ජන සංක්‍රමණය ලෝකයටම ප්‍රශ්නයක්

ජන සංක්‍රමණය ලෝකයටම ප්‍රශ්නයක්

ශ්‍රී  ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදය ගැන විග්‍රහ කිරීමේදී එහි විපාකවලින් අත්මිදෙන පියවරක් වශයෙන් රට හැර යන පිරිස අවධානයට ලක්ව ඇත. වෙනත් රටකට ගොස් අලුතින් ජීවිතය ආරම්භ කරන අධිෂ්ඨානයක පසුවන තරුණ ජන කොටස සුළු පටු නොවේ. මෙම පිරිසගේ අරමුණු විග්‍රහ කරන ඇතැම් පිරිස් එය මහත් ප්‍රශ්නයක් වශයෙන් හ¾දුන්වා දෙමින් සිටිති. ඕනෑම උපක්‍රමයක්  අනුගමනය කර වෙනත් රටකට සංක්‍රමණය වීමට ප්‍රයත්න දැරීම තුළ දක්ෂ ශ්‍රම බළකායක් රටට අහිමි වීමේ අවදානමක් ඇත. විෂමතා ඇති නමුත් සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අංශවල ප්‍රගතිය සඳහා ශ්‍රී ලංකාව ආයෝජනය කරන ධනය සුළු පටු නොවේ. දක්ෂ පිරිසක් රටට ලැබීම එහි ප්‍රතිඵලයකි. අවස්ථා නොලැබීම හා ලැබෙන ආදායම ප්‍රමාණවත්

නොවීම පදනම් කරගෙන වෙනත් රටකට ඇතුළු වීමට උත්සාහ කිරීම දක්නට ඇති ප්‍රවණතාවකි. පාස්පෝට් පෝලිම, පිරිස රට හැර යන්නට උත්සාහ කරන පිරිස සම්බන්ධ එක සංකේතයකි. සම්මන්ත්‍රණ හෝ ක්‍රීඩා ඉසව් සඳහා රටින් පිටව ගිය ඇතැමුන් පවා ආපසු නොපැමිණීම ගැටලුවේ සංකීර්ණ තත්ත්වය දක්වයි. ලෝකයේ සෑම රටකම ශ්‍රමයට අවස්ථා ඇත. අඩු මුදලකට ශ්‍රමය ලබා ගැනීම පමණක් නොව, ඔවුන්ගේ රටවල මිනිසුන් වැඩ කරන්නට අකැමැති ක්ෂේත්‍රවල යෙදවීම සඳහාද බාහිර ශ්‍රමිකයන් අවශ්‍ය කෙරේ. වෙනත් රටක් හදා වඩා වෘත්තීය හැකියාවන් නංවන ලද කොටසක් වහාම තමන්ගේ ප්‍රයෝජනයට ලබාගැනීම දියුණු රටවලට හොඳ අවස්ථාවකි. රටට ඇතුළු වූ මොහොතේ සිට වැඩ කරන්නට සිදුවේ. සේවයෙන් ලැබෙන නිෂ්පාදනය ආර්ථික ප්‍රගතියකට හේතුවේ. නීත්‍යනුකූලවද සරණාගතයන් වශයෙන්ද කරන සංක්‍රමණය අවධානයට ලක්විය යුතුය.

දුප්පත් හා මැදි ආදායම් රටවල ශ්‍රමය නතරවන තැන

ලෝක සංක්‍රමණික සංවිධානයේ අලුත්ම වාර්තා පෙන්වන පරිදි ලෝක ජනගහනයෙන් සියයට 3.6ක් නොඑසේ නම් මිලියන 281ක් සිය මවුබිමෙන් බැහැරව වෙනත් රටක වාසය කරති. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ 2020 වාර්තා අනුව බලහත්කාරයෙන් රටවලට පැන ගොස් සරණාගත තත්ත්වයට පත් පිරිස මිලියන 82.4කි. ගැටුම්, හිංසන සහ මානව හිමිකම් උල්ලංඝන අවස්ථා මෙයට හේතු වී ඇත. මෙය සංවර්ධන අභියෝගයක් වන අතර හරි අඩකටත් වඩා වැඩි කොටසක් දුප්පත් හා මැදි ආදායම් ලබන රටවල ශ්‍රමය බව දැක්වේ. ලෝකයේ පවතින දුප්පත්භාවය හා ආදායම් මට්ටමේ නොගැළපීම් මෙම තත්ත්වයට වගකිව යුතු බව ආර්ථික පර්යේෂකයෝ පෙන්වා දෙති. තුලනාත්මක සංවර්ධනයක් ලෝකය පුරා ඇති කළහොත් ශ්‍රම ගලනය නතර කළ හැකි වනු ඇත.

නීති විරෝධී සංක්‍රමණ වැළැක්වීම සඳහා නීති පනවන ජාත්‍යන්තර ප්‍රජාවට එම නෛතික තත්ත්වය නිසි ආකාරයට ක්‍රියාත්මක කළ නොහැකි හේතු ගණනාවකි. සමහර රටවලට අවශ්‍ය ශ්‍රමිකයන් උපයා ගැනීමේ ක්‍රම පවතී. පුරවැසිභාවය දෙන අතර නොයෙක් වරප්‍රසාද පෙන්වා සමීප කරගන්නට වෑයම් කෙරේ. එම වෑයම තුළ පවතින තරගකාරීත්වය ශ්‍රම ගලනයක් සිදුවන ඇතැම් රටවල් තවත් වටයකින් දුප්පත්භාවයට පත් කරන හේතුවක් වී ඇත.

ඉහළ මට්ටමක දැනුම හා අවබෝධය සහිත පිරිස රට හැර ගිය පසු එම ක්ෂේත්‍රවල අවශ්‍යතා වෙනුවෙන් වෙනත් රටවලින් දක්ෂතා ඇති පිරිස සේවයට ගන්නට සිදුවේ. එය සෑහෙන පිරිවැයක් දරන්නට සිදුවන කාර්යයකි. පහළ තලයේ නුපුහුණු ශ්‍රමිකයන් රටකින් රටකට යනවිටද ව්‍යාකූලතා ඇති වේ. විවිධාකාරයේ වෘත්තීය සේවා සඳහා අඩු මිලට ලබාගත හැකි ශ්‍රමය හිඟවේ. ශ්‍රමයට වැඩිපුර ගෙවන පසු එහි පිරිවැයද සමාජයට බරකි.

මෙම දෙකොටසටම වෙනස් හේතු ඉදිරියේ රටවල් අත්හැර වෙනත් රටකට පලායන පිරිස් වෙති. අභ්‍යන්තර කැරලි, කෝලාහල ඒවාට ඉඩ සපයයි. ත්‍රස්තවාදය හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් නීත්‍යනුකූලව හෝ වෙනත් ක්‍රමවලින් පලාගිය ලක්ෂ ගණනක් යුරෝපා රටවල වෙසෙති. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පමණක් සරණාගත කඳවුරු එකසියහතක් තිබේ. තිරුචිරපල්ලි ප්‍රදේශයේ තවත් කඳවුරක් ඇත. මෙම කඳවුරු තුළ ජීවත්වන පිරිස හැටපන්දහස් අටසියයක් බව දැක්වෙයි. කඳවුරුවලින් බැහැර ජීවත්වන පිරිසක්ද වෙති. මෙම පිරිසගෙන් කොටසක් එම රටවල සහන හා ආධාර මත යැපෙන අතර තවත් කොටසක් පුරවැසිභාවය ලබා ගෙන ඇති බව දැක්වේ. බටහිර රටවලට ඇතුළු වූ පසු එම රටවල ඇති මානව හිමිකම් හා මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්ති අනුව ආරක්ෂාව සැලසෙන අතර එම වාසි තකා උපක්‍රමශීලී සංක්‍රමණයට වැර දරන කොටසක්ද වෙති’.

යුක්රේන අනාථ ජන කොටස් ඇති කළ කැලඹීම

සිරියාව, වෙනිසියුලාව, ඇෆිගනිස්තානය, දකුණු සුඩානය සහ මියන්මාරය සරණාගතයන් වැඩිම පිරිසක් නියෝජනය කරන රටවල්ය. රුසියාව හා යුක්රේනය අතර ගැටුම් හේතුවෙන් පසුගිය කාලය තුළ ලක්ෂ එකසිය විස්සක පමණ ජන කොටසක් දේශසීමා අතරින් පැනගොස් ඇත. කොටසක් ඉවත්ව යන අතර තවත් කොටසක් යාබද රටවල ජීවත්වීමේ අපහසුතා දැක නැවතත් ගම්බිම් බලා පිටත්ව එන බව වාර්තා වේ. ජාත්‍යන්තර සංවිධාන ඔවුන්ට ආධාර, ගුවන් ටිකට්පත් හා අනාගත අවශ්‍යතා සලකා බලයි. පෝලන්තය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, තුර්කිය හා බි්‍රතාන්‍ය ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක් සරණාගත සංක්‍රමණිකයන්ට පහසුකම් සපයමින් සිටී. සමහර රටවලට ලක්ෂ ගණනක පිරිසකට රැකියා, ආහාරපාන, සෞඛ්‍ය පහසුකම් සපයන්නට සිදුවී ඇත. සංක්‍රමණික පවුල්වල දරුවන්ට පාසල් සොයා දෙන්නටද සිදුවී තිබේ.

ආර්ථික පර්යේෂකයන් පෙන්වන පරිදි, සංක්‍රමණික පිරිස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පිරිවැය වශයෙන් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන තිහක් පමණ වැය කරන්නට සිදුවේ. අනුන්ගේ ගැටුම්වලට යුරෝපා රටවල ආර්ථිකය හිරවී සිටින අතර පොදු පහසුකම් සඳහා වැය කරන සම්පත් ගැන එම රටවල බදු ගෙවන ජනතාව කනස්සල්ලකින් පසුවන බවද දැක්වේ.

කෙසේ නමුත්, විවිධ ගැටුම් හේතු කොට ගෙන වෙනත් රටවල සිටින පිරිස් මොනවා හෝ වෘත්තියක යෙදෙමින් සීමිත ආදායමක් ඉපැයීමට සමත් බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය පෙන්වා දෙයි. සංක්‍රමණිකයන් අතරින් විධිමත්ව හෝ අවධිමත්ව රැකියා කරන පිරිස මිලියන 169කි. මෙම පිරිස අතර විශාල පිරිසක් ළමා ශ්‍රමිකයෝද වෙති. උපයන ආදායම්වලින් කොටසක් තමන්ගේ රටවලට යවන අතර පසුගිය වසරේදී එලෙස යවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 647කි. මෙම මුදල විදේශගත පිරිස් එවන මුදලක් නොව හව්හරණක් සොයාගෙන පලාගිය කොටස් එවන ධනය බව සඳහන් කිරීම වැදගත්ය. මෙම මුදල් දකින තවත් පිරිස් සංක්‍රමණ අවස්ථාවලින් උපයාගත හැකි තරම තක්සේරු කරමින් නීති විරෝධී ලෙස වෙනත් රටකට ඇතුළු වීමට පෙලැඹීම තවත් අර්බුදයක් බව මැදහත් විචාරකයන්ගේ අදහස වී ඇත.

සංක්‍රමණිකයන්ගෙන් සුළු කොටසකට පමණක් අනාගතයක්

වෙනත් රටවලින් පලා එන සරණාගතයන් සඳහා සම්පූර්ණ පහසුකම් සපයන්නට සංවර්ධිත රටවල් සූදානම් නැත. රටට අවශ්‍ය ශ්‍රමය තිබියදී සෙසු කොටස ආපසු හැරවීමට විවිධ උපක්‍රම භාවිත කරති. ඕස්ට්‍රේලියාව වෙනම දූපතක සංක්‍රමණිකයන් රඳවන අතර දීර්ඝ විභාගවලට ලක්කර අසාධාරණවලට ගොදුරු වූවෝ සොයා බලති. බටහිර රටවල් පවා ජාත්‍යන්තර සංවිධානවල සහාය ඇතිව නැවත ඔවුන්ගේ මවු රටවලට හරවා යවන සැලැස්මක පසුවේ.

සංක්‍රමණිකයන්ට රැකවරණ සපයන, ඔවුන්ට තාවකාලික නවාතැන් සම්පාදනය කරන රටවල් තුළ මානව අවශ්‍යතා සම්බන්ධයෙන් සැලකිල්ලක් පමණක් නොව දේශපාලන කරුණුද අවධානයට ගැනේ. දේශපාලන උපක්‍රම වශයෙන් සංක්‍රමණිකයෝ ආරක්ෂා කරගැනීමට වෑයම් කරන පක්ෂ ඇත. සුළු පක්ෂ පමණක් නොව ඇමරිකාව, බි්‍රතාන්‍ය හා යුරෝපා රටවල ප්‍රධාන දේශපාලන පක්ෂ පවා සංක්‍රමණිකයන්ට පුරවැසිභාවය ලබාදී පසුව සිය ඡන්ද පදනමක් බවට හරවා ගැනීමේ වෑයමක් ඇත. ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට අත්ව ඇති ඉරණම එයින් එක පැත්තකි. 2019දී ප්‍රාන්ත පුරවැසි පනත සංශෝධනය කිරීමට මහ ඇමැති එම්. කේ. ස්ටාලින් පියවර ගත්තේය. පාකිස්තානය, ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශය යන රටවල මුස්ලිම්වරුන්ට හැර අනෙක් සංක්‍රමණික සරණාගතයන්ට පුරවැසිභාවය ඉල්ලුම් කරන්නට අවසර දී තිබේ. තමිල්නාඩු දේශපාලනයට  බලපෑමක්

කරන ප්‍රතිවිරුද්ධ පක්ෂයක් වන ඔල් ඉන්ඩියා ද්‍රවිඩ මුනේත්‍ර කලහම් පක්ෂයද මෙම යෝජනාවට සහාය දැක්වීය. අනෙක ඉන්දීය මහ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු ඇමැති අමිත් ෂා පුරවැසිභාවය ඉල්ලන අයට සිය මවු රටේ තත්ත්වය අත්නොහැර ද්විත්ව පුරවැසි භාවය ලබාදිය හැකි බවද ප්‍රකාශ කර තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 2021 වසරේ පෙබරවාරියේදී චෙන්නායිහිදී ප්‍රකාශයක් කරමින්, තමිල්නාඩුවේ වෙසෙන ලාංකේය දෙමළ ජනතාවද සමාන අයිතිවාසිකම් ඇති යුක්තිය ඉටුවිය යුතු පිරිසක් බව කියා සිටියේය.

ඕනෑම රටකින් පලාඑන සංක්‍රමණිකයන්ට අවස්ථා ලැබෙන ක්‍රම ගණනාවකි. මුලින්ද සඳහන් කළ පරිදි එම රටේ පවතින කර්කශ රැකියා කරන්නට සූදානම් තරුණ පිරිසක් නම් ඔවුන්ට අවස්ථාව ලැබේ. මෙම ස්වභාවය අධ්‍යයනය කරන අතරමැදියන් උපක්‍රමශීලීව නීිති විරෝධී සංක්‍රමණ ව්‍යාපාර කරගෙන යන අතර ඒවා අති විශාල ධනයක් උපයන මිනිස් ජාවාරම් බවට පත්ව ඇත. අවදානම හා අනතුර නොපෙන්වා මුදල් අය කරගෙන සංක්‍රමණ අවස්ථා දෙන බව ප්‍රකාශ කර අතරමං කරන අවස්ථා බහුලය.

රට හැරයෑම නතර කරන්නට ගත හැකි පියවර

ත්‍රස්තවාදී කාලපරිච්ඡේදය අවසන් කර සාමකාමී වාතාවරණයකට ඇතුළු වූ ශ්‍රී ලංකාව අනපේක්ෂිත පරිදි ආර්ථික අර්බුදයකට මුහුණ පෑවේය. දෙවැනි ලෝක යුද කාලයට පසු උද්ගත වූ දරුණුම පරිහානිය වශයෙන් දැක්වේ. රැකියා හිඟය, ආදායම ප්‍රමාණවත් නොවීම, අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාව ඉදිරියේ දස දහස් ගණනින් වෙනත් රටවල අවස්ථා සොයා පිටත්ව යන ප්‍රවණතාවකය. මෙය හුදෙක් සරණාගත සංක්‍රමණයක් නොවන නමුත් අර්බුදයක් හමුවේ පලායෑමක් වශයෙන් සැලකිය හැකිය. මැදි ආදායම් රටක තත්ත්වයක සිට පහතට වැටුණු පසු ඇතිවන අපේක්ෂා භංගත්වය මෙයට පදනම් වී තිබේ.

ශ්‍රී ලංකාවේ බලධාරීන්, ප්‍රතිපත්ති සම්පාදකයන් මෙම ව්‍යුහය ගැන අවධානයකින් කටයුතු කළ යුතුය. ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද? ආණ්ඩුව පමණක් නොව විපක්ෂයටද වගකීමක් ඇත. විපක්ෂ දේශපාලන පක්ෂවලට පිටරටවලට ගොස් එහි සිටින ශ්‍රී ලාංකිකයන්ට කරුණු කියා දී කටයුතු කරන්නට සිදුවීම පවා ශ්‍රී ලංකාවේ ගමන් මඟ ගැන අලුතින් හිතන්නට ගැළපෙන අවස්ථාවකි.

විදේශගතව සිටින පිරිස ලංකාවේ තත්ත්වය ගැන කනස්සල්ලෙන් පසුවෙති. ජීවත්වන රට තුළ ඇති පුළුල් වපසරිය, නිදහස හා ආර්ථික ප්‍රවණතා දකින පසු පාලකයන් ගැන දරුණු විවේචන කරන බව රහසක් නොවේ. ජාතිය, ආගම ගැන කැක්කුමකින් කතා කරන විදේශගත ශ්‍රී ලාංකිකයෝ රට ගොඩනඟන්නට දෙන උපදෙස් ප්‍රමාණයද සැලකිල්ලට ගත යුතුය. ජීවත්වන රටේ නීති හා බදු විධි විධාන අනුව උපරිම මහන්සියෙන් රස්සා දෙක තුනක් කරමින් වෙහෙසෙන නමුත් ලාංකිකයන් නැවත රටට පැමිණියහොත් එවැනි වෙහෙසකින් වැඩ කරන්නට සූදානමක් නැත. ශ්‍රී ලංකාවේ ශ්‍රම

බළකාය තුළ පවතින අකාර්යක්ෂමතාව හා උත්පාදනය අඩුවීමද මෙම තත්ත්වයෙහි ප්‍රතිඵලයකි. සහනාධාර ක්‍රම, අධික වියදම, දේශපාලන උපක්‍රම, වංචා හා දූෂණ යන සියලු කාරණා එකතු වූ පසු සංක්‍රමණය හැර වෙනත් විකල්පයක් කෙරෙහි අනුගත නොවීම කනගාටුවට කරුණකි. ආණ්ඩුවද ප්‍රතිපත්ති වෙනස්කම් කරන අතර ආයෝජන අවස්ථා සැපැයිය යුතුය. දේශීය හා විදේශීය ව්‍යවසාය බහුල කරන අතර සාම්ප්‍රදායික ව්‍යුහයෙන් ගැලවී අලුත් රාමුවකට ඇතුළු වුවහොත් පවතින සංකීර්ණභාවයෙන් ගැලවීමක් ඇත.

| ශාමින්ද වත්තේගෙදර (මව්බිම)