1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ පනත හඳුන්වාදීමේ පදනම සහ සේවයේ ආරක්ෂාව

1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ පනත හඳුන්වාදීමේ පදනම සහ සේවයේ ආරක්ෂාව

1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත හඳුන්වාදීමට පදනම වී ඇත්තේ 1970 දශකයේ ඇතිවූ සමාජ දේශපාලනික ක්‍රියාකාරීත්වය තුළින් මෙරට ආර්ථිකයට ඇතිවූ දැඩි බලපෑමයි. එනම් ආර්ථිකය බිඳ වැටීමත් සමඟම විදේශ විනිමය හිඟවීමත්  නිසා දේශීය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ඉන්ධන ලබා ගැනීමේ දුෂ්කරතාවය හමුවේ ප්‍රථමයෙන් සේවක සංඛ්‍යාව අඩුකිරීමටත් සේවකයින්ගේ සේවය නතර කිරීමටත් සේවායෝජකයින් විසින් උපක්‍රමශීලීව කටයුතු කොට ඇත. 

මේ පිළිබඳව වෘත්තීය සමිතිවලින් එල්ල වූ දැඩි විරෝධතාවය සමඟ මෙම තත්ත්වය පාලනය කිරීමට හදිසි නීතිය ක්‍රියාත්මක කරමින් විනයානුකූල හේතුවක් මත මිස වෙන කිසිම හේතුවක් මත සේවකයෙකුගේ සේවය අවසන් කිරීම හදිසි නීතිය උල්ලංඝනය කිරීමක් බවට පත්විය. 

නමුත් සේවකයාගේ කැමැත්ත ඇතිව සහ කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය ඇතිව සේවය අවසන් කිරීම ඊට වියතිරේයකි. ඒ අනුව 1971 අංක 45 දරණ සේවකයන්ගේ සේවය අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත සම්මත කිරීමත් සමඟම හදිසි නීතිය අක්‍රීය වී මෙම පනත සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නට විය.

 මෙම පනතේ 2 වගන්තිය අනුව යම් සේවකයෙකුගේ සේවය අවසන් කිරීම සම්බන්ධව එම සේවකයාගේ  පූර්ව ලිඛිත කැමැත්ත සහ කම්කරු කොමසාරිස්වරයාගේ පූර්ව ලිඛිත අනුමතිය ලබා ගත යුතු වේ. යම් සේවකයෙකුගේ හෝ සේවකයන්ගේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් සේවායෝජකයකු විසින් කම්කරු කොමසාරිස්වරයා වෙත ඉල්ලීමක් කර ඇති විටදී කම්කරු කොමසාරිස් විසින්  විමර්ශනයක් පවත්වා එකී ඉල්ලීම යුක්ති සහගත නම් සේවකයා හෝ සේවකයින්ට වන්දි මුදලක්  ගෙවා සේවය අවසන් කිරීම සඳහා අවසර ලබාදීමට කම්කරු කොමසාරිස්ට බලය ඇත. තවද පනතේ 6 වගන්තියට අනුව සේවකයෙකු විසින් කම්කරු කොමසාරිස්ට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති විටක ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සේවය අවසන් කිරීම නීතිවිරෝධී බව තීරණය කරනු ලැබූ විට එම සේවකයාට වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවීමට කම්කරු කොමසාරිස්වරයාට නියෝග කළ හැකිය.

සේවය අවසන් කිරීමේ පනතේ ප්‍රධාන අරමුණ වන්නේ සේවා යෝජකයන් විසින් සේවකයෙකුව අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කිරීම වැළැක්වීමයි.  

මෙම පනත යටතේ ආවරණය වන සේවකයින් වන්නේ,

  • පඩිපාලක සභා ආඥා පනත යටතේ ආවරණය වන සේවකයින්
  • සාප්පු හා කාර්යාල පනතින් ආවරනය වන සේවකයන්
  • කර්මාන්ත ශාලා ආඥා පනත යටතේ ආවරණය වන සේවකයින්

මෙම පනත අනුව සේවකයෙකු සේවය අවසන් කළ දිනය වන විට කලින් වර්ෂයේ එකී සේවකයා දින 180 ක සේවා කාලයක් සම්පූර්ණ කර තිබිය යුතුය.

මෙම සේවය අවසන් කිරීමේ පනත යටතේ ආවරණය නොවන සේවකයන් වන්නේ,

  • සේවයෙන් ඉල්ලා අස්වූ සේවකයන්
  • විනය විරෝධී ක්‍රියාවක් ලෙස දඬුවම් දීමේ හේතුවෙන් සේවයෙන් ඉවත් කරන ලද සේවකයන්
  • රජයේ සේවකයන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ව්‍යවස්ථාපිත අධිකාරී, රජයට පවරාගත් ආයතන, පළාත් සභා, පලාත් පාලන් ආයතන සහ සමුපකාර සමිතිවල සේවයේ නියුක්ත සේවකයින්
  • නීති විරෝධී ලෙස පවත්වාගෙන යන ආයතනවල සේවකයින්
  • සේවය අවසන් කළ මාසයට පෙර මාස 6ක කාලය තුළ සේවකයන් 15 ට වඩා අඩුවෙන් සිටින ආයතනවල සේවකයින්
  • විශ්‍රාම ගන්වන ලද සේවකයෙක්

පනත යටතේ සේවය අවසන් කිරීමක් ලෙස සැලකිය හැකියි අනිකුත් අවස්ථා වන්නේ,

  • විනය හේතුවක් නොවන වෙනත් ඕනෑම හේතුවක් මත සේවය අවසන් කිරීමකදී
  • සේවා යෝජක විසින් තාවකාලිකව හෝ ස්ථීර සේවකයාට රැකියාව නොදීමේදී
  • සේවා යෝජකයා විසින් යම් වෙළෙද කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වසා දැමීමේ ප්‍රතිඵලයක් ලෙස සේවකයාට රැකියාව නොදීම

යන කරුණු මෙම පනත යටතේ සේවය අවසන් කිරීමකි.

යම් සේවකයෙකුගේ සේවය අවසන් කිරීමකදී අවසන් කළ දින සිට මාස හයක් ඇතුළත අයදුම්පත්‍රයක් කම්කරු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය. කම්කරු කොමසාරිස් මගින් එකී සේවක අවසන් කිරීම විසඳා ගැනීමට හැකියාවක් නැත්නම් කම්කරු විනිශ්ච සභාව වෙත වහාම aයදුම් පත්‍රයක් යොමු කළ යුතුය.

මෙහිදී සේවකයන්ට මෙන්ම සේවායෝජකයාට ද සේවකයකුගේ සේවය අවසන් කිරීම සම්බන්ධව අයදුම් පත්‍රයක් කම්කරු කොමසාරිස්වරයාට ඉදිරිපත් කළ හැකිය. එහිදී අදාල පාර්ශවයන් කැඳවා පරීක්ෂණයක් පවත්වා අදාල අවසන්කිරීම පිළිගැනීමට සාධාරණ හේතු තිබේ නම් වන්දි සූත්‍රය අනුව ගණනය කරන ලද වන්දි මුදල සේවකයාට ගෙවා සේවය අවසන් කිරීමට අනුමැතිය ලබාදීමට කම්කරු කොමසාරිස්ta බලය ඇත. එසේම සේවා යෝජක විසින් ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රය පිළිගැනීම සඳහා සාධාරණ කරුණු නොමැත්තේ නම් අයදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට කොමසාරිස්වරයාට බලය ඇත.

මෙම වන්දි ලබා දීම 2021.02.25 දිනැති අංක 2216/17 දරන අති විශේෂ ගැසට් නිවේදන සංශෝධනයට අනුව වන්දි  ගණනය කරනු ලබයි.