‘ෆෝන් එකක් ළඟ තියාගෙන ඉඳලා අහු වුණොත්, හිරගෙදරට දානවා. හේතුවක් නැතිවත් දානවා. අපි, පිරිසක් ලංකාවට එවපු නිසා, ඒ කේන්තියටත් එහේ ඉන්න 14 දෙනාව දාලා තිබුණා. එතැනට යන හැමෝවම මාංචු දාලා එල්ලා තියනවා. කකුල් දෙකෙන් එල්ලනවා. කන්න බොන්න දෙන්නේ නෑ. එකදිගට පැය 11ක්වත් අඩු තරමේ තියෙනවා. අත් ඔක්කෝම එළියට එද්දී තුවාල වෙනවා. නින්ද යන්න බෑ. ඇස් දෙක වැහුණොත් ඒත් ගහනවා. ඇනලා ඇනලා ලේ එනවා. ඇඟේ ගහන්න තැනක් නැති වුණාම මූණට ගහනවා. මූණට ගැහුවාම හම ඇතුළෙන් ලේ පුරනවා. පේනවා එළියට. මෙතැන ඩොක්ටර්ස්ලාත් ඉන්නවා. සමහර අයට ගහලා, ආයේ ඇඟෙන් වැඩක් ගන්න බැරි වුණාම අවයව අරන් ගඟට දානවා. දවසට මිනී හත අටක් ඒ විදියට ගඟට එකතු වෙනවා. තව සමහර අයව පණපිටින් විකුණනවා.’
සුදර්ශන මියන්මාරයේ කඳවුරක රැඳී සිට ලංකාවට පැමිණි තරුණයෙකි. ඔහු ඇතුළු තිස්දෙදෙනකු මෑතකදී ලංකාවට පැමිණියේ අස්සජි හිමි නම් වූ හිමිනමකගේ මැදිහත්වීමෙන් කළ ගලවා ගැනීමේ මෙහෙයුමකිනි. ඔහු උඩ කී කතාව අසද්දී ඇසේ කඳුළු පුරවාගන්නී විශ්මි නවෝද්‍යාය. ඒ ඇගේ සැමියා තවමත් කඳවුරක සිර වී සිටින නිසාය. ‘එයාලාව මරලා ගඟට දායි’ ඇය සංවේදීව මුමුණන්නීය.
මේ කතාව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණි. යන්මාරයේ දරුවන් ගැන බොහෝ අය දනී. එහෙත්, බොහෝ වාර්තාවන්හි ඒ තරුණ තරුණියන් ගැන විස්තරාත්මක කතාවක් ලියැවී නැත. මාස කිහිපයකට පෙර මෙම දරුවන් ගැන දිවයිනේ අපි කතා කළෙමු. මේ ඔවුන්ගේ කතාව දෙස යළි හැරී බැලීමකි. එමෙන්ම, තවමත් ඉතිරි වී සිටින තරුණයන් බේරාගැනීම ගැන කතාවකි. පොතුවිල්, මහනුවර සහ වැලිමඩ ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් සිටී. පහරදීම්, හම පුපුරායෑම්, තුවාල ලැබීම් ආදිය නිතිපතා ඔවුන්ට විඳින්නට සිදු වී තිබේ.
ශ්‍රී ලංකාවෙන් මියන්මාරයේ මෙම මිනිස් ජාවාරමට හසු වී සිර වී සිටි අය අතරින් එක් තරුණියක දරුවක් ලැබෙන්නට නියමිත වූ නිසා ලංකාවට එවා තිබුණි. ඊටත් පෙර අවස්ථාවකදී ද තවත් පිරිසක් සිරගතව සිට ලංකාවට ගෙන්වාගෙන තිබුණි. මෑතකදී ගෙන ගිය අය අතරින් 46 දෙනකු මෙලෙස සිරගත කර සිටියේය. ඒ අනුව අවසන්වරට 45 දෙනකු සිට ඇත. එයින් එක් තැනක 14 දෙනකු සහ අනෙක් ස්ථානයේ 31 දෙනකු තවත් තැනක සිට ඇත.
සුදර්ශනගේ කතාව
සුදර්ශන උස දේහධාරී තරුණයෙකි. ශක්තිමත් තරුණයෙකි. ඕනෑ දරුණු අත්දැකීමකට මුහුණදිය හැකි පෙනුමක් ඇති තරුණයෙකි. එහෙත්, ඔහුට වුව මේ කඳවුර බිහිසුණු අත්දැකීමක් විය. ‘ලංකාවේ ඉඳන් අපව ගෙනිච්චේ තායිලන්ත වීසා එකකට. ඒ රස්සාව එක්ක ඔවුන් අපට මොකක්ද රස්සාව කියලා දාන්නේ නැහැ. මිනිස්සුන්ට ආදරය පෙන්වලා ආයෝජන කරන්න තියෙන්නේ. අපට කිව්වා තායිලන්තයේ රැකියාවක් කරන්න එන්න කියලා.
මාසයක් එකහමාරක් ගියාම වීසා ප්‍රොසෙස් වෙනවා, ඊට පස්සේ වැඩ කරන්න වෙනවා කිව්වා. තායිලන්තයේදී අපව ගන්න කෙනාගේ විස්තර හයර් කරපු කෙනා එව්වා. එයාපෝට් එකෙන් බැහැලා, අපව කිලෝමීටර් 563ක් පැය හයහමාරක් තිස්සේ එක්කන් ගියා. තායිලන්තයේ අන්තිම කෙළවරටම එක්කාගෙන යනවා. ඒ වෙලාවේම සැකයක් එනවා කොහේද මේ එක්කාගෙන යන්නේ කියලා. ඒත්, අපි ප්‍රශ්නයක් ඇහුවත් ඔවුන් උත්තර දෙන්න දන්නේ නෑ. එයින් පස්සේ අපව භාර දුන්නා තවත් වාහනයකට. එතැන ඉන්නවා චීන ජාතිකයෙක්. ඔහු ඒ වාහනයේ කිලෝමීටර් සීයක් විතර එක්කාගෙන ගියා. ගඟක් අද්දරට. මේක තායිලන්ත, මියන්මාර සීමාව. කැලෑවක අතරමං කරනවා වගේ එක්කාගෙන ගිහින් නැවැත්වුවේ. එතැන හතර දෙනෙක් ආවා. ඔවුනුත් ත්‍රස්තවාදීන් හා සමානයි. ඔවුන් එක්කෙනෙක් ඇවිත් අපේ ලගේජ් එක අරන් යනවා. අනෙක් අය අපේ ඇඟ හයියෙන් අල්ලාගන්නවා. මෙතැන පාරුවක් වගේ තියෙනවා. අපව ගඟෙන් එගොඩ කරන්න. මෙතැන බලහත්කාරයක් වගේ තිබුණත්, අපට ලොකු බයක් විතරයි තිබුණේ. මොකද, අපව ගන්න ආපු අයගේ ඉණේ පිස්තෝලයක් තිබුණා. ගන්න එද්දී, ඒක පේන විදියට තමයි හිටියේ. අපි නොදන්න රටක ඔවුන් අපව එක්කාගෙන යන විදිය ප්‍රශ්න කරන්න බයකුත් ආවා. ගංගාව පහු කරන තැන අඩි විසිපහක් හාරලා තිබුණේ. මීටර් 250ක දුරක්. ඒත්, හාරලා තියෙන විදියට එතැනින් එළියට පනින්න බැහැ. එළියට පැන්නොත් ඕමෝස් කියලා තව පිරිසක් ඉන්නවා. චීන ජාතිකයන් සල්ලි ගෙවලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ ඒ පිරිස් 200- 400 සීසී බයික්වලින් නිතරම සැරිසරනවා. අපි නිකම් හරි පැනලා යන්න හැදුවොත් ඔලුවට තියලා ඉවර කරලා දානවා. ගෙදර කට්ටියටවත් කිසිම දෙයක් හම්බවෙන්නේ නෑ.
අපව කෑම්ප් එකට ගියාම මිලිටරි ඇඳුම් ඇඳගත්ත පිරිස් තමයි පාලනය කරන්නේ. ඔවුන් ත්‍රස්තවාදීන් වගේ. ඒ අය අපේ ඇඳුම් ඔක්කෝම ගැලෙව්වා. ඇඟේ ඔක්කොම චෙක් කළා. අපේ ෆෝන් එතැනදීම ගත්තා. ලගේජ් ගත්තා. පාස්පෝට් ගත්තා. චීන ජාතිකයෙක් අපව කාර්යාලයට එක්කාගෙන ගියා. පරිගණකයක් ගෙනල්ලා, අපට පරිගණකයට අත හුරු වෙන්න පරීක්ෂණයක් දෙනවා. අපි ඒක කරද්දී අත වෙව්ලන්න ගත්තොත් කණේ පාරක් ගහනවා ඒ වෙලාවේම.
අලුත් කියලා නෑ. පළවැනි දවසේ ඉඳලාම වැඩ කරන්න ඕනෑ. අලුත් අය ඉස්සරහා මීට කලින් වැඩකරපු අයට කසපහර ගැහුවා, විදුලිසර ඇල්ලුවා. දඬුවම් කළා. මේ කඳවුර ඇතුළේ හිරගෙයක් තියෙන බව අපට දැනගන්න ලැබුණා. ඒ හිරගෙය පාලනය කරන්නේ ඒ අය අතරම වෙන පිරිසක්. ලේ හැලෙනකල් ඕනෑ කෙනෙක්ට ගැහුවා. අපේ අතේ සල්ලි තිබුණොත් තමයි බෙහෙත් ගන්න වුණත් යන්න ලැබෙන්නේ. අපට ෆෝන් එක දෙන්නේ මාසෙකට දවසයි. ඒකත් හිතෙන්න ඕනෑ. අපට පැය 18ක් වැඩ කරන්න තියෙනවා. නිදිමත වුණත්, මොනවා වුණත්. ඔෆිස් එකට ගිහිල්ලා සමහර වෙලාවට ඇස් පියවෙනවා. ඇස් පියවුණොත් ඒකටත් පනිෂ්මන්ට් දෙනවා. එයාලාට හිතෙන පනිෂ්මන්ට් එක දෙනවා.
කසපහර දෙන්න හිතුණොත් කසපහර. උණ බම්බුවෙන් ගහන්න හිතුණොත් උණබම්බු. ලොකු උණ බම්බු තිබුණේ. ලොකු වතුර බෝතල් කරේ තියාගෙන ඔවුන් කියන තරමට ස්කොඩ් ගහන්න ඕනෑ. ඒක කරන්න ඕනෑ කීබෝඩ් එකේ ප්ලාස්ටික් බට්න් ටික අයින් කරලා, ඊට යටින් තියෙන කූරු ටික මත. කූරු මත කකුල බැලන්ස් කරලා හිටගන්න ඕනෑ. ඒක මඟහැරුණත්, පනිෂ්මන්ට් එක වැරදියට කළත් උණ බම්බුවලින් හරක් මරන්න වගේ ගහනවා. ලේ එනකල්ම ගහනවා.’
මීට සමාන අත්දැකීම් කඳවුරේ සිරවූවන් බොහොමයකට ඇත. අප සොයා බැලිය යුත්තේ මෙලෙස වධ දෙන කඳවුරුවල පූර්ණ පසුබිම් කතාව කුමක්ද කියාය.
රැකියාව
සුදර්ශන තමන්ට කරන්නට සිදු වූ රැකියාව මෙසේ විස්තර කරයි.
‘රවට්ටනවා. රවටන්නේ ඔයාව කියා හිතමු. ඔයාගේ දූරකථන අංකය ඔවුන් ළඟ තියෙනවා. මිනිස්සුන්ගේ දත්ත තියෙනවා. ඒ ඒ රටවල් අනුව භාෂාව පාවිච්චි කරන්න පුළුවන්. අපි මොන භාෂාවෙන් යැව්වත් පරිගණකයෙන් භාෂාව පරිවර්තනය වෙලා මැසේජ් යනවා. ගෑණු කෙනෙක් වගේ පිරිමි අය මැසේජ් කරන එක රස්සාව. රැවටීමට ලක් වෙන කෙනාව කොහොමහරි ආදරය කරන්න පොළඹවාගෙන ආයෝජනයට පොළඹවන්න ඕනෑ. මෙය ලෝකයේ ‘පිග් බුචරින්’ යනුවෙන් හඳුන්වන වංචා සහගත රැවටීමේ ක්‍රමවේදයයි. වංචාකාර කණ්ඩායම් විසින් ‘ආයෝජනයට’ යැයි කියමින් පුද්ගලයන්ගේ මුදල් යෙදවීමට පොළඹවයි.
බොහෝ විට මෙලෙස ආයෝජනය කරවන්නේ ක්‍රිප්ටෝකරන්සිවලය. අවශ්‍ය තරම් මුදල් එකතු වූ පසු වෙබ් අඩවිය වැසී යන අතර, මුදල් අතුරුදන් වෙයි. දකුණු ආසියාවේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට වඩා වැඩි මුදලක් මෙවැනි සයිබර් අපරාධවලින් උත්පාදනය කෙරෙන බව එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාලය පවසයි.
මේ අපරාධකාරී කඳවුරු ගැන ජාත්‍යන්තර මාධ්‍යයද වාර්තා කර ඇත. සේවාදායකයකු කතා කොට පිළිතුරු නොදුන්නොත් දිවා ආහාරය නැත. රැවටිල්ලට ලක්වෙන යම් කෙනකුගේ පණිවිඩයකට ප්‍රතිචාර නොදැක්වුවොත් එයටද දඬුවම්ය. ‘පිග් බුචරින් කියන්නේ කන්න දීලා මරන එක. එයාට ආයෝජනයෙන් සල්ලි ගන්න දෙනවා. අන්තිමට ලොකු ආයෝජනයක් කරලා එයාව නැත්තට නැති කරලා දානවා.’ කියා කීවේ, කඳවුරේ සිට නැවත ලංකාවට ආ, නම සඳහන් කිරීමට අකමැති වූ තවත් තරුණයෙකි. පැය 18ක වැඩ දවසේ විවේක හෝ නිවාඩු නැත. ඔවුන් පවරන දේවල් හරිහැටි නොකළොත් එක්කෝ විකුණන බව, නැත්නම් මරා දමන බව කියමින් තර්ජනය කරයි.
නම සඳහන් නොකළ තරුණයා වසර දෙකහමාරක් තිස්සේ රැඳී සිටි කෙනෙකි. ඔහු ඇත්තෙන්ම තමා ලැබූ අත්දැකීම යළි සිහි නොකර, අමතක කර දමා ජනවාරියේ සිට රැකියාවක් හොයාගෙන ජීවන යුද්ධයට මුහුණදීමට සැලසුම් තනන්නෙකි.
‘පළවැනි කම්පැණියේදී මම වැඩ කළේ නෑ කියලා ඩොලර් දහදාහකට විකුණුවා. මම කලින් හිටියේ, 25 ගේට් කියලා සාපේක්ෂව පොඩි කෑම්ප් එකක. අක්කරයක විතර එකක්. කේකේ පාර්ක් 2 කියන එකේ ආදායම අඩුයිලු. ඉලක්කය ලබන්න බැරි වුණාම ඇඟිලිවල නියපොතු පවා නැති කළා. මේක මිනිස් ජාවාරමක් සහ වහල් සේවයක්.’ කියා ඔහු කීය.
කඳවුර
මියන්මාරයේ කරින් ප්‍රාන්තයේ පිහිටා ඇති කේ.කේ. පාර්ක් නමින් හඳුන්වන මෙම සයිබර් අපරාධ කඳවුර 2021 දී සිදු වූ මියන්මාරයේ මිලිටරිමය කුමන්ත්‍රණයෙන් පසු මියවාඩ්ඩි නම් ප්‍රදේශයේ කැරන් නැෂනල් යුනියන් නම් වූ සංවිධානයේ අනුග්‍රහයෙන් චීනයේ සමාගම් කිහිපයක මැදිහත්වීමෙන් ආරම්භ කර ඇත. මෙම කඳවුර කොටස් තුනකින් යුක්තය. කේ.කේ. පාර්ක් 1, 2, 3 යනාදී ලෙස ඒවා හඳුන්වයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන ආකාරයට 120,000ක පමණ පිරිසක් මෙලෙස ලෝකයේ විවිධ රටවලින් ගෙනැවිත් මියන්මාරයේ බලහත්කාර සේවයට යොදවාගෙන තිබේ. මෙවැනි කඳවුරු විශාල ප්‍රමාණයක් මියන්මාරයේ ඇත. මියන්මාරයේ ඇති දේශපාලන අර්බුදය මෙම සාපරාධී කර්මාන්තයට ආරක්ෂාව සපයයි. හමුදා කණ්ඩායම් ගණනාවක් අතරේ රටේ පාලනය පවතී. එම මිලිටරි කණ්ඩායම් අතර අභ්‍යන්තර යුධමය තත්ත්වයක් පවතී. එම නිසාම මේ ප්‍රදේශය සිවිල් පාලනයක්, මානව හිමිකම් හෝ නීතියේ ආධිපත්‍යය පිළිගන්නා පාලනයක් නොමැති තැනක් වී ඇත. එපමණක් නොව, මේ වල්වැදුණු අනීතික ස්වභාවය නිසාම රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් එම ප්‍රදේශයේ ගනුදෙනු කළ නොහැකි තරම්ය.
‘අපව එක්කාගෙන යනකොට ඒ අවට කිසිම ගොඩනැඟිල්ලක්වත් නෑ. මියන්මාරය හරි දුප්පත් රටක්. ඒ අවට කැළෑව සහ සංවර්ධනය වෙලා නැති පැත්තක්. ඒත් මේක විශාල කඳවුරක්. චීන ජාතිකයන් හදලා තියෙන ඒක අති විශාල ස්කීම් එකක් වගේ. එතැන හතළිස්දාහක්, පනස්දාහක් වගේ පිරිසක් වැඩ කරනවා. මේක පාලනය කරන ධනවත් චීන ජාතිකයන් ඉන්නවා. ඊට අමතරව දුප්පත් චීන ජාතිකයනුත් වැඩ කරනවා. අපි වගේම රස්සා හොයාගෙන ඇවිත්. මේක ඇතුළේ ධනවත් අයට හොස්පිටල් තියෙනවා, ස්පා තියෙනවා. නයිට් ක්ලබ් තියෙනවා. අපව හිර අඩස්සියට අරන් තියා ගන්නේ’ කියා, සුදර්ශන පැවසීය.
කේ.කේ. පාර්ක් කඳවුර පමණක් මාසෙකට යුරෝ මිලියන දසදහස් ගණන් උපයන්නේය. ජේසන් ටවර් එක්සත් ජාතීන්ගේ සාම ආයතනයේ බුරුම නියෝජිතයාය. ඔහු මෙවැනි කඳවුරු පිළිබඳ අධ්‍යයනය කර ඇතිවා සේම ඒ ගැන ලියා ඇති කෙනෙකි.
‘අප මෙවැනි තත්ත්වයන් මියන්මාරය පුරා දැක තිබෙනවා. මෙවැනි කඳවුරුවල වධහිංසාව මෙන්ම වධහිංසාව දැක තිබෙනවා. මෑතකදී සීයකට වැඩි පිරිසක් පලා යන්නට උත්සාහ කළා. ආරක්ෂක කණ්ඩායම් වෙඩි ප්‍රහාර එල්ල කරලා තිබුණා. පැන යන්න තැත් කළ විශාල පිරිසක් ඝාතනයට ලක් කර තිබුණා. මානසික වධහිංසා සහ තර්ජන වාර්තා වෙලා තිබුණා. ඇත්තටම මෙම බොහෝ වංචා සිදුවන ස්ථාන මුලින් ගොඩනඟා තිබුණේ, නීතිවිරෝධී අක්වෙරළ සූදු මෙහෙයුම්වලට. ඔවුන් මූලිකව චීන ජාතිකයන් ඉලක්ක කරනු ලැබුවා. විශාල ප්‍රාග්ධනයක් චීනය සහ මියන්මාර දේශසීමාව අසල මෙම ප්‍රදේශයට ගෙනාවා. කැසිනෝ නගර ඉදි කරන්න ගත්තා. එහෙත්, වසංගත සමයේදී මේ කැසිනෝ නගරවලට ශ්‍රමිකයන් නොලැබී ගියා. ඒ වගේම චීනය සූදු පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු වෙනස් කිරීමට සමගාමීව එම ව්‍යාපාර මොඩලයටත් බලපෑම් එල්ල වුණා.
එයින් පස්සේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට සාපරාධී ලෙස මිනිස් ජාවාරමට යොමු වෙන්න ගත්තා. ඔවුන් ඔන්ලයින් කැසිනෝවල සිට පිග්බුචරින්වලට මාරු වුණා. 2020න් පස්සේ මුලින් චීන ජාතිකයනුත්, පසුව අනෙක් රටවලිනුත් පුද්ගලයන් ගෙන්වා ගැනීමට පටන් ගත්තා. එමෙන්ම ලෝකයේ වෙන රටවල් ඉලක්ක කරගත් ජාවාරම් ආරම්භ වුණා. ඇමෙරිකාව, යුරෝපය ඇතුළත්ව ලෝකයේ රටවල් ගණනාවක පුද්ගලයන්ව රවටන්න ගත්තා.’
තවම ඉන්නවා
කනගාටුවට කරුණ වන්නේ, තවමත් ලාංකික තරුණ තරුණියන් කඳවුරුවල සිර වී සිටීමය. ෂිහාර ඩිල්ෂාන්ගේ බිරිඳ විශ්මි නවෝද්‍යා හඬ අවදි කරන්නේ ඒ ගැනය. ‘මම අලව්වේ. අපි විවාහ වෙලා ඉන්නේ. අවුරුද්දක බබෙක් ඉන්නවා. මගේ සැමියා මගෙ බබාට මාස හයක් වෙද්දී ඩුබායි ගියා. මගේ සැමියාට ලංකාවේ රැකියාවක් තිබුණේ නෑ. ඩුබායි ගිහින් මාස හයක් රැකියාව කළේ. ඊට පස්සේ ප්‍රධානියා කියා තිබුණා, මාස හයකින් තායිලන්තයට පස් දෙනකු ගෙනියන බව. මගේ සැමියාත් ඒ විදියට තායිලන්තයට කියා හිතාගෙන තව හතරදෙනෙක් එක්ක අරගෙන ගියා. ඒත්, ගෙනියලා තිබුණේ මියන්මාර්වලට. මියන්මාර්වල බහිනකොටත් ඔහු හිතාගෙන හිටියේ තායිලන්තයේ ඉන්නවා කියලා. ඊට පස්සේ මට මැසේජ් එකක් ආවා, අපි ඔෆිස් එකකට ආවා. අපේ බෑග්. ෆෝන් ඔක්කෝම ගන්නවා. අපට කතා කරන්න විදියක් නැතිවේවි. අපට රැකියාව හරි කියලා. අපට සැරෙන් සැරේ කතා කළා. එයාලා කොහොමහරි හොරෙන් ෆෝන් එකක් අරන් තිබුණා. පස්සේ අපට කතා කරලා කිව්වේ, අපට වධ දෙනවා, පුළුවන් ඉක්මනින් බේරාගන්න කියලා.
මගේ හස්බන්ඩ්ට වීල් එකක් තිබුණා. ඒක හයර් කළා. බබා ලැබුණාම වියදම් වැඩි නිසා රට යන්න තීන්දු කළා. එයාලා හොරෙන් තියාගෙන හිටපු එකෙන් මැසේජ් කළා අපට. කරදරයි, බේරාගන්න කියලා. එයාලාට ගොඩක් ගහලා තිබුණා. එල්ලලා ගහලා තිබුණා. ෆෝන් එකක් අහු වුණ හින්දා දවස් ගාණක් පනිෂ්මන්ට් දුන්නා’ කියා ඇය කියන්නීය.
බේරාගැනීම
දැන් උත්සාහය ඉතිරි 14 දෙනා ගලවාගැනීමය. රටේ විදේශ ඇමැතිවරයාගෙන් හදිසි සාකච්ඡා ඉල්ලුවත්, ප්‍රමාද වීය. විදේශ ඇමැතිටත් වැඩ බොහෝ බව කීවේලු. තානාපතිවරුන් හමු වී, අබා ප්‍රසංග ගල්කිස්ස හෝටලයේදී නරඹා සියල්ල අවසන් වූ පසු විදේශ ඇමැති මේ අසරණ මාපියන් මුණගැසීමට දුන්නේ දෙසැම්බර් 29 වැනි සඳුදා දිනයයි. දැන්, ඔවුන් ඇමැතිවරයාගෙන් ඉල්ලන්නේ බේරාගැනීමට පසුබිම සලසන ලෙසය.
‘මාසෙට දවස් 28ක් විතර අපි කොළඹ එන්න ඇති. විවිධ අයව මුණගැහිලා, අපේ ගෙදර අයව බේරාගන්න. තාම අපට අපේ 14 දෙනා බේරාගන්න මොකුත් වැඩපිළිවෙළක් හම්බවුණේ නෑ. අපට ආණ්ඩුවේ ඇමැතිවරුන් කතා කරන්නේ නෑ. ආණ්ඩුවේ නායකයන් කතා කරන්නේ නෑ. ලේකම්වරුන් වාගේ තමයි හම්බවුණේ. නවෝද්‍යා කියන්නේ සිය කුඩා දරුවා දෙස බලමිනි. මෙලෙස තවමත් සිර වී සිටින දිනේෂිකා නම් වූ දියණියගේ මව, දයාසීලි අම්මා සිය තරුණ දැරියගේ ජීවිතය ගැන කම්පා වන්නීය. ‘අපි කළුතර - මතුගම. මගේ දුවත් විශ්මිගේ සැමියා එක්ක ඩුබායිවල ඉඳලා මියන්මාර් ගියා. මුලින්ම මම බය වේවි කියලා සිග්නල් මදි කියලා කිව්වා. පස්සේ කෝල් එකක් දුන්නා. මුලින්ම මේ දරුවා හිටියේ සුදර්ශන දරුවා හිටපු කෑම්ප් එකේ. ඒත් පස්සේ ඩුබායිවලින් ගෙනාපු පස්දෙනාම තව කෑම්ප් එකකට අරගෙන ගියා. අපට කිව්වේ අම්මේ මෙහෙට සිග්නල් මදි, පොඩි ප්‍රශ්නයක් තියෙනවා, කතා කරන්න බෑ කියලා. ෆෝන් ගන්නවා කිව්වා. මෙතැන මේ වගේ තැනක්, අපව බේරාගන්න කිව්වා. අපි විදේශ සේවා එකට, යන්න පුළුවන් හැම තැනකටම කිව්වා. අපට පිළිසරණක් හම්බවුණේ නෑ. අපි ජුලි මාසයේ 27 වැනිදා අස්සජි හාමුදුරුවන් මුණගැහෙන්න ගියා. ඒ හාමුදුරුවන් කිව්වේ, තමන්ට ලියුමක් ඕනෑ කියලා. ඒ ලියුමක් ගන්න කියලා හිටපු ආණ්ඩුව සමයේ ගොඩක් අය ගියා. අස්සජි හාමුදුරුවනුත් ගියා. ඒත්, ලියුම ලැබුණේ නෑ. මේ රජයෙන් නම් ඉල්ලපු විදියට නැතත්, සෑහෙන විදියට ඒ ලියුම ලැබුණා. ළමයි 30ක විතර පිරිසක් බේරාගන්න ලැබුණේ ඒ ලියුම හින්දා. ඒත් තව 14 දෙනකු හිර වුණා.’ තරුණ දැරියක ගැන ඒ මව කම්පා වෙයි. ‘වෙන රටවල දරුවන් බේරාගන්න රජයන් මැදිහත්වෙලා තිබුණා. අපේ රජයට බැරි වුණේ ඇයිද කියලා මට තේරෙන්නේ නෑ. මම විශ්වාස කරන්නේ නෑ ආණ්ඩුවට බැරි ඇයි කියලා.’ යනුවෙන් ඒ මව කියයි.
ඉන්දියාව, නේපාලය ආදී රටවල් විවිධ අතරමැදියන් බේරාගැනීමට කටයුතු කර ඇත. ඔවුන් ස්ථාන හඳුනාගෙන විවිධ උපාය දූතයන් යොදවා පිරිස් බේරාගැනීමට කටයුතු කර තිබුණි.
| තරිඳු උඩුවරගෙදර