කාර්මික ආරවුල් පනතේ ඇති වැදගත්කම දැනගමු

කාර්මික ආරවුල් පනතේ ඇති වැදගත්කම දැනගමු
1950 අංක 43 දරණ කාර්මික ආරවුල් පණත ශ්‍රී ලංකාවේ කම්කරු නීතියට අදාල වැදගත්ම ව්‍යවස්ථාවයි.මෙය කාර්මික ආරවුල් වැළැක්වීම,පරීක්ෂා කිරීම හා නිරවුල් කිරීම සඳහා සම්පාදනය කරන ලද පණතකි.ඒ අනුව අද මෙවර නීති පිටුවෙන් පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන සේවකයින්ට වැදගත් වන්නාවූ මාතෘකාවක් ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් දැනුවත් කිරීම වැඩබිම අපගේ ප්‍රයත්නයයි.
 

01.ප්‍රශ්නය : 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ ප්‍රධාන අරමුණු මොනවාද?

පිළිතුර

1. කාර්මික ආරවුලක් වැලැක්වීම

2. කාර්මික ආරවුල් පරික්ෂා කිරීම

3. කාර්මික ආරවුල් නිරවුල් කිරීම

 ඒ අනුව පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ කාර්මික සම්බන්ධතා නිසි ආකාරව පවත්වාගෙන යෑම සඳහා මෙම පනත විශාල කාර්යභාරයක් සිදුකරයි.

2. ප්‍රශ්නය : 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතට අනුව කාර්මික ආරවුලක් යනු කුමක්ද?

පිළිතුර

කාර්මික ආරවුල් පනතේ 47 වගන්තිය අනුව සේවායෝජකයන්  විසින් කිසියම් පුද්ගලයෙකුට රක්ෂාව දීම, රක්ෂාව නොදීම, සේවා නියමයන් සම්බන්ධව, කම්කරු තත්වය සම්බන්ධව, කම්කරුවකුගේ සේවය අවසන් කිරීම සම්බන්ධව  හා කම්කරුවකු යළිත් සේවයට ගැනීම සම්බන්ධව කාර්මික ආරවුලක් හට ගැනීම  තීරණය කරයි.

එහිදී  තවදුරටත් කාර්මික ආරවුල් හට ගත හැක්කේ  කවර පාර්ශ්වයන් අතර ද යන්න සම්බන්ධයෙන්  පැහැදිලි  කරන්නේ නම් කම්කරුවන් හා සේවායෝජකයන් අතර, කම්කරු පිරිස් අතර සහ වෘත්තිය සමිති සහ සේවායෝජකයන් අතර  වේ.

3. ප්‍රශ්නය : කම්කරුවෙකුගේ සේවය අවසන් කිරීම සම්බන්ධව  1950/43  දරන කාර්මික ආරවුල් පනත අනුව අධිකරණමය ක්‍රියාමාර්ගයකට යා හැකිද?

පිළිතුර

මෙම පනතේ මූලික දුර්වලතාවයක් ලෙස  අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීම සම්බන්ධව නොදක්වා තිබීම සඳහන් කළ හැකිය. නමුත් එයට පිලියමක් ලෙස 1957  අංක 62  දරන කාර්මික ආරවුල් සංශෝධන පනත  මගින්  කම්කරු විනිශ්චයාධිකාරය  හඳුන්වා දෙනු ලැබීය. නමුත්  කම්කරු විනිශ්චයාධිකාරය පිහිටුවීම 1959 වර්ෂය දක්වා ප්‍රමාද විය.

4. ප්‍රශ්නය : කාර්මික ආරවුල් පනත අනුව  කාර්මික ආරවුල් සඳහා පවතින්නාවූ ප්‍රතිකර්ම කවරේද?

 පිළිතුර

1. සේවායෝජකයන් සහ කම්කරුවන් නියෝජනය කරන වෘත්තිය සමිති අතර සාමූහික ගිවිසුම් ඇති කිරීමෙන් හා ඒවා ක්‍රියාත්මක කිරීමෙන්

2. කම්කරු කොමසාරිස්වරයා වෙත ආරවුලක් යොමුකර ඇති විට එය නිරවුල් කිරීම සඳහා පියවර දෙකක් ගත හැකිය.

  1. සමගි කිරීමෙන් ආරවුල නිරවුල් කිරීම
  2. බලයලත් නිලධාරියෙකු වෙත යොමු කිරීම
  3. පාර්ශවකරුවන්ගේ කැමැත්ත මත බේරුම්කරණය ට යොමු කිරීම
  4. කම්කරු විෂයභාර අමාත්‍යවරයාට කාර්මික ආරවුලක්  අනිවාර්ය බේරුම්කරණයට යොමු කළ හැක. එහිදී පාර්ශවකරුවන්ගේ කැමැත්ත අවශ්‍ය නැත.මෙවැනි කාර්මික ආරවුලක් තේරුම් කිරීමට රජය මැදිහත් වේ.
  5. කාර්මික අධිකරණයක් වෙත යොමු කිරීම