයුතු කර ඇති බවට තහවුරු වූ ඒජන්සි ආයතන 13ක කම්කරු බලපත්‍ර  මේවනවිට අවලංගු කිරීමට කටයුතු කර ඇත. තවදුරටත් පවතින පැමිණිලිවල ස්වභාවය අනුව ඒජන්සි ආයතන කිහිපයක බලපත්‍ර අවලංගු කිරීමට නියමිතව ඇත.

විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිවිරෝධි කටයුතු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව කරන ලද වැටලීම් ගණන 26ක් වන අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් ප්‍රමාණය 75කි. ඔවුන් අතරින් පුද්ගලයින් 13 දෙනෙකු කාර්යාංශයේ බලපත්‍රලාභී ඒජන්සි හිමියන්ය. මෙම කාලසීමාව තුළදී පැමිණිලි විභාග කර  පැමිණිලි 875ක ප්‍රමාණයක් විසඳා අවසන්කර ,205ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති අතර එයින් නඩු 115ක ප්‍රමාණයක් ගොනුකර ඇත්තේ ඒජන්සි ආයතන වලට එරෙහිවය.

 කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් විදේශ රැකියා අපේක්ෂිතයින් මුලාවට ලක්කරන්නන් පිළිබඳව දැඩිව කටයුතු කරන ලෙස  නිරන්තරයෙන්ම කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව  නීති විරෝදී ක්‍රියාවල නිරත පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව තරාතිරම නොබලා ක්‍රියාකිරීමට කටයුතු කරනු ඇත.