රාජ්‍ය නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම් වල දී පවතින්නාවූ නීතිමය ප්‍රතිකර්ම හඳුනාගනිමු 

රාජ්‍ය නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම් වල දී පවතින්නාවූ නීතිමය ප්‍රතිකර්ම හඳුනාගනිමු 

මෙවර වැඩබිම නීති පිටුව හරහා රජයේ නිලධාරීන් ගේ මානව අයිතිවාසිකම් කඩවූ විට ඔවුන්ට ලබාගතහැකි නීතිමය ප්‍රතිකර්ම මොනවාද යන්න ගැන දල අදහසක් මෙලෙස ඔබ වෙත ගෙන ඒමට තීරණය කරනු ලැබුවා.ඔබ රාජ්‍ය සේවකයෙකු නම් ඔබෙ දැනුමට මේ තොරතුරු අතිශය වැදගත් වෙනු ඇති.

 01.ප්‍රශ්නය

 යම් පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම්  කඩවීමකදී  පවතින නීතිමය ප්‍රතිකර්ම කවරේද?

 පිළිතුර:

යම්කිසි පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් කඩ වී ඇති විටෙක හෝ කඩවීමට ආසන්නව තිබීම සම්බන්ධයෙන්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව යටතේ  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැක.

එවැනි පෙත්සමක් එකී මූලික අයිතිවාසිකම් කඩ වී දින 30 ක් ඇතුලත ඉදිරිපත් කළ යුතු වේ.

එකී ඉල්ලීම මූලික අයිතිවාසිකම් කඩ වූ අය විසින්ම හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකු මාර්ගයෙන් හෝ බල පවත්නා රීති වලට අනුව ලිඛිත පෙත්සමක්   ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ හැකිය

02. ප්‍රශ්නය

 පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඩ්ස්මන් වරයා යනු කවුද?

 පිළිතුර

1981 අංක 17 දරණ පාර්ලිමේන්තු පරිපාලන කොමසාරිස්වරයා නැමැති තණතුර විස්තර වේ. මෙමගින් රජයේ නිලධාරියා හා  රාජ්‍ය සංස්ථාවල පළාත් පාලන ආයතන වල නිලධරයන් විසින් සිදු කරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා වෙනත් අසාධාරණ  ක්‍රියා ගැන කරනු ලබන පැමිණිලි  හෝ චෝදනා සම්බන්ධයෙන් පරික්ෂා කිරීම ඔම්බුඩ්ස්මන්වරයාගේ බලතල රාජකාරි හා වගකීම වේ.

 03.ප්‍රශ්නය 

 මානව හිමිකම් කොමිසම යනු කුමක්ද එහි කාර්යභාරය කෙසේද?

 පිළිතුර

1973 අංක 31 දරණ පනත යටතේ ස්ථාපනය කළ මානව හිමිකම් කොමිසමේ මූලික පරමාර්ථය වන්නේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමයි. විශේෂ සැලකිලි හෝ වෙනස්කම් දැක්වීම තුරන් කිරීමේ හා මූලික අයිතිවාසිකම් සමීක්ෂණය කිරීමේ කොමිසම ලෙස මෙය හැඳින්විය හැකිය. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (2) ව්‍යවස්ථාව යටතේ කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය, උපන් ස්ථානය අනුව හෝ කවර හේතුවක් මත වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය නොකිරීමේ සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට මෙම මානව හිමිකම් කොමිසම උනන්දු වේ.

04.ප්‍රශ්නය

අයිතිවාසිකම් කඩ වූවකු මෙම කොමිසමට පැමිණිල්ලක් කළ යුතු  ක්‍රියා පටිපාටිය කුමක්ද?

 පිළිතුර

කිසියම් වෙනස්කමකට භාජනය වීම නිසා තමා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි දෝෂාරෝපණය කරන්නෙකු එම කඩ වීම සිදුවී මාස හයක් ඇතුළත කොමිසමේ අධ්‍යක්ෂ වරයාට පැමිණිලි කළ යුතුය‍.

 එම පැමිණිල්ලේ තම මූලික අයිතිවාසිකම් කඩවූ කාල වකවානුව සහ ඒ පිළිබඳ සියලු විස්තර අඩංගු විය යුතුය.

 තවද පැමිණිලිකරුගේ පැමිණිල්ල යුක්ති සහගත බැව් කොමිසමට අවබෝධ වූ විට පැමිණිල්ල ලැබී සති හයක් ඇතුළත සියලු පාර්ශ්වයන් ගෙන්වා ඒ ගැන සාකච්ඡා කිරීම, විසඳුම් ලබා දීම, සමථ කිරීම හෝ ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබා දෙයි.

 මානව හිමිකම් කොමිසම විසින් ලබා දෙන නිර්දේශය ක්‍රියාත්මක කර ගැනීම සඳහා අදාළ පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකළ හැකිය.