පාකිස්තානයේදී ම්ලේච්ඡයන්ට ගොදුරු වූ ප්‍රියන්ත කුමාරට යුක්තිය ඉටුවුනාද ?

පාකිස්තානයේදී ම්ලේච්ඡයන්ට ගොදුරු වූ ප්‍රියන්ත කුමාරට යුක්තිය ඉටුවුනාද ?

ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි ඉංජිනේරු ප්‍රියන්ත කුමාර මහතා කෲර වදහිංසනයකට ලක්කරමින් ලොවක් කම්පා කරමින් පාකිස්තානයේදී ඝාතනයට ලක්වී පසුගිය දෙසැම්බර් මස (3) දාට වසරක් ගතවී අවසන්ය. එම අමානුෂික ඝාතනය ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයන්ට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම සිත් තුළට කාවදින්න වූයේ එවැනි අමානුෂික කෲර වදහිංසනයකට මීට පෙර ශ්‍රී ලාංකිකයකු විදේශයකදී මුහුණ නොදුන් බැවිනි. පාකිස්තානයේ සියල්කොට් දිස්ත්‍රික්කයේ කම්හලක කළමනාකරුවකු ලෙස සේවය කළ අවස්ථාවේ ප්‍රියන්ත කුමාර ඝාතනයට ලක්වූයේ 2021 දෙසැම්බර් 03 වැනිදාය. සිද්ධිය සිදු වී වසරක් ගත වන මොහොතේදී සිය පවුලේ සාමාජිකයන් සහ නෑදෑ හිත මිතුරන් ඔවුන්ගේ ආගමික විස්වාසයන් අනුව මහා සංඝයා වහන්සේ සඳහා පසුගියදා දානමය පිංකමක් සංවිධානය කර තිබුණි.

වන්දි ලබාදීම කඩවුණ පොරොන්දුවක්

ප්‍රියන්තගේ අවාසනාවන්ත මරණය සිදු වූ අවස්ථාවේ පාකිස්තානු රජය ඇතුළු කර්මාන්ත බලධාරීන් ප්‍රියන්තගේ පවුලේ අයගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන බවට පොරොන්දු ලබා දෙන ලදී. ශ්‍රී ලංකා රජය ප්‍රියන්තගේ පවුලේ අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් පරිත්‍යාග කරන ලදී. එම අවස්ථාවේ පන්ජාබයේ ව්‍යාපාරික ප්‍රජාව ප්‍රියන්තගේ පවුලේ අය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කරන ලදී.

එම අවදියේ සිට ප්‍රියන්තගේ මාසික වැටුප ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ සුභසිද්ධිය සඳහා වසර 10 ක් වන තුරු ලබා දෙන බවට සේවායෝජකයන් පොරොන්දු වුවත් එම පොරොන්දු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බවට ප්‍රියන්තගේ බිරිඳ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර තිබුණි. ප්‍රියන්ත සේවය කළ කර්මාන්ත ශාලාවේ බලධාරීන් හෝ පාකිස්තාන රජය සාධාරණ කාලයක් සඳහා ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා වෙනුවෙන් වන්දි ගෙවනු ඇති බවට සමස්ත ලාංකිකයන් ඒ අවස්ථාවේ බලාපොරොත්තු වූ දෙයකි.

ආගමික අන්තවාදී කණ්ඩායම් සහ නීතිය

ප්‍රියන්ත සේවය කළ කර්මාන්ත ශාලාවේ සේවකයන් ඇතුළු සිය ගණනක් විරෝධතාකරුවන්ගෙන් සමන්විත මැර පිරිසක් විසින් ඝාතනය කරන ලදී. මැර පිරිස ඔහුට වධ දී ඝාතනය කර පසුව ඔහුගේ සිරුර මහ මගදී පුළුස්සා දැමූහ.

ප්‍රියන්තව ඝාතනය කර තිබුණේ දෙවියන්ට අපහාසයක් කර ඇති බවට කර්මාන්ත ශාලාව තුළ පැතිර ගිය කට කතාවකින් පසුවය. කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ තිබූ පෝස්ටරයක් ඉරා දැමීමෙන් දෙවියන්ට අපහාස කළේ යැයි කියමින් ප්‍රියන්තට එරෙහිව නීතිය අතට ගෙන තිබුණේ පාකිස්තානයේ තහනමට ලක්ව තිබූ තරීක් ඊ ලබ්බයික් පාකිස්තාන් නැමැති සංවිධානයක් විසිනි.

එහෙත් ඇත්තෙන්ම ප්‍රියන්ත එවැන්නක් සිදුකර නැති බව පසුව අනාවරණය විය. එහෙත් දීර්ඝ කාලයක් තිස්සේ පාකිස්තානයේ සේවය කළ ප්‍රියන්තගේ සමීප හිතවතුන්ට හෝ ඔහුව ගලවා ගැනීමේ හැකියාවක් පැවතුණේ නැත. ඒ වෙනුවට ඔහුට හිතවත්ව සිටි බොහෝ පිරිසක්ද අවසානයේ ප්‍රියන්තට එරෙහිව දෙවියන්ගේ නාමයෙන් මෙම ම්ලේච්ඡ ඝාතනයට හවුල්වී තිබිණි. ප්‍රියන්ත එහි වසර 11 ක් අවංකව සහ කැපවීමෙන් සිය රාජකාරි කටයුතු සිදු කළ අයෙකි.

මෙම ඝාතනය සිදුවන්නේ පාකිස්තානයේ පවතින ආගමට අපහාස නීතිය (Blasphemy) යටතේය. ආගමික විශ්වාසයන්ට අගෞරව කරන අයට ලබා දෙන දඬුවම් මේ තුළින් හඳුන්වා දී තිබේ. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට මෙම නීති වසර පහ හෝ තුනක සිරදඬුවම් නියම කරමින් පවත්වාගෙන ගිය පාකිස්තානය පසුව එයාට නෛතික බලාත්මක බවක් ලබා දෙන ලදී. 1980 දශකයේදී සිය ආගමික ශාස්තෘවරයාට අපහාස කිරීම සිදු කරන්නන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දෙන ආකාරයට නීති සංශෝධනය කරන ලදී.

නමුත් ප්‍රියන්තගේ ඉරණම තීරණය කරන්නෙ නීතියට අනුව පිහිටවූ අධිකරණයක් මගින් නොව නීතිය අතට ගත් කැළෑ නීතිය රජකර වූ අන්තවාදී කණ්ඩායමක් විසිනි. මෙම මිලේච්ඡත්වයෙන් වන්දි ගෙවීමට සිදු වන අවසාන පුද්ගලයා ප්‍රියන්ත ද නොවනු ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශවල පුද්ගලයන්ට එරෙහිව පුද්ගලික පලිගැනීම් පිරිමසා ගැනීමට ද මෙම අන්තවාදී නීති යොදා ගනු ලබන බව පැවසේ. විශේෂයෙන් අන්‍යාගමික සුළු ජනකොටස් මර්දනය කිරීමට මෙම නීති යොදා ගැනෙන බවත් ඇතැම් වරදවල් සඳහා නිසි අධිකරණයකින් දඬුවම් නියම කිරීමට පෙර මෙම අන්තවාදී කල්ලි විසින් පුද්ගලයන් ප්‍රසිද්ධියේ මහපාරේ ඝාතනය කරන බවට මාධ්‍ය වාර්තා හෙළි කරයි.

කර්මාන්ත ශාලාව ආසන්නයේ දී ඔහු වධහිංසාවට පමුණුවා මරා දැමීමෙන් පසු, ඔහුගේ සිරුරට ගිනි තබන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දර්ශනවල පැහැදිලිව සටහන්ව තිබිණි. පසුව එම සිද්ධිය ලොව පුරා විදේශීය මාධ්‍යවල පවා වාර්තා කරන්නට වූයේ ආගමික අන්තවාදය මුවාවෙන් මෙවැනි ගෝත්‍රික සිදුවීම් 21 වෙනි සියවසේ තවමත් සිදුවීම හෙළා දැකීමටය. මෙම අන්තවාදය මගින් අධිකරණවල ස්වාධීනත්වයට ද බලපෑම් එල්ල කරන අතර ඒ මගින් විනිසුරුවරුන්ට නිර්භයව තීන්දු තීරණ ගැනීමේ ඉඩකඩ අහුරාලනු ලබයි.

අන්තවාදයට රාජ්‍ය අනුග්‍රහය?

ලොව ප්‍රබල අන්තවාදී කණ්ඩායම් වන තලේබාන් සංවිධානය ඇතුළු ඇතැම් අන්තවාදී කණ්ඩායම් වෙත පාකිස්තානයට සම්බන්ධ රාජ්‍ය ආයතනවල සහයෝගය හිමි වන බවට ඇත්තේ ප්‍රසිද්ධ චෝදනාවකි. ඉන්දියාව මේ බව දිගින් දිගටම අවධාරණය කරන අතර ඒ මගින් බෙදුම්වාදය පෝෂණය වී කලාපීය සාමය සහ ලෝක සාමයට ද දැඩි තර්ජනයක් වනු ඇති බව ඉන්දියාවේ දැඩි ස්ථාවරය වෙයි. පාකිස්තානය එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා මිස එම හරයාත්මක චෝදනාවලට අවංක විසඳුමක් ලබා දීමට කටයුතු නොකරයි. රැඩිකල් ඉස්ලාමීය අන්තවාදීන් අදටත් ඔවුන්ගේ කටයුතු නිදහසේ සිදු කිරීමෙන් පාකිස්තානු රජයේ මුනිවත ලොවට හෙළි කරනු ලබයි.

මෙම ඝාතනයට අදාළව, සිදුවීමෙන් දින කිහිපයක් ඇතුළත පුද්ගලයන් 700කට අසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර පසුව ඉන් 89 දෙනකුට ඝාතන චෝදනා සම්බන්ධයෙන් පාකිස්තානයේ ත්‍රස්ත විරෝධී අධිකරණය විසින් අධිචෝදනා ගොනු කළේය. 2008 වර්ෂයේ නොවැම්බර් මස 26 දින මුම්බායි ප්‍රහාරය මෙන්ම අන්තවාදී පාකිස්ථාන ත්‍රස්තවාදය පෙන්නුම් කරන ලද ප්‍රධානතම අවස්ථාවක් වූ මෙම ඝාතනය, ආරක්ෂිත ලෝකයක් සඳහා ත්‍රස්තවාදය අවසන් කිරීමට පියවර ගැනීම පකිස්ථාන රජයේ බරපතළ වගකීමක් බව තවමත් ලෝකය විසින් සිහිපත් කිරීමේ සංකේතයක් බවට පත්ව ඇත.

එවකට පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම ඝාතනය හෙළාදැක තිබිණි. “සියල්කෝට්හි කර්මාන්ත ශාලාවක දී නීතිය අතට ගත් කණ්ඩායමක් එල්ල කළ කෲරතර ප්‍රහාරය සහ ශ්‍රී ලාංකික කළමනාකරුවකු පණපිටින් පුළුස්සා දැමීම පාකිස්ථානයට ලැජ්ජාසහගත දිනයක්” බව ඔහුගේ අදහස විය. මේ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය තමා පෞද්ගලිකව අධීක්ෂණය කරන බවත්, වගකිව යුත්තන් සියලු දෙනාටම උපරිම දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත්, අත්අඩංගුවට ගැනීම් දිගටම ක්‍රියාත්මක බවත් පාකිස්තාන අගමැතිවරයා එදා අවධාරණය කර තිබුණේය. මේ වන විට සේවයෙන් ඉවත්ව සිටින, එවකට පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා ද මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දැක තිබිණි. එය “ලැජ්ජාසහගත සිදුවීමක්” ලෙස හඳුන්වන හමුදාපතිවරයා, අධිකරණ ක්‍රියාමාර්ගවලින් බැහැර එවැනි ක්‍රියා කිසිසේත්ම පිළිගත නොහැකි බව ද පවසා තිබිණි.

ඝාතනයට ලක් වූ 48 හැවිරිදි ප්‍රියන්ත දියවඩන හය දෙනකුගෙන් යුත් පවුලක බාලයාය. ගනේමුල්ල කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, මාතර රාහුල සහ කැලණිය ධර්මාලෝක යන විද්‍යාලවල ආදිසිසුවෙකි. පේරාදෙණිය සරසවියෙන් 1993 වසරේදී ඉංජිනේරු විද්‍යාවේදී උපාධියක් ප්‍රියන්ත කුමාර දියවඩන හිමිකරගෙන තිබුණි. 2010 වසරේදී ඔහු පාකිස්ථාන ක්‍රසන්ට් ටෙක්ස්ටයිල් ඇඟලුම් කර්මාන්තශාලාවේ කාර්මික ඉංජිනේරු කළමනාකරු ලෙස සේවයට එක්වූ අතර, 2012 වසරේදී සියල්කොට් හි රාජ්කෝ කම්හලේ සාමාන්‍යාධිකාරී ලෙස සේවයට එක්වී තිබේ.

(දිවයින)