හදිසි නීති රෙගුලාසි හා එහි බලපෑම

හදිසි නීති රෙගුලාසි හා එහි බලපෑම

වැඩබිම නීති පිටුව හරහා අපි ආරම්භයේ පටන්ම ඔබ වෙත ගෙන එන ලද්දේ සාමාන්‍යයෙන් කම්කරු ප්‍රජාවට වැදගත්වෙන කම්කරු නීති ප්‍රශ්න හා පිළිතුරු වශයෙනි.නමුත් මෙවර වෙනසක් වෙමින් කාලීන මාතෘකාවක් වන හදිසි නීතිය එහෙම නැත්නම් හදිසි නීති රෙගුලාසි සම්බන්ධයෙන් නීතිමය කරුණු කාරණා හා එමඟින් වන බලපෑම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරමින් දැනුවත්භාවයක් ලබා දීමට මෙලෙස කටයුතු කරන ලදී.පහතින් දැක්වෙන කරුණු කාරණා අවබෝධයෙන් කියවා තේරුම් ගන්න.

හදිසි නීතිය හෙවත් හදිසි නීති රෙගුලාසි ගැන කතා කිරීමේදී ඒ හා බැඳී පවතින තවත් වැදගත් නීති ප්‍රතිපාදන කීපයක් ඇත. ඒවා නම් 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනත, ශ්‍රී ලංකා ආණඩුක්‍රම ව්‍යවස්ථාව ආදිය දැක්විය හැකිය.

මෙම හදිසි නීති රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් බලපාන්නාවූ අනෙකුත් නීති මොනවාද යන්න සලකා බැලීමේදී මහජන ආරක්ෂක ආඥා  පනත ප්‍රධාන වශයෙන් දැක්විය හැකිය. එය පාර්ලිමේන්තුව මගින් සම්මත කරගන්නා ලද ආඥා පනතකි. මෙහි පස්වන වගන්තියට අනුව රටේ ජනාධිපති වරයාට හදිසි නීති රෙගුලාසි පැනවීම බලය ලැබී ඇත.මෙම හදිසි නීති තත්වය ලංකාව තුල පමණක් නොව ලෝකයේ ඕනෑම රටක මහජනතාවගේ ජන ජීවිතයට, ආරක්ෂාවට තර්ජනයක් වන විට රටේ ජනාධිපති වරයාට හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශකොට හදිසි නීති රෙගුලාසි පැනවිය හැකිය. මෙසේ  මහජන ජීවිතයට ආරක්ෂාවට තර්ජනයක් හෝ හානියක් සිදුවිය හැකි  අවස්ථාවන් ලෙස කැරලි කෝලාහල, ස්වභාවික විපත්, හදිසි යුධමය වාතාවරණයක් ඇතිවීම දැක්විය හැකිය.

මෙහිදී විශේෂයෙන් සඳහන් කළයුතු වන්නේ  2021. 08.30 දින පනවන ලද හදිසි නීති රෙගුලාසියට හේතුවුයේ අත්‍යාවශ්‍ය ආහාර බෙදාහැරීම, කළමනාකරණය නැමැති කාරණය අරමුණු කරගෙනය. නමුත් එකී කාර්යය පාරිභෝගික අයිතිවාසිකම්  පනත යටතේ මනා ලෙස සිදුකළ හැකිය. එමෙන්ම covid-19 වසංගත තත්ත්වයකදී වුව ද ආපදා කළමනාකරණ පනත යටතේ එවැනි තත්වයක් පාලනය කළ හැකිය.

මෙම හදිසි නීතිය මහජන ආරක්ෂක ආඥා පනතේ ප්‍රතිපාදන පදනම් කරගෙන පනවා ඇත. ඒ අනුව මෙම ආඥා පනතේ ‍ ප්‍රතිපාදන දෙස අවධානය යොමු කළ විට ඒ බව මනාව පැහැදිලි වේ. ත්‍රිවිධ හමුදාවට  පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය12 වගන්තිය මගින් පැවරී ඇති අතර එකී කාර්යය අප රට තුළ සිදු කෙරෙනුයේ පොලිස් නිලධාරින් මඟිනි. ඒ වගේම පුද්ගලයන්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ බලයද 16 සහ 17 වගන්ති මගින් පැවරී ඇත. පනතේ 18 වගන්තිය අනුව පුද්ගලයන්ට නිදහසේ එහාමෙහා යෑමේ අයිතිය සීමාකළ හැකිය. 15 වගන්තිය අනුව ප්‍රකාශන හෝ පණිවිඩ ලබා දීමේ අයිතිය සීමා කොට ඇත. එසේම 20 වගන්තිය අනුව අත්අඩංගුවට ගත් පිරිස පොලිසිය වෙත භාරදීමට ත්‍රිවිධ හමුදාවට බලය පැවරී ඇත.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදිසි නීති තත්වය සම්බන්ධයෙන් පවතින ප්‍රතිපාදන මීළඟට සොයා බලමු. එහි 155 ව්‍යවස්ථාව මහජන ආරක්ෂාව ගැන සඳහන් කරයි.  155 (2) ව්‍යවස්ථාවට අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ සදහන් පරිදි සාමාන්‍ය නීති අභිබවා යමින්, සංශෝධනය කරමින්, අත්හිටුවමින් හදිසි නීති රෙගුලාසි සැදීමට ජනාධිපතිවරයාට බලය ලැබෙන බවත් එමගින් ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින  ප්‍රතිපාදනවලට  බලපෑමක් නොවිය යුතු බවත් සදහන්. තවද  මෙම ව්‍යවස්ථාව මගින් මෙකී රෙගුලාසි දින දාහතරකට පමණක් බල පවත්වන බවත් එකී කාලය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එහි බහුතර අනුමැතිය ලබා ගත යුතු බවත් සදහන් වේ. ඉන්පසු එය දින තිහකට පමණක් වලංගු වන අතර එකී රෙගුලාසිය දීර්ඝ කිරීමට අවශ්‍ය වන්නේ නම් නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගත යුතුය. ඒ ආකාරයෙන් ජනාධිපතිගේ පූර්ණ අභිමතානුසාරී බලය පාවිච්චි කොට අසීමිත කාලයක් සඳහා වුවද පවත්වාගෙන යාහැකිය. මෙම හදිසි නීති රෙගුලාසි තත්ත්වය මගින් රටේ විධායක, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන තුන අතර සමතුලනයක් තිබිය යුතුයි. නමුත් එම හදිසි නීති තත්ත්වය තුළ විධායකය පමණක් බලතුලනය අභිබවා යමින් ‍ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයට හානි සිදුවිය හැකිය. මෙලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට තර්ජනය විය හැකි තවත් පනතක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කදිම උදාහරණයකි. එනම් එවැනි අවස්ථාවක රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වීම අඩපණ වීමත් දැකිය හැකිය.

2021 අගෝස්තු 30 දින ජනාධිපතිවරයා විසින් පනවන ලද අංක 2243/ 3 දරන රෙගුලාසිය 2021 අංක 1 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කොට ඇත.මෙම රෙගුලාසිය මගින් අත්‍යාවශ්‍ය සේවා පාලනය සම්බන්ධ හා එකී ක්‍රියාවන් පරිපාලනයට කොමසාරිස් ජෙනරාල් වරයෙකු පත් කිරීම සිදු කොට ඇත.තවද 2021 අංක 1 දරණ හදිසි අවස්ථා( අත්‍යාවශ්‍ය ආහාර සැපයීමේ) නියෝගවල 2 නියෝගයට අනුව සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග සැඟවීම, බෙදාහැරීම, අඩපණ කිරීම, අධික මිල ගණන් අය කිරීම හා පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත් කිරීම, වෙළඳපල අක්‍රමිකතා ඇති කිරීම ආදී කටයුතු වැළැක්වීම සහතික මිලට හෝ රේගුවේ දී ආනයනය කළ මිල ගනන් පදනම් කරගෙන වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර තොග මිලදී ගෙන ජනතාවට සාධාරණ මිලට ලබාදීමට බලයලත් නිලධාරියා හෝ නිළධාරීන් කටයුතු කිරීමටත් රාජ්‍ය බැංකුවලින් එවැනි තොග මිලදී ගැනීම් සදහා ගෙන ඇති ණය ණය හිමියන්ගෙන් අයකර ගැනීමටත් එම බැංකු පියවර ගත යුතුය. මෙහිදී අත්‍යවශ්‍ය සේවාව යනුවෙන් මහජන පරිභෝජනය සඳහා වූ හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වූ යම් සේවයක් ජනාධිපතිවරයා විසින් ආඥාවක් මගින් ප්‍රකාශයට පත් කරනු ලබන සේවාවක් අදහස් වේ. රෙගුලාසිවල නියෝග 4 අනුව ජනාධිපති වරයාගේ බලතල දක්වා ඇති අතර එකී බලතල හීන කිරීමක් නොවිය යුතුය යනුවෙන් දක්වා ඇත. නියෝග 10 (1) අනුව අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශ කරනු ලබන අවස්ථාවක 2021 අගෝස්තු 30 දින හෝ ඉන්පසු සේවයට සම්බන්ධ තැනැත්තෙකු එසේ කිරීම පැහැර හැරියහොත් හෝ ප්‍රතික්ෂේප කළහොත් හෝ එසේ පැමිණීම හෝ එකී  කාර්ය ඉටුකිරීම පැහැර හැරියේ, ප්‍රතික්ෂේප කළේ, වැඩවර්ජනයකට හෝ වෙනත් සංවිධානාත්මක ක්‍රියාකාරකමකට අනුබල දී මෙහිලා නම් එකී තැනැත්තා වරදකට වරදකරු වන්නේය. එසේම 11 නියෝගය පරිදි වරදක් සම්බන්ධයෙන් යොදා ගන්නා ලද ගොඩනැගිලි හා පරිශ්‍රයන් ඒ ප්‍රදේශය පොලිස් අධිකාරිවරයා විසින් සන්තකයට ගෙන එම ස්ථානය ආරක්ෂා කළ යුතුයි සේම යම් තැනැත්තෙකු විසින් යම් නියෝගයක් කඩ කරනු ලැබූ අවස්ථාවක ඒ තැනැත්තා මහේස්ත්‍රාත් අධිකරණයේ වරදකට වරදකරු කරනු ලැබූ විට ඊට අදාල දඬුවමකට  අමතරව ඒ තැනැත්තාගේ චංචල හෝ නිශ්චල සියලු දේපළ රාජසන්තක කරනු ලැබිය හැකිය.

අවසාන වශයෙන් මෙම හදිසි නීති රෙගුලාසියේ බලපෑම ජනතාවට බලපාන ආකාරය සොයා බලමු. හදිසි නීතිය ක්‍රියාත්මක වීමත් සමග රටේ සාමාන්‍ය නීතිය අඩපණ වී සංවරණය (Management Reservation) නැතිවී යාම, තුලන ක්‍රමය නැති වීම, අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය  අතර පැවතිය යුතු බලතුලනය නැතිවී යාම,  විධායකයට පමණක් හිමි වී ඇති පූර්ණ  අභිමතානුසාරී බලය  මත ‍ ප්‍රජාතන්ත්‍රවාදයට හානි සිදුවීම ආදිය දැක්විය හැකිය. මෙහිදී අවධානය යොමු කළ යුතු වන්නේ මෙම හදිසි නීති රෙගුලාසි අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ඊට බහුතරය අනුමැතිය නොමැතිව  හදිසි නීතිය ඉවත් කර ගැනීමට කටයුතු කර ගැනීමයි.