2023 මැයි වන විට ශ්‍රමිකයින් 2726 ක්  කොරියාවේ රැකියාවලට පිටත්ව ගිහින්

2023 මැයි වන විට ශ්‍රමිකයින් 2726 ක්  කොරියාවේ රැකියාවලට පිටත්ව ගිහින්

2023 මැයි මාසය වන විට දකුණු කොරියානු රැකියා  සඳහා ලාංකික ශ්‍රමිකයින් 2726 දෙනෙකු මෙරටින් පිටත්ව ගොස් ඇත. 2022 වසරේ අග සහ මෙම වසරේ මුල් මාස කිපය තුළදී මෙරටට එවන ලද රැකියා ගිවිසුම් අනුව තරුණයින් 2694 දෙනෙකු සහ තරුණීයන් 32 දෙදෙනෙකු එසේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔවුහු නිෂ්පාදන, ධීවර සහ ඉදිකිරීම් යන රැකියා ක්ෂේත්‍රවලට අයත් වෙති.

2023 වසරේ ශ්‍රමිකයින් 8000 ක් පමණ කොරියානු රැකියාවලට බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව එකඟතාවය පළ කොට ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගිය දා ප්‍රකාශ කළේය. ඒ අනුව කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තු වෙබ් අඩවියට දත්ත අතුළත් කර ඇති මෙරට රැකියා අපේකෂිත තරුණ තරුණියන්ගෙන් කොරියානු සේවා යෝජකයින් විසින් රැකියා ගිවිසුම් ලබාදීමට තෝරාගෙන ඇති ශ්‍රමිකයින්ව, කඩිනමින් රැකියා සඳහා පිටත්කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවශ්‍ය පියවර ගෙන තිබේ.

 එමෙන්ම 2023 වසරට අදාළව දැනට පැවැත්වෙමින් ඇති කොරියානු භාෂා පරීක්ෂණය සඳහා  84886 ක අයදුම්පත් ප්‍රමාණයක් ලැබී  තිබේ. භාෂා පරීක්ෂණය සඳහා ඉදිරිපත් වන එම පිරිසගෙන්  8028 දෙනෙකු නිෂ්පාදන සහ ධිවර රැකියා ක්ෂේත්‍රවලට අදාලව සමත් කරනු ලබන බව කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා තිබේ.